කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ පාසල් අදියර කිහිපයක් යටතේ අධ්‍යාපන කටයුතු සඳහා විවෘත කිරීම ඔක්තෝබර් 21 දින සිට ඇරඹිණි. දිගු කලක් නිවෙස්වලට කොටු වී ශිෂ්‍යත්ව විභාග සිහිනයක අතරමංවී සිටි ප්‍රාථමික පන්තිවල සිසුහු නිල ඇඳුම් ඇඳගෙන පාසල් යාම ඇරඹූහ. ළමුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු එසේ ආරම්භ වූ අතර, ඉන්පසුව සියලුම පාසල්වල ප්‍රාථමික පන්ති ඇරඹුණි. මේ අතර ඉඳහිට කොවිඩ් රෝගී දරුවන් වාර්තා වූ පාසල්වල එම පන්ති පමණක් අත්හිටුවා අනෙක් පන්තිවල අධ්‍යාපනය කෙරීගෙන යාම සිදුවේ.
ඉන් අනතුරුව විභාග දෙකක් ඉලක්ක කරගත් 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු දිවයිනේ සියලුම පාසල්වල ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්දන කමිටු නිර්දේශ ලැබුණි. පසුගිය නොවැම්බර් මස 08 වැනි දින සිට ඉහත ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේය. දැන් ළමුන් පාසල් ගියත් ඔවුන්ගේ සිත්වල ඇත්තේ දෙගිඩියාවකි. ඒ විභාගවලට මුහුණදීමට තරම් ශක්තිමත් විෂය නිර්දේශ ආවරණයක් ලබාගැනීමේ අපහසුව නිසාය. ඉදිරි සඳුදා සිට 6,7,8,9 ශ්‍රේණිවල පන්ති ආරම්භ කිරීමටද නියමිතය. ඒ අනුව අදියර හතරක් යටතේ 10,500ක් වන රටේ සියලුම පාසල් 22 දා වනවිට විවෘතකර නිම කිරීම අධ්‍යාපන අමාත්‍යංශයේ ඉලක්කයයි. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය 2022 මුල් කාර්තුවේදී පැවැත්වීමටද අදහස් කරන බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන පසුගියදා කීවේය.
ළමුන්ගේ අධ්‍යාපනය කඩාවැටී ඇති බව සැබෑවකි. ගුරුවරුන් කලක් තිස්සේ නිවෙස්වල සිටි සිසුන්ට මාර්ගගත (Online) අධ්‍යාපනය ලබාදුන්න ද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිසා එය ද අහිමිවිය. මේ නිසා සිසුන් වැඩි ප්‍රමාණයක් කළේ මාර්ගගත වෙනුවට ඔන්ලයින් ගේම් ගැසීමයි. අනෙක ලංකාවේ මාර්ගගත ඉගෙනුම නිසි සැලසුමකින් කළ දෙයක් නොව ගුරුවරුන්ගේ අභිමතය පරිදි කළ දෙයක් නිසා සෑම සිසුවකුටම එයට අනුගත වීමට අපහසුවූ බව නොරහසකි. ඒත් දැන් අතපසු වූ විභාග තුනක් පැවැත්වීමේ අභියෝගය අධ්‍යාපන අමාත්‍යංශයටත්. ඒවාට සාර්ථකව මුහුණදීමේ බලාපොරාත්තුව සිසුන්ටත් තිබේ. විෂය නිර්දේශ සම්පූර්ණයෙන් ආවරණය කිරිම ප්‍රායෝගිකව කිරීම දුෂ්කර වූ වටපිටාවක මේ විභාගවල ප්‍රශ්න පත්‍ර සකසන්නේ කෙසේද?
මේ අතර අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ ඉදිරියේදී පැවැත්වෙන විභාගවල ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයන් සිදුකරන බවයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන පසුගියදා මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. කොවිඩ් වසංගත තත්ත්වයත් සමග පාසල් පැවැත්වීමට බාධා එල්ලවීම හේතුවෙන් සිසුන්ට අසාධාරණයක් නොවීමට ඉදිරි විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී එසේ යම් සංශෝධනයන් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සැකසීම සම්බන්ධයෙනි.
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී මේ දක්වා සිදුවුණේ ඊට පහළ ශ්‍රේණිවල විෂය කරුණු පවා ආවරණය කරමින් ප්‍රශ්න සකස් වීමයි. සාමාන්‍ය පෙළ සඳහාද 8,9,10 ශ්‍රේණිවල දැනුම අවශ්‍ය විය. නමුත් සිසුන්ට 2020 මාර්තුවලින් පසු නිසි අධ්‍යාපනයක් එකදිගට ලබාගැනීමට කොවිඩ් රකුසා අවස්ථාව දුන්නේ නැත. ඔවුන් වැඩිපුර සිටියේ ගෙදරට කොටුවී දෙගිඩියාවෙනි. අවදානම ගැන බියෙනි.
ඉදිරියේදී පැවැත්වෙන ශිෂ්‍යත්ව, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සැකසීමේදී වෙනදා සාමාන්‍යයෙන් සිදුවන සේ සම්පූර්ණ විෂය නිර්දේශය පදනම් කර ගැනීම වෙනුවට ඒ ඒ විභාගවලට ඇගයෙන විෂය කරුණු තීරණය කර සිසුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය. එසේ විෂය කරුණු තීරණය කිරීමෙන් පසුව ශිෂ්‍යත්ව විභාගයේදී ඇගයීමට ලක්වන විෂයයන් ගැන ජාතික අධ්‍යාපන ආයතනය මගින් ඉදිරියේදී චක්‍රලේඛයක් ලෙස නිකුත් කරන බවද අතිරේක ලේකම්වරයා පැවසීය.
ඒ සම්බන්ධව දැනටමත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගණනයන් කර ඇතැයි කී ධර්මසේන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පිළිබඳවත් අදාළ කමිටු මගින් අධ්‍යයනය කරමින් සිටින බව පවසා සිටියේය. කෙසේ වුවත් අතිරේක ලේකම්වරයා අවධාරණය කළේ ප්‍රශ්න පත්‍ර ලිහිල් කිරීමක් නොවන බවයි. ඊට අදාළ චක්‍රලේඛයද ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව එල්. එම්. ඩී. ධර්මසේන සඳහන් කළේය.
&පාසල් වහන්නේ නෑ. වහන්න විදිහක් නෑ. විභාග තියාගන්න ඕනේ. ලොකු ප්‍රශ්නයක් ආවොත් තමයි ගැටලුවක් වෙන්නේ. ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඉදිරියේදී නිකුත් කරනවා ශිෂ්‍යත්ව විභාගයට මෙන්න මේ විෂය කරුණු තමයි ඇගයීමට ලක්වෙන්නේ කියලා චක්‍රලේඛයකින්. දැනටමත් ගණනය කරලා තියෙන්නේ. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පිළිබඳවත් අධ්‍යයනය කරමින් පවතිනවා. ඒ කමිටුවලින් ලැබෙන නිර්දේශ අනුව පාසල් ළමුන්ට දැනුවත් කිරීම් කරන්න බලාපොරොත්තු වෙනවා. ලිහිල් කිරීමක් නෙමෙයි. මෙන්න මේ විෂය කොටස් ඇගයීමට ලක්වෙනවා කියලා ඔවුන්ට දැනුම් දීමක් වෙනවා. එවිට ඔවුන්ට එම විෂය කොටස් අධ්‍යයනය කිරීමට පුළුවන්.* ඔහු සඳහන් කළේය.
11 ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා වූ පාසල් සිසුන්ගෙන් සියයට 73ක ප්‍රතිශතයකට මේ වනවිට කොවිඩ් එන්නත ලබාදී අවසන් බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරයා කියා සිටියේය.
කෙසේ වුවත් පාසල් විෂය නිර්දේශ සකස් කර ඇත්තේ ළමුන්ට අවශ්‍ය සම්පූර්ණ දැනුම ලබාගත හැකි අන්දමටයි. මෙසේ විෂය කොටස් තෝරා ඉගැන්වීමට අවධානය යොමු කිරීමෙන් ඔවුන්ගේ අධ්‍යාපනයට සිදුවන්නේ කුමක්ද යන පැනයත් මතුවේ. මේ ගැන අප විමසුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යයනාංශයේ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුගෙනි:
&මේ වගේ තීරණයකට ඒමට කොවිඩ් ප්‍රශ්නය බලපා තිබෙන බව ඇත්ත. ළමුන්ට පසුගිය කාලයේ නිසි ඉගැන්වීමක් ලබාදීමට නොහැකි වුණා. ඔන්ලයින් ක්‍රමවේදයෙන් ළමුන්ට සම්ප්‍රදායිකව ලබාදෙන අධ්‍යාපනය වගේ අධ්‍යාපනයක් ලබාදෙන්න බැහැ. අපේ රටේ ඔන්ලයින් අධ්‍යාපනයට ගුරුවරුන්ට පුහුණුවක්වත් ඒ සඳහා නිසි උපකරණවත් නැහැ. මේ නිසා ළමුන්ට තිබෙන කුසලතාව අඩුයි. විෂය නිර්දේශ ආවරණය කිරීමට පාසල් පැවැත්වෙන කෙටි කාලයෙන් බැහැ. මෙහිදී සිදුවන්න යන්නේ විෂය නිර්දේශ කොටස් අත්හැරීමයි. නමුත් නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රමයට විෂය නිර්දේශ කොටස් එකකට එකක් සම්බන්ධයි. ඒකෙන් කෑල්ලක් අයින් කරලා උගන්වන්න බෑ. ඒ නිසා සමස්ත නිපුණතාවය පරීක්ෂා කිරීම වෙනුවට ඇගැයීම් ක්‍රමය වෙනස් කළ යුතු වෙනවා. මතකය විතරක් පරීක්ෂා කිරීමේ ක්‍රමයකට තල්ලුවන්න වෙනවා. මේක කෙටිකාලීනව ළමයාට යහපතක් වුණත් දිගුකාලීනව ලැබෙන ප්‍රතිඵලය අයහපත්. දරුවන් පවා තමන් ගැන අධිතක්සේරුවක් ඇතිකර ගනීවි අපි ඔක්කොම දන්නවා කියලා. අනිත් එක මේක අලුත් ක්‍රමවේදයක් ලෙස සමාජගත වූ විට ඉදිරියටත් ඒ විදිහට විභාග පැවැත්වීම සිදුවන්න ඉඩ තිබෙනවා.
විශ්වය දැකීම සහ විශ්වය ප්‍රශ්න කිරීම අධ්‍යාපනයේ එක පරමාර්ථයක්. ඉන් ප්‍රඥාව ලබාදීම සිදුවෙනවා. තව මතයක් තිබෙනවා රැකියාවලට ගැලපෙන මිනිසෙක් අධ්‍යාපනයෙන් බිහිකිරීම. අපේ රටෙත් සිදුවන්නේ ඒ වගේ දෙයක් තමයි. මේ වගේ අර්බුදයක් පවතින කාලෙක පාලකයන්ට පහසුවක් වෙනවා මේ වගේ තැනකට තල්ලුවීම.
කුසුම්සිරි විජයවර්ධන