2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

විරෝධතාවලට ඉඩදී ආපස්සට යන රටක්!

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 64

බලශක්ති ක්ෂේත‍්‍රයේ මතුවෙමින් පවතින ප‍්‍රවණතා කෙරෙහි පුළුල් අවධානයක් යොමු කළ යුතුව තිබේ. ආණ්ඩුවේ ප‍්‍රධානීහු ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැති බව කියා සිටිති. එවැනි ප‍්‍රකාශයක් තුළ ගැටලුවක් ඇති බව නිතැතින්ම ඇඟවෙයි. ජනතාව තුළ යම් ආකාරයක කුතුහලයක් ඇතිවෙයි. ඉන්ධන මිල වැඩිවන ඉඩකඩ පමණක් නොව හිඟයක් ඇති විය හැකිය යන සැකය පදනම් කරගෙන වාහන හිමියෝ ටැංකි පුරවා ඉන්ධන මිලදී ගන්නා ප‍්‍රවණතාවයකය.
රටට අවශ්‍ය කරන තරමට ඉන්ධන ආනයනය සම්බන්ධ ගැටලුවක් තිබේද යන්න විමසා බැලිය යුතුය. අනවශ්‍ය තැතිගැනීම් සුදුසු නැත. තරගකාරී ආර්ථිකයක් තුළ ඇති කරන අවිනිශ්චිත අංශ සංකීර්ණ ප‍්‍රවණතා ඇති කරයි. විනිමය හිඟයක් ගැන කරුණු සාකච්ඡා වෙයි. අත්‍යවශ්‍ය ආනයන සීමාකර ඇත. බලශක්ති අංශය සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසයක් ඇති වන පරිදි ක‍්‍රියා කිරීම වැදගත්ය.

• මුදල් ගෙවීම ප‍්‍රශ්නයක්

තදබල විනිමය ප‍්‍රශ්නයක් රටට තිබේ. අලුත්ම වාර්තා අනුව විදේශ විනිමය සංචිතය එක මාසයකට අවශ්‍ය මිල දී ගැනීම් සඳහා හෝ ප‍්‍රමාණවත් නැත. ආණ්ඩුවේ බලධාරීන් මෙම කරුණු ප‍්‍රතික්ෂේප කරන්නට ඉඩ තිබේ. එහෙත් සත්‍ය සැඟවිය නොහැකිය. විනිමය උපයන අංශ බෙලහීන වී ඇති පසුබිමක විසඳුමක් කරා ගමන් කිරීම හැර විකල්පයක් නැත. සාමාන්‍යයෙන් වසරකට තෙල් ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන හයක පමණ විනිමය ප‍්‍රමාණයක් අවශ්‍යය. අපනයන ආදායමෙන් සෑහෙන කොටසක් තෙල් බිල ගෙවන්නට වෙන් කරන්නට සිදුවී තිබේ. සංඛ්‍යාලේඛන අනුව ඇඟළුම් අපනයනයෙන් ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන පහකට අඩුය. එයින් කොටසක් එනම් ඇමරිකානු ඩොලර් බිලියන තුනක් පමණ අවශ්‍ය කරන රෙදි පිළි හා මෙවලම් ආනයනයට අවශ්‍යය. අනෙක තේ අපනයනයෙන් ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන එකහමාරක් පමණ වෙයි. මෙම අංශ දෙක මගින් ලැබෙන විනිමය පවා තෙල් වියදමට ප‍්‍රමාණවත් නැති බව පැහැදිලිය. 

පසුගිය දිනවල ලැබුණ තහවුරු කළ යුතු වාර්තා අනුව ඇනවුම් කරන ලද තෙල් නැවකට පවා මුදල් ගෙවන්නට ශක්තියක් රටට නොතිබුණි. එයට හේතුවක් තිබේ. මුලික වත්කම හිඟ නමුත් නිසි පරිදි ණය ගෙවා ඇත. ශ‍්‍රී ලංකාව ලබාගත් ණය වෙනුවෙන් පිට පිට දෙවතාවක දී ඇමරිකානු ඩොලර් බිලියනය බැගින් ගෙවා ඇත. මහා භාණ්ඩාගාරයේ තොරතුරු අනුව මෙම වසරේ දී විදේශ ණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක් ගෙවන්නට සිදුවෙයි. එවැනි ණය පියැවීමක් අවසානයේ රටට විනිමය හිඟය සාධාරණ තත්ත්වයකි. සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම පවා ඉතාම සීමිත වී ඇති පසුබිමක සාර්ථකව ණය ගෙවන ශ‍්‍රී ලංකාව සිය අභිමානය ආරක්ෂා කරගෙන සිටී. ණය ගෙවා ගත නොහැකි රටක් වශයෙන් අවමානයකට පත්වීම වෙනුවට රට තුළ ආනයන කරන අත්‍යවශ්‍ය දේ පවා සීමා කිරීම උචිතය. එවැනි පියවරකට ගමන් කරන අතරවාරයේ ඉක්මනින් විදේශ විනිමය උපයා ගන්නා මාර්ග කෙරෙහි සැලකිල්ල යොමු කළ යුතුය. 

