පාතාල කල්ලි නායකයකු වූ අංගොඩ ලොක්කා මෙරට පොලීසිය සොයමින් සිටි අයෙකි. පොලිසියටත් නීතියටත් හොරා අංගොඩ ලොක්කා ඉන්දියාවට පළාගොස් තිබුණි. එතෙක් අංගොඩ ලොක්කාගේ පාතාලයත් කුඩු ජාවාරමත් මෙරට මෙහෙයවමින් සිටි ලඩියා අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකි. ලඩියා ඉන්දියාවට පළා ගියේත් එහි සැඟවී සිට තිබුණේත් අංගොඩ ලොක්කාගේ සහාය මතය.
අංගොඩ ලොක්කා හෙවත් මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා ඉන්දියාවේ කොයිම්බතූර්හිදී මරණයට පත්ව තිබුණේ ගිය වසරේ ජූලි 3 වැනිදාය. ඊට හේතුව හෘදයාබාධයක් බවට තහවුරු විය. මරණය වටා හේතු කාරණා රාශියක් කියැවුණද අවසානයේ ඔහුගේ මවගේ ඩී.එන්.ඒ. හා සැසඳීමෙන් පසුව මරණය තහවුරු කෙරිණ. ඒ සඳහා ලංකා රජයද මැදිහත්ව තිබුණි. කෙසේ වුවද අංගොඩ ලොක්කාගේ මරණයෙන් පසුව ඔහුගේ සමීපතමයා වූ ලඩියා පිළිබඳව ආරංචියක් නොවීය.
අංගොඩ ලොක්කාගේ අනියම් බිරිය බව කියන්නේ අමානි දාන්ජිය. අංගොඩ ලොක්කාට රැකවරණය ලබාදුන් බව කියන්නේ නීතිඥවරියක වන සිවකාමි සුන්දරීය. දයනේස්වරන් ඇයගේ හිතවතෙකි. මේ පිරිසගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව හෙළිව ඇත්තේ අංගොඩ ලොක්කා සතුව තිබූ ගිනිඅවිය ඔහුගේ සමීපතමයාව සිටි ලඩියා රැගෙන ගිය බවය. එහෙත් 2020 ජූලි 3 වැනිදාට පසුදා ලඩියා ආගිය අතක් නොවුණේ ඉන්දීය පොලිසියට හෝඬුවාවක් හෝ නොතබමිනි. මේ හේතුවෙන් ලඩියා අල්ලා ගැනීමේ වගකීම ඉන්දීය පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශන අංශය වෙත පවරා තිබුණි.
වසරකට අධික කාලයක් තිස්සේ පැවති කොවිඩ් අවදානම අතරතුර වුවද ලඩියා සොයන මෙහෙයුම ඉන්දීය පොලීසිය අත්හැර තිබුණේ නැත. මේ අතර කාලයේ ඉන්දියානු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශන අංශයේ කොයිම්බතූර් නියෝජ්‍ය පොලිස් අධිකාරී පී. සිවකුමාර් මහතා වෙත ලැබුණු ඔත්තුවකි. ඉන් දක්වා තිබී ඇත්තේ ශ්‍රී ලංකාවේ පාතාල කල්ලි නායකයකු බව කියන අයකු සැඟවි සිටින බවය. වහා ක්‍රියාත්මක වූ නියෝජ්‍ය පොලිස් අධිකාරිවරයා විශේෂ පොලිස් කණ්ඩායමක් බෙංගලූර් ප්‍රදේශය වෙත පිටත්කර යවා තිබුණි. ඒ ඉකුත් 6 වැනිදාය. මේ අතර එරට රහස් පොලිසියේ හා කර්ණාටක පොලිසියේ සහාය ඉල්ලා තිබිණි.
එම පොලීසිවල තාක්ෂණික අංශ නිලධාරීන්ගේ සහාය මත සැකකාර ලාංකිකයා හෙවත් අපරාධකරුවකු වන ලඩියා ඉන්දියාවේ බනස්වාඩ් ප්‍රදේශයේ සැඟවී සිටින බවට තහවුරු කරගෙන ඇත. මේ සඳහා දුරකථන ජාල හා චන්ද්‍රිකා සිතියම් ඇතුළු නවීන තාක්ෂණික මෙවලම්වල සහාය ලබාගෙන තිබුණි. ඒ අනුව ඉන්දියාවේ විශේෂ පොලිස් කණ්ඩායමක් බනස්වාඩ් ප්‍රදේශයේ ගෙයින් ගෙට ගොස් තිබුණේ වෙස්වලාගෙනය. මෙම මෙහෙයුම අතරමැද ඡායාරූපයක් පෙන්වීමෙන් පසුව එය හඳුනාගත් පුද්ගලයකු ලඩියා කොටුකර ගැනීම සඳහා පොලීසියට තොරතුරු සපයා ඇතැයිද වාර්තා විය. එසේ උදව්කර තිබුණේ ගෘහ සේවකයෙකි. පොලිසියට සහාය දැක්වූ ගෘහසේවකයාගේ උදව් අනුව සැකකටයුතු මහල් නිවාස සංකීර්ණයක් පරීක්ෂාවට ලක්කර ඇත. එහිදී පාතාල සාමාජික ලඩියා අත්අඩංගුවට ගැනීමට එරට රහස් පොලිසිය සමත්ව තිබුණි.
ඉන්දීය රහස් පොලිසිය සමඟ වසරකට වැඩි කාලයක් හැංගිමුත්තන් සෙල්ලමේ සිටි ලඩියා ශ්‍රී ලංකා පොලිසියටද අවශ්‍යව සිටි අපරාධකරුවෙකි. මොහුට ඉන්දියාවේ සැඟවී සිටීම සඳහා නවාතැන් සපයා තිබුණේ ජයපාල් හෙවග් ටී. ගෝපාල් ක්‍රිෂ්ණන් නැමැත්තෙකි. 46 හැවිරිදි එම සැකකරුද අත්අඩංගුවට ගෙන සිටී. මෙසේ ලඩියා සැඟවී සිටි නිවස ගෝපාල් ක්‍රිෂ්ණන්ගේ සොහොයුරියට අයත් එකක් බවද හඳුනාගෙන තිබුණි. අත්අඩංගුවට ගත් 38 හැවිරිදි ලඩියා සහ ගෝපාල් ක්‍රිෂ්ණන් යන සැකකරුවන් ඉන්දීය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පොලිස් භාරයේ රඳවා තබා ප්‍රශ්න කිරීමට නියෝග ලබාදී ඇත.
අංගොඩ ලොක්කාගේ ප්‍රධානම ගෝලයා වූ ලඩියා කළුතර එතනමඬල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පාතාල නායකයකුව සිටි රණාලේ සමයං ඇතුළු 7 දෙනකු ඝාතනය කළ සිද්ධියේ චූදිතයෙකි. එම ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව අංගොඩ ලොක්කා හා ලඩියා දෙදෙනාම බෝට්ටුවක නැගී ඉන්දියාවට පළාගොස් තිබුණි. එම සිදුවීම 2017 වසරේ එකකි. එදා පටන් අද දක්වා වසර 4ක් ලඩියා ඉන්දියාවේ සැඟවී සිට තිබුණි.
මොවුන් දෙදෙනා ඉන්දියාවට ගිය පසුව ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර දෙකක් භාවිත කර ඩුබායි බලා යාමට උත්සාහ කිරීමේදී චෙන්නායි ගුවන් තොටුපළ බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූ බවද කියැවිණි. එම වරදට මාස කිහිපයක් චෙන්නායි බන්ධනාගාරයේ රඳවා සිට ඇප මත මුදාහැරි බවද වාර්තා විය. එදා පටන් නැවත මෙරට පාතාල ක්‍රියාකාරකම් සිදුකිරීමට කටයුතු කළ මොවුන් ඉන්දීය පුරවැසියන් වශයෙන් පෙනී සිට තිබුණේ සිය නම් පවා වෙනස් කරමිනි.
දිනමුල්ල කංකානම්ලාගේ නලින් චතුරංග හෙවත් අතුරුගියේ ලඩියාට අයත් බව කියන බස් රථ තුනක් මීට ඉහතදී අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ලේලන්ඩ් වර්ගයේ බස් රථ එකක් සමග සුඛෝපභෝගී කුඩා බස් රථ දෙකක් ඒ අතර විය. අතුරුගිරිය පොලිසියේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අතුරුගිරිය ජයන්ති මාවතේ ලඩියාගේ ගෝලයකු බව කියන අයකු බාරයේ තිබූ බස් රථය පිළිබඳව සෙවීමේදී මෙම බස් රථ තුන හඳුනා ගැණින. මෙම බස් රථය ලඩියා නමට ලියාපදිංචි කර තිබී ඇත. එක් බස් රථයක් නවගමුව ප්‍රදේශයේ ඇඟලුම්හලක ප්‍රවාහනය සඳහා යොදවා තිබූ අතර අනෙක හෝමාගම ප්‍රදේශයේ අයකු නමට මිලට ගෙන තිබී ඇත.
අංගොඩ ලොක්කා සමඟ ඉන්දියාවට පලාගොස් සිටි අතුරැගිරියෙ ලඩියා මෙරට පොලිසියට අවශ්‍යව සිටි අපරාධකරැවකු නිසා ඔහුට ඉදිරියේදී මෙරට පොලිසිය බාරයට ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනු ලබමින් සිටින බවද වාර්තා වේ.
සමන්ත ප්‍රදීප් විල්තෙර