2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

ස්විච් 6කට කඩන්න හදන විදුලිබල මණ්ඩලේ

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 67

දැනට එක් සාමාන්‍යාධිකාරිවරයකු යටතේ පවතින ලංකා විදුබල මණ්ඩලය අංශ 6කට කඩා සාමාන්‍යාධිකාරිවරුන් සය දෙනකු යටතට පත් කිරීමේ  වැඩපිළිවෙළක් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය කියා සිටී. එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කරන්නේ මෙහි යටි අරමුණ ඒවා පෞද්ගලිකරණය හෝ විකුණා දැමීමට පිඹුරුපත් සකස් කිරීමක් බවයි.

ජනන අංශය, සම්ප්‍රේෂණ අංශය, හා රීජන් 1, රීජන් 2 සහ රීජන් 3 රීජන් 4 ලෙස හැඳින්වෙන ලංකාව පුරා සිටින පාරිභෝගිකයන් බෙදා ඇති අංශ 4ටද නව සාමාන්‍යාධිකාරිවරයකු බැගින් පත් කිරීමට සූදානම් වෙනවා. ඔවුන් අපට කියන්නේ මේවා කොම්පැනි නොකරන බවයි. එහෙත් මෙහිදී සිදුවන්නේ ඒවා පෞද්ගලික සමාගම් බවට පත්වීමයි. මුල්‍ය බලතල, ටෙන්ඩර් කැඳවීමේ බලතල, සේවකයන් බඳවා ගැනීමේ බලතල වැනි සියලු බලතල මේ සාමාන්‍යාධිකාරිවරුන් යටතට වෙන වෙනම පැවරෙනවා. ඔවුන් එම අංශයේ සාර්ථකත්වය පෙන්විය යුතුයි. පෙන්නුවේ නැතිනම් මොකද වෙන්නේ. ගල්අඟුරුවලට ඩෙන්ඩර් දැම්මම ඩොලර් නැති නිසා ඒවට කවුරුත් ඉල්ලන්නේ නැහැ. තෙල් සංස්ථාව වහල.. තෙල් පිරිපහදුව නැවතිලා. ඒනිසා සපුගස්කන්ද සහ කැලණිතිස්ස බලාගාර දුවවන්න බැහැ. දැවිතෙල් පිටරටින් ගෙන්වන්න වෙනවා. ඒකටත් ඩොලර් නැහැ. ජනන අංශයේ සාමාන්‍යාධිකාරිවරයාට මේ තත්ත්වය යටතේ ලාබ පෙන්වන්න පුළුවන්ද? ඔහුට බලාගාර පවත්වාගෙන යා හැකිද? එතකොට ආණ්ඩුව මොකද කරන්නේ? නොරොච්චෝලෙ චීනයට දෙනවා. කැලණිතිස්ස, සපුගස්කන්ද තවත් රටකට දෙනවා. එතකොට මේවා කොම්පැණි වෙන්නේ නැද්ද? විදුලිබල මණ්ඩලය සම්පූර්ණයෙන්ම නොවික්කට ජනන අංශය හෝ වෙනත් අංශයක් වෙනත් රටකට දුන්නොත් ඒ සාමාන්‍යාධිකාරිවරයාට ජලවිදුලි බලාගාරටික විතරක් ඉතුරුවේවි. අනිත් ඒවා ඔක්කොම පිටරටවලට අයිතිවෙයි. ඒ වගේම මුදල් බලතල එක් එක් සාමාන්‍යාධිකාරිවරයා වෙත පැවරුණු විට ලාබ පෙන්වීම සඳහා ඔවුන් විවිධ ගාස්තු අයකරාවි. යනුවෙන් ඔහු සඳහන් කළේය. 

විදුලිබල මණ්ඩලයේ අර්බුද දිනෙන් දිනම වර්ධනය වෙමින් පවතී. යුගදනවි බලාගාරයේ රජය සතු කොටස්වලින් 40%ක් ඇමෙරිකානු සමාගමකට විකිණීම සඳහා අත්සන් කළ ගිවිසුමට එරෙහිව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පසුගිය නොවැම්බර් 25 දින සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්යක් ආරම්භ කළේය. තම ඉල්ලීමට ඇහුම්කන් නොදෙන්නේ නම් අකුරට වැඩ කිරීමේ ක්‍රියාවලිය වැඩ වර්ජනයක් දක්වා වර්ධනය විය හැකි බවද ඔවුහු ප්‍රකාශ කළහ.

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු අකුරට වැඩ කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය. අකුරට වැඩ කිරීමේ ක්‍රියාවලියේදී සමස්ත විදුලිබල පද්ධතියම ටිකෙන් ටික බිඳවැටීමට ලක්වේවි. ජලය නැති වෙයි, රෝහල් පද්ධතිය අකර්මණ්‍ය වෙයි. ෂෙඩ්වල තෙල් ගහන්න බැරිවෙයි. සියල්ල බිඳ වැටී රට නවතියි. ඒ තත්ත්වය අපි දන්නවා ඒ නිසා අපිව එතනට තල්ලු නොකර මෙම ප්‍රශ්නය විසඳන ලෙස අපි රජයට කියනවා. ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරුවෝ 1996න් පසු වැඩවර්ජනය කර නැහැ. අපි එවැනි වර්ජනවලට ලේසියෙන් යන කණ්ඩායමක් නොවෙයි. අපි වෘත්තිකයෝ. අපි වර්ජනය කළොත් විදුලිබල පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. යැයි සඳහන් කළේය.
මෙම ගිවිසුම මඟින් කෙරවලපිටියේ දැනට ක්‍රියාත්මක වන මෙගවොට් 350ක යුගදනවි විදුලි බලාගාරය හිමි වෙස්ට්කෝස්ට් සමාගමේ කොටස්වලින් මහා භාණ්ඩාගාරයට අයත් 40%ක කොටස් අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් නමැති සමාගමට විකිණීමටත්, විදුලි බලාගාරයට එල්එන්ජී සැපයීමට සම්බන්ධ පාවෙන ගබඩාව හා නළ පද්ධතිය ඉදිකිරීම හා පවත්වාගෙන යාම අදාළ සමාගමට පැවරීමටත් යෝජනා කර තිබේ.

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කරන්නේ. රජයේ ඉල්ලීම පරිදි  නිව් ෆෝට්‍රස් සමාගම මෙම කටයුත්තට සම්බන්ධ වූ බවයි. 

මෙගාවොට් 300ක ස්වභාවික වායුවලින් ක්‍රියාත්මක කෙරෙන විදුලි බලාගාරයක් ඔවුන්ගේ මුදලින් ඉදිකොට එයට ස්වභාවික වායු සැපයීමට ඇමෙරිකාවේ නිව්ෆෝට්‍රස් සමාගම ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කළා. බලාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය නොමැති බවත්, රජයට 50%ක කොටස් හිමි යුගදනවි බලාගාරයෙන් 40% කොටස් මිලට ගන්නා ලෙසටත් රජය එම සමාගමෙන් ඉල්ලා සිටියා. ආණ්ඩුවේ එම යෝජනාව අනුව භාණ්ඩාගාර නිලධාරීන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු විවිධ පිරිස් එක්ව සාකච්ඡා කිරීමෙන් පසු 40% කොටස් විකිණීමේ එකඟතාවකට පැමිණියා. ඒ අනුවයි 2021 සැප්තැම්බර් 17දා විකිණීමට එකඟවීමේ ගිවිසුමක් අත්සන් කළේ. ඒ සඳහා එම සමාගම ඇමෙරිකන් ඩොලර් මිලියන 250ක ඉතා විශාල මුදලක් ගෙවීමට එකඟ වූ අතර එය රටට ඉතා වාසිදායක මුදලක්.  යුගදනවි බලාගාරය වසර 11 ක්‍රියාත්මක වූ එකක්. එය තවත් වසර 14කින් විදුලිබලමණ්ඩලයට නොමිලයේම ලැබීමට තිබූ එකක්. යනුවෙන් ප්‍රකාශ කර තිබිණි.
ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු  මහතා පවසන්නේ මෙහි වෙනත් අරමුණක් ඇති බවයි. 

මෙතන තියෙන්නේ යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමට විකුණලා ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් ලබාගැනීමේ ගනුදෙනුවක් නොවෙයි. ඊට වඩා විශාල ගනුදෙනුවක්. ඔවුන් අපේක්ෂා කරන්නේ යුගදනවි බලාගාරයට පමණක් එල්එන්ජී සැපයීම නොවෙයි. වර්තමානයෙත්, අනාගතයේදීත් කෙරවලපිටියේ ඇති සියලුම බලාගාරවලට හා රටේ ජනතාවට  ගෑස් සැපයීමේ ඒකාධිකාරය ඔවුන්ට හිමිවෙන ඉතාමත් දූෂිත, නීති විරෝධී ගිවිසුමක් මේක. නිව් ෆෝට්‍රස් ගිවිසුම වහාම අවලංගු කරන ලෙසටත් රටේ ජනතාවට වසන් කරපු දූෂිත ගිවිසුම් රටට හෙළිදරව් ලෙසටත් අපි රජයට කියනවා. විදුලිබලය ඇනහිටියොත් එයට වගකිව යුත්තේ මේ ආණ්ඩුවයි. එහි වගකීම ඔවුන් බාරගත යුතුයි. 

මෙම නීතිවිරෝධී ගිවිසුම ක්‍රියාත්මක නොකරන ලෙසට අපි ජනාධිපතිවරයාට, අගමැතිවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ 225 දෙනාටම ලිපි යවමින් කියා සිටියා. එහෙම කළොත් අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙනවා කියා එමගින් දැන්නුවා.  අපි මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹිලා තියෙන්නේ රටේ අනාගතය වෙනුවෙන්, බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් සහ මේ රටට සිදුවන ඩොලර් මිලියන ගණනක අලාභය නවත්වා ගැනීම වෙනුවෙන් විනා අපේ පඩි වැඩිකරගන්නවත්, දීමනා ලබාගන්නවත්, වෙනත් වරප්‍රසාද ලබා ගැනීමටවත් නොවෙයි. මෙම නිව්ෆෝට්‍රස් සමාගමට අපේ ටෙන්ඩරයක් ලබා ගැනීමට අවශ්‍ය අවම සුදුසුකමවත් නැහැ. මේ ටෙන්ඩරය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය කමිටුවක් පත් කළා. එයත් නීතිවිරෝධි කමිටුවක්. යනුවෙන් කුමාරවඩු මහතා සඳහන් කළේය.

පසුගිය නොවැම්බර් 3 වැනිදා විදුලිය, වරාය හා ඛනිජතෙල් වෘත්තීය සමිති ද විරෝධතාවල නිරත වූයේ යුගදනවි බලාගාරයේ 40% කොටස් සහ මෙරට එල්එන්ජී සැපයුම ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට විකිණීම ඇතුළු ජාතික සම්පත් විදේශිකයන්ට පවරා දීම වහා අත්හිටුවන ලෙස ඉල්ලමිනි. මෙම උද්ඝෝෂණවලට ඉංජිනේරු සංගමයද එක්ව සිටියේය. විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද ඔවුන් තම විරෝධය පළකර තිබිණි. එම උද්ඝෝෂණය රාජ්‍ය විරෝධී ක්‍රියාවක් ලෙස නම් කළ හැකියැයි විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇතැයි පැවසූ ඔවුන් සභාපතිවරයාගෙන් විමසා සිටියේ නීති විරෝධි ලෙස කැබිනට් මණ්ඩලයට නොදන්වා, එමෙන්ම ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ට නොදන්වා රහසිගතව අත්සන් කළ ගිවිසුම නීත්‍යානුකූලදැයි කියාය. මෙරට ආර්ථිකයේ මර්මස්ථාන තුනක් ආණ්ඩුව මේ වන විට සෙල්ලමකට බාරගෙන ඇතැයි ඔවුහු චෝදනා කළහ.  එදින විරෝධතාවක් පමණක් පැවැත්වූ ඔවුහු අවශ්‍ය වුවහොත් වැඩවර්ජනයකට යන බවද ප්‍රකාශ කර සිටියහ. 

