2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

පිලේ පැදුර එලාගෙන ගීත, නාට්‍ය ලියූ සිංහල වෙද මහත්තයා ස්වර්ණ ශ්‍රී බණ්ඩාර

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 205

ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන කර්තෘ පදවි රැසක් දැරූ මහා පත්‍ර කලාවේදී පියසේන නිශ්ශංක මහතා ගැමියන් ගැන ලියන විට හතර රියන් මිනිස්සුන් ගැන සඳහන් කර තිබුණි. (නිශ්ශංක මහතා ද හතර රියන් මිනිසෙකි.) ඔහු එසේ සඳහන් කර තිබුණේ උස මහත ඇති ගැමියන් ගැනය. ස්වර්ණ ශ්‍රී බණ්ඩාරත් ඊට අසමාන නොවේ. ඔහු කොයි තරම් උස මහත ද යත් හලාවත ශාන්ත ජේම්ස් මාවතේ පිහිටි ඔහුගේ මහ ගෙදර හැම උළුවස්සක්ම අඟල් හයක් උස්සන්න පියා වූ ප්‍රකට වෛද්‍යවරයකු වූ බණ්ඩාර වෙද මහතාට සිදුවිය.

නාට්‍ය පරිවර්තනයට, කෙටිකතා නිර්මාණයට රාජ්‍ය සම්මාන ලැබූ ගීත රචනයට, කවියට, ජනශ්‍රුතියට දස්කම් පෑ ගුවන්විදුලි නිවේදකයකු, වැඩසටහන් සම්පාදකවරයකු ආදී තනතුරු දරා රජරට සේවයේ අධ්‍යක්ෂක පදවිය තෙක් හෙතෙම ඉදිරියට ගියේය. ජන සන්නිවේදන ක්ෂේත්‍රය ඔහු හැඳින්වූයේ ^රජරට සේවයේ අත්තප්පා යන ආදර වදනිනි. රජරට සේවයේ මහ ගැමියා අපේ අප්පච්චි යැයි ස්වර්ණ ශ්‍රී ගේ දියණියක් වන සජිලා වරක් හඳුන්වා තිබුණාය. ආචාර්ය ජයලත් මනෝරත්න හඳුන්වා තිබුණේ මහවැලි මිනිසා නොහොත් මහවැලිය ගැන බලාපොරොත්තු තැබූ ස්වර්ණමය මිනිසා කියාය.

මේ අසිරිමත් මිනිසා මට හමුවූයේ 1975 සිංහල නාට්‍ය උළෙලේ සම්මානලාභීන් ගැන සරසවිය පත්‍රයට විශේෂාංගයක් ලිවීමට ගිය අවස්ථාවේදීය. මෙහිදී හොඳම පරිවර්තන රචනය සඳහා සම්මානය දිනාගත්තේ පරිවර්තක ස්වර්ණ ශ්‍රී බණ්ඩාරය. ඒ Samuel Beckett ගේ End Game නම් නාට්‍ය පරපුටුවෝ නමින් කළ පරිවර්තනය සඳහාය. ඊට ප්‍රථම ඔහු 1974 වසරේ මර්තේලිස් වූ විජය නාට්‍ය නිර්මාණයට පුත්තලම් දිස්ත්‍රික්කයේ නාට්‍ය පිටපත් තරගයෙන් මුල්තැන දිනුවේය. ඔහු එය නිෂ්පාදනය කර තිබුණි. සුනිල් පින්තු නිෂ්පාදනය කළ පරපටුවෝ නාට්‍යයට උසස් රඟපෑම උදෙසා සොමී රත්නායකට ද, රමණී එදිරිසිංහට ද හොඳම වේදිකා සැරසිලි සඳහා සුනිල් පින්තුරට ද සහතික පත්‍ර හිමිවිය.

