ගංජා හෙවත් කංසා යනු මානසික උත්තේජනය ඇති කෙරෙන THC (ටෙට්රාහයිඩ්රොකැනබිනොල්) සංඝටකය අන්තර්ගත ශාක විශේෂයකි. එහි අන්තර්ගත තෙල් සහිත ඇට සහ කෙඳි ලබා ගැනීම සඳහා ක්‍රිස්තු පූර්ව යුගයේ පවා මිනිසුන් කංසා වගා කරන්නට ඇතැයි පිළිගැනීමක් තිබේ. මෙම පැළෑටිය මුලින් හමුවී ඇත්තේ මීට වසර 12000කට පමණ ඉහත චීනයේ අල්තායි කඳුවැටිය ආශ්රිත ගංගා නිම්නවලය. ඖෂධ සඳහා පමණක් නොව වෙනත් නිෂ්පාදන සඳහාද කංසා භාවිත කෙරේ.
පසුගිය කාලයේ පාර්ලිමේන්තුව තුළද කංසා පිළිබඳ කතාබහක් ඇතිවිය. ඩයනා ගමගේ මන්ත්‍රීවරිය වරක් කියා සිටියේ ලෝකයේ වෙනත් රටවල් කංසා අපනයනයෙන් අති විශාල ආදායමක් ලබන බවත්. යුරෝපා ආයෝජන බැංකුවට අනුව ගෝලීය කංසා වෙළෙඳපොළ ඊළඟ දශකයේදී සියයට දහසකින් ඉහළ යන අතර එය 2027 වන විට ඩොලර් බිලියන 140 ඉක්මවන බවත්ය. කංසා වගා කර අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති සියලු විදේශ ණය ප්‍රමාණය 2025 වසර වනවිට ගෙවා අවසන් කළ හැකි යැයි බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාද වරක් ප්‍රකාශ කර තිබිණි. එහෙයින් කංසා අපනයනය පිළිබඳව සලකා බලන ලෙසට විවිධ පුද්ගලයන් විසින් ආණ්ඩුවේ අවධානයට යොමු කෙරිණි.
ඖෂධීය කංසා අපනයනය කිරීම සඳහා වන නීති රීති ගෙන ඒමට මේ වන විට ආණ්ඩුව පියවර ගනිමින් සිටී. පසුගිය සතියේ පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කරමින් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ඖෂධීය කංසා අපනයනය කිරීම සඳහා අවශ්‍ය නීතිමය අනුමැතිය මාස 3ක් තුළ පාර්ලිමේන්තුවෙන් ලබා ගැනීම කටයුතු කරන බවටය.
අපේ රටේ ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්ෂේත්රය තුළ පසුගිය කාලයේ පුනරුදයක් ඇතිවී තිබෙනවා ඒ නිසාම නොයෙකුත් දේශීය ඖෂධ වර්ග විශාල වශයෙන් භාවිතා කිරීමේත්, අපනයනය කිරීමේත් ප්‍රවණතාවක් ඇතිවී තිබෙනවා දේශීය ඖෂධ අනුමත කිරීම සඳහා තිබුණු බාධක ඉවත් කර තිබෙනවා. බටහිර අධිරාජ්‍යවාදීන් යටත් විජිත පාලන සමයේ අපේ දේශීය ඖෂධ තහනම් කරනු ලැබුවා. රටතුළ පැවැති සාම්ප්‍රදායික ඖෂධ වර්ග යළි නීතිගත කිරීමේ ක්‍රමවේදයකට අපි ගමන් කරමින් සිටිනවා. ඖෂධීය කංසා පිළිකා, ස්නායු රෝග මන්දමානසික රෝග මෙන්ම වේදනා නාශකයක් ලෙසද භාවිත කළ හැකියි. ඒ නිසා ඉදිරි මාස 3 ඇතුළත ඖෂධීය කංසා සඳහා අපනයනය සඳහා පමණක් නීතිමය අනුමැතිය ලබාගැනීමට කටයුතු කරනවා යනුවෙන් ඔහු එම අවස්ථාවේ සඳහන් කළේය.