මේ වනවිට එම වෘත්තීය සමිති සංධානය ලබන දෙසැම්බර් 8 වැනිදා කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවක නිරතවිමට  තීරණය කර තිබේ. ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් කියා සිටියේ දෙසැම්බර් 8 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයන් බලාගාරවලින් ඉවත්ව ලෙඩ නිවාඩු දමන බවත් තවත් පිරිසක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක නිරතවන බවත්ය. දෙසැම්බර් 8 තීරණාත්මකයි. රටේ ජනතාව පීඩාවට පත් කොට රට අඳුරේ තබා මේ සටන ජයග්‍රහණය කිරීමට අපට අවශ්‍ය නැහැ. එහෙම උනොත් තත්ත්වය බරපතළ වෙයි. වෙන් වෙන්ව සටන් කරන සියලු වෘත්තීය සමිති එක අරමුණක් වෙනුවෙන් දෙසැම්බර් 8 වැනිදාට එකතු වෙනවා. යනුවෙනි.

කොත්මලේ සිට බියගම දක්වා ඇති සම්ප්‍රේෂණ මාර්ගය පසුගිය 29 රාත්‍රියේ බිඳවැටීමකට ලක්විය. ජල විදුලිය ප්‍රමාණවත්ව තිබියදී විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් රජය විසින් ප්‍රකාශයක් කළ යුතුයැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය කියා සිටී. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රන්ජන් ජයලාල් 

මෙවැනි ස්වභාවික බිඳ වැටීමකදී ජනතාව බරපතළ පීඩාවකට ලක්වනවා. අපි දන්නවා ඇමෙරිකානු සමාගමක් බලශක්ති ක්ෂේත්‍රයට අත තියනවා කියන්නේ අනාගතයේදී මෙවැනි බිඳවැටීම් ඇති කරලා. ඔවුන් අපේ රට හසුරුවන්න උත්සාහ ගනියි. මේ ගිවිසුම හොර ගිවිසුමක්. එයින් රටට අනර්ථයක් වෙනවා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවා. ඒ අනතුර ගැනයි අපි දිගින් දිගටම ආණ්ඩුවට කියන්නේ. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මෙම ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලමින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ මේ වන විට නිරත වෙනවා. 29 දා විදුලිය බිඳවැටීම ස්වාභාවික සිදුවීමක් මත ඇතිවූවක් විනා ඔවුන්ගේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය නිසා සිදුවූවක් කියා කියන්න බැහැ. රටට හෙණ ගැහුවත්, ජනතාව අඳුරේ හිටියත් ආණ්ඩුවට කමක් නැහැ. ආණ්ඩුව සියලු ජාතික සම්පත් විකුණමින් සිටිනවා. ඒ නිසා අප දෙසැම්බර් 8 වැනිදා ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල් සේවකයොත්, වරාය සේවකයොත්, විදුලි සේවකයොත් කොළඹට කැඳවනවා. අප මේ කරන්නේ රට බේරාගැනීමේ අරගලයක්. එහෙම නොකළොත් රටේ ජනතාවට එක දවසක් නෙමෙයි සදාකාලිකවම අඳුරේ ඉන්න වේවි. ගෑස් මිල, කිරිපිටි මිල කොම්පැනිකාරයෝ තීරණය කරනවා වගේ, හාල් මිල මෝල් හිමියන් තීරණය කරනවා වගේ හෙට දවසේ විදුලි බිල තීරණය කරන්නේ ඇමෙරිකානු සමාගමයි.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් පංචපුද්ගල ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මගින් පසුගිය සඳුදා සලකා බැලිණි. කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස්වලින් 40.%ක් සහ ගෑස් සැපයීමේ ඒකාධිකාරිය ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්, සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන  සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ යන අය විසිනි.

මෙම කොටස් පැවරීමේදී විධිමත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර නොමැති බවත් අමාත්‍ය මණ්ඩලය ගත් තීරණ යුක්ති සහගත නොමැති බවත් තම පෙත්සම් මගින් ඔවුන් කරුණු ඉදිරිපත් කර තිබිණි. මෙහි විශේෂත්වය වූයේ වගඋත්තරකරුවන් වන අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියද ආමාත්‍ය මණ්ඩල සාමාජිකයන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන තිදෙනා තමන් වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයකු ලෙස ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවාගේ සහාය ලබාගෙන තිබීමය. යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමේදී කැබිනට් මණ්ඩලයේදී ඒ සම්බන්ධ සාකච්ඡාවක් සිදු නොවුණු බව මේ තිදෙනා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. ඔවුන් ප්‍රකාශ කර තිබුණේ මෙම ගිවිසුම රටට අසාධාරණ ලෙස බලපාන ගිවිසුමක් බවටය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05