ස්වර්ණ ශ්‍රී බණ්ඩාර යන චිත්‍රපට ගීත රචකයාගේ කුසලතා අපට අසන්නට ලැබෙන්නේ 1965 තිරගත වූ සාමා චිත්‍රපටයෙනි. එහි එන දේවානන්ද වෛද්‍යශේකර තනුව නිර්මාණය කරමින් ගැයූ මේ ස්වර්ණ ශ්‍රී ගේ ගීතයට ජයවිලාල් විලේගොඩ චිත්‍රපට විචාරකයාගේ ප්‍රශංසාව හිමි වී තිබුණි.

ආශා දෑසින් දකිනා සිහිනේ
මිහිර මැකී යනවා
ඒ සිහිනේ පුතු තනිකම ඉපදී
හද තුළ තෙරපෙනවා

ආ මග දෑලේ පිපි මල් පරවී
නෑ පල හට ගන්නේ
සිතුවිලි මී මැසි පොදි නැත මී බැඳි
උන්මය රිදවන්නේ

ආශා දෑසින් පැතුමේ වරපට
ගිලිහී බිම වැටිලා
දෛවයෙ ගොනු ඇද ජීවන ගැල ගෙන
ආ මග දිග යනවා
ඈත අතීතයේ සිහින මැදින් යළි
ජීවනයට යනවා

ස්වර්ණ ශ්‍රී දේශීය වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ එකට ඉගෙන ගත් වෛද්‍ය ශිෂ්‍යයකු වූ දේවානන්ද වෛද්‍යශේකරයන් නිසා සාමා චිත්‍රපටයේ ගීත රචනය කොට ඇත.

ස්වර්ණ ශ්‍රී මුලින්ම අමරදේවයන්ට ගීත රචනා තැපෑලෙන් යවා තිබුණි. ඔහු කිසිදා හමු නොවූ අමරදේවයන් මේ ගීත රචනා ගැන ගුවන්විදුලියේ මඩවල එස්. රත්නායකගෙන් විමසා තිබුණි.

මඩේ, මට හොඳ ගීතයක් දෙකක් තැපෑලෙන් ලැබුණා. ස්වර්ණ ශ්‍රී බණ්ඩාර කියලා හලාවත පැත්තේ කෙනකුගෙන්. එයාගේ නිර්මාණ ශක්තිය ඉහළයි. මම ගායනා කරන්න තෝරාගත්තා.

අමරේ, මටත් එයා නිර්මාණ වගයක් එවලා තිබුණා. හඳුනන්නේ නං නෑ. %සව්දම් ටැක්ටරය^ කියන කවි පන්තිය මම %පද්‍යාවලියෙන්^ ප්‍රචාරය කළා විතරක් නෙවෙයි, රේඩියෝ සඟරාවෙත් පළ කළා.

විශ්වාස කරන්න, අමරදේව මහත්තයා මගේ ගීත කිව්වට එතුමා මුලින්ම ගිහින් කතා කළේ ඊට වසර කිහිපයකට පසු තිබූ උපහාර උළෙලකදී. ස්වර්ණ ශ්‍රී සිනාසෙමින් අපට කීවේය

ඔබේ ගම් පළාත කොහේදැයි මම වරක් ඔහුගෙන් ඇසුවෙමි.

අපි වන්නියෙ උන් මහත්තයෝ ඔහු සිනාසෙමින් කීවා මතකය.

හලාවත කන්‍යාරාමයටත්, හලාවත විජය විද්‍යාලයටත් මම මුලින්ම ඉගෙන ගන්න ගියේ. පස්සේ කොළම නාලන්දා විද්‍යාලයේ දිගටම ඉගෙනගෙන දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ගියා. නාලන්දේ මගේ පන්තියේ හිටිය හොඳම යාළුවෝ දෙන්නා දයා අබේසේකර (කරුණාරත්න අබේසේකරගේ බාල සොහොයුරෙකි.) හා බුද්ධදාස බෝධිනායක (පසුව වෛද්‍යවරයෙකි.) 1960 දී මගේ පියා මිය ගියා. මම තාත්තා මෙන් සිංහල වෙද මහත්තයෙක් වෙන්න හිතුවා. ඒ සඳහා මගේ වැඩිමහල් අයියා ශිවපාල බණ්ඩාර (බුදුසරණ පත්‍රයේ හිටපු ප්‍රධාන කර්තෘවරයකු වූ ඔහු ඉසුර සඟරාවේ ආරම්භක කර්තෘ) අනුබල දුන්නා. මට සුමිත්‍රා නමින් සොහොයුරියක් හිටියා.

ආයුර්වේද විද්‍යාලයේ සිටියදීම සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි භාෂා ගැන ප්‍රවීණත්වයක් ලැබූ ඔහු විශ්ව සාහිත්‍යයත් විශ්ව නාට්‍යකරුවන්ගේ කෘති නොතිත් ආසාවෙන් හදාළේය. ඔහු විසින් ලියූ මුල්ම කෙටිකතා සංග්‍රහය වූ අල්මේදලා බෝල ගසති කෘතිය 1975 හොඳම කෙටිකතා කෘතිය ලෙස රාජ්‍ය සම්මාන ලැබීය. සල් මල් නමින් ඔහු දයාරත්න රණතුංග සමඟ ළමා ගීත පොතක් ලියූ කැදැල්ලේ කුරුල්ලෝ නම් යොවුන් නවකතාවක් ද, සති සඳ බලව පද්‍ය ආඛ්‍යානයක් ද, ගැමි දිවිය සහ වප් මඟුල නම් ශාස්ත්‍රීය කෘතිය ද සංහිඳ නම් ජනශ්‍රුති පර්යේෂණ ග්‍රන්ථය ද, සංහිතා ධ්වනිය නම් ආයුර්වේදය පිළිබඳ ලිපි එකතුවක් ද, පරපුටුවෝ නම් අනුවර්තන නාට්‍ය කෘතියක් ද ලියා ඇත. හිටපු රාජ්‍ය ඇමැතිවරයකු වූ ආනන්ද තිස්ස ද අල්විස් විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද පීටර් නොහොත් සයිමන් නොහොත් ජෝන් කෙටිකතාව පරිවර්තනය කොට නව යුගය පුවත්පතේ පළ කළේය.

ස්වර්ණ ශ්‍රී එකල හලාවත පාර්ලිමේන්තු මන්ත්‍රී හා කතානායක ෂර්ලි කොරයා මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස සිට රජරට ගුවන්විදුලි සේවයේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා ලෙස පත්විය. රජරට සේවයෙන් ඔහු ඉදිරිපත් කළ පිලේ පැදුර අතිශයින්ම ජනප්‍රිය විය. පිලේ පැදුරක් එලාගෙන රටේ ලෝකේ ප්‍රශ්න කතා කරන අත්තප්පා ගුවන්විදුලි ශ්‍රාවකයාගේ හිත මිතුරෙක් විය. මේ අත්තප්පා ඊළඟට පහර දේදැයි හටගත් කුතුහලය ඔවුන් තුළ තිබු‍ණේලු.

එක දවසක් මම අනුරාධපුරේ බස් සේවයේ අඩුපාඩු ගැන පිලේ පැදුරෙන් කතා කළා. පහුවෙනිදා අපේ ළමයි බස් එකට නග්ගගෙන නෑ. මං කිව්වා ඇත්ත කතා කරන්න ගියාම ඔහොම තමා. උඹලා පයින් ඉස්කෝලෙට පලයල්ලා. කියලා.
බලිය ගැන ඔහු ඒ දිනවල නව මතයක් ඉදිරිපත් කළේය. නුවර කලාවියේ බලි යාග මැයෙන් විසින් අසූව දශකයේ කළ දේශනයකදී මේ මතය ඉදිරිපත් කළේය.

