2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

ගිහිගෙයින් නික්මුණු බුද්ධිමත් තරුණ තරුණියන්ට තෝතැන්නක් වූ ගලහ නිල්ලඹ නිහඬ අරණ

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 284

ඔවුන් සියල්ලන් ජීවිතයේ යෞවනය විඳිමින් සිටි අයවලුන්ය. ජීවිතයේ අනියතභාවය මෙන්ම හිස් බවද අවබෝධ කර ගනිමින් තමන් විඳි සියලු අධි සුඛෝපභෝගී, කාමසුඛල්ලිකානුයෝගී දිවි පැවැත්මෙන්ද මිදී සම්බුද්ධ දේශනාවෙහි සඳහන් පරිදි සියල්ල අත්හැරීමට ඔවුහු සිත් පහළ කර ගත්හ.

තමන් සතු ධනය, වස්තුව, ආදරණීයන්, වතුපිටි, යාන වාහන, සියලු දේපළ, අඹුදරුවන් අතහැර දමා කසාවත පොරවාගත් යෞවන යෞවනියෝ ලෞකික ජීවිතයෙන් ඉවත් වී සිය අධ්‍යාත්මික සුවය පතමින් භාවනායෝගීව වැඩවසන්නට සිතා මහනුවර, ගලහ නිල්ලඹ, වාරියගල නිහඬ අසරණ භාවනා මධ්‍යස්ථානයට පැමිණ සිටියහ.


භද්‍ර යෞවන දිවිය දහමට යොමුකර ගනිමින් