අව් වැසි නියඟ ස්වභාවික පරිසරයට හෝ අපට ආගන්තුක නැත. මේ තත්ත්වයන් නොකඩවා පැවතීම නම් ගැටලු රාශියකට මුලකි. ඒවා පාරිසරික අර්බුද රුසකට සහ ජන ජීවිතයටද අහිතකර ලෙස බලපාන්නට සමත් වෙයි. කාලගුණය හා දේශගුණය පෙර පැවති තත්ත්වය නොව අද එය වෙනසකට ලක්ව ඇති බව කවුරුත් කියති. අතොරක් නැතුව ඇද හැලෙන වර්ෂාව මැද ගංවතුර නායයාම් ඇතුළු ජන ජීවිතයට බාධා රැසකි.
මෙම අයහපත් කාලගුණය තවදුරටත් පැවතීම ජන ජීවිතයට පීඩාවකි. මේ විමසා බැලීම වත්මන් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙනි. ගෙවෙමින් තිබෙන්නේ අන්තර් මෝසම අග කාලයයි. ඒ සමඟ ඊසාන දිග මෝසම ආරම්භය දෙසැම්බර් මාසයේ සිට එළැඹෙන පෙබරවාරි දක්වා පවතී. ගෙවෙමින් පවතින කාලය තුළ දිවයින අවට වායුගෝලයේ කැළඹිලි ස්වභාවයන් හා සුළි කුණාටු හට ගැනීමට අවස්ථාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසයි. කෙසේ වෙතත් මේ දිනවල වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් පවතින බව කියන මෙරිල් මෙන්ඩිස් මහතා පවසන්නේ ඉදිරියේදී මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව සුළි කුණාටුවක් වර්ධනය වනු ඇති බවය. එය ලංකාවට බලපෑමක් ඇති නොවුවද එම තත්ත්වය ලංකාවට කිට්ටුව වායුගෝලයේ නිර්මාණය වුවහොත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කියයි. ඊසාන දිග මෝසම ආරම්භයත් සමඟ දිවයින කිට්ටුව සුළි කුණාටු වර්ධන වීමට බොහෝ සෙයින් ඉඩ ඇතැයි කියන ඒ මහතා පෙන්වා දෙන්නේ එම තත්ත්වය මත ඉදිරියේ ලංකාවට අවදානමක් පවතින බවය.
ගතවූ ඔක්තෝබර් හා නොවැම්බර් මාසවලදී ගෙවෙමින් තිබුණේ දෙවැනි අන්තර් මෝසම් සමයයි. ලංකාවේ වාර්ෂික වර්ෂාපතනයෙන් 30ක පමණ වර්ෂාවක් ලැබෙන එම කාලයේ අවසන් දින කිහිපය දැන් ගෙවෙමින් තිබේ. නිරිත දිග මෝසම වසරේ මැයි සිට සැප්තැම්බර් දක්වා පවතී. එම කාලයේද ලංකාවේ වාර්ෂික වර්ෂාපතනයෙන් 30ක පමණ ප්‍රමාණයක් ලැබෙන බව වාර්තා වේ. ගෙවෙමින් තිබෙන වැසි සහිත කාලගුණය දෙවැනි අන්තර් මෝසම සමඟ ලැබෙන එකකි. එමගින් ලංකාව වටා භූමියට පැතිරුණු වර්ෂාවක් ලැබෙන අතර එය කෘෂිකාර්මික වශයෙන් ඵලදායී එකකි. විශේෂයෙන් උතුර, උතුරුමැද නැගෙනහිර ඇතුළු කෘෂිකාර්මික පෙදෙස්වලට ඇදහැලෙන වර්ෂාව එම ප්‍රදේශවල ජලාශ හා වැව් පිරවීමට වැදගත්ය. මේ හැර මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම ආශ්‍රිතව තිබෙන ජලාශ හා ඒ ඇසුරින් ක්‍රියාත්මක විදුලි බලාගාර සඳහා පවතින වර්ෂාව ප්‍රයෝජනවත් වෙයි. අයහපත් යැයි කියන වැසි සහිත කාලගුණය විටෙක ජනතාවට හිරිහැරයක් වුවද මේ තත්ත්වය රටට ආර්ථික වශයෙන් ප්‍රයෝජනවත්ය. යම් හෙයකින් අදාළ කාලයේ මෝසම අක්‍රීය වුවහොත් වර්ෂාව නොලැබීම හරහා කෘෂිකාර්මික බිම් වියලීම, ජලාශ පිරී නොයාම නිසා ජල විදුලිය නිෂ්පාදනය අඩාල වීම කරුණු හේතුවෙන් වන්නේ බරපතළ ආර්ථික පාඩුවකි. මේ ආකාරයට විමසීමේදී ගෙවෙමින් තිබෙන වසර බලශක්ති නිෂ්පාදනය හා ගොවිතැන ආශ්‍රිත කටයුතු සඳහා වර්ෂාව සම්පතක් වී ඇති බව කිව යුතුය.
අන්තර් මෝසම ක්‍රියාත්මකව තිබියදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ. ඔක්තෝබර් නොවැම්බර් මාසවලදී ලංකාව අවට හා වායුගෝලයේ කැළඹිලි ස්වභාවයන් වර්ධනය වෙයි. අඩු පීඩන තත්ත්ව හා පීඩන අවපාතයන් මෙහිදී ඇතිවෙයි. ඒ හේතුවෙන් නිරතුරුවම වැසි වර්ධනය වෙයි. මේ වසර පුරා සිදුව තිබුණේ එවැනි තත්ත්වයක් නිසා වසර පුරාවට ලංකාවට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇත. අන්තර් මෝසම අග ගෙවෙන දෙසැම්බර් මුල සතිය තරමක් වැසි බර ගතිය අඩුව පවතී. මෙය තාවකාලිකය. නමුත් ඉදිරියේ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයන් ඇතිවීමට හැකියාවක් පවතින බැවින් එසේ වුවහොත් යළිත් වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පෙන්වා දෙයි.
මෙරටට වැස්ස අඩුවීම හෝ පැවතීම හා වර්ධනය සඳහා බෙංගාල බොක්ක පැසිෆික් සාගරය හා අත්ලාන්තික් සාගරය තුළ වර්ධනය වන සුළිසුළං තත්ත්වය බලපානු ලබයි. ගෝලීය සංසරණය මත කාලගුණ තත්ත්වයන් වෙනස් වේ. දැනට වසර 30කට පමණ ඉහත සිට මිහිකත උණුසුම් වෙමින් පවතී. මේ නිසා ඇතිවන වැසි හා සුළං අධික විය හැකිය. මෙකී හේතූන් මත රටට ඇතිවිය හැකි බරපතළ ආපදා තත්ත්වයන්ද වෙයි. මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ආපදා කළමනාකරණය සඳහා අවශ්‍ය පියවර සම්පාදනයට වගකිවයුතු අංශ පියවර ගත යුතුය.
සමන්ත ප්‍රදීප් විල්තෙර