වරක් මගේ පණ බේරුණේ බලියක් හින්දා. මට මහා භයානක අසනීපයක් තියෙනව කියල දොස්තරල අවුරුදු ගණනක් වෙදකම් කළා. පස්සෙ මමම ගෙදර හඳහන් බලල බලියක් ඇරගත්තා. ලෙඩේ සනීප වුණා. එදා ඉඳල මම බලි ගැන හොයනවා. මම හඳහන් බලන්න ඉගෙන ගත්තා. බොහොම ඉස්සර දවසක මහගම සේකර මට එයාගේ හඳහන දුන්නා බලන්න. මං එදා දැනගත්තා සේකර සම්භාවනාවට පාත්‍ර වන බව.

ස්වර්ණ ශ්‍රී විසින් ගී ලියා ඇත්තේ අතළොස්සකි. ඒ ගී අසා ඇත්තේ හෝ රසවිඳින්නත් ඇත්තේ ද අතළොස්සක් වග ඔහු දැන සිටියේය. එයින් ගී අතළොස්සක් එකතු කොට සුදු මුතු කුඩ යට නමින් ගීත සමුච්චයක් ඔහු එකතු කොට ගීතය පිළිබඳ සටහනක් මැයෙන් අනර්ඝ ලිපියක් ලියා තිබුණි. පසුව එය 1993 දී ආදරණීය බිරිය චූලා රංජනී බටුවන්තුඩාව පළ කළාය. මේ ගී සමුච්චය ඔබටයි කියා ආදරණීය බිරියට පිරිනමා තිබුණි.

ඔබේ දෑස් තෙහිලි පොතින්
කියූ ගී වෑහෙන මොහොතේ
ඔබ හමුවුණි ජීවිතයේ
වසන්තයේ සැඳෑ සමේ

ස්වර්ණ ශ්‍රී විසින් රචනා කළ ගීත අමරදේව, රෝහණ වීරසිංහ, බන්දුල විජේවීර, මේරි නිල්මිණි සොහොයුරිය, අමරා රණතුංග, දේවානන්ද වෛද්‍ය‍සේකර, ගුණදාස කපුගේ, සුනිල් එදිරිසිංහ, නීලා වික්‍රමසිංහ, එඩ්වඩ් ජයකොඩි, කුසුම් හේරත්, රූපා පතිරණ. යාපා එදිරිසිංහ, සනත් නන්දසිරි, මාලනී බුලත්සිංහල, නිර්මලා රණතුංග, කුමුදුනී ගුණවර්ධන හා ප්‍රියන්ති නිර්මලා අබේනායක, රජරට සේවා නවරුල්ල ගායක කණ්ඩායම ගයා තිබුණි. ගී තනු නිර්මාණය කර තිබුණේ අමරදේව, ගුණදාස කපුගේ, රෝහණ වීරසිංහ, දයාරත්න රණතුංග, ජයතිස්ස අලහකෝන්, සනත් නන්දසිරි, එම්.පී. සුගතදාස, කේ.ඒ. ගුණවර්ධන ආදීන්ය. 

ස්වර්ණ ශ්‍රී 1977 දී සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන ලද කෙටිකතා තරගයෙන් ප්‍රථම ස්ථානයට තේරී සම්මාන දිනීය. ස්වර්ණ ශ්‍රී හා චූලි රංජනීට දරුවන් හතර දෙනෙක් වූහ. සජිලා කුමාරි චාරුහාසි, සංඳලි කුමාරි චාන්දනා, සංජීදා කුමාරි චූනනී දියණියන්ය. බාලම පුතා සුජල චමකත් ශ්‍රී චූල ස්වර්ණය.

මේ සොඳුරු මිනිසා, ආදරණීය සැමියා, දයාබර පියා, කල්‍යාණ මිත්‍රයා අව්‍යාජ ගැමියා 1986 දෙසැම්බර් 09 වැනිදා මිය යන විට 46 වැනි වියේ පසුවිය.

