කොවිඩ් උවදුරින් බැට කෑ රට යථාවත් වීමට පටන් ගත්තා පමණය. සංචරණ සීමා ඉවත් කරන්නට පෙරාතුව සිටම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට තිබුණේ වැසි සහිත කාලගුණයකි. ගෙවී ගිය දින ගණනාවක් තිස්සේ ද දිවයිනට බලපා තිබුණේ අයහපත් කාලගුණයකි. ජීවිත හානි, දේපල හානි, ගංවතුර, නාය යෑම් ඇතුළු ආපදා රැසක් අතර මහනුවර - කොළඹ පාරේ කඩුගන්නාව කන්දේ නාය යාම කාගේත් අවධානයට ලක් විය.
කඩුගන්නාව කන්දේ 98 වැනි කිලෝමීටරයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට ඉහළින් වූ කන්දේ කොටසක් නාය යාමේ අවදානමට ලක්වීම නිසා සති දෙකකට පෙර හදිසි ක්‍රියාමාර්ගයක් වශයෙන් පාර වහාම තාවකාලිකව වසා දැමීමට පියවර ගැනිණි. මේ හේතුවෙන් දෛනිකව මාර්ගය භාවිත කරන දහස් ගණනක් රථවාහන හා ලක්ෂ සංඛ්‍යාත ජනතාවට කඩුගන්නාව මාර්ගය මගහැර විකල්ප මාර්ග භාවිත කිරීමට සිදුවිය. උද්ගත වූ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කර කඩුගන්නාව මාර්ගයේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනිණ. ඒ අනුව පුරා දින හතක් පමණ වසා තැබූ මාර්ගය එක් මංතීරුවක් පමණක් විවෘත කිරීමට පියවර ගැනුණේ පසුගිය 17 වැනිදා පස්වරුවේය.
සිදු කළ ක්ෂේත්‍ර පරීක්ෂාවන්ගෙන් අනතුරුව පහළ කඩුගන්නාව ආශ්‍රිතව නාය යාමේ අනතුරු ඇඟවීමේ සංඥා ස්ථාපිත කිරීමට තීරණය කර ඇත. එසේම අදාළ ප්‍රදේශය ආශ්‍රිත මහා මාර්ගය හා දුම්රිය මාර්ගයේ කිසිදු අස්ථායීතාවක් නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තාක්ෂණික අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. එබැවින් අසත්‍ය ප්‍රචාරවලට නොරුවටෙන්නැයිද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මහාමාර්ග අමාත්‍යාංශ රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් පිරිසක් හා පහළ කඩුගන්නාව වෙළෙඳ සංගමය නියෝජනය කරන ව්‍යාපාරිකයන් පිරිසක් එක්ව සාකච්ඡාවක් පැවැත්වූහ. එහිදී අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ නාය අවදානම ඇතිවූ ප්‍රදේශය යථා තත්ත්වයට පත්කොට වෙළෙඳසල් කඩිනමින් ඉදි කිරීමට පියවර ගන්නා ලෙසය.
එසේම නාය යාමට ලක්වූ ස්ථානයේ ස්ථායීතාව ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු ආධාරක ව්‍යුහ හා කාණු පද්ධතියක් තුළින් ප්‍රධාන මාර්ගයේ බෝක්කු හරහා ජලය පහළ බෑවුමට විධිමත්ව බැහැර කිරීමට උපදෙස් ලබා දී ඇත. ඊට අමතරව ප්‍රධාන මාර්ගය මංතීරු තුනක් සහිතව නිමවීමටත් බෑවුම පැත්තෙන් මීටර් තුනක් පළල මංතීරුවක් වෙන්කර නැරඹුම් ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමටත් තීරණය කර ඇත. තවද සුදුසු මූල පද්ධතියක් සහිත ශාක සිටුවා බෑවුම් ස්ථායිතාව ආරක්ෂා කිරීමටද මාර්ගයට ඉහළින් ඇති ගල් පර්වතය හා මාර්ගය අතර කොටස පරිසර සංවර්ධන කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටද සැලසුම් කර තිබේ.
කොළඹ - නුවර මහා මාර්ගයට ඉහළ කඳුකරය ඔස්සේ කොළඹ - නුවර දුම්රිය මාර්ගය ද පැවතීම නිසා එම මාර්ගයට ද මෙම නාය යාමේ අවදානම බරපතළ ලෙස එල්ල වී තිබිණි. කඩුගන්නාව හා බලන දුම්රිය ස්ථාන අතර පිහිටි ඉනිමග රවුම සිංහ කට බිංගෙයට ඉහළින් ඇති ගල් පර්වතය එසේ අවදානමට ලක්ව තිබුණි. මේ හේතුවෙන් මහනුවර - රඹුක්කන අතර දුම්රිය ගමනාගමනය ද දින ගණනාවක් පුරා ඇණහිට තිබුණි.
කඩුගන්නාව කන්ද ආශ්‍රිත මාර්ගය කළුගල් හා අධික බෑවුම් ආශ්‍රිත ප්‍රදේශයකි. ඉංග්‍රීසි පාලකයන් විසින් කොළඹ - නුවර මාර්ගය ඉදිකළ සමයේ ගලවිදපු ස්ථානය වඩාත් ප්‍රසිද්ධය. මධ්‍යම පළාත හා සබරගමුව පළාත මායිම් වන්නේද මේ ස්ථානය අසලිනි. ගලවිදපු ස්ථානයට ඉහළින් ඇති මාර්ගයේ විශාල පස් කන්දක් කඩා වැටීම නිසා ප්‍රධාන මාර්ගයේ අඩකට වඩා පස් හා ගල්වලින් වැසී තිබුණි. මේ නිසා රථවාහන එක් මංතීරුවක ධාවනය කෙරුණේද අසීරුවෙනි.
කොළඹ සිට නුවර බලා යන ගමනේදී මාවනැල්ල හා හිඟුල ප්‍රදේශ පසුකරනවාත් සමඟ කඩුගන්නාව කන්ද ආරම්භ වෙයි. එම පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වම්පස විශාල කන්දකි. දකුණුපස අධික බෑවුම සහිත ඈත සබරගමුවේ කඳුවැටි රුසක් පෙනෙන සුන්දර පරිසරයකි. මේ ආශ්‍රිත පාරේ වම්පස එකදිගට පළතුරු කඩ රැසකි. ඈතින් දකින්නට ඇත්තේ බතලේගල අපූරු කන්දය. ඉන් පසෙක පෙනෙන්නේ ජීවිත රැසක් බිලිගත් නායගිය සාමසර කන්දය. පෙර කී පළතුරු කඩ පේළියට පසුපසින් වූ කන්ද නාය යාමට ලක්ව පළතුරු කඩ පේළිය රෑටා ගොස් නුවර පාරේ අයිනක වැටී පවතී. පවතින අවදානම හේතුවෙන් එම ප්‍රදේශයේ වෙළෙඳාම, සිරි නැරඹීම හෝ ගිමන් නිවීම තවදුරටත් සුදුසු නැත. මේ ආකාරයට පළතුරු කඩ පිටුපස කන්දේ කොටසක් නාය යාමෙන් පළතුරු කඩවලට හානි සිදුව තිබුණේ පසුගිය 9 වැනිදාය. ඒ හේතුවෙන් මීටර් 200ක තරම් දුරට පිහිටි පළතුරු කඩ 50ක් පමණ ඉවත් කර ගැනීමට සිදුව තිබිණ. මේ අතර අවදානම් සහිත මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ උපදෙස් මතය.
අදාළ ස්ථානය නිරීක්ෂණය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැමිණ තිබුණි. ඒ සමඟ ජාතික ගොඩනැගිලි පර් යේෂණ සංවිධානයේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් පැමිණ ඩ්‍රෝන කැමරා යොදාගෙන විශේෂ පරීක්ෂාවකට ලක් කළහ. ඒ පසුගිය 11 වැනිදාය. මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර් යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආසිරු කරුණාවර්ධන මහතා මාධ්‍යයට මෙසේ පැවසීය.
වර්ෂාවත් සමඟ කඩුගන්නාව මාර්ගයට ඉහළ කන්දේ අස්ථාවර බවක් ඇතිවී තිබෙන බව නිරීක්ෂණය කළා. ඇතිව තිබෙන පැලුම් කිහිපයක් තුළට වතුර ගමන් කිරීමෙන් මෙය සිදුවෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් එක් පැල්මක් මීටර් 100ක් විතර දිග ඇති කියලා අනුමාන කරනවා. කන්ද මුදුනින් ආපු ජල පහර මේ පැල්මවල් තුළට ගිහින් පහළට ඇවිත් තිබෙනවා. මුලින් කරන්න අවශ්‍ය වෙනවා එම පැල්මවල් වසා දැමීමට. පොළොවට ගිය ජලය සමාන්තර නළ පද්ධතියක් මගින් පිටතට ගැනීමට සැලසුම් කළා. ඒක කෙටිකාලීන විසඳුමක් පමණයි. නාය වළක්වාගන්න නම් මේකට ඉංජිනේරු තාක්ෂණය භාවිත කරල දීර්ඝකාලීන විසඳුමකට යා යුතුයි. දිගටම වැස්ස පැවතුණොත් නාය අවදානම වැඩිවෙන්න පුළුවන්.
අදාළ තොරතුරු ඇසුරින් සතියක් තුළ වාර්තාවක් ඉදිරිපත් කිරීමට එම පිරිස කටයුතු කරති. ඒ අනුව එක් මංතීරුවක් විවෘත කර කඩුගන්නාව හරහා රථවාහන ධාවනය කිරීමට අවස්ථාව සලසා තිබේ.
මිලිමීටර් 100 කඩ වැඩි වර්ෂාපතනයක් වැටෙනවා නම් නාය අවදානමක් ඇතිවෙන්න පුළුවන්. පසුගිය දිනවලදී එවැනි වැස්සක් වැටුණා. කන්ද උඩින් බොර වතුර පාරක් මාර්ගයේ කණුවට එනවා. පසේ මතුපිට පැලුම්වලින් වතුර ඇතුළට ගිහින් පහළට සෝදාගෙන එන බව මේකෙන් පැහැදිලි වෙනවා. මේ නිසා මීටර් 200ක විතර කොටසක් නාය යාමේ අවදානමක තිබුණා. ලොකු ගල් තිබෙන ප්‍රදේශයක එම පාෂාණ මත තමයි මේ පස් තට්ටුව තිබෙන්නේ. මේ තත්ත්වය ඉහළින් තිබෙන දුම්රිය මාර්ගය දක්වාම පවතිනවා. කන්ද මුදුනේ කෝච්චි යනවා. පහළින් මාර්ගයේ රථවාහන යනවා. මේ දෙකම නාය ඉක්මන් කරන්න හේතුවක් වෙන්න පුළුවන්. යැයි අදහස් ප්‍රකාශ කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාය.
නාය අවදානම සම්බන්ධයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා හා මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරිය ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ලබාදෙන නිර්දේශ මත තීන්දු ගන්නා බවය. එසේම පළතුරු කඩ හිමියන්ට සුදුසු සහන ලබාදීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයා අවශ්‍ය පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබාදීමට අපේක්ෂාවෙන් සිටින බවද වාර්තා වේ.
සමන්ත ප්‍රදීප් විල්තෙර