ඖෂධීය ගුණයෙන් යුතු ගංජා නොහොත් කංසා වගාව ශ්‍රී ලංකාව තුළ නීතියෙන් තහනම්ය. එහෙයින් මෙරට කංසා වගා කරන්නේ රහසිගතවය. වැල්ලවාය, හම්බෙගමුව, තණමල්විල, ඇඹිලිපිටිය වැනි ප්‍රදේශ රහසිගත කංසා වගාවට ප්‍රසිද්ධ වන අතර මහා පරිමාණ කංසා හේන් විනාශ කොට ගිනි තැබීමට ආරක්ෂක අංශ කටයුතු කරයි. ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති එක්සත් ජාතීන්ගේ 1961 මත්ද්‍රව්‍ය ඖෂධ ඒකීය සම්මුතිය යටතේ වෛද්යප්රතිකාර හා පර් යේෂණ සඳහා නිෂ්පාදනය කිරීම හැර, ළඟ තබා ගැනීම, භාවිතය, වෙළෙඳාම, බෙදාහැරීම, ආනයනය, අපනයනය සහ නිෂ්පාදනය තහනම්ය. 1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 08 වැනි වගන්තිය අනුව ඖෂධ සඳහා පමණක් කංසා වගා කිරීමට ආයුර්වේද කොමසාරිස්වරයා වෙත බලය පැවරී තිබේ.
ගංජා හෙවත් කංසා යනු මානසික උත්තේජනය ඇති කෙරෙන THC (ටෙට්රාහයිඩ්රොකැනබිනොල්) සංඝටකය අන්තර්ගත ශාක විශේෂයකි. මත්ද්‍රව්‍ය ලෙස සැලකෙන අනෙකුත් ද්‍රව්‍ය හා සංසන්දනය කිරීමේදී කංසාවල ඇත්තේ අවම හානිදායක තත්ත්වයකි. එමෙන්ම එහි අන්තර්ගත ඖෂධීය ගුණය අති විශාලය. එක්සත් ජාතීන්ගේ සම්මුතියෙන් කංසා හා කංසා රෙසින ඉවත් කරන ලෙසට 2018 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානයද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේ එහි පවතින ඖෂධීය ගුණය පිළිබඳව සලකා බැලීමෙනි.
කංසාවල ප්‍රධාන රසායන සංඝටක වන්නේ කැනබිනොයිඩ් (මෙය එහි අන්තර්ගත ප්‍රධාන සංඝටකය වන අතර මෙම රසායනික ප්‍රභේද 113ක් පමණ සොයාගෙන ඇත.), ටර්පීන්ස් (සුවඳ සංඝටක) හා ෆ්ලේවනොයිඩ් (රස සංඝටක)ය. කැනබිනොයිඩ්හි අන්තර්ගත රසායනික ද්‍රව්‍ය අතර THC (ටෙට්රාහයිඩ්රොකැනබිනොල් - මානසික ආවේග ඇතිකරන සංයෝග. මෙහි ප්‍රබලත්වය අවම කළ ප්‍රභේද ඖෂධ සෑදීම සඳහා භාවිත කෙරේ.) සහ CDB (කැනබිඩියෝල් - මානසික අාවේග ඇති නොකරන ඉහළ ඖෂධ ගුණයකින් යුතු සංයෝගයකි. ලොව පුරා ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිත කෙරේ) ප්රධානවේ.
සාමාන්‍යයෙන් කංසා උප ප්‍රභේද තුනකට බෙදා තිබේ. ඉන් පළමුවැන්න කැනබිස් සැටයිවාය. (Cannabis Sativa) මේ වර්ගය යොදා ගැනෙනුයේ විවිධ නිෂ්පාදන සහ ඖෂධ නිෂ්පාදනය සඳහාය. දෙවැනි වර්ගය කැනබිස් ඉන්ඩිකා . (Cannabis Indica) ය. මෙය ඉතා ඉහළ මත්ද්‍රව්‍ය සංයුතියකින් යුතුවන අතර ඇතැම් ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිත කෙරේ. තෙවැනි වර්ගය කැනබිස් රූඩෙරාලිස්. (Cannabis Ruderalis) ය. මේවා මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල වැවෙන වල්පැළෑටියක් ලෙස සැලකේ
ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා තෙල් නිස්සාරණ හැකියාව (දේශීය හා විදේශීය වෙළෙඳපොළ සඳහා) පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින්ද පසුගිය කාලයේ අධ්‍යයනයක් කර තිබිණි. එම අධ්‍යයනය මගින් කංසා ශාඛයෙන් ලබාගත හැකි විපුල ප්‍රයෝජන රුසක් ඔවුන් අනාවරණ කර තිබේ.
ශ්‍රීලංකාවේ සුලබ වශයෙන් දැකිය හැකි කංසා වර්ගය කැනබීස් සැටයිවාය. මෙම ශාඛයේ අවම THC (ටෙට්රාහයිඩ්රොකැනබිනොල්) ප්‍රතිශතයක් සහ ඉහළ CDB (කැනබිඩියෝල්) ප්‍රතිශතයක් පවතී. එහෙයින් ශ්‍රී ලංකාවේ වැවෙන කංසා පැළෑටිය ඖෂධ නිෂ්පාදනය සඳහා ඉතා යෝග්‍ය වන අතර ඉහළ අපනයන හැකියාවක්ද පවතී. Cryogenic Extraction Processes නම් ක්‍රමවේදය මගින් පැලෑටියේ රසායනික සංයුතියට හානියක් නොවන පරිදි එහි ඇති කැනබිනොයිඩ් රසායනය වෙන් කරගත හැකියැයි. ගුවන් හමුදා අධ්‍යයනයෙන් පෙන්වා දී තිබේ.
කංසා දේශීය ආයුර්වේදයේ හැඳින්වෙන්නේ ත්‍රෛලෝක විජයපත්‍ර ලෙසිනි. අර්ශස්, ස්වාස, කාස රෝග සමනය සඳහාද, අතීසාරය වැනි රෝගවලට ප්‍රතිකාර කිරීමටද කංසා සහිත ඖෂධ යොදා ගැනේ. ශ්‍රී ලංකාවේ ඇති පුරාණ ආයුර්වේද ග්රන්ථ රුසක කංසා පිළිබඳ සඳහන්ය. ඒවාට අනුව තෙල්, මෝදක, ගුලි, චූර්ණ, වටිකා, බස්න, ලේහ වැනි ඖෂධ වර්ග 110ක් පමණ නිෂ්පාදනය සඳහා කංසා යොදා ගැනේ. ඉන්දියානුවන්ගේ පැරණිතම ඖෂධ සංග්‍රහය වන වේද ග්රන්ථවලද කංසා පිළිබඳව සඳහන්ය. චීනයේ පැරණිතම ඖෂධ සංග්‍රහය පෙන්ෂෝචින්ග් නමින් හැඳින්වේ. පර්සියානුවන්ගේ ඖෂධ සංග්‍රහය මාක්ෂාන් අල් අද්වියාවිය. ශ්‍රී ලංකාවේ මුල්ම ඖෂධ සංග්‍රහය සාරාර්ථ සංග්‍රහයයි. යුරෝපයේ සැම රටකම මෙන්ම ඇමරිකාවේ ද ඖෂධ සංග්‍රහයන් තිබේ. ලතින් බසින් මැටීරියා මෙඩිකා නමින් හැඳින්වෙන ඖෂධ සංග්‍රහය ඉංග්‍රීසියෙන් ඩිස්පෙන්සරි හෝ පාර්මැකෝපියා නමින් හැඳින්වෙයි. මෙම සියලු ඖෂධ සංග්‍රහවල සඳහන්ව තිබූ එක් ප්‍රධාන ඖෂධීය ශාකයක් වන්නේ කංසා ය.
CDB හෙවත් කැනබිඩියෝල් තෛලය කාන්සාව, ආතතිය, දියවැඩියාව, පිළිකා වැනි රෝග සඳහා වන ඖෂධ නිපදවීමට හා වේදනා නාශකයක් ලෙසද භාවිත කෙරේ. මෙම තෙල් යොදාගෙන දැනට ලොව පුරා විවිධ ඖෂධවර්ග රුසක් නිෂ්පාදනය කෙරේ. ලෙනක්ස් ගැස්ටවුට් සින්ඩ්‍රෝමය හෙවත් ළමා වියේ වැළඳෙන අපස්මාරය, ජානමය ආබාධයක් වන ඩ්රාවට් සින්ඩ්‍රෝමය සඳහා භාවිත කෙරෙන Epidiolex නමැති ඖෂධය, පිළිකා රෝගීන්ට ලබා දෙන වේදනා නාශක ඖෂධයක් වන Sativex, පිළිකා රෝගීන්ට ඇතිවන වමන තත්ත්වය සමනය සඳහා ලබා දෙන Dronabinol, Marinol, Nabilo Cesamet, සහ හෘද ශල්‍යකර්මවලින් පසු හා මොළයට සිදුවූ අනතුරුවලින් පසු යළි සිහිකැඳවීම සඳහා ලබා දෙන හා පිළිකා මර්දනය සඳහා ලබා දෙන Dexanabinol වැනි ඖෂධ නිපදවීම සඳහා කැනබිඩියෝල් රසායනික යොදා ගැනේ.