ස්වර්ණ ශ්‍රී ගේ වැඩිමහල් දියණිය සජිලා තම පියාගේ ආදරණීය මතකය මෙසේ ආවර්ජනය කළාය.

මගේ අප්පච්චි සංවේදී පුද්ගලයෙක්, ඉවසිලිවන්තයෙක්. අහිංසකයෙක්. රසට කෑම උයන්න හපනෙක්. ඔහු සැමන්වලින් හදන ස්ටූ කරිය හරිම රසයි. ඒකේ කෑම හදන වට්ටෝරුව අපිට කියා දී නැහැ. සිංහල අවුරුද්දට අග්ගලා හා අලුවා හදන්නේ අප්පච්චි. ඒවට අප්පච්චි කිව්වේ %බණ්ඩාර ස්පෙෂල්^ කියල. ඒවා හදනකං අපි එයා ළඟටම වෙලා හිටියා. පුංචි කාලේ අපිව හෝදල, උදේට රසම රස තේ හදල දෙන අප්පච්චි අම්මාට %බෙඩ් ටී^ එක ගෙනියන්න තරම් කාරුණික වුණා. පුංචි කාලේ රූ කළුවර වේගෙන එනකොට අපිව හෝදල පිජාමා කලිසං අන්දල කකුලේ දාගෙන චන්දෝ මා බිළිඳෝ නුඹ නාඩං කියන ගීතය කියමින් අපිව නලවනවා. අප්පච්චි රසට කෑම උයලා අපිට දීල සතුටු වෙනවා. මේවා ඔක්කොම කරන්න අප්පච්චිට විවේකයක් තිබුණාද? කියල අපිට පුදුම හිතෙනවා. අපිව නිදි කරල අප්පච්චි පොත් කියවන්න, පොත් ලියන්න පටන් ගන්නවා කියල අම්මා අපිට කියල තියෙනවා. අප්පච්චි මිය ගිහින් අවුරුදු 35ක් වෙනවා. අප්පච්චිට තවමත් රජරට ජනතාව ආදරෙයි.
මගේ අම්මා චූලා බටුවන්තුඩාවේ 19 වැනි සියවසේ මැද කාලයේ විසූ බටුවන්තුඩාවේ පඬිතුමාගේ පරම්පරාවෙන් එන ඥාතිවරයෙක්. මං අහගෙන අප්පච්චි කියනවා බටුවන්තුඩාවේ පඬිවරයා (1819 – 1892) සිංහල, සංස්කෘත, පාලි උගත්, පැරණි පොත් සංස්කරණය කළ එවකට ඉංග්‍රීසි ආණ්ඩුව පිළිගත් උගත් පඬිවරයෙක් කියල හඳුන්වල තියෙනවා කියල.

අප්පච්චි මිය ගියාට පස්සේ අපි (දරුවන් හතරදෙනා) ආදරයෙන් රුක බලාගෙන අම්මා අපිට ඉගැන්වුවා. උස් මහත් කළා. අම්මා අද මිණිපිරියන් දෙදෙනකු හා මුණුපුරන් දෙදෙනකුගේ අත්තම්මා කෙනෙක්. අපේ දුක සැප සොයා බලන රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සේන නානායක්කාර (සේන අයියා) අප්පච්චිගේ ගුණ සමුරුවක් ලබන වසරේ පවත්වන්න මහන්සි වෙනවා රජරට අප්පච්චිගේ හද බැඳගත් අය සමඟ. සේන නානායක්කාර අයියා කවදා හෝ මහාචාර්යවරයෙක් වෙනකං අප්පච්චි බලං හිටියා. ඒ අවස්ථාව බලන්න අප්පච්චිට වාසනාව ලැබුණේ නෑ. සජිලා දියණිය අපට පැවසුවාය.

තම දරුවන්ට මෙන්ම අනිත් දරුවන්ටත් සම මෙත් දැක්වූ ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන්ට රජරට ජනතාවගේ උපහාරය නිබඳව ලැබෙනු ඇති.