2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

මන්ත්‍රී විශ්‍රාම වැටුප කපන්නද? එපාද?

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 143

මහජන නියෝජිතයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් පිළිබඳ විරෝධාකල්පයක් ජන මනස තුළ ජනිත වූයේ අදක ඊයෙක පටන් නොවේ. එහෙත් මෑතකාලීනව එම විරෝධය උච්චතම අවස්ථාවකට ළඟා වෙමින් පැවතිණි. සමාජ මාධ්‍ය තුළ වූ විරෝධතා එයට කදිම උදාහරණයකි. 2022 අයවැයෙන් මන්ත්‍රීවරයකු විශ්‍රාම වැටුප ලැබීම සඳහා සේවය කළ යුතු කාලසීමාව වසර 10ක් දක්වා දීර්ඝ කළේ ඒ අතරය. මෙය ඒකාබද්ධ අරමුදලෙන් වැටුප් ලබන ජනාධිපතිවරයා ඇතුළු සෑම ධුරයක් සඳහා අදාළ වන බව කියැවිණි. ඒ අනුව හිටපු මැති ඇමැතිවරුන්ගෙන් මෙම තීන්දුව පිළිබඳ විමසා බැලීමට අපි තීරණය කළෙමු.

ආදායම නැති අයට දෙන්න

ලක්ෂ්මන් යාපා අබේවර්ධන - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී 
එක්සත් ජනතා නිදහස් සන්ධානය

උදාහරණයක් හැටියට ගත්තොත් රජයේ සේවකයෙක් විශ්‍රාම යාම වෙනුවෙන් අවුරුදු තිහක හතළියක වගේ සේවා කාලයක් සම්පූර්ණ කරනවා. අපි මහජන සේවකයන්. මහජන සේවකයෝ වැටුප් ලබන අය නෙවෙයි. දීමනා ලබන අයයි. ඒ නිසා මහජන සේවයට ඇවිල්ලා අවුරුදු පහකින් විශ්‍රාම වැටුපක් ලබාගැනීම ජනතා විවේචනයට ලක්වෙනවා. 
සාමාන්‍යයෙන් අවුරුදු දහයක් පහළොවක් විස්සක් මහජන සේවයේ ඉන්න කෙනකුට විශ්‍රාම යාමේදී වෙනත් ආදායම් මාර්ග නැත්නම්, ඔහු සාමාන්‍ය මට්ටමකින් පැමිණි කෙනකු නම් ඔහුට වෙනත් ආදායම් මාර්ග නෑ. එම නිසා එවැනි කෙනකුට විශ්‍රාම වැටුපක් ලබා දීමත් සාමාන්‍යයෙන් සාධාරණයි. ඔහු අවංක මහජන සේවයක් කරපු කෙනකු නම් එය සාධාරණයි. අවුරුදු 5ක් වගේ කාලයක් මහජන සේවයේ ඉඳලා විශ්‍රාම වැටුපක් ලබාගැනීම යුක්තිසහගත නෑ කියලයි මම කියන්නේ. ඒ නිසා විශ්‍රාම කාලය අවුරුදු දහය නෙවෙයි පහළොව කළා නම් ඊටත් වඩා හොඳයි කියලයි මගේ අදහස.

රටේ ආර්ථිකය සංකෝචනය වීමත් එක්ක හැම කෙනකුටම විශාල බරක් දරන්න වෙනවා. එනිසාම ඇත්තවශයෙන්ම දීමනා කප්පාදුව මේ වෙලාවේ කරන්න ඕනෑ. කැපවීම කෙරෙන්න ඕනෑ හැම අංශයකින්ම. දේශපාලනඥයන් විතරක් නෙවෙයි සෑම අංශයකින්ම කැපකිරීමක් කරන්න ඕනෑ. උදාහරණයක් විදිහට ගත්තොත් ඕස්ට්‍රේලියාවේ ජනතාව තමන් හම්බකරන මුදල්වලින් සීයට හැටක් විතර රජයට බදු ගෙවනවා. හම්බකරන ප්‍රමාණය සහ වියදම් කරන ප්‍රමාණය සම්බන්ධව විනිවිදභාවයක් තියෙනවා. අපේ රටේ එහෙම දෙයක් නෑ මේ වෙලාවේ කප්පාදුවක් තියෙන නිසා. ඔය තීරණය සාධාරණයි කියලා මම හිතනවා.

කොහොමවත් විශ්‍රාම වැටුප් එපා!

අජිත් පී. පෙරේරා - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී 
සමගි ජන බලවේගය 

කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හෝ ඇමැතිවරයකුට කවර ආකාරයේ හෝ විශ්‍රාම වැටුපක් සඳහා හිමිකම් නොතිබිය යුතුයි. ඒ අනුව දැනට විශ්‍රාම වැටුප් ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමැතිවරුන්ට හෝ ජනාධිපතිවරුන්ට වගේම අනාගතේ ධූර දරණ අයටත්  විශ්‍රාම වැටුප් සඳහා ඇති හිමිකම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම කළ යුතුයි. මහජන සේවය කරනවා නම් එය පූර්ණ කැපවීමකින් කළ යුතුයි. විශ්‍රාම වැටුප් බලාපොරොත්තු වෙනවා නම් මහජන සේවය නොකළ යුතුයි.
මේ අනුව වසර 10ක් යන කාරණය සුදුසු නොවන බවත් සම්පූර්ණයෙන්ම විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි කිරීම ලෙස එය සංශෝධනය වීම සුදුසු බවත් මම විශ්වාස කරනවා. රටේ ආර්ථිකය හොඳ වුණත් නරක වුණත් දේශපාලනඥයාට විශ්‍රාම වැටුප් නොතිබිය යුතුයි යන්න තමා මගේ අදහස. තමන් රුකියාවක් කරලා  හරි හම්බ කරලා ඊට අමතරව තමන්ගේ ශක්තිය දේශපාලනය වෙනුවෙන් කැප කරන්න කැමති නම් පමණයි දේශපාලනයට පැමිණෙන්න අවශ්‍ය. එසේ නොමැතිව රස්සාවක් කියලා හිතලා දේශපාලනය කරන අයට දේශපාලනය තුළ අවස්ථාව තිබිය යුතුයි.

කොහොම වුණත් ආණ්ඩුව අයවැයේදී සිදු කළ ප්‍රකාශය රුවටීමක් පමණයි. මෙය ජනතාව රවට්ටන්න, හිත සනසන්න භාවිත කරපු උපාය මාර්ගයක්. අයවැය යෝජනාවකින් පමණක් මෙය කරන්න බෑ. ඒ සඳහා පනත් දෙකක් සංශෝධනය කළ යුතුයි. ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් පනත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම අවශ්‍යයි. ඒ කටයුතු මේ ආණ්ඩුව කරන්නේ නෑ. ඉස්සරහට කාටවත් කරන්න දෙන්නෙත් නෑ. 

වත්කම බලලා විශ්‍රාම වැටුප දෙන්න

පාලිත තෙවරප්පෙරුම - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂය

අපි ඇවිල්ලා බොහොම අමාරුවෙන් ජීවත්වෙන මිනිස්සු. දේශපාලනයට ඇවිල්ලා තියෙන දේවල් විකුණලා තමයි පාර්ලිමේන්තුවට ගියේ. අපි විශ්‍රාම වැටුපක් බලාපොරොත්තුවෙන් ගියේ නෑ ඇත්තටම. දැනුත් මට රුපියල් තිස් දහස් ගණනක් හම්බවෙනවා. ඒක ලයිට් බිල ගෙවන්නත් මදියි. 

මම කියන්නේ මේ විශ්‍රාම වැටුප දෙන්න ඕන පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ වත්කම් බලලා. කෝටි ප්‍රකෝටි ගණන් තියෙන මිනිස්සු ඉන්නෙ සීයට අනූ නමයක්ම. පාර්ලිමේන්තුවේ එක්කෙනයි දෙන්නයි ඉන්නේ ජීවත් වෙන්න අමාරු කට්ටිය. දයා ටී. පැස්කුවෙල් මහත්තයා හිටියා. අවුරුදු එකසිය ගාණක් ජීවත් වුණා. අවසානයේ ජීවත් වුණේ පින් පඩියෙන්. ඒකෙනුත් ළමයින්ට ඉංග්‍රීසි ඉගැන්නුවා. ඒ වගේ විශ්‍රාම වැටුප ඕන කරන මිනිස්සු ඉන්නවා. 
අපි හොරකම් කරලා නෑ. අනුන්ගේ දේවල් අරගෙන නෑ. ඇඟේ හයිය තියෙන කාලෙ දේශපාලනය කරලා ගෙදර ඇවිල්ලා හිටියාම ආදායම් මාර්ගයක් නෑ. දැන් බලන්න නිදහස් අධ්‍යාපනයේ පියා කන්නන්ගර මහත්තයට සිද්ධ වුණ දේ. මම කියන්නේ මේක දෙන්න ඕනෑ මිනිස්සුත් ඉන්නවා. නොදෙන්න ඕනෑ මිනිස්සුත් ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් බලල තමයි විශ්‍රාම වැටුප දෙන්න ඕනෑ.

මේක විහිළු යෝජනාවක්

සුනිල් හඳුන්නෙත්ති - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
ජනතා විමුක්ති පෙරමුණ 

මාර මැජික් එකක් කරලා පෙන්නුවා මේ රටේ තියෙන ආර්ථික අර්බුදය අපිත් කරට ගත්තා කියලා. ඒක විහිළුවක්. අපි කියන්නේ මදියි කියලා. අහෝසි කරන්න කියලා. 2021 දී ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු විදිහට අපි පාර්ලිමේන්තුවට පෞද්ගලිකව මන්ත්‍රී යෝජනාවක්ම ගෙනාවා. රාජ්‍ය සේවකයන්ට අවුරුදු හැට පහෙන් විශ්‍රාම යාමට සලස්වනවා. ඕගොල්ලෝ අවුරුදු පහෙන් ගන්න එක අහෝසි කරන්න කියලා කිව්වා. 
මන්ත්‍රීවරු විශ්‍රාම වැටුප් ගන්න ක්‍රමය අහෝසි කළ යුතුයි. පාර්ලිමේන්තුවට එන්නේ මහජන සේවකයෙක් විදිහට නම්, ඔහු ලබන්නේ වැටුපක් නෙවෙයි දීමනාවක් නම්, ඔහු ඇවිල්ලා ඉන්නේ ස්වේච්ඡාවෙන් සේවය කරන්න නම් මොකටද විශ්‍රාම වැටුපක්. එදා ඔය දෙගොල්ලොම එකතුවෙලා තමයි පැරුද්දුවේ විශ්‍රාමික ජනාධිපතිවරු ඇමැතිවරුන්ට ලබා දෙන නඩත්තු වියදම අයින් කරන්න කියලා අපි ගෙනාපු යෝජනාව. 

මන්ත්‍රීවරු වැටුප් ලබනවා නම්, මන්ත්‍රීවරුන්ට වෙනම රක්ෂණ ක්‍රමයක් තියෙනවා නම්, ඇයි ජනාධිපති අරමුදලින් සල්ලි ගන්නේ බෙහෙත් ගන්න. ඒවා තමා අහෝසි කරන්න තිබුණේ. බැසිල් රාජපක්ෂ මහත්තයලට නායකයෝ විදිහට කරලා පෙන්නන්න තිබුණේ ඒ දේවල්. ඔහු තිබුණේ වාහන පර්මිට් ගන්න එක නතර කරන්න. යුද්ධයක් නැති කාලේ ආරක්ෂකයෝ පසු ගමන් රථ පිරිවරාගෙන යන එක නවත්තන්න.