මේ වනවිට කොවිඩ් නැවත පෙරළිකාර ඉහළ යාමක් පෙන්වයි. නොවැම්බර් 09 දා සිට නොවැම්බර් 15 දක්වා දින 07ක කාලය තුළ පමණක් ආසාදිතයන් 700ට ආසන්නව වාර්තා වී තිබේ. දැන් ඒ මායිමද පන්නමින් රෝගීන් වාර්තා වෙයි.
09 දායින් ඇරුඹුණු පසුගිය සතියක කාලය තුළ 5000කට ආසන්න (4994ක්) සංඛ්‍යාවක් රෝගීන් වාර්තා වී ඇත.
රට විවෘත කිරීමත් සමග ඇති වූ නිදහස අයාලේ, හිතුමතේ අපරික්ෂාකාරී ලෙස බුක්ති විඳින්නට යාමේ ප්‍රතිඵලයක් ලෙස කොවිඩ් ආසාදනය පැතිරීම ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ය. රට විවෘත කළ සැණින් සියලු රෝග නිවාරණය වූවා යැයි සිතා මූලික සෞඛ්‍ය ආරක්ෂණ විධි පවා නොතකමින් හිතුමතයේ ගමන් යාම, අයුතු ලෙස එක්රුස් වීම වැනි ක්‍රියා නිසා කොවිඩ් නැවත පැතිරීමට පහසු පරිසරයක් සකස් කර දී ඇත්තේද තමන්ම බව හොඳින් කරුණු සලකා බලද්දි වැටහෙනු ඇතැයි ඔහු පෙන්වා දෙයි. මේ යන තත්ත්වය යටතේ දෛනික රෝගීන් දහස දක්වා හෝ ඊට වැඩියෙන් වාර්තාවන අවස්ථාවක නැවතත් සංචරණ සීමා දැඩි ලෙස පනවන්නට සිදුවනු ඇතැයි ඔහු අණතුරු ඇඟවීය.
පොද්ගලික ඕනෑ එපාකම්, වැරුදි ආකල්ප සහ වැරුදි අවබෝධයන් නිසා සිදුවන පෙළඹවීම වැනි හේතු මත දැන් සිදුවන ජන ඒකරාශිවීම් සමස්ත ජනතාවම නැවතත් පීඩාවට පත්කරන ලොක්ඩවුන් සමයකට පාර කපනා බව ඔහු පෙන්වා දෙයි.
සෞඛ්‍ය බලධාරීන්ද පෙන්වා දෙන පරිදි දැනට මේ වනවිට ඇති හොඳම විකල්පය නම් රට වහාම වසා දැමීමයි. ඒ මගින් කොවිඩ් පැතිර යාමේ වේගය නැවත් වතාවක් අඩාල කරගන්නට හැකිවනු ඇත. ඒ සඳහා බොහෝ අය උපදෙස් දෙනුද දක්නට හැකිය. නමුත් එසේ රට වසා තැබීම නිසා රටේ ආර්ථිකයේ ඇතිවන ධාරානිපාත පසු බෑමේ අනිටු පල විපාක විඳින්නටද සිදුව ඇත්තේ පොදු මහ ජනතාවටමය. මේ වනවිට පසුගිය කාල සීමාවේ රට වසා තැබීම හේතුවෙන් ඇතිවූ ආර්ථික පසුබෑම තදින්ම ජනතාව පෙළන්නට ගෙන හමාරය. රටේ සෑම දෙයක්ම මිල වැඩි වෙමින් ඇති අතර ආහාර, බෙහෙත්, රෙදි පිළි, ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක්ද ඇතිවෙමින් තිබේ. තවදුරටත් රට වසා තැබුවහොත් එය ගොඩ ඒමට නොහැකි ආර්ථික ආගාධයකට ඇද වැටෙනු ඇත.
රට වසා තැබීම ඇතැමුන් වැරුදි ලෙස වටහා ගන ඇතැයි වෛද්‍ය හේමන්ත හේරත් පෙන්වා දෙයි. මාසික ඉපැයීම් කරන අයට මෙය අපූරු නිවාඩු සමයක් සේ හැඟීගොස් තිබෙනවා වන්නට හැකිය. නමුත් දෛනික ආදායම් උපයන්නන් හට නම් මෙය කබලෙන් ලිපට වැටීමේ තත්ත්වයකි. කෙසේ වුවද මාසික ආදායම් ලබන උදවියට වුවද මේ සහනය සැමදා බලාපොරාත්තු වන්නට නොහැකි මිරිඟුවක් බව වෛද්‍ය හේමන්ත හේරත් අප හා කතාබහේදී පැවසීය. කොවිඩ් ආසාදිතයන් මේ අන්දමට ඉහළ ගියහොත් ඉදිරියේදි මාස් පඩිය ලබාගන්නා එකත් අසීරු වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අණතුරු අඟවමින් පැවසීය.
දැනට පනවා ඇති සංචරණ නිදහස අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් බුද්ධිමත්ව භාවිතා කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් ආරක්ෂාව සලසා ගත යුතු බවත් නැතහොත් නුදුරු දිනෙකම පවතින ආර්ථික ඇදවැටීම හේතුවෙන් මාසික ආදායමත් අහිමි වන තැනට පත්විය හැකි බවත් ඒ මහතා කියයි.
මේ මොහොතේ රට ලොක්ඩවුන් කිරිම හොඳම පියවර ලෙස පෙනී ගියත්, සමහරු එසේ කරන ලෙස කීවත්, එය තව තවත් ආර්ථික ආගාධයට රට ඇද දැමීමක් වනු ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි. මේ සමහරු රට වැසුවත් අපට පඩි ලැබෙනවා යැයි සිතා කටයුතු කරන ආකාරයක් පෙනී යන අතර තවත් අය රට වසාදැමීම අරමුණු කරගත් අමුතු ජනරාශි ඇතිකරන බවත්, ඒවායේ අහිතකර බලපෑම එල්ලවන්නේ සමස්ත සාමාන්‍ය ජනතාව වෙතටම බවත් ඒ මහතා පෙන්වා දෙයි.
මේ වනවිටත් රටේ නිෂ්පාදන කර්මාන්ත බිඳවැටෙමින් පවතී. පඩිනඩි ගෙවීමට පවා සමහර ප්‍රධාන පෙළේ ආයතනද ණය වී තිබේ. බැංකු සහ රජයද ණය වී හමාරය. රටින් බඩු ගෙන ඒමද වසංගතය නිසා අඩපණ වී ගොසිනි. මේ නිසාම නැවත රට වසා දමා ආර්ථිකය අඩපණ කර ගැනීමෙන් හානිය පැමිණෙන්නේද තමන්ටම බව ජනතාව තදින්ම සිතට ගත යුත් සමයකි මේ.
අනෙක් අතට එන්නත ගැන ඇති අනවබෝධය සහ දුර්මතද මේ හදිසි කොවිඩ් පැතිර යාමට වක්රාකාර ලෙස බලපා තිබේ. සමහරු එන්නත පලක් නැතියි හෝ එය තමන්ට අයෝග්‍ය හෝ මරණීය වනු ඇතැයි සිතා එය ලබාගැනීම මඟහැර සිටිති. ඒ මගින් දැඩිලෙස රෝගාතුර බවට පත්ව රෝහල් පුරවන්නට දායක වෙති. රටේ කොවිඩ් මරණ ප්‍රතිශතය ඉහළ දමන්නටද දායක වෙති. තවත් අය තමන් එන්නත් කර ඇති හෙයින් තමන්ට ලෙඩේ නැතැයිද අනුන්ගෙන් බෝවන්නේ නැතැයිද යන අන්ධ විශ්වාසයෙන් සහ අධි තක්සේරුවෙන් යුතුව සෞඛ්‍ය නිති මඟහර ඒවා නොතකා කටයුතු කර රෝගීන් බවට පත්වෙති. ඒ අන්දමට රෝග ලක්ෂණ නොපෙන්වා තමන් තුළ වෛරසය දරාගෙන සමාජයේ තැනින් තැන නිදැල්ලේ යමින් එය පතුරවන්නට දායක වෙති. කොවිඩ් දැන් වැඩිවීමට මේ අයගේ ක්රියකාරීත්වයද හේතුවකි.
එන්නත ලබාගත් පමණින් තමන් පූර්ණ ආරක්ෂිතයැයි සිතා මූලික සෞඛ්‍ය උපදෙස් නොතකා ක්‍රියාකරන අයට අත්වන්නේ හෙල්මට් දමා හැල්මේ ගොස් මග අනතුරු කර ගන්නා උදවියට අත්වන ඉරණමම යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියයි.
එන්නත එය ලබාගත් අයගේ කොවිඩ් රෝගයේ අසාධ්‍ය - අසීරුතා මඟහැර දීමට සමත් වුවද ඒ මගින් කොවිඩ් වැළැක්වීම ක් හෝ මර්දනයක් සිදුනොවන බව බුද්ධිමත්ව වටහා ගනිමින් කටයුතු නොකළ හොත් තමන් ද අනුන්ද අමාරුවේ දමා රට ම අහේනියට පත්කරන්නට එය හේතුවක් විය හැකි බව ඒ මහතා පෙන්වා දෙයි. මේ මොහොතේ අත්‍යවශ්‍යම කාරණා සඳහා පමණක් පිටත්ව යාමත්, ඒ ගමන් වලදී ගෙදරින් පිටතට හෝ පිටත සිට ගෙදරට කොවිඩ් රුගෙන ඒමෙන් වැළකීම තම තමන් සතු වගකීමක් බවත් ඒ මහතා අවධාරණය කර සිටියි.
පසුගිය සති කිහිපය තුළ ලෝකයේ බොහෝ රටවල කොවිඩ් නැවත හිස ඔසවා විත් තිබේ. යුරෝපය දැන් එහි හතරවැනි රුල්ලට සූදානම්ව හතරවැනි බූස්ටර් මාත්‍රාවද ලබාගනිති. ඒ රටවල ඇරුඹුණු සීත කාලයත්, විවිධ වෛරස් මාදිලි කොක්ටේලයන් පැතිර යාමත්, එන්නත් විරෝධය තදින්ම පැතිර යාමත් මේ 4 වැනි රුල්ලට හේතුවී ඇත.
නමුත් අපේ රටේ ඒ බඳු විවිධ මාදිලි බහුලව නැති නමුත් මිනිසුන් අතර එන්නත්කරණය සඳහා පසුබෑමත්, මූලික සෞඛ්‍ය පුරුදු සඳහා අනුගත වීමේ විනය අහිමි වී යාමත්, ඉවක් බවක් නැති අනවශ්‍ය ගමන් සහ ජන ඒකරාශී වීම් ආදියත් රට විවෘත කළ සැණින් කොවිඩ් සරුසාරව පැතිරීමට මූලික හේතු ලෙස විද්වතුන් පෙන්වා දෙති.
සුගත් පී. කුලතුංගආරච්චි