2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

මිනිසුන්ගේ සහල් සතුන්ට යන හැටි

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 242

කුසගින්න සකල ලෝක සත්ත්වයා තුළ පවත්නා සදාතනික දුර්වලතාවයකි. සියලු සතුන් කෙරෙහි බලපවත්නා ප්‍රධානතම ජීවන අරගලය කුසගිනි නිවාගැනීමයි. ආහාර සම්බන්ධයෙන් මානවයා ප්‍රමුඛ සියලු සතුන් අතර ගැටුම් නිර්මාණය වන්නේ එබැවිනි. අප මෙම ලිපිය හරහා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ද එවන් ගැටුමක් පිළිබඳවය. 

මිනිස් පරිභෝජනට ඇති සහල් සත්ත්ව ආහාර සඳහා යොදාගැනීම යනු කාලීන මාතෘකාවකි. ශ්‍රී ලාංකිකයන් වන ඔබ බොහෝ දෙනකු ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරගෙන නොමැතිමුත් ඔබගේ ජීවිතවලට ඍජුව බලපා ඇති ගැටලුවකි. පසුගිය සතියේ දී අප වාර්තා කළ පරිදි මේ වන විට මෙරට තුළ දිනකට සුණු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 4 බැගින් මසකට (සුණු) සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 120 ක් සත්ත්ව ආහාර සඳහා යොදාගැනීම සිදුවේ.

මෙය සහල් මිල ඉහළ යාමට බලපා ඇති ප්‍රධානතම හේතුව බව මේ වන විටත් පාර්ශ්ව රුසක් පෙන්වා දී තිබේ. එහෙත් ඒ පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමුවීදැයි යන්න ගැටලුසහගතය. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම්.ඩී.ආර්. අලහකෝන් මහතා දේශයට පැවසූ පරිදි සත්ත්ව ආහාර සඳහා යොදාගන්නේ වී පොත්ත පමණක් ඉවත් කළ පීකොක් නමින් හඳුන්වන සුණු සහල් වර්ගයකි. 

මෙම සහල් සත්ත්ව ආහාර සඳහා වැඩි වශයෙන් යොදාගැනීම සිදුවනුයේ බඩඉරිඟු - සෝයා ඇතුළු සත්ත්ව ආහාර සඳහා උපයෝගී කර ගන්නා අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් බව සත්ත්ව පාලනයේ නියුතු ව්‍යාපාරික ප්‍රජාව පෙන්වා දෙති. කෙසේ නමුත් මෙම අර්බුදය අදක ඊයෙක නිර්මාණය වූවක් නොවේ.

බඩඉරිගු නිෂ්පාදනය එන්න එන්න පහළ මට්ටමක පැවතීම සහ බඩඉරිඟු ආනයනය නැවැත්වීමට රජය ගත් තීරණය සමඟ  සත්ත්ව ආහාර සඳහා ආදේශකයක් ලෙස සහල් යොදාගැනීම සිදුවිය. ඒ අනුව වර්තමාන සහල් අර්බුදය ආරම්භයේ දී රජය විසින් යෙදූ පාලන මිලත් සමඟ සහල් වෙළෙඳපොළට යැවීම වෙනුවට සත්ත්ව ආහාර සහල් ලබාදීම මෝල් හිමියන්ට ලාභදායී විය.

මේ අනුව පෙනී ගියේ මෝල් හිමියන්ගේ බහුතර මතය සහල් සත්ත්ව ආහාර සඳහා ලබා දීම ගොවියන්ටත් මෝල් හිමියන්ටත් යන දෙගොල්ලන්ටම ලාභයක් ගෙන දෙන බවය. එහෙත් ඒ හරහා මෙරට තුළ සහල් හිඟයක් හට ගත්තේය. සැබෑවටම සිදුවූයේ සහල් වෙළෙඳපොළ තුළ හිඟවීම නොව මානව පරිභෝජනය සඳහා වෙළෙඳපොළ අවශ්‍යතාවයන් සපුරාලීමට නොහැකි වීමය.

