ගොවීන් ලක්ෂ ගණනින් වීදි බස්වමින් වසරකට අධික කාලයක් පුරා ඉන්දියාවේ පැවැති ගොවි උද්ඝෝෂණවලට නිමිත්ත වූ සංශෝධිත කෘෂිකර්ම පනත් තුන ඉවත් කර ගැනීමට ඉන්දීය රජය තීරණය කර ඇතැයි අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය. පසුගිය සතියේ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ එම මතභේදාත්මක කෘෂිකාර්මික පනත් 3 ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි. එම සිදුවීම සම්බන්ධයෙන් තමා ජාතියෙන් සමාව ඉල්ලන අතර, කිසියම් ප්‍රමාද දෝෂයක් හේතුවෙන් ගොවි ජනතාවට රජයේ අවංක අරමුණ පැහැදිලි නොවීම හා නව නීතිවල ප්‍රතිලාභ අවබෝධ කර ගැනීමට නොහැකි වූ බැවින් එම පනත් තුන අහෝසි කිරීමට තීරණය කළ බවයි. එබැවින් රටපුරා පවත්වන විරෝධතා අතහැර යළි ගම්බිම් කරා යන ලෙසද අගමැතිවරයා උද්ඝෝෂණයේ නිරත ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම මතභේදාත්මක පනත් 3 සම්මත කරනු ලැබුවේ 2020 සැප්තැම්බර් 17 දාය. ඉන්දියානු කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සඳහා මෙම පනත් සම්මත කරගත් බව ඉන්දියානු රජය ප්‍රකාශ කළේය. එම පනත් මගින් ඉන්දියාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් කෘෂි කර්මාන්තයට අත පෙවීමට උත්සාහ දරන අතර ඔවුන් ගොවි ජනතාව සූරා කෑමට සූදානම් වන බවත්, ගොවි ජනතාව පිළිබඳව රජයට පැවරී තිබූ වගකීම සහ ආරක්ෂාව මෙම නීති සංශෝධනය මගින් ලිහිල් කිරීමට රජය පියවර ගෙන ඇති බවත් එමගින් තම අයිතිවාසිකම් උල්ලංඝණය වන බවත් පවසමින් 2020 සැප්තැම්බර් 25දා සිට ඉන්දියාව පුරා සිටින ගොවීහු ලක්ෂ ගණනින් වීදි බැස උද්ඝෝෂණවල නිරත වූහ. උද්ඝෝෂණ මාස 14ක පමණ කාලයක් පුරා අඛණ්ඩව පැවතියේය. කෙසේ වුවද රජය මෙම පනත් තුන හකුලා ගැනීම සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ කෘෂිකාර්මික තීරයක් වන පන්ජාබ්, උත්තර් ප්‍රදේශ් සහ තවත් ප්‍රාන්ත කිහිපයක ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණ සැලකිල්ලට ගෙන මෙවැනි තීරණයක් ගෙන ඇති බවටය.
මෝදි රජය මගින් සංශෝධනය කළ පනත් තුන අනුව පෞද්ගලික සමාගම්වලට ගොවීන්ගේ අස්වැන්න මිලට ගැනීමට හැකිවන අතර බෝග 23කට පනවා තිබූ පාලන මිල ඉවත් කෙරේ. කිසියම් බෝගයක් නියම කළ මිලක් යටතේ වගා කිරීමේ කොන්ත්‍රත් ක්‍රමයක් එමගින් හඳුන්වා දී තිබිණි. එමෙන්ම සුළු ගොවීන්ගේ ඉඩම් බද්දට ගෙන මහා පරිමාණ ගොවිබිම් නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිමද එම පනත් මගින් නිර්මාණය විය. ගොවීන් මෙම පනත් හැඳින්වූයේ &බ්ලැක් ලෝ* හෙවත් &කළු නීති* ලෙසිනි.