• තෙල් සඳහා ඉන්දියාවෙන් සහන?

රටට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමේදී ඇති වී ඇති ව්‍යාකූලතා ඉදිරියේ ඉන්දීය රජය සහාය පළකරන තීරණයක් ප‍්‍රකාශයට පත්ව ඇත. ඇමරිකානු ඩොලර් මිලියන පන්සියයක චක‍්‍රීය ණය මුදලක් අනුමත කරනු ඇතැයි අනාවරණය වෙයි. එම මුදල ප‍්‍රයොජනයට ගනිමින් රටට අවශ්‍ය තෙල් ප‍්‍රමාණය ඉන්දියාවෙන් මිලදී ගැනීමට හැකිවනු ඇත. කෙසේ වෙතත් එක මාසයක ඉන්ධන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 350 ක් පමණ අවශ්‍යය. ඉන්දියාවෙන් ලැබෙන ණය මුදල එක මාසයක චක‍්‍රීය ආධාරයක් පමණක් වනු ඇත. මෙයට කලින් මෙවැනි ප‍්‍රශ්න මතු වූ අවස්ථාවක ඉරානයෙන් බොරතෙල් ලබාගෙන මාස තුනක් අවසානයේ ගෙවන පදනමක් යෝජනා විය. වසර ගණනක් එය සාර්ථකව පැවැතිණ. එහෙත් සපුගස්කන්ද තෙල්පිරිපහදුව සම්බන්ධ ගැටලු මත ඉරානයෙන් බොරතෙල් ගැනීම වාසිදායක නැති බව තහවුරු වී තිබේ. නොබෝදා ඕමානය සමග තෙල් මිල දී ගැනීම සම්බන්ධව සාකච්ඡා කර ඇත. කිසිම රටක් සිය වත්කම් තවත් රටකට පවරන්නට කැමැති නැත. එය ආයෝජනයක් වශයෙන් පැවරේ. පොලියක් අය කෙරේ. ඕමානය අයකරන පොලිය ගෙවන්නට රටට හැකියාව තිබේද? 

ශ‍්‍රී ලංකාවට උපායශීලී අදහස් නැත. ති‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය නොදෙන බව ඉඳුරා ප‍්‍රකාශ කරන අතරවාරයේ රටට අවශ්‍යම කරන ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවට අතපෑම කණගාටුවට කරුණකි. කොළඹ වරායේ සංවර්ධනයට එකහෙලා විරුද්ධ විය. නමුත් කොවිඩ් එන්නත් ලැබෙන්නේ ඉන්දියාවෙන්ය. චීනයෙන් ලැබුණ එන්නත් සඳහා පවා සිරින්ජර් මිලදී ගත්තේ ඉන්දියාවෙන්ය. ඉන්දියාව පිටරටවලට සිරින්ජර විකිණීම තහනම් කර තිබියදී ශ‍්‍රී ලංකාවට ඒවා ගෙන්වා ගැනීමට සමත්ව තිබේ. රට තුළ ඔක්සිජන් හිඟ වනවිට එය වහාම සපයන්නේ ඉන්දියාවයි. අනෙක පොහොර ගැටලුව උග‍්‍රවන අවස්ථාවක රටට අවශ්‍ය දියර පොහොර සපයන්නට ඉන්දියාව පියවර ගත්තේය. දැනට දෙරට අතර රාජ්‍යතාන්ත‍්‍රික සම්බන්ධතා ඉහළම තැනට පැමිණ තිබේ. ඉන්දු ලංකා සබඳතා අලුත් මුහුණුවරක් ගෙන ඇති අතර රජය පත්කරන ලද නව මහ කොමසාරිස්වරයාගේ සාර්ථක භාවයට හොඳ උදාහරණයකි. කෙසේ වෙතත් එක පැත්තකින් ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකිවල ආයෝජනය ඉන්දියාවට පවරා අනෙක් පැත්තෙන් රටට අවශ්‍ය තෙල් සංචිතය එයින් සපුරා ගැනීමට උත්සුක නොවන්නේ ඇයි? එවැනි යෝජනාවක් රටට ඉතාම හිතකර වනු ඇති අතර දැනට මතු වී තිබෙන විනිමය හිඟය හමුවේ බරපතල තත්ත්වයක් ඇතිවීමද පාලනය වනු නිසැකය.