මෙම ගැටලු පිළිබඳ ප්‍රසිද්ධියේ බලධාරීන් සාකච්ඡාවට බඳුන් නොකළ ද ඔවුන් මේ සම්බන්ධයෙන් සංවේදී වූ බවත් සමස්ත චිත්‍රය පිළිබඳ හොඳ අවබෝධයකින් සිටි බවත් තහවුරු කිරීමට සාක්ෂි සාධක ඕනෑ තරම් තිබේ. රජය 2020 ජූලි 23 වැනිදා අංක 2185/67 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙන් දන්වා සිටියේ දේශීයව නිපදවන සහල් හෝ වී, සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා කෙළින්ම භාවිත කිරීම හෝ අන්‍යාකාරයෙන් සත්ත්ව ආහාර නිපදවීම සඳහා යෙදවුමක් ලෙස භාවිත කිරීම සඳහා, හෝ විකිණීම, විකිණීම සදහා ඉදිරිපත් කිරීම, තොග රුස්කර තැබීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදාහැරීම හෝ මිලදී ගැනීම නොකළ යුතු බවයි. 

මෙම ගැසට් පත්‍රය නොතකා 2020 සැප්තැම්බර් 30 වැනිදා සහල් මෙට්‍රික් ටොන් 300ක් සත්ත්ව ආහාර සඳහා භාවිතයට ගැනීමට සූදානමින් පිරිසක් පාරිභෝගික අධිකාරිය විසින් වටලනු ලැබීය. කෙසේ වෙතත් මෙම ගැසට්ටුව හෝ වැටලීම් ප්‍රතිඵලදායක වූවාද යන්න ගැටලුවකි. මන්ද යත් ඉතිහාසයේ පෙර නොවූ විරෑ ආකාරයෙන් සත්ත්ව ආහාර මිල ඉහළ යෑම හේතුවෙන් ඒ සඳහා විශාල වශයෙන් සහල් භාවිත කිරීම මේ වන විටත් සිදුවෙමින් පවතී.  

බිත්තර දමන කිකිළියන් සහ බ්‍රොයිලර් කුකුලන් සඳහා ආහාර ලෙස පීකොක් සුණු සහල් යොදාගනු ලබයි. එසේ යොදාගනු ලැබුවද සත්ත්ව ආහාර මිල ඉහළ යාම සහ සත්ත්ව ආහාර හිඟය හේතුවෙන් බිත්තර කුකුල් මස් මිල ද මේ වන විට ඉහළ ගොස් තිබේ. බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් විසි දෙකක පමණ මුදලක් වැය වන බවද බිත්තර නිෂ්පාදකයෝ කියා සිටිති. ඉදිරියේ දී බිත්තර හිඟයක් පවා ඇතිවීමේ අවදානමක් පවතින බව කියැවේ. කෙසේ වෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට අවසර ලබා දෙන්නේ නම් සහල් විකල්පයක් ලෙස භාවිත කිරීමට අවශ්‍ය නොවන බවයි. 
මසකට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ එකසිය විස්සක් සත්ත්ව ආහාර සඳහා උපයෝගී කර ගන්නා පසුබිමක සාමාන්‍ය සහල්වල මාසික අවශ්‍යතාව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ එකසිය අසූවක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පෙනී යයි. ඒ අතර මෙරට කෘෂිකාර්මික දත්ත පදනම් කොටගෙන පළවූ තවත් වාර්තාවකට අනුව කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ මුළු වී නිෂ්පාදනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් එනම් 40%ක ප්‍රමාණයක් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වය හේතු කොටගෙන සත්ත්ව ආහාර සඳහා යොදා ගනු ලබන බවයි. 

සැබවින්ම මෙම සියලු දත්ත සහ තොරතුරු අප මවිත කරන සුළුය. කූඨ ව්‍යාපාර, අඥාන තීරණ නොවන්නට මෙරට සහල් හිඟයක් ඇතිවීමට හේතු සාධකයක් නැත. සැබවින්ම ඇතිවිය යුත්තේ සහල් අතිරික්තයකි. මේ නාස්තිය නිසි පරිදි කළමනාකරණය කර බලධාරීන් නිවැරදි තීරණ ගන්නේ නම් දකුණු ආසියාවේ අනෙකුත් රටවල මෙන් අප රටටද සහල් අපනයනය කිරීමට හැකිවනු ඇත. 

 චමිඳු නිසල් ද සිල්වා 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05