2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

ඔමික්‍රොන් යකෙක්ද?

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 81

දකුණු අප්‍රිකාවෙන් නොවැම්බරයේදී හදිසියේම වාර්තා වූ නව කොරෝනා වයිරස් ප්‍රභේදය Omicron ගැන දැන් WHO දැඩි අවධානයක් යොමුකළ යුතු මාදිලියක් ලෙස ගෝලීය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒ අනතුරු ඇඟවීමට අනුව Omicron නව වෛරස පුපුරා යාමක් ඇතිකිරීමේ “ඉතා ඉහළ” ගෝලීය අවදානමක් ඇති කරන බව සැක කෙරෙයි. රටවල් 28 කට ආසන්න ප්‍රමාණයකින් මේ වනවිට වෛරස ආසාදිතයන් හමුව ඇත. ඒ නිසාම මේ වනවිට බ්‍රිතාන්‍ය ප්‍රමුඛ සමහර රාජ්‍යයන් අධික ලෙස විකෘති වූ ප්‍රභේදය පැතිරීම වළක්වා ගැනීම සඳහා සංචාරක තහනම් කිරීම් සහ දේශසීමා වසා දැමීම් පැනවීමටද පියවර ගෙන ඇත. නමුත් සෞඛ්‍ය බලධාරීන් විශ්වාස කරන්නේ Omicron දැනටමත් ගෝලීයව පුළුල් සංසරණයක නිරත වී හමාර බවයි.

ඇතැම් පර් යේෂකයන් පවසන්නේ එය වෛරසයේ මෙතෙක් මතුවූ දැඩිවම බෝවන ආකාරය විය හැකි අතර එයට වර්තමාන එන්නත්වල ප්‍රතික්‍රියාවන් පරාජය කළ හැකි බවකි. මේ සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රතිචාරය වේගවත් වී ඇත. බොහෝ රටවල් දැනටමත් දකුණු අප්‍රිකාවේ සිට ගුවන් ගමන් නවතා දමා ඇත. දකුණු අප්‍රිකානු රජය පවසන්නේ මෙම තහනම අධික ප්‍රතික්‍රියාවක් බවයි. Omicron මේ වනවිට බලාපොරොත්තු වනවාටත් වඩා ඉක්මනින් ලොව පුරා ගමන් කර ඇත. ප්‍රභේදය මුලින්ම සොයාගත් කලාපය ලෙස ගුවන් ගමන් තහනමකට ලක්වීමෙන්. දකුණු අප්‍රිකානුවන් මේ වනවිට හදිසියේම ලෝකයෙන් වෙන් වී සිටිනු දක්නට ලැබේ. එක්සත් රාජධානිය සිය සංචාරක තහනම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තවත් බොහෝ රටවල් එය අනුගමනය කර ඇත. දකුණු අප්‍රිකානු රජය පවසන්නේ ඔවුන්ගේ තීරණය   ඉක්මන් වැඩිය කියාය.

සංචාරක සීමාවන් ප්‍රකාශයට පත්කළ විගස, ඔමික්‍රොන් ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම නවත්වනවාට වඩා ඒවා මන්දගාමී වීමට වැඩි ඉඩක් ඇත. ඉකුත් සිකුරාදා ඇම්ස්ටර්ඩෑම් වෙත පැමිණි COVID-ආසාදිත මගීන් දුසිම් ගණනක්ද නව ප්‍රභේදයෙන් ආසාදනය වී ඇති බවට ලන්දේසි සෞඛ්‍ය නිලධාරීන් බිය පළකර තිබුණි. හොංකොං, ඊශ්‍රායලය සහ බෙල්ජියම, ජර්මනිය, ජපානය ඇතුළු රටවල් 28 කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් රෝගීන් තහවුරු කර ඇත. ඒ අතර මේ වෛරසය දකුණු අප්‍රිකාවෙන් වාර්තා වීමට පෙර යුරෝපයෙන් වාර්තා වී ඇති බවට සාධක මතුවීමත් සමග දකුණු අප්‍රිකාව ලොවෙන් කොන්කර දැමීම මහත් අවාසනාවන්ත ඉක්මන් තීන්දුවක්ය යන කාරණය තහවුරු වී හමාරය.

ඔමික්‍රෝන් ලෙස දැන් හඳුන්වන B.1.1.529 ප්‍රභේදය 2021 නොවැම්බර් 24 වැනි දින දකුණු අප්‍රිකාවෙන් WHO වෙත ප්‍රථමවරට වාර්තා කරන ලදී. දකුණු අප්‍රිකාව තුළ වසංගත රෝග තත්ත්වය වාර්තා වූ අවස්ථා වෙනස් උච්ච අවස්ථා තුනකින් සංලක්ෂිත වී ඇති අතර, එහි නවතම ප්‍රභේදය ප්‍රධාන වශයෙන් ඩෙල්ටා ප්‍රභේදය විය. මෑත සතිවලදී, B.1.1.529 ප්‍රභේදය හඳුනා ගැනීමත් සමඟ ආසාදන දැඩි ලෙස වැඩි වී ඇත. ප්‍රථමවරට තහවුරු කරන ලද B.1.1.529 ආසාදනය 2021 නොවැම්බර් 9 දින එකතු කරන ලද නියැදියකි.

2021 නොවැම්බර් 26 දින, WHO විසින් මෙම B.1.1.529 ප්‍රභේදය සැලකිලිමත් විය යුතු ප්‍රභේදයක් ලෙස නම්කරන ලදී. වෛරස් පරිණාමය පිළිබඳ WHOහි තාක්ෂණික උපදේශක කණ්ඩායමේ (TAG-VE) උපදෙස් මත එය Omicron ලෙස නම් කරන ලදී. මෙම තීරණය TAG-VE වෙත ඒ වනවිට ඉදිරිපත් කරන ලද සාක්ෂි මත පදනම්ව ගන්නා ලද්දකි.

Omicron වෛරසය තුළ එය හැසිරෙන ආකාරය කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි විකෘති කිහිපයක් ඇති බව දැනට තහවුරු වී තිබේ. නමුත් තවමත් ඒ ගැන දන්නා තරමට වඩා ඇත්තේ නොදන්නාකම සහ අනුමානයන් පමණි. ඒ හෙයින්ම දකුණු අප්‍රිකාවේ සහ ලොවපුරා සිටින පර් ෙය්ෂකයන් Omicron හි බොහෝ පැති ගැන වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා පුළුල් අධ්‍යයනයක් මේ වනවිට පවත්වයි.

ඩෙල්ටා ඇතුළු අනෙකුත් ප්‍රභේදවලට සාපේක්ෂව Omicron වැඩියෙන් සම්ප්‍රේෂණය විය  හැකිද (උදා: පුද්ගලයාගෙන් පුද්ගලයාට වඩාත් පහසුවෙන් ව්‍යාප්ත වේ) යන්න තවමත් පැහැදිලි නැත. මූලික දත්තවලට අනුව නම්  දකුණු අප්‍රිකාවේ රෝහල්ගත වීමේ ප්‍රතිශතය වැඩිවෙමින් පවතී. Omicronවෛරසය ආසාදනය වීම හා සම්බන්ධ රෝග ලක්ෂණ අනෙකුත් ප්‍රභේදවලට වඩා වෙනස් බව යෝජනා කිරීමට දැනට ප්‍රමානවත් තොරතුරු නොමැත.

මුලින්ම වාර්තා වූ ආසාදන විශ්වවිද්‍යාල සිසුන් අතර විය. තරුණ පුද්ගලයින් මෙයට වැඩියෙන් ගොදුරු වනු ඇතිය යන සැකය මේ නිසා මතුව ආවේය. නමුත් Omicron ප්‍රභේදයේ බරපතලකම තේරුම් ගැනීමට අසාදනය වී දින කිහිපයක  සිට සති කිහිපයක් දක්වා ගතවිය හැකි බව දැන් මතයයි. ලොවපුරා ප්‍රමුඛව පවතින ඩෙල්ටා ප්‍රභේදය ඇතුළුව, COVID-19 හි සියලුම ප්‍රභේද, විශේෂයෙන් වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සඳහා දරුණු රෝගී තත්ත්ව ඇති කිරීමට හෝ මරණයට හේතුවිය හැකිය. එබැවින් ඒවා පැතිරීම වැළැක්වීම සැමවිටම ප්‍රධාන කාර්යයකි.

මූලික සාක්ෂිවලින් පෙනී යන්නේ වඩාත් සැලකිලිමත් විය යුතු ඩෙල්ටා වැනි වෙනත් ප්‍රභේදවලට සාපේක්ෂව, Omicron හේතුවෙන් නැවත ආසාදනය වීමේ අවදානම වැඩි විය හැකි බවයි (එනම්, මීට පෙර COVID-19 ඇති පුද්ගලයින්ට Omicron සමඟ වඩාත් පහසුවෙන් නැවත ආසාදනය විය හැකි බවය.) නමුත් ඒ ගැන තොරතුරු සීමිතය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරි දින සහ සතිවලදී ලබාගත හැකිවනු ඇත.

එන්නත්වල සඵලතාව ගැන දැන් නැවත අවධානය වෙනම යොමුකර ඇත. WHO සිය තාක්ෂණික හවුල්කරුවන් සමඟින් එන්නත් ඇතුළු අපගේ දැනට පවතින ප්‍රතිකාර සදහා මෙම ප්‍රභේදයේ විභව බලපෑම අවබෝධ කර ගැනීමට කටයුතු කරයි. දැනට ඇති ප්‍රමුඛ සංසරණ ප්‍රභේදය වන ඩෙල්ටා හේතුවෙන් ඇතිවන දරුණු රෝග තත්ත්ව සහ මරණ  අවම කිරීම සඳහා එන්නත් ඉතා වැදගත් වේ. දරුණු රෝග සහ මරණයට එරෙහිව වත්මන් එන්නත් ඵලදායීව පවතී.

බහුලව භාවිතා වන PCR පරීක්ෂණ ආසාදන හඳුනාගැනීම දිගටම කරගෙන යයි. ප්‍රතිදේහජනක හඳුනාගැනීමේ වේගවත් පරීක්ෂණ ඇතුළුව වෙනත් ආකාරයේ පරීක්ෂණවලට Omicronහි යම් බලපෑමක් තිබේද යන්න තීරණය කිරීමට අධ්‍යයනයන් සිදුවෙමින් පවතී. ඔමික්‍රොන් සැලකිලිමත් වීමේ ප්‍රභේදයක් ලෙස නම්කර ඇති බැවින්, ලෝක සෞඛ්‍ය සංවිධානය WHO  විසින් රටවල් විසින් සිදු කිරීමට නිර්දේශ කරන ක්‍රියාමාර්ග කිහිපයක් තිබේ.

ආසාදිතයන් කළමනාකරණය කිරීම සඳහා ඔවුන් මහජන සෞඛ්‍ය සහ වෛද්‍යධාර  හැකියාවන් වැඩි කළ යුතුය. WHO සූදානම සහ ප්‍රතිචාරය යන දෙකටම සහාය සහ මග පෙන්වීම ලබාදෙයි. මීට අමතරව, සෞඛ්‍ය සේවකයින් සහ වැඩිහිටි පුද්ගලයින් ඇතුළුව සෑම තැනකම අවදානමට ලක්විය හැකි කණ්ඩායම්, ප්‍රතිකාර සහ රෝග විනිශ්චය සඳහා සාධාරණ ප්‍රවේශයක් සමඟින් ඔවුන්ගේ පළමු සහ දෙවන මාත්‍රාව ලබාගැනීම සහතික කිරීම සඳහා COVID-19 එන්නත් සඳහා ප්‍රවේශ වීමේ අසමානතාවයන් කඩිනමින් විසඳා ගැනීම ඉතා වැදගත් වේ.

COVID-19 වෛරසය පැතිරීම අවම කිරීම සඳහා පුද්ගලයන්ට ගත හැකි වඩාත්ම ඵලදායි පියවර වන්නේ අන් අයගෙන් අවම වශයෙන් මීටර 1ක භෞතික දුරක් තබා ගැනීමයි. හොඳින් ගැලපෙන මුහුණ ආවරණයක් පැළඳීම, වාතාශ්‍රය වැඩි දියුණු කිරීම සඳහා විවෘත කවුළු, දුර්වල වාතාශ්‍රය ඇති හෝ ජනාකීර්ණ අවකාශයන්ගෙ ගැවසීමෙන්  වැළකීම, අත් පිරිසිදුව තබා ගැනීම, නැමුණු වැලමිට හෝ ලේන්සු තුළට කැස්ස හෝ කිවිසුම් යැවීම සහ වාරය පැමිණි විට නොපමාව එන්නත් ලබාගැනීම ඒ WHO පුන පුනා කියන අනෙකුත් ආරක්ෂක පියවරයන්ය.

කොරෝනා වෛරසයට එරෙහි සටනේදී ලෝකය මේ වනවිට යම්  ප්‍රගතියක් ලබා ඇත, නමුත් නව ප්‍රභේදය පෙන්නුම් කරන්නේ සටන මුළුමණින්ම ජයග්‍රහණය කළ නොහැකි බවයි. දැන් බොහෝ  සෞඛ්‍ය නිලධාරීන්ගෙන් නිතරම ලැබෙන අවවාදාත්මක පණිවිඩය, එන්නත ලබාගන්න, බූස්ටරය ලබාගන්න සහ මහජන සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරන්න යන්නයි.

 සුගත් පී. කුලතුංගආරච්චි

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05