ලොව බොහෝ රටවල් මේ වන විට CDB රසායනික රෑපලාවණ්‍ය ඖෂධ සහ ආහාරපාන නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට අනුමැතිය ලබා දී තිබේ. විශාල ලෙස ලාබ ලැබිය හැකි ව්‍යාපාරයක් හෙයින් ලොව පුරා ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් CDB නිෂ්පාදන කෙරෙහි යොමු වී සිටිති. ගෝලීය වශයෙන් වැඩිම කැනබිඩියොල් තෙල් වෙළෙඳපොළ ඇත්තේ එක්සත් ජනපදයේ හා කැනඩාවේය. එක්සත් රාජධානිය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, චීනය, ඉන්දියාව, දකුණු කොරියාව, ආජෙන්ටිනාව, බ්‍රසීලය, කොළොම්බියාව ඊශ්‍රායෙලය සහ අප්‍රිකාව වැනි රටවලද එය ව්‍යාප්තව තිබේ.
2018 වසරේ ලෝක වෙළෙඳපොළේ කංසා නිෂ්පාදනය සඳහා ඇස්තමේන්තුගත වෙළෙඳපොළ අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 4ත් 5ත් අතර අගයක තිබිණි. 2025 වන විට කංසා සඳහා ලෝක වෙළෙඳපොළ අගය ඩොලර් බිලියන 8.6ත් 10.5ත් අතර වනු ඇතැයිද ඇස්තමේන්තු ගතකර තිබේ.
කංසාවල වැදගත්කම හඳුනාගැනීම මත ලොව රටවල් 40ක් පමණ එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් කංසා සඳහා පනවා ඇති තහනම ඉවත් කරගෙන තිබේ. කොළොම්බියාව, කැනඩාව, උරුගුවේ, ස්පාඤ්ඤය, පෘතුගාලය, රුමේනියාව, ඇමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල කංසා භාවිතය තහනම් නොවේ. ප්‍රංශය, ඉන්දියාව, ඩෙන්මාර්කය, ජර්මනිය, රුසියාව සහ කොරියාව, නෙදර්ලන්තය, වියට්නාමය හා මැලේසියාව වැනි රටවලද කංසා ආශ්රිත පර් යේෂණ හා නිෂ්පාදන කිරීමේ තහනමක් නොමැත. එක්සත් ජාතීන්ගේ 1961 සම්මුතියේ 4 (C) සහ 36 වගන්ති මෙන්ම 1988 සම්මුතියේ 3 වැනි වගන්තියේ 1 (9) ඡේදය අනුව වෛද්‍යමය කාර්යයන් සඳහා නොවන කංසා භාවිතයට අවසර ලබා දෙන්නේ නැත.
ඖෂධවලට යොදා ගැනීම හැරුණු විට ශ්‍රී ලංකාවේ බොහෝ විට කංසා භාවිත වූයේ සිරුරට අහිතකර දුම් පානයක් ලෙසිනි. පසුගිය කාලය පුරාවටම අපේ රටේ රහසිගතව වගාකළ කංසා හේන් ගිනි තබා විනාශ කෙරුණු අතර මෙම වටිනා පැලෑටියේ ඇති ඖෂධීය ගුණය පිළිබඳව එතරම් තැකීමක් නොවීය. එහෙත් මේ වනවිට ලොව පුරා විවිධ රෝග නිවාරණය සඳහා අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය සඳහා කංසාවලට විශාල ඉල්ලුමක් ඇති වී තිබේ. එහෙයින් ඖෂධීය කංසා විදේශයනට අපනයනය කිරීම සඳහා නීති සකස්වීම දෙයාකාරයකින් වැදගත්ය. පළමුවැන්න නීත්‍යානුකූල කංසා වගාකරුවන්ට ස්ථීර ආදායම් මාර්ගයක් නිර්මාණය වීමය. දෙවැන්න විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකි වීමය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා