2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

ඖෂධවේදීන්ගේ කරපිටට වැටෙන කෝටි දෙදාහක දිරන බෙහෙත් පෙති

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 44

කොවිඩ් ව්‍යාප්තිය ඇරැඹීමත් සමග සමාජයේ එදිනෙදා කටයුතු උඩුයටිකුරු වි ගියේය.වැඩිම වෙනස් වීම් වලට මුහුණ දුන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයයි. සැලසුම් සහගත නොවීම සහ දූරුදර්ශි නොවී ගත් තීරණ  හේතුවෙන් ඒ ක්ෂේත්‍රයේ වැඩ වැරුදුණ තැන්ද  බොහෝය. ඒ අන්දමට මේ වනවිට කතාබහට ලක්ව ඇති අලුත්ම අලකලංචිය වන්නේ කෝටි 2000ක් වටිනා ඖෂධ පළ ප්‍රයෝජනයක් ගත නොහැකි ලෙස කල්ඉකුත් වීමට ලක්ව ගොඩගැසීමට ලක්ව තිබීමයි. දැන් මේ නිසා ජනතාවට නිදහසේ ලැබුණ බෙහෙත් පෙත්තත් නොලැබී යන ලකුණු පහළ වී තිබේ.

ඖෂධ අතිරික්තයක් ඇති වන සේ අදූරදර්ශී ලෙස ඖෂධ ගෙන්වීම නිසා දැන් ඒ බෙහෙත් තොග ගොඩ ගැසී ඒවා කිසිවකුටවත් ප්‍රයෝජනයට ගත නොහැකි මට්ටමකට පත්ව ඇති බවත් මේ ක්‍රියාවලිය නිසා රුපියල් කෝටි 2000 ක පමණ පාඩුවක් සිදුවී ඇති බවත් දේශයට කීවේ ශ්‍රී ලංකා ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්නය. දැන් හිතුමතයට ගෙන්වූ මේ විනාශවී යන ඖෂධ සඳහා වන්දි ගෙවීමට සිදුව ඇත්තේ තම සංගමය නියෝජනය කරන ඖෂධවේදීන්ට බවත් ඒ සම්බන්ධව තමන් විරෝධතාවක් අරඹා ඇති බවත් ඔහු කියයි. තමන් මේ අත්තනෝමතික තීන්දුව ඉදිරිපත් වූ අවස්ථාවේ සිටම ඒහි ඇති විනාශකාරී බව සහ අයහපත ගැන කරුණු දැක්වූ නමුදු බලධාරීන් ඒ සම්බන්ධව නෑසූ කන්ව කටයුතු කළ බවත් දැන් බලධාරීන් මුල්වීමෙන් සිදුවූ මේ ජාතික අපරාධයේ වගකීම තමන් පිට පටවන්නට යාම අසාධාරණ බවත් ඔහු කියයි. මේ සම්බන්ධයෙන් ඖෂධ නියාමන රාජ්‍ය ඇමැතිවරයා තමන්හට සාකච්ඡාවකට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවත් ලබන 16දාට යෙදී ඇති එම සාකච්ඡාවේදී පිළිගත හැකි විසඳුමක් නොලැබුණහොත් තමන් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට යමින් 19 වැනිදා සිට දිවයින පුරා වැඩ වර්ජනයක් අරඹන්නට තීරණය කර ඇති බව ඔහු කීවේය. දැන් ජනතාවට නොමිලයේ ලැබෙන බෙහෙත් පෙත්තත් නැතිවන ලකුණු පහළ වී ඇතැයි අප කීවේ එහෙයිනි.

මේ තත්ත්වයට තුඩුදුන් හේතුව ඇරුඹෙන්නේ 2021 කොවිඩ් වසංගතය අතරේ රෝහල් සඳහා ඇනවුම් කරන ලද ඖෂධ තොග සාමාන්‍ය ඇනවුම් ප්‍රමාණයට වඩා සියයට 25කින් වැඩිකරන ලෙසට ලද නියෝගයක් සමගිනි. ඒ අවස්ථාවේදීම ඖෂධවේදීන් මේ නියෝගයේ ඇති අදූරදර්ශී - අහිතකර බව පෙන්වා දී තිබුණද එම නියෝගයම ක්‍රියාත්මක කරන්නට යෙදී තිබුණි. කොරෝනා හේතුවෙන් වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ගන්නට එන පිරිස දැඩිලෙස පාලනයකට ලක්වූ නිසාම මේ ගෙන්වන ලද ඖෂධ තොග ගණනින් දිවයිනේ රෝහල් ගබඩා තුළ සිරගතව තිබුණි. රෝහල් ඖෂධ තොග සම්බන්ධයෙන් වගකීම ඒවායේ ඖෂධවේදීන් මත චක්‍රලේඛයක් මගින් පටවා ඇති අතර කල් ඉකුත්ව යන ඖෂධ සඳහා වන්දි ගෙවිය යුතුව ඇත්තේද ඔවුන්ය. මේ නිසා දැන් කොරෝනා සමයේ ගෙන්වා ගොඩ ගැසී කල්ඉකුත් වීමට ආසන්න රුපියල් කෝටි 2000ක් වටිනා ඖෂධ සඳහා වන්දිකරුවන් බවට පත්ව ඇත්තේද ඖෂධවේදීන්ය. ඔවුන් පාරට බසින්නට යන්නේ මේ කැකිල්ලේ තීන්දුවට එරෙහිවය.

සාමාන්‍යයෙන් රජයේ රෝහලක ඉදිරි වාර්ෂික ඖෂධ අවශ්‍යතාව කලින් වසරේ ගණනය කර තීන්දු කරනු ලබන්නේ අදාළ රෝහලේ අධ්‍යක්ෂ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුදැනුම සහිතව ඒ රෝහලේ ඖෂධවේදීන්ය. මේ ලැයිස්තු රජයේ වෛද්‍ය සැපයුම් අංශයට යැවූ විට එහිදී ඔවුන් සතුව ඇති ඖෂධ තොග හා අදාළ කාලය වනවිට ගෙන එන්නට ඇනවුම් කර ඇති ඖෂධ තොග වේ නම් ඒ ප්‍රමාණය ඖෂධවේදීන් ඉල්ලා ඇති ප්‍රමාණයෙන් අඩුකර ඉතිරි ප්‍රමාණය ඇනවුම් කිරිමට රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා කටයුතු කිරීමය.

නමුත් 2021 වසර සඳහා ඖෂධ ඇනවුම් කිරීමේදී රජයේ සැපයුම් අංශයේ රුස්වූ කමිටුවක් මගින් ගත් තීන්දුවකට අනුව ඉල්ලා තිබූ ප්‍රමාණයටත් වඩා සියයට 25ක් වැඩිපුර ඖෂධ ගෙන්වීමට එවකට සිටි අධ්‍යක්ෂවරයා නියෝග කර තිබේ. මේ කියන කමිටුවට ඖෂධ ප්‍රායෝගිකව භාවිත වන අකාරය පිළිබඳ දැනීමක් ඇති ඖෂධවේදීන්ගේ නියෝජනයක් පවා තිබී නැත. ඒ අනුව ගෙන්වන ලද ඖෂධ තොග දැන් රෝහල්වල ගොඩගැසී තිබේ. දැන් කල් ඉකුත් වීමට ආසන්න මේ ඖෂධ බෙදාහරින ලෙසත් නැවත 2022 සඳහා අලුත් ඇස්තමේන්තු සකසන ලෙසත් නියෝග ලැබී තිබේ. දැන් තමන් මේ නියෝගය අනුව කටයුතු කිරීමෙන් වැළකී සිටින බවත් අධ්‍යක්ෂවරයා ප්‍රමුඛ කමිටුව විසින් ගත් අදූරදර්ශී තීන්දුව නිසා කල් ඉකුත් වූ තොග පිළිබඳ වගකීමෙන් තමන් නිදහස් කරන ලෙස බලකර සිටින බවත් රජයේ ඖෂධවේදීහු කියා සිටිති.

කමිටුවක් මගින් ගත් මෙම තීන්දුවට තමා වගකිව යුතු නැති බව සැපයුම් අංශයේ ප්‍රධානියා පැහැදිලි කර තිබුණි. ඒ අවස්ථාවේ රජයේ රෝහල් ආශ්‍රිතව පැවැති ඖෂධ ගණනාවක හිඟය හේතුවෙන් අතිරික්ත ඖෂධ ගෙන්වීමට සිදු වූ අතර වසංගතය පැතිර යාම පිළිබඳ අනාවැකි කීමට හැකියාවක් ඒ වනවිට නොතිබූ බවද ඔහු පෙන්වා දී තිබේ. කමිටුව මේ තීන්දුව ඉදිරිපත් කළ කාලයේ  සිටම සිදුවිය හැකි හානිය ගැන තමන් දැක්වූ විරෝධතා නොසලකා හැර ඇති අතර මේ කල්ඉකුත් තොග සම්බන්ධයෙන් ඖෂධවේදීන් වගකිව යුතු නැතැයි බලධාරීන් වචනයෙන් පිළිගත්තද එය ලිඛිතව ලබාදී තමන්ගේ වැටුපෙන් මේ මුදල් කපා ගැනීමේ අනතුරු වැළැක්වීමට ඉදිරිපත්ව නැති බවත් ශ්‍රී ලංකා ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න පෙන්වා දෙයි. මේ නිසා ඉදිරි සාකච්ඡාවේදී ලැබෙන පිළිතුරු අනුව ඖෂධවේදීන්ගේ වැඩවර්ජනයක් ගැන තීන්දුව ක්‍රියාත්මක වන්නට නියමිතය.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05