රටේ පවතින ආර්ථික අවුල හමුවේ රටෙන් පිට ඩොලර් ගනුදෙනු මහ බැංකුව සීමාසහිත කළේය. ඒ ශීඝ්‍රයෙන් රට තුළ ඩොලර් අඩුවීම නිසාය. මේ නිසා ඩොලර් වියදම් වන ව්‍යාපාර ගනුදෙනු පමණක් නොව ඩොලර් පිටතට දීම සීමා කිරීමද වර්තමාන ආණ්ඩුවේ ආර්ථික සැලැස්මේ කොටසක් බවට පත්විය. මේ නිසා බොහෝ පිරිස් අන්ත අසරණ වූයේ ජාත්‍යන්තර වශයෙන් ගනුදෙනුවලට සීමා දැමීම නිසාය.
කෙසේ වෙතත් ඒ සියල්ල රටේ ආර්ථිකය සමබර කිරීම සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග වුවත් ඇතැම් අය මේ සියල්ලෙන් රිංගා තමන්ට අවැසි දේ සිදුකරනු ලබන්නේ නීතිය රීතිය සියල්ලට පයින් ගසමිනි. ඔවුන්ට ඒ කිසිවක් අදාළ වන්නේ නැත. මේ කියන්නට යන්නේද එවැනිම නීති විරෝධී ක්‍රියාවක් ගැනය. මේ බව අනාවරණය කළේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසිනි. එනම් ඔහු සඳහන් කර සිටියේ මේ වනවිට ඇතැම් බැංකු විසින් ඩොලර් හුවමාරුව සඳහා උණ්ඩියල් ක්‍රමය යොදාගෙන ඇති බවය.
මෙහෙමයි රටක් කඩා වැටුණම සමහර රටවල ජනතාව උපරිම රට වෙනුවෙන් දේවල් කරනවා. විදෙස් ගත අය නම් ඩොලර් හරි එවනවා රටට. අපි දන්නවා කොරියාවේ මහ බැංකුවට ඒ රටේ මිනිස්සු රත්තරන් ගිහිල්ලා බාරදුන්නා. ඒත් අපේ රටේ සමහර අය අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන යම් යම් දේවල් කරන්න යනවා. ඒ වගේ තමයි මේ උණ්ඩියල් ක්‍රමය. විශේෂයෙන් අපනයනය කරන අය, ඒ වගේම වැඩි මුදලක් හොයාගන්න හදන අය මේ උණ්ඩියල් ක්‍රමය භාවිත කරනවා කියලා අපිට තොරතුරු ඇවිත් තියෙන්නේ. ඒ නිසා මට මුලින්ම කියන්න ඕන මීට වඩා වෙනස් විදිහකට රට ගැන හිතන්න ඕන මිනිස්සු වුණාම කියලා* යැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.
කෙසේ වෙතත් මේ සිදුවීම සම්බන්ධයෙන් අපි තවත් කරුණු විමසා සිටියෙමු. &මේ වගේ තත්ත්වයන් වලදී ගොඩක් අය කූට ක්‍රම භාවිතා කරනවා. ඒ ක්‍රමයක් තමයි මේ උණ්ඩියල් ක්‍රමය. මේ අය විවිධ සමාන්තර ප්‍රේෂණය කිරීමේ ක්‍රමවේද භාවිත කරනවා. එතකොට මුදල් විශුද්ධිකරණයට තියෙන අවකාශය ගොඩක් වැඩියි. අපි ඒ නිසා ශක්තිමත්ව ක්‍රම දෙකකින් ඊට මුහුණ දෙන්න සූදානම් වෙලා ඉන්නේ. එකක් නිල මාර්ග ශක්තිමත් කරන එක. දෙක නිල මාර්ග තවදුරටත් පහසු කරන්න ඕන. අපි ඒ සම්බන්ධයෙන් බැංකු එක්කත් කතා කළා. ඒ විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් දිරිදීමක් හැටියට රජයෙන් රුපියල් දෙකකුත් දෙනවා ඩොලර් එකකට. ඒ විතරක් නෙමෙයි රක්ෂාණාවරණයක් වගේම මහ බැංකුවේ ඒ වෙනුවෙන් වෙනම දෙපාර්තමේන්තුවකුත් පිහිටුවලා තියෙන්නේ* යැයිද මහ බැංකු අධිපතිවරයා කීය.
මේ ආකාරයෙන් නීතිවිරෝධී උණ්ඩියල් ක්‍රමවේද භාවිතා කරනවා නම් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වන්නේද නැද්ද යන්න බොහෝ අයට ගැටලුවකි.
මේ වෙද්දී බැංකු ක්ෂේත්‍රය තුළ මෙම උණ්ඩියල් ක්‍රමය භාවිතා කරන අය අපි හඳුනාගෙන ඉන්නේ. තවත් කට්ටිය හඳුනා ගනිමින් ඉන්නවා. ඒ සියල්ලට අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මොකද උණ්ඩියල් ක්‍රමය නීතිවිරෝධී, ඒ නිසා මුදල් විශුද්ධිකරණ පනතට අනුව ක්‍රියාමාර්ග ගන්නවා.*
මේ ආකාරයෙන් නීති විරෝධි උණ්ඩියල් ක්‍රමය භාවිත කරන්නේ මේ රටේ ප්‍රසිද්ධ බැංකුද යන්න බොහෝ අයට ප්‍රශ්නයකි.
බැංකු නෙමෙයි මේ වැඩ කරන්නේ. කට්ටියක් ඉන්නවා බැංකු ජාලය හරහා කරන. ඒකට බැංකුවේ අයත් සම්බන්ධ අය ඉන්න බවට අපි හඳුනගෙන තියෙනවා. මේකට අපේ රටේ බැංකු පද්ධතිය විතරක් නෙමෙයි වෙන රටවල් වල බැංකු පද්ධතිනුත් මේ අය යොදාගන්නවා. ඒ හරහා තමයි මුදල් බෙදා හරින්නේ. මම ගිය සතියේ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීවරු කැඳවලා දැනුවත් කළා.
බැංකුවේ පිරිසක් මේ සඳහා සහභාගි වනවා නම් ඊට බැංකුව වගකිව යුතුද යන්න මෙහිදී අපි විමසුවෙමු.
මෙහෙමයි බැංකුවේ ඉහළ අය දැනුවත්ව මේ වැඩේ වෙනවා නම් අනිවාර්යයෙන් ක්‍රියාමාර්ග ගන්නවා. මොකද ඒ අයත් වග කියන්න ඕන නේ.* කෙසේ වෙතත් මෙවැනි ආර්ථික අවපාතය තුළ පමණක් නොව ආර්ථිකය සාර්ථක වී ඇති මොහොතක පවා ලෝකයේ මේ උණ්ඩියල් ක්‍රමය හෙවත් හවාලා ක්‍රමය සාමාන්‍ය ලෙස භාවිත කරයි. ඉක්මනින් මුදල් යැවීම, නීති විරෝධි ජාවාරම් වල මුදල් යැවීම, බදු වලින් බේරීම ඇතුළු යම් යම් කාරණා රැසක් හේතුකොට ගෙන මේ ක්‍රමය යොදාගැනෙයි. මෙහි ඇති අවදානම වන්නේ වගකීම් බවක් නැතිවීම සහ රටේ මුදල් සම්බන්ධයෙන් නිසි ගණනයක් සිදුනොවීමය. ඒ නිසා මේ තත්ත්වය ලෝකයේ බොහෝ රටවල් ප්‍රතික්ෂේප කරන්නේ එය ආර්ථිකයට හානියක් වන නිසාය.ඒ නිසා මේ ක්‍රමය කෙසේ හෝ නැවැත්විය යුතුවන අතර මේ ආකාරයෙන් මුදල් යවනු ලබන්නේ කවුද යන්නත් සොයා බැලිය යුතුය. බහුතරයක් ජාවරම්කරුවන් වන බව නියත වශයෙන් කිව හැක.
ගයාන් ගාල්ලගේ