ලෝක සෞඛ්‍ය සංවිධානය හා ශ‍්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශය 2015 වසරේදී බෝ නොවන රෝග සඳහා අවදානම් සාධක සෙවීම සඳහා සිදුකරන ලද සමීක්ෂණ වාර්තාවකට අනුව අවුරුදු 18ත් 69ත් අතර වයසේ පසුවන්නන්ගෙන් දුම්පානය කරන ප‍්‍රමාණය 15%ක් පමණ වන බව අනාවරණ විය. දිනපතා දුම්පානය කරන්නන්ගේ සංඛ්‍යාව 10.2%ක් වූ අතර සමස්ත පිරිමි ජනගහණයෙන් 29.4% ක්ද කාන්තාවන් 0.1%ක්ද දුම්පානයට යොමු වී ඇති බව වාර්තා විය. දුම්පානය සඳහා භාවිතා කරන නිෂ්පාදනයන්ගෙන් 91%ක් සිගරට් වන අතර 8%ක් බීඩිය’
දුම්පානය හා මද්‍යසාර භාවිතයට ඇබ්බැහිවූවන් ඉන් මුදාගැනීම සඳහා කැපවී සිටින ආයතනයක් වන්නේ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියයි. දුම්පානය නිසා ශ්‍රී ලංකාවේ දිනකට 60ක පමණ පිරිසක් මිය යන අතර වසරකට එය 22,000ක් පමණ වන බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. දුම්පානයෙන් ජනතාව මුදාගැනීම සඳහා ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව අවම කිරීම අරමුණු කර ගනිමින් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය දුම්වැටි සඳහා මිල සූත්‍රයක් පසුගියදා රජයට ඉදිරිපත් කළේය. පසුගිය අයවැයෙන් පසු දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ දැමිණි.
ලෝකයේ වැඩියෙන්ම වළක්වාගත හැකි මරණ සිදුවීමට සෘජුවම බලපාන්නේ දුම්වැටියයි. දුම්වැටි නිසා ලෝක ජනගහනයෙන් වසරකට මිලියන 8ක් අකාලයේ මිය යනවා. ලංකාවේ වසරකට 22,000ක් මිය යනවා. එමෙන්ම දුම්කොළ කර්මාන්තය හරහා මේ රටේ තිබෙන මුදල් අති විශාල වශයෙන් විදේශයනට ඇදී යනවා. දුම්පානය අවම කිරීම සඳහා අපි දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ අනුව දුම්වැටියක මිල තීරණය කිරීම සඳහා විද්‍යාත්මක සහ විනිවිද භාවයකින් යුක්ත මිල සුත්‍රයක් අපි රජයට ඉදිරිපත් කළා. මම විශ්වාස කරනවා රටේ දිළිඳු බව වැඩිවෙන්න දුම්වැටිය හේතුවක් කියලා. දුම්වැටියක මිල ඉහළ දැමීම ඒවා භාවිතය අවම කිරීමට සුදුසු වඩාත් සරලම ක්‍රමය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වනවා. ඒ අනුව වාර්ෂිකව මිල ඉහළ යෑමේ මිල සූත්‍රයක් අපි හඳුන්වා දුන්නා.* යැයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
එම මිල සූත්‍රයට අනුව, සෑම වසරකම දුම්වැටියක මිල ඉහළ යන අතර තව වසර 4ක් 5ක් පමණ ගතවන විට සිගරුට්ටුවක මිල රු 20ක් කින් පමණ වැඩිවන බව ඔහු පෙන්වා දෙයි. මේ මිල සූත්‍රය ඉදිරිපත් වුණු දවසේ සිට මේ රටේ දුම්වැටි තිබෙන තාක් හැම අවුරුද්දකම දුම්වැටියේ මිල ඉහළ යනවා. පාරිභෝගිකයාට මිලදී ගන්න බැරි මට්ටම දක්වා අපි දුම්වැටියේ මිල ඉහළ දානවා. දුම්වැටි මිලදී ගැනීම අධෛර්යමත් කිරීම සඳහා මෙලෙස මිල සූත්‍රයක් ඉදිරිපත් වූයේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. මෙය ඓතිහාසික පියවරක්. දුම් උරන පාරිභෝගිකයෝ අඩු වෙනවා. රටේ අකාලයේ මිය යන සංඛ්‍යාව අවම වෙනවා. අපේ රටේ මහජන සෞඛ්‍යය ඉහළ තැනකට ඔසවා තැබීමට හැකිවෙනවා. එමෙන්ම මිල සුත්‍රයෙන් ලංකා ආණ්ඩුවට වැඩි ප්‍රතිශතයක් බදු ලෙස එකතු වෙනවා*යි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව සිගරට් මිල සූත්‍රය හේතුවෙන් දැනට දුම්වැටිවලින් ලැබෙන රුපියල් බිලියන 101ක් වන බදු ආදායම 2026 වසර වනවිට බිලියන 136 දක්වා වැඩිකරගැනීමට හැකිවනු ඇත.
දුම්පානය රෝග රුසකට හේතුකාරකයකි. අධි රුධිර පීඩනය, පෙනහළු පිළිකා, හෘදයාබාධ, දියවැඩියාව, ස්වසන රෝග වැනි බෝ නොවන රෝග ඇතිවීමට දුම්වැටි භාවිතය ඉවහල් වේ. ඒ හැර වෙනත් අතුරු ආබාධ රුසක්ද එමගින් නිර්මාණය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. දුම්වැටි භාවිතය හේතුවෙන් සෑම තත්පර 4කට වරක් පුද්ගලයකු මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවල සඳහන්ය. බෝ නොවන රෝග හේතුවෙන් ඇතිවන විවිධ රෝගී තත්ත්වයන් ඉස්මතුවීමෙන් වාර්ෂිකව මිලියන 56.9ක් පමණ මරණයට පත්වේ. ඉන් මිලියන 8ක් පමණ මිය යන්නේ දුම්කොළ භාවිතය හේතුවෙනි. තවත් මිලියනයක පමණ පිරිසක් වෙනත් අය දුම්පානය කිරීම නිසා එම දුම ආග්‍රාහණයෙන් සිදුවන වක්‍ර දුම්පානය හේතුවෙන් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවට අනුව තමන් දුම්පානය නොකරන නමුත්, ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් 4 දෙනකුගෙන් එක් අයෙක් තම සේවා ස්ථානයේදී මෙන්ම නිවෙස්වලදීද දුම්පානයට නිරාවරණ වේ.
ශ්‍රී ලංකාවේ දුම් පානය කරන පිරිස මිලියන 3ක් පමණ වේ. ජාතික ආදායමෙන් 12%ක් පමණ දුම්වැටි සහ මද්‍යසාර අලෙවියෙන් රජයට හිමි වුවද, ජාතික ආදායමෙන් 22% කටත් වඩා වැඩි ප්‍රමාණයක් වැයවන්නේ ඒවා භාවිතයෙන් ඇතිවන රෝග වැළැක්වීමටය. විවිධ රජයන් හා සෞඛ්‍ය අංශ කාලයක සිට දුම්පානය අධෛර්යමත් කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග හඳුන්වා දීමට පියවර ගත්තේය. පොදු ස්ථානවල, ආපනශාලා හා පොදු ප‍්‍රවාහනය තුළ දුම්වැටි භාවිතය තහනම් කිරීම හා පාසල් අසල දුම්වැටි අලෙවිය තහනම් කිරීම එවැනි ක්‍රියාය. පසුගිය රජය සමයේ දුම්වැටි සඳහා වන එකතු කළ අගය මත අය කෙරෙන (වැට්) බද්ද උපරිම මට්ටමට ඉහළ දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර තිබිණි. එමෙන්ම දුම්කොළ සමාගමට කිසිදු සහනයක් ලබා නොදෙන ලෙසටත්, දුම්කොළ ප්‍රවර්ධනය කිරීම සඳහා කිසිදු පියවරක් නොගන්නා ලෙසත් ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයාට දන්වා තිබුණේ මෙරට දුම්වැටි භාවිතය අවම කිරීමේ ක්‍රියාමාර්ග ලෙසිනි.
ශ්‍රී ලංකාවේ දුම්වැටි සඳහා වන නම්‍යතාවය” නමින් දුම්කොළ බදු ප්‍රතිපත්තිය පිළිබඳ වාර්තාවක් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය මගින් පසුගිය වසරේ නිකුත් කළේය. දුම්වැටියක මිල 10% කින් ඉහළ දැමුවහොත් දුම්පානය 8% කින් පමණ පහළ යන අතර 2023 වසරේදී බිලියන 37 කින් රජයේ ආදායම ඉහළ යනු ඇතැයි එම වාර්තාවේ සඳහන් විය. මෙම බදු හෝ මිල කිරීම සිදුවිය යුත්තේ උද්දමනයට අනුව බවත් ඒ හේතුවෙන් 2023 වසර වනවිට දුම්කොළ භාවිතයෙන් සිදුවන මරණ සංඛ්‍යාව විශාල ලෙස අඩු කරගත හැකි බවත් එම වාර්තාවේ සඳහන් විය.
&ගෝලීය දුම්කොළ උවදුර* නමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පළකළ වාර්තාවකට අනුව මිලදී ගැනීමේ හැකියාව අනුව ඉහළම මිලකට දුම්වැටි අලෙවි කරන රට ශ්‍රී ලංකාවය. ලංකාවේ දුම්වැටි පැකට්ටුවක සිල්ලර මිල ඇමරිකානු ඩොලර් 6.16 වනවිට තායිලන්තයේ ඇ.ඩො. 2.47ක් සහ ඉන්දියාවේ ඇ.ඩො. 2.36 වේ. එය පිරිවැයෙන් 80%ක බදු ප්‍රමාණයක් වන අතර තවදුරටත් කලාපයේ ඉහළම මිලද වෙයි. නව මිල සූත්‍රය අනුව මෙම මිල වසරින් වසර තවදුරටත් ඉහළ යන අතර දරුණුවට ඇබ්බැහි වූ පුද්ගලයන් හැර සෙසු පිරිස් දුම් පානයෙන් ඉවත් වීමට ඇති ඉඩකඩ වැඩිය.
පසුගිය කාලයේ දුම්වැටි අලෙවිය 14%කින් පමණ පහත වැටී ඇතැයි වාර්තා විය. විශේෂයෙන් තරුණ පිරිස් දුම්පානයට යොමුවීම අවම වී ඇති බව පෙනෙන්ට තිබේ. නව මිල සූත්‍රය හඳුන්වා දීමට අමතරව 2006 අංක 27 දරණ දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත වර්තමානයට ගැළපෙන අයුරින් සශෝධනය කිරීමටද තීරණය වී තිබේ. ඒ අනුව දුම්වැටි සිල්ලර අලෙවිය, පොදු ස්ථානවල දුම්පානය ආදි කරුණු රුසක් සම්බන්ධයෙන් අදාළ පනත් සංශෝධනය කිරීමටත්, දැඩි නීතිරීති ගෙන ඒමටත් නියමිතය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා