1985 මැයි 14 වැනිදා අනුරාධපුර බස් නැවතුම් පොළේ හා ජය ශ්‍රීමා බෝධීන් වහන්සේ අසල දී කොටි ත්‍රස්තවාදීන් විසින් මිනිස් ඝාතන 121 සිදුවූ අවස්ථාවේ එතැනට මුලින්ම ගිය අනුරාධපුර උප දිසාපතිට දක්නට ලැබුණේ තම දෑස් ඉදිරිපිට වෙඩි වැදී කෑගසන මිනිස්සුය. ඔවුන් ඔසවන්නට උදව් කරන විට උප දිසාපතිගේ ලේ තැවරී ඇත. පොලිසියත්, යුද හමුදාවේත්. මහජනතාවගේත් සහාය ඇතිව කෑගසන තුවාලකරුවන් වාහනවලට දමන විට ඔහුගේ අතේම මියගිය අවස්ථා තිබුණි.
කවුද මේ උප දිසාපති?
ඔහු කවියෙකි. ගීත රචකයෙකි. ඉංග්‍රීසි සහ සිංහල කලා විචාරකයෙකි. කීර්තිමත් පරිපාලන නිලධාරියෙකි. රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ පරිවර්තකයෙකි. නවකතා රචකයෙකි. ඔහු ගුවන් විදුලි ගීත රචකයකු වන්නේ අහම්බෙනි.
ඔහු එඩ්මන්ඩ් ජයසූරියයි.
1935 දෙසැම්බර් 29 වැනිදා බේරුවල උපන් බෝධිය බදුගේ ආරියදාස එඩ්මන්ඩ් ජයසූරිය බේරුවල ඉපිද කළුතර විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කුඩා කළ සිටම කවියට ඇලුම් කළ ශිෂ්‍යයෙකි. ගම්මුලාදෑනියකු වූ තම සීයාගේ (රොබට් ජයසූරිය) ආභාසය නිසා විශ්ව සාහිත්‍යයට ඔහු ඇලුම් කළේය. මීට වසර පනහකට පෙර ජයසූරිය මහතා මට මුලින්ම හමුවූයේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තකයකු ලෙස සේවය කරන කාලයේදීය. ඔහුගේ මේසය අසල මේසයේ සිටි හොඳම මිතුරා වූයේ හිටපු ඇමැතිවරයකු මෙන්ම කතානායකවරයකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාය. ජයසූරිය මහතා සමඟ කැන්ටිමට ගොස් තේ බොන අතරවාරයේ තම අතීත තොරතුරු කියන අතරේ තමා විසින් ලියූ ගීතයක අතීත කතාව මට කීවේය.
කළුතර විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ මගේ පන්තියේ කලාවට ලැදි මිතුරන් දෙදෙනෙක් සිටියා. එක්කෙනෙක් නාරද දිසාසේකර (ප්‍රවීණ ගායක, චිත්‍රපට අධ්‍යක්ෂ) අනිත් මිත්‍රයා තිස්ස ගුණවර්ධන (ප්‍රවීණ චිත්‍ර ශිල්පි, මූර්ති ශිල්පියෙක්, මොරටුවේ වේල්ස් කුමාර විද්‍යාලයේදී ආචාර්යවරයකු ලෙස ළමා නාට්‍ය නිෂ්පාදනය කල ඔහු ජගත් කීර්තියට ලක්වූ දක්ෂ ළමා නළුවන් බිහිකළ කලාකරුවෙකි.) අපි තිදෙනා කළු ගඟ අසල පිහිටි අල්විස් වලව්වේ අසල හිඳගෙන හින්දි ගීත කිව්වා. නාරද ඒ ගීත ගැයුවේ දිලිප් කුමාර් වගේ අකීකරු කෙහෙ රුල්ලක් තමා විසින් සකසාගෙන රඟපාමින්. අපි හිතුවෙම නාරද අනාගතයේ චිත්‍රපට නළුවෙක් වේවි කියලා. ඉර බැස යන ඇතැම් දවසක කළු ගං තෙර කුඹුක් සෙවණේ වාඩිවෙලා සැඳෑ හිරු වැටී දිදුලන දිය රුළි දෙස හෙලූ නෙතැතිව මාත්, නාරදත් ඩොස්ටොව්ස්කි, ගෝර්කි, චෙකොෆ්, ෂොන් පෙල් සාත්‍රෙ, කැමූ, හෙස ය නවකාතරුවන්ගේ අප කියවූ කෘති ගැන කතා කරනවා.
කළුතර බාලිකා විද්‍යාලයේ ඉගෙනුම යුවතියක කෙරෙහි එඩ්මන්ඩ් ශිෂ්‍යයා තුළ පිළිබඳ සිතක් ඇති විය. ඇයගේ සිත ඔහු වෙත ඇදී ගියේය. ආදරය මෝරා ගිය අලුත ඔවුන් සෑම පෝ දිනකම කළුතර බෝධිය වන්දනා කළේ දෙනෙත් වලින් හමුවීමටය. මේ ළා බාල පෙම්වතුන්ගේ ගෙවල් තිබුණේ දකුණු කළුතර පැත්තේය. එක් පෝය දිනක ඇය නොපැමිණියාය. එදා එඩ්මන්ඩ් බලාපොරොත්තු කඩ වී ගෙදර ගොස් හඳ ඇති ඒ රුයේ මෙසේ සිතුවාලු. ඇය මට නොලැබේද? නොලැබුණොත් මා කුමක් කරම්ද? එඩ්මන්ඩ් ඒ රාත්‍රියේ ගීයක් ලිවීය.
මේ අතර නාරද දිසාසේකර දිනක් කලබලයෙන් එඩ්මන්ඩ් සොයා පැමිණියේය.
එඩ්මන්ඩ් මට රේඩියෝ සිලෝන් එකේ සරල ගී තුනක් කියන්න ලැබිලා. කරුණාරත්න අබේසේකරයි, සරත් විමලවීරයි සින්දු දෙකක් ලියව්වා. අනිත් සින්දුව උඹ ලියලා දෙන්න ඕන.*
මේ දැන් සින්දු ලියන්න මට බැහැ. කලබලයට මට සින්දු ලියන්න බැරි බව උඹ දන්නවනේ. මේ එක්සසයිස් පොතේ සින්දු දෙක තුනක් ඇති. සුදුසු නම් තෝරගනින්.*
නාරද පොත පෙරළා බැලීය.
මේ තියෙන්නේ හොඳම රචනයක්. මීට වඩා තව මොනවද?* නාරද හයියෙන් කෑගසා කීවේය.
නාරද තෝරාගෙන තිබුණේ එදා පෝය දා තම පෙම්වතී ගැන සිතා එඩ්මන්ඩ් ලියූ ගීතයයි. ඇය අහිමි වේ යැයි සිතා ලියූ මේ ගීතයයි.
මුළු හදින් මම ඇයට පෙම් කොට
අනාගත පෙම් සිහින මැව්වෙමි
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
අයිති වන හැටි බලා දුක්වෙමි
නිසංසල තැනකට වෙලා
අඬන මගෙ ඇස් දෙක බලා
කියන්නකෝ දෙවියනේ මෙහෙවිත්
කොහොම ඉන්නද ඉවසලා
මගෙ අත ගෙන කණට ළං වී
අනේ සුදු මට ආදරේ යැයි
කියන්නට සිතුවේ ඇයිද සුදු
නොසිතුවෙද මට දුක් ලැබේ යැයි
නිදැල්ලේ තුරුළට වෙලා
රහස් එක එක කොඳුරලා
සිනාසුණු හැටි මතක් වෙනකොට
කොහොම ඉන්නද ඉවසලා
එදා රූ ගං ඉවුර අසබඩ
සුපුන් සඳ පායන වෙලාවෙක
කතා කී හැටි මතක් වෙනකොට
දුක දැනෙයි පවතින අපායක
මෙහෙම ලෝකෙක ඉපදිලා
සිතෙහි අදහස් සුන්වෙලා
මා උපන්නේ දුක් විඳින්නද
දුක් අඳුරු මැද තනිවෙලා*
එඩ්මන්ඩ් ලියූ ගීතය නාරද ගැයූ අතර ඒ ගීතයේ තනුව නිර්මාණය කළේ කුලරත්න තෙන්නකෝන්ය. මේ ගීතය කොතරම් ජනප්‍රිය වූවාද යත් ගීත ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ දිනවල සවස පළ වූ &ඔබ්සර්වර්* පත්‍රෙය් පාඨක පිටුවට ලියූ ගුවන් විදුලි අසන්නෙක් Song sends man insane (මිනිසකු පිස්සු වැට්ටවූ ගීතය) නමින් හඳුන්වා තිබුණි. ප්‍රේම වියෝවින් සිටි තමා මේ ගීතය අසා අසල තිබූ රේඩියෝව පොරවකින් ගසා දෙපලු කළ බවද පාඨකයා සඳහන් කර තිබුණි. නාරදට එඩ්මන්ඩ් තවත් ගීතයක් ලියා තිබුණි.
ඇය පමණයි මගෙ මිහිර
ඒකයි ලත වන්නේ
ඇය සඟවා ගෙන ගොස් උන්
ඇයි මට දුක් දෙන්නේ....*
මේ අතර එඩ්මන්ඩ් එදා පෙම් කළ රාණි තිලකා සිරිවර්ධන හා 1966 වසරේදී විවාහ විය.
එඩ්මන්ඩ් ද්විභාෂා උගතෙකි. ඔහු &ඩේලි නිවුස්* පත්‍රයේ කලා පිටුවට සිංහල නවකතා, කෙටිකතා හා කවි පොත් ගැන ඉංග්‍රීසි භාෂාවෙන් විචාර ලිව්වේ E.J. නමිනි. ඒ අතරම තිලක සුදර්මන් ද සිල්වා මෙහෙය වූ &විවේචන හා විමර්ශන* ගුවන් විදුලි වැඩසටහනින් තමාට ආවේනික ගැඹුරු කටහඬින් විචාර ඉදිරිපත් කළේය.
දක්ෂ පරිවර්තකයකු වූ එඩ්මන්ඩ් ජයසූරිය Thera-Theri Gatha ඉංග්‍රීසි පරිවර්තනය, රවීන්ද්‍රනාත් තාගෝර් &ගීතාංජලී* පරිවර්තනය කළ අතර සැළලිහිණි සන්දේශය (Selalihini) ඉංග්‍රීසි පරිවර්තනයට 2004 හොඳම ඉංග්‍රීසි පරිවර්තනය කෘතිය ලෙස රාජ්‍ය සාහිත්‍ය ත්‍යාගය දිනුවේය. තමා අනුරාධපුරයේ උප දිසාපති ලෙස රාජකාරි කරන කාලයේ ලැබූ අත්දැකීම් අළලා ලියූ &වැව් බැඳ රාජ්ජයේ සවාරියක්* කෘතිය හා Sojurn in Lake Cuntry එහි ඉංග්‍රීසි පරිවර්තනයත් (Monuments in Cultural Tringle) &ගිරා සංදේශය* ඉංග්‍රීසි පරිවර්තනයත්, කළ අතර ජයසේන ජයකොඩිගේ පිච්චමල &The Voyage* නමින් ඉංග්‍රීසි භාෂාවට නැගීය. ඇල්බෙයා කැමූ (Albert Camue) ලියූ &The Fall* නවකතාව &පරාභව* නමින් සිංහලයට පෙරළූ ඔහු ලියූ &තොටුපලේදී හමුවූ ස්ත්‍රිය* එකම නවකතාව විය. &හීන්සැරය*, &මඟුල් කෑම*, &හත් පණ* යන මුණිදාස කුමාරතුංග ළමා පොත්ද, ඊවා රණවීරගේ &සෙදෝනා* පරිවර්තනය කළ අතර &සෙදෝනා* සඳහා ග්‍රේෂන් සම්මාන ඔහු දිනා ගත්තේය.
කලක් එඩ්මන්ඩ් ජයසූරිය මහතා සංස්කෘතික ත්‍රිකෝණයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයද, ජනාධිපති අතිරේක ලේකම් ධුරයත්, ගංගොඩවිල සෝම හිමියන් අපවත් වීමේ ජනාධිපති කොමිෂන් සභාව, සුනාමි පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව, යුද්ධෝපකරණ මිලට ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම්, මාධ්‍ය උපදේශක, ජාතික බුද්ධි අංශය, කළමනාකාර අධ්‍යක්ෂ ලංකා පුවත් යන භාරදූර තනතුරුද හෙබවිය.
ජයසූරිය මහතා අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල දී වූ ඒ ඛේදවාචකය ගැන හැමවිටම අප සමඟ සංවේගයෙන් කතාකර තිබුණි. &මෙවැනි දසුනක් සසර පුරාම දක්නට නොලැබේවා!* ඔහු හැමවිටම කතාව පටන් ගත්තේය.
&මා මිනී කාමරයකට ගිය පළමුවැනි වතාව ඒ. ඈත කෙළවර තිබුණු මිනී කාමරය වෙත කොරිඩෝරයක් දිගේ යන ගමනම කිසියම් අනියත අස්වාභාවික ගතියකින් පිරුණා. මිනී කාමරය තුළ නුහුරු දුර්ගන්ධයක්. නිල මැස්සෝ වරෙක මළ මිනී මතද වරෙක මගේ ඇඟේ වසයි. ඒ මිනී අතර තිබූ එක් මිනියක් දුටු මම ගල් ගැසී බලා සිටියා. එය හදවත කම්පා කරවන දර්ශනයක්. එය අවුරුදු දහයක පමණ පිරිමි දරුවෙකුගේ මිනියක්. නිල් කොට කලිසමක් සහ සුදු අත්කොට කමිසයක් හැඳසිටි ඔහුගේ පා යුවලෙහි සුදු කැන්වස් සපත්තු දෙකක් තිබුණා. ඔහු නිසැක වශයෙන් අනුරාධපුර පාසලකට පැමිණි ශිෂයෙක් කියලයි මම හිතන්නේ.
තෙල් ගා මනාව පීරන ලද හිස කෙස් දෙපැත්තට බෙදා වෙන්කර තිබුණා. මුහුණෙහි තැවරෑ පුයර මැදින් කම්මුල් දිගේ තෙල් බේරී තිබුණා. දෑස විවර වී තිබුණ අතර තොල්ද මඳක් විවර වී තිබුණේ. ඒ නිසා ඒ දරුවා මඳ සිනාවකින් යුතුව සිටින්නාක් මෙන් මම දැක්කේ. ඒ ගියේ තෙල් ගා උදේ පීරු අම්මා තම දරුවා පාසල ඇරී ගෙදර එන තෙක් මග බලා සිටිනු ඇති. එහෙත්, ඔහු වෙනදා මෙන් යළිත් එන්නේ නැහැ. මම සතියක් පමණ දිනපතා මිනී කාමරයට ගියා. ඇතැම් දිනෙක මහ රූ මිනී කාමරයේ සිටින මගේ කලව පෙදෙසේ සීතල ගතියක් දැනුණා. කලිසමට යටින් අත යවා බලන විට මගේ අතට අසුවන්නේ පණුවෙකි! ඒ සතිය තුළ එබඳු දේ දරා ගැනීමට හැකි ශක්තියක් හා ඉවසීමක් අප තුළ ගොඩනැගී තිබුණා.
අපේ නිවෙස ඉදිරිපස අඹ ගස් දෙකක් තිබුණා. මගේ කමිසයක් හා සරමක් එහි එල්ලා තබා පිළිකන්නෙහි වූ ටැංකියට වතුර පුරවා රාත්‍රී කෑම මේසයට බෙදා නිදාගන්නා ලෙස මම බිරියට උපදෙස් දී තිබුණා. රාත්‍රී එකට පමණ රියදුරු හේරත් සමඟ ආපසු එන මම හැඳ සිටි ඇඳුම් ගලවා, සෝදා, ස්නානය කොට අඹ ගසේ එල්ලා ඇති අලුත් ඇඳුම් ඇඟලා ගන්නවා. පසුව නිවෙස තුළට යන මම කෑම මේසය වෙත ගොස් කෑම වසා ඇති වට්ටිය ඉවත්කොට බලනවා. ඒ ආහාර දකිනවාත් සමඟම මට ඔක්කාරය හැදෙනවා. මම කෑම වහාම වසා කාමරයට යනවා.* ඔහු කීවේ දෙනෙතේ රුඳි කඳුළු සඟවාගෙනය.
එඩ්මන්ඩ් ජයසූරිය මහතා විශ්‍රාම සුවය ලබා පොල්ගස්ඕවිට, මත්තේගොඩ ජාතික නිවාස සංකීර්ණයේ 2-C-/52 නිවසේ ගත කළේ පුස්තකාලයට වී පොත පත කියවමිනි. ජීවිතයේ අලසව සිටින ඇතැම් මොහොතක ඔහු ධම්මපදය, භගවත් ගීතාව හෝ නවකතාවක් කියවමිනි. එසේ නැතහොත් සිතින් නුවර කලාවියේ ඔහුගේ හිතවත් ගැමියන් අතරට යමිනි.
වෑකන්දේ බක් මී ගසක් සෙවණේ සිට වැඩිහිටි ගැමියා කියන සීපදය මට හෙමිහිට ඇහෙනවා. මා පැලට ගොඩ වූ විට අසුනක් පනවා තැඹිලි ගෙඩියකින් සංග්‍රහ කළ යුවතියගේ අකුටිලී සිනහව මැවී පෙනෙනවා. වෑකන්දේ ගුරුපාර දිගේ ඇවිද යනවිට මා වටා විහිද ගිය තුරුයායේ වන වදුලේ සිසිලස සිතට දැනෙනවා. නුවර කලාවියේ අව්‍යාජ ගැමියන් මට මතක් වෙනවා. ඔවුන්ගේ දහඩිය සුවඳ මට දැනෙනවා. මම ඔවුන්ට එතරම්ම සමීපව සිටියා.
ඈත අතීතයේ වෑ කන්දේ, ගැමි පැල්පතේ, වන වදුලේ යුවතියකගේ සිනහව මෙන්ම දුක් කඳුළේ ආත්ම ගතව දිවෙන අති සුන්දර පීනිත චමත්කාරය මසිත වෙලාගෙන සනහනවා.*
එඩ්මන්ඩ් ජයසූරිය මහතා වසර හතක් පමණ අනුරාධපුර උප දිසාපතිව සිටි කාලයේ රජරට ගුවන් විදුලි සේවයට ස්වර්ණ ශ්‍රී බණ්ඩාර නිෂ්පාදනය කළ &කෙවිට* නම් සමාජ විචාර වැඩසටහනද කාව්‍ය විචාර වැඩසටහනද මෙහෙයවීය.
මේ කීර්තිමත් පරිපාලන නිලධාරියා, මානව හිතවාදී මිනිසා 2020 ජූලි 25 වැනිදා මිය ගියේය.
ඉතා සරල ජීවිතයක් ගත කළ ඔහු පොත පත කියවීම, ලිවීම තුළින් උපරිම සතුටක් ලැබුවේය. වාහන, ඉඩකඩම්, වස්තුව, ප්‍රසිද්ධිය පසුපස නොගිය ඔහු රාජකාරිය දේවකාරිය කොට සැලකූ &ජනතා සේවය* අකුරටම ඉටුකළ පරිපාලන නිලධාරියෙකි. කොතරම් රජයේ උසස් තනතුරු දැරුවත් විශ්‍රාම ගැනිමෙන් පසු පුංචි නිවෙසක ජීවත් වූයේ තමාගේ කියා මෝටර් බයිසිකලයක්වත් නැතිවය.
ජයසූරිය යුවළට පුතුන් තිදෙනෙක් වූහ. දසන්ත ජයසූරිය පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ආචාර්යවරයෙකි. දෙවැනි පුතා රවි ජයසූරිය ලංකාදීප විජය පුවත්පත් ආයතනයේ පුස්තකාලයේ සේවය කරයි. බාල පුතා සංජීව ජයසූරිය පෞද්ගලික සමාගමක ප්‍රධාන තක්සේරුකරුවෙකි.
ජයසූරිය මහතා ගිලන්ව සිටියදී අවසන් මට හමුවන විට අජිත තෙද දෙසූ කවක් ආවර්ජනය කළේය.
මට මරණ බියක් නැත
ජීවිත ආශාවක් නැත
සම්‍යක් ඥාන ඇත්තෙමි
එළඹ සිටි සිහි ඇත්තෙමි
සිය සිරුර බහා තබන්නෙමි.