මේ රටේ දූෂණ වංචාවල තොරතෝංචියක් නැත. කතාවට කියන්නේ දූෂණ වංචාවට කප් ගසා ඇති බවය. දූෂණ වංචාව කෙතරම් මේ රටේ පුදුමය ගෙන දෙන්නක්ද යන්න හොඳම උදාහරණය වන්නේ හැම පාලකයාගේම, හැම ආණ්ඩුවේම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටු දෙක තුනක්ම වෙන්වී ඇත්තේ මේ දූෂණ වංචා මකා දමන බවට වන පොරොන්දුය. ඒ තරමට දූෂණ වංචා නැති කිරීම මේ රටේ හීනයක් වී ඇත.
කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ ආණ්ඩුවේ නිලධාරීන් සහ ආයතන සම්බන්ධයෙන් දූෂණ වංචා සොයා බැලීම සඳහා පත්කළ කමිටුවකදී පසුගියදා හෙළිවුණු තවත් අමු දූෂණ වංචාවක් ගැනය. ඒ රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් පෙනී සිටි අවස්ථාවේය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහා නිලධාරීන් 29 දෙනෙකු බඳවා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ ඇස් වසා අනුමැතිය ලබාගෙන ඇති බවත් ඉන් හත් දෙනෙකු මේ වනවිටත් බඳවාගෙන ඇති බවත් පසුගියදා කෝප් කමිටුවේදී හෙළිවිය. මෙහිදී නියෝජ්‍ය අධ්‍යක්ෂවරැ දෙදෙනකු බඳවා ගෙන ඇති අතර ඔවුන් දෙදෙනාගේ මාසික වේතනය දාහත් ලක්ෂ අනුදහසක් වන බවද මෙහිදී හෙළිවිය.
පුදුමය නම් එපමණක් නොව විධායක අධ්‍යක්ෂවරැන් සිව් දෙනකු සඳහා රැපියල් තිස් එක් ලක්ෂ අසූදහසක් ගෙවා ඇති බවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු සඳහා රැපියල් අට ලක්ෂ විසිදහසක මුදලක් වශයෙනුත් වේතන ලබාගෙන ඇති බව මෙහිදී වැඩිදුරටත් අනාවරණය විය. මෙහිදී තවත් තොරතුරක් අනාවරණය වූ අතර ඒ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහා එම මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක් 2020-2021 සඳහා උපදේශකවරියක් ලෙස බඳවාගෙන ඇයට රැපියල් කෝටියකට අධික මුදලක් ගෙවා ඇති බවය. ඇයට එක් මාසයකදී පමණක් රැපියල් ලක්ෂ දහයක මුදලක් ගෙවා ඇත.
පුදුමය නම් රටේ විශාල ආර්ථික ගැටලුවක් උද්ගත වී තිබියදී මේ ආකාරයෙන් වැටුප් ලබාගෙන තිබුණේ කෙසේද යන්නය. තුණ්ඩු කෑලි උඩ දමා වැටුප් තීරණය කර ඇතිද යන්න සැබවින්ම සැකයට තුඩුදෙන කරැණකි. ඊටත් වඩා ගැටලුව වන්නේ මේ ආකාරයෙන් වැටුප් ලබා ගැනීමේදී යම් සොයා බැලීමක් හෝ අධීක්ෂණයක් මේ සම්බන්ධයෙන් සිදුවුවේද නැද්ද යන්න ගැනය. කෝප් කමිටුවේ හෙළිවන කරැණු අනුව නම් කිසිවකු මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබුණේ නැත. එසේනම් මේ ආකාරයෙන් රටේ මහජන මුදල් තම තමන්ට ඕනෑ ආකාරයෙන් භාවිතා කළ හැකි නම් රටේ පාලකයන් තවදුරටත් අවශ්‍යද යන්න මහජනතාව ලෙස අපට ප්‍රශ්නයක් ඇතිවනු ඇත.
මේ අතර කෝප් කමිටුව හමුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ තවත් දූෂණයක් අනාවරණය විය. ඒ විධිමත් ව්‍යාපෘති සැලැස්මකින් හා විධිමත් ගෙවීම් සැලැස්මකින් තොරව ව්‍යාපෘති සඳහා විවිධ අවස්ථාවලදී එක් එක් ආයතන සඳහා රැපියල් කෝටි 335කට අධික මුදලක් ගෙවා තිබීමය. ඉන් කෝටි 230 ක් මිල්ලනිය අපනයන සැකසුම් කලාපය වෙනුවෙනුත් අනෙක් කෝටි 105 බිංගිරිය අපනයන සැකසුම් කලාපය වෙනුවෙනුත් වැය කර ඇති බව අනාවරණය විය. විශේෂයෙන් මිල්ලනිය අපනයන සැකසුම් කලාපය ගොඩනැගූ භූමිය සම්බන්ධයෙන් ඇති ගැටලුව නිසි ලෙස නිමාකරගෙන නැති මොහොතක පවා මේ ආකාරයෙන් මුදල් වෙන්කිරීම ගැන මෙහිදී කෝප් කමිටුව තුළ දීර්ඝ ලෙස සාකච්ඡා විය.එසේ තිබියදී මිල්ලනිය ඉඩම අත්පත් කර ගැනීම සඳහා මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා රැපියල් මිලියන 91.61ක මුදලක් ගෙවා ඇති අතර යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සේවා ආයතනය වෙනුවෙන් මිලියන 2088.39ක මුදලක් ගෙවීම සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න කළේය. ගිවිසුමකට ඇතුළත් වීමකින් තොරව යටිතල පහසුකම් සඳහා මෙලෙස විශාල මුදලක් වැය කළේ කෙසේද යන්න කෝප් කමිටුවේ සභාපති චරිත හේරත් මහතා විමසා සිටියේය. එහිදී ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා සඳහන් කර සිටියේ දැනමටත් අදාළ ගිවිසුම් සඳහා එළඹ ඇති බවය.
මෙහිදී කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා අදාළ රේඛීය අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කර සිටියේ මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් වියදම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් මාස තුනක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙසය. විශේෂයෙන් බිංගිරිය ආයෝජන සැකසුම් කලාපය සඳහා ප්‍රවේශ වෙන මාර්ග ඉදිකිරීම් මන්දගාමී වීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කළේය.
මේ අතර 2020 වසරේ දෙසැම්බර් 31 වැනි දිනට මණ්ඩලයට අයත් අපනයන සැකසුම් කලාප හා කාර්මික උද්‍යාන 12ක වසාදමන ලද හෝ අත්හිටුවන ලද හෝ ගිවිසුම් අවලංගු කර හෝ ව්‍යාපෘති සංඛ්‍යාව 484ක් බවද කාරක සභාවේදී අනාවරණය විය. මෙහිදී කැබිනට් මණ්ඩලය නොමග යවා නිලධාරීන් හත්දෙනකු බඳවා ගැනීම සම්බන්ධයෙන් කරැණු විමසා සිටි අතර එලෙස සිදුකරන බඳවා ගැනීම හරහා ආයතන අභ්‍යන්තරයේ ගැටුම් ඇතිවන බව කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා අවධාරණය කරනු ලැබීය.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් රටේ මහජන මුදල් කාබාසිනියා කිරීම සම්බන්ධයෙන් කිසිවකුට සමාවක් දිය යුතු නැත. විශේෂයෙන් තමන්ට ඕන ඕන ආකාරයෙන් වැටුප් ලබාගන්නත් පුද්ගලයන් බඳවා ගන්නවත් කිසිවකුට හැකියාවක් නැත. වක්කඩේ කඩාගෙන ගියා සේ මෙලෙස මහජන මුදල් වියදම් කිරීම ගැන නිතර සොයා බැලිය යුතු වුවත් ඔවුන් කෝප් කමිටුවට කැන්දන තෙක් මෙවැනි පත්කිරීම් ගැන කිසිවකුගේ අවධානය යොමුවී තිබුණේ නැත. ඒ නිසා මේ ආයතන අයාලයේ ගියා සේය. කෙසේ වෙතත් දැන්වත් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර මේ අකාරයෙන් මහජන මුදල් අවභාවිතා කරන පුද්ගලයන් සහ ආයතන සම්බන්ධයෙන් තීන්දුවක් ගතයුතුමය.
ගයාන් ගාල්ලගේ