එහෙත් රජය කියා සිටියේ මෙම නීතිය යටතේ බෝග මිල තීරණය කරනු ලබන්නේ වෙළඳපොළ බලවේග විසින් බවයි. ඒ අනුව ඉල්ලුමට සරිලන බෝග වගාකිරීම සඳහා ගොවීන්ට වැඩි මුදලක් ලබාදෙන බවද, වැඩි ඉල්ලුමක් ඇති බෝග ඉහළ මිලකට අලෙවි කළ කළ හැකි යැයිද බාධක රහිත අභ්‍යන්තර සහ අන්තර් රාජ්‍ය වෙළඳාමට ඉඩ ලැබෙන හෙයින් එමගින් ඔවුන්ට උපරිම ප්‍රතිලාභ භුක්ති විඳිය හැකි බවද රජය ප්‍රකාශ කළේය. එමෙන්ම මෙම පනත් මගින් කෘෂිකර්මාන්තයෙන් ලාබ ලබන අතරමැදියන් ඉවත් කෙරෙන අතර ගොවීන්ට සෘජුවම අවසාන ගැනුම්කරුවන් වන කෘෂි සමාගම් සමඟ ගනුදෙනු කිරීමේ අවසරය හිමිවන බවද කියා සිටියේය. දැනට ක්‍රියාත්මක වන අවම ආධාරක මිල (Minimum Support Price) ගොවීන්ට අවාසි සහගත බැවින් එය අහෝසි කළ යුතු බවද රජය කියා සිටියේය. ලෝක වෙළෙඳ සංවිධානය නිරතුරුවම අවම ආධාරක මිල අහෝසි කරන ලෙසට රජයට කරන බලපෑම මත රජය මෙවැනි නීති සම්මත කිරීමට පියවර ගෙන ඇතැයි ගොවීහු චෝදනා කළහ.
රජය විසින් ගෙන ආ නව පනත් ඉන්දියානු ව්‍යාපාරිකයන් වන ගෞතම් අදානි සහ මුකේෂ් අම්බානි වැනි සුපිරි ව්‍යාපාරිකයන්ට කෘෂිකර්මාන්තයට අත පෙවීමට හා ගොවි ජනතාව සූරාකෑමට ලක්කිරීමට අවස්ථාව සලසා දෙන බවට ගොවීහු චෝදනා කළහ. ගෞතම් අදානි යනු මෝදිගේ සමීපතම මිතුරකු වන අතර ඔහු හා ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ රිලයන්ස් සමාගමද කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටී. නව පනත් මගින් සහල්, තිරිඟු, බඩ ඉරිඟු වැනි ද්‍රව්‍ය සඳහා රජය මගින් ලබා දී ඇති සහතික මිල අහෝසි වන අතර මිල සම්බන්ධ වගකීමෙන් රජය ඉවත් වීම මත සුළු ගොවීන් සම්පූර්ණයෙන්ම සූරාකෑමට ලක්වීමේ තත්ත්වයක් එමගින් උදාවනු ඇත. ඔවුන් තමන්ගේම ඉඩම්වල සමාගම්වල අවශ්‍යතාව ඉටුකරන කුලී කම්කරුවන් බවට පත්වනු ඇත. සමාගම්වලින් සිදුවන අසාධාරණකම්වලට එරෙහිව අධිකරණයට යෑමටද ඔවුනට නොහැකිය. තම අස්වැන්න තමන්ටම ගබඩා කර තබාගත හැකියැයි පැවසුණද ඒ සඳහා සියලු ගොවීන් සතුව ප්‍රමිතිගත ගබඩා පහසුකම් තිබිය යුතුයැයි රජය කියා තිබිණි. සමාගම් සතුව එවැනි ගබඩා පහසුකම් පවතින අතර ගොවීන්ට සිදුවන්නේ අඩු මුදලකට තම අස්වැන්න සමාගම්වලට ලබාදීම බව ගොවි ජනතාව ප්‍රකාශ කළහ.