• බද්දට නොදෙන වත්තෙන් කුමන පලක්ද?

වත්ත බද්දට දෙන කතාව පැරණි එකකි. දැන් කරන්නේ ආයෝජනය කළ හැකි අවස්ථාවද මගහැර සිටීමය. රටට එන තෙල් නැවකට ගෙවන්නට විනිමය නැති රටක් තෙල් ටැංකි අනූනමයක් ජාතික සම්පතක් සේ ආරක්ෂා කිරීම කොපමණ විහිළුවක්ද? මධ්‍යස්ථ මතධාරීන් මෙම පැති ගැන ගැඹුරින් අධ්‍යයනය කළ යුතුය. 2003 වසරේ සිට මෙම තෙල් ටැංකි ඉන්දියාවට බදු වශයෙන් පවරා ඇති අතර එක ටැංකියකට ඇමරිකානු ඩොලර් දහස බැගින් අවරුද්දකට ඩොලර් අනූනම දහසක් ලැබෙන ගිවිසුමකි. දෙවැනි ලෝක යුද්ධය කාලයේ සිට අද දක්වා එයින් කිසිම ප‍්‍රයෝජනයක් ගන්නට අසමත් වූ මෙරට පාලකයෝ ඒවා ජාතික සම්පත් සේ හුවා දක්වන අඥානවන්තයන්ගේ බහකට ගොදුරු වී සිටිති. මෑතකදී මහා ජාතික සම්පතක් සේ සලකා ආරක්ෂා කරන ලද වරායේ බටහිර පර්යන්තයට අවසානයේ දී සිදුවූ දෙය කුමක්ද? දැවැන්ත වර්ජනයකට පසු වරාය ආයෝජනය නතර කළේය. ඉන්දියාව, ජපානය හා ශ‍්‍රී ලංකාව අතර තිබුණ ව්‍යාපෘතිය පැත්තකට කරන්නට රජයට සිදුවිය. එදා සිට අද දක්වා වරාය සංවර්ධනයට කිසිම දෙයක් සිදුවී නැත. කහ ආනයනය කරන්නට විනිමය නැති රටක් වරායක් හදන්නේ කෙසේ ද යන්න කල්පනා කිරීම උචිතය. කලින් ලබාගත් ණය ගෙවා ගන්නට නොහැකි තරමට විනිමය පිරිහී තිබෙන අවස්ථාවක වරාය හදන්නට තවත් ණය ආධාර ඉල්ලන්නේ කෙසේද? තමන්ගේ තරම ගැන දැනගෙන සංවර්ධන සැලසුම් ගැන විමසිලිමත්වීම සුදුසුය. 

රටට අලුත් අවස්ථා තිබේ. ඒවායෙන් ලබාගත හැකි ජයග‍්‍රහණ කරා ගමන් කිරීමට නිසි වැඩපිළිවෙළක් අවශ්‍යය. රටට කරගත හැකි දේ සහ කරගත නොහැකි දේ තිබේ. කොටසක් හැම දෙයකටම විරුද්ධය. එරෙහිවෙන සංස්කෘතියකින් රටට දිනාගත් දෙයක් තිබේද? ආරක්ෂා කරගෙන ඇති යමක් නැත. පවතින විනිමය අර්බුදයට විසඳුම කුමක්ද? පවතින ආණ්ඩුව පලවා හැර අලුත් ආණ්ඩුවක් බලයට පත් කර ගත හැකිය. එම ආණ්ඩුව ඉදිරිපත් කරන විසඳුම ගැන රටට ඇති විශ්වාසය බලවත්ද? දැන් පවතින ණය අර්බුදයෙන් හා විනිමය ප‍්‍රශ්නවලින් ගැලවෙන ක්ෂණික විසඳුම් නැත. රට තුළින් හෝ විදේශයෙන් ධනය සොයා ගැනීමට සිදුවෙයි. රට තුළින් ධනය ලැබෙන එකම මග බදු පමණකි. ආයෝජනයට අවස්ථාව දී ආර්ථිකය ශක්තිමත් කරන්නට කාලයක් ගතවේ. බදු ගෙවන්නේ අප සියලු දෙනාය. විදේශයෙන් ධනය සොයා ගන්නේ කෙසේද? ණය හෝ ආයෝජන බව පැහැදිලිය. ණය කන්දක සිටින රටකට තවත් ණය දෙන වාතාවරණය සීමිතය. ආයෝජනයට ඉඩකඩ තිබේ. ආර්ථිකය පිරිහී ඇති අවස්ථාවක ආයෝජන සඳහා පවා තද කොන්දේසි ඉදිරිපත් කරන හැකියාවක් නැත. මෙකී අදහස් ඇතුලාන්තය අඟවන කරුණු පමණකි. ඕනෑම පාර්ශවයකට තර්ක කර එකඟවිය හැකිය. 

• ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ගණන් 

පසුගිය වසරට වඩා ඛනිජ තෙල් මිල ගණන් වැඩි වී ඇත. තෙල් පරිභෝජනය අඩුකරන රටවල් විකල්ප කරා ගමන් කරයි. 2022 අයවැය හරිත බැඳුම්කර යෝජනා කර තිබේ. බැ`දුම්කරය හරිත නමුත් කරන්නේ ඉන්ධන පිළිස්සීම නම් රටට පලක් නැත. ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 50ක ණය ආධාරයක් රටට සපයා ඇත. සූර්ය විදුලි ව්‍යාපෘති වෙනුවෙන්ය. සූර්ය බල සංග‍්‍රාමය අපට මතකය. නිවාස ලක්ෂයක් සූර්ය බලයට හරවන යෝජනා එකල කියැවිණ. එය සාර්ථක වී තිබේද? ආසියානු සංවර්ධන බැංකුව දක්වන පරිදි තවත් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් සූර්ය බල ව්‍යාපෘති සඳහා නිකුත් කරන්නට සූදානම්ය. තෙල් මිල දී ගැනීමට නොයෙක් රටවලින් ණය ගන්නට යන ඇමැතිවරු සූර්ය තාපයෙන් විදුලිය නිපදවීම ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි? චීන රජය නැගෙනහිර පළාතේ සූර්ය තාප බලාගාරයක් හදන්නට යොජනා කළේය. එයට අවහිර ඇති විය. ඉන්දියාව එයට වෙනස් මතයක් ඉදිරිපත් කළ අතර ඔවුන් එම ව්‍යාපෘතියට ආධාර දෙන බව ප‍්‍රසිද්ධ කළේය. එම ව්‍යාපෘති ඉක්මන් කරන වගකීමක් අපට තිබේ. 

දැවිතෙල් ලීටරයකින් නිපදවිය හැක්කේ විදුලිය ඒකක හතරක් පමණකි. එක මාසයකට පුළුස්සන දැවි තෙල් ඉතිරි කරගතහොත් ලැබෙන වාසිය කොපමණද? මෙරටට වාහන ගෙන්වීම නතර කර තිබේ. අලුතින් තීරණගන්නා අවස්ථාවේදී විදුලියෙන් ධාවනය වන වාහන පමණක් ආනයනය කළහොත් ලැබෙන අස්වැසිල්ල ගණන් බලන්නට අපට නොහැකි ඇයි? එම වාහන සෝලා කෝෂවලින් ආරෝපනය කර ධාවනය කළහොත් හැම සතයක්ම රටේ දියුණුවටය. මැති ඇමැතිවරු හෝ නිලධාරීන් එහෙම හිතන්නේ නැත. වෙනස් මානයකින් කලාපනා කළහොත් මෙම ගැටලුවලින් එළියට එන අවස්ථාවක් තිබේ. එහෙත් විරුද්ධ මතධාරීන් අලුත් අදහස් වලට කැමැති නැත. රට බෙදන, රට විකුණන බවට ඝෝෂා කරති. රට හදන්නට බලයට එන ආණ්ඩු මෙම විරෝධතා ඉදිරියේ පියවරක් ආපසු ගන්නා ස්වභාවය තුළ රටක් ගොඩනගන්නේ කෙසේද?

සාරා කන්දෙගොඩ