නව පනත්වලට එරෙහිව ප්‍රථමයෙන් වීදි බැස්සේ හර්යානා, රාජස්ථාන්, උත්තර් ප්‍රදේශ්, උත්තරාන්චල් සහ පන්ජාබ් ප්‍රන්තවල ගොවි ජනතාවය. පසුව සමස්ත ඉන්දියාව පුරාම සිටින ගොවි ජනතාව ලක්ෂ ගණනින් උද්ඝෝෂණවලට එකතු වූහ. පසුගිය දෙසැම්බරයේ පැවැති අධික සීතලද නොකතා ඔවුහු නවදිල්ලි නුවර කූඩාරම් අවටා ගනිමින් රුය පහන් කළහ. ගොවීන් මෙම උද්ඝෝෂණය නම් කළේ දිල්ලි චලෝ හෙවත් දිල්ලියට යමු නමිනි. ඔවුහු බොහෝ ප්‍රධාන පාරවල් අවහිර කරමින් කඳවුරු බැඳගත්හ. ගොවි උද්ඝෝෂණයට රජය ප්‍රතිචාර දැක්වූයේ දැඩි මර්දනකාරී අයුරිනි. සමූහ වශයෙන් පිරිස් අත්අඩංගුවට ගැනුණු අතර කඳුළුගෑස් ප්‍රහාර හා ජල ප්‍රහාරද එල්ල කෙරිණි. පසුව විරෝධතා ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට පත්විය. පොලීසිය විරෝධතාකරුවන්ට නගරයට ඇතුළු වීමට ඉඩ නොදෙමින් බාධා කළේය. විරෝධතාකරුවෝද ඊට ප්‍රතිප්‍රහාර ලෙස අවස්ථා කිහිපයකදීම ගල්මුල්වලින් පොලීසියට සංග්‍රහ කළහ. එහිදී පොදු දේපළවලටද හානි සිදුවිය.
උද්ඝෝෂකයන් තම සටන අත්හැරියේ නැත. ඉන්දියානු ජනරජ දිනයේ ට්‍රුක්ටර් ලක්ෂ ගණනක් මාවත්වලට ගෙන ඒමට ඔවුහු කටයුතු කළහ. කොවිඩ් වසංගතය දරුණුවටම ව්‍යාප්ත වෙමින් පැවතියද රජයේ මතභේදාත්මක පනත් හකුලා ගන්නා ලෙසට බලකරමින් ඔවුහු නොකඩවාම උද්ඝෝෂණයේ නිරත වූහ. ගොවීන් කිහිප දෙනෙක් සිය දිවි නසාගත් අතර 70ක් පමණ මරණයට පත්වූහ.
අගනුවරට පිවිසීමේ මාර්ග අවහිර කිරීමෙන් විරෝධතා දක්වන ගොවීන් ඉවත් කරන ලෙස ඉල්ලා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් රාශියක් ලැබී තිබිණි. ගොවීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා ආයතනයක් පිහිටුවීමට කටයුතු කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය මධ්‍යම රජයට දැන්වීය. දෙසැම්බර් 17 වැනි දින, ශ්‍රේෂ්ඨාධිකරණය සාමකාමී විරෝධතාවයකට ඇති අයිතිය පිළිගත් අතර සාකච්ඡා මගින් එය විසඳාගත යුතු බවද දැනුම් දුන්නේය. ගොවි නීති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ අධිකරණ නියෝගයක් නිකුත් කෙරුණු අතර එයට මධ්‍යම රජය විරුද්ධ විය. රජයේ ස්ථාවරය වූයේ නව පනත් අවලංගු නොකරන බවටය. රජයට මහා පරිමාණ සමාගම්වල සහය හිමිය. ඉන්දියානු කෘෂිකර්මාන්තය ප්‍රතිව්‍යුහගත කරන ලෙසට ඉන්දියානු ව්‍යාපාරික ප්‍රජාව රජයට විවිධ බලපෑම් කරමින් සිටින්නේ බොහෝ කලක සිටය.
ගොවීන් පැවසුවේ තමන්ට පසුබසින ලෙස අණ කළහොත් හෝ ගොවි පනත් ඉවත් කර නොගතහොත් අධිකරණයට වුවද තමන් සවන් නොදෙන බවටය. 2021 ජනවාරි 12 වන දින ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය ගොවි පනත් අත්හිටුවා විරෝධතා දක්වන ගොවීන්ගේ දුක්ගැනවිලි සොයා බැලීමට කමිටුවක් පිහිටුවීය. 2021 පෙබරවාරි 20 වනවිට ගොවීන්ගේ යෝජනා ඉදිරිපත් කරන ලෙසට කමිටුව ඉල්ලා සිටියේය. කමිටුව ගොවි සංවිධාන 73ක් සමඟ මාර්ගගත රුස්වීම් ගණනාවක් පැවැත්වීය.
මධ්‍යම රජයේ පනත්වලට එරෙහිව පන්ජාබ් ප්‍රාන්ත සභාව ගොවි නීති තුනට එරෙහිව පනත් හතරක් සම්මත කළේය. පසුව රාජස්ථාන් සහ චතිස්ගාර්ද මධ්‍යම රජයේ නීති සංශෝධනයට විරෝධය දක්වමින් පනත් කෙටුම්පත් සම්මත කර ගත්හ. නව ගොවි පනත්වල ප්‍රධාන ප්‍රතිලාභීන් වන්නේ මුකේෂ් අම්බානි සහ ගෞතම් අදානි බවට විරෝධතා දක්වන ගොවීන් අතර ප්‍රචලිත වීමත් සමඟ අදානි සහ තවත් ඉන්දියානු සමාගම් සමූහයකට අයත් සේවාවන් සහ පහසුකම් වර්ජනය කිරීමට ගොවි නායකයෝ පියවර ගත්හ. පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවල මුකේෂ් අම්බානි සතු රිලයන්ස් සමාගමේ ජියෝ දුරකතන ජාලයෙන් ඉවත්ව වෙනත් දුරකතන ජාල වෙතට යොමුවූහ. 2020 දෙසැම්බර් අවසන් සතියේ පන්ජාබ්හි Reliance Jio ටෙලිකොම් කුලුනු සහ අනෙකුත් යටිතල පහසුකම් ගණනාවකට හානි සිදුවිය. පන්ජාබ් මහ ඇමති අමරින්දර් සිං හට සන්නිවේදන කුලුනු විනාශ කිරීම නවතා දමන ලෙසට ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නට සිදුවිය.
අවසානයේ අගමැති මෝදිට පනත් තුන හකුලා ගැනීමට සිදුවිය. 2021 නොවැම්බර් 19 වන දින රෑපවාහිනී සාකච්ඡාවකට එක් වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සැසියේදී තම රජය මෙම පනත් තුන අවලංගු කරන බවයි. ඔහුගේ ප්‍රකාශයේදී ඔහු ගොවීන්ට එම පනත්වල වාසි ඒත්තු ගැන්වීමට තම රජයට ඇති නොහැකියාව ගැන කනගාටු වෙමින් මෙසේ පැවසීය.
ගොවීන්ට හිමිවන ප්‍රතිලාභ පැහැදිලි කිරීමට අවස්ථා කිහිපයකදීම රජය උත්සාහ කළත් අප අසාර්ථක වුණා.* යැයි ඔහු කීවේය. 2022 පැවැත්වීමට නියමිත පන්ජාබ් සහ උත්තර් ප්‍රදේශ් ඉදිරි ප්‍රාන්ත මැතිවරණවලට මෝදි ගත් තීරණය කිසියම් බලපෑමක් ඇති කළ හැකියැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. එහෙත් ගොවි සංවිධාන නියෝජනය කරන භාරතීය කිසාන් සංගමයේ ජාතික ප්‍රකාශක රාකේෂ් ටිකයිට් ප්‍රකාශ කර ඇත්තේ ගොවි විරෝධතා අවසන් කරන්නේ පනත් තුන සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් පසුව බවයි.
ඉන්දියානු ගොවියා යනු එරට හදවත හා ආත්මය බඳුය. එරට සමස්ත ජනගහනය වන බිලියන 1.4න් අඩක් පමණ කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන්ය. එහෙත් ගතවූ දශක තුන තුළ ඔවුන්ගේ ආර්ථික ශක්තිය දරුණු ලෙස කඩාවැටීමට ලක්වෙමින් තිබේ. කලකට ඉහත ඉන්දීය දළ දේශීය නිෂ්පාදනයෙන් තුනෙන් එකක් වූ කෘෂිකර්මාන්තය මේ වන විට ඩොලර් ට්‍රිලියන 2.9 වන වාර්ෂික ආදායමෙන් 15෴ක් ප්‍රමාණයක් දක්වා පහත වැටී තිබේ. ගොවීන්ගෙන් අඩකට වඩා ණයකරුවන් බවට පත්ව ඇති අතර 2018 සහ 2019 යන වසරයන්හි ගොවීන් 20,638 දෙනෙක් දිවි නසාගෙන ඇතැයි ඉන්දියානු ජාතික අපරාධ කාර්යාංශය පවසයි. ගොවිතැන් අසාර්ථක වීම, කෘෂි රසායනවල මිල අධික වීම සහ අධික ණය බර මෙම දිවි නසාගැනීම්වලට හේතු වී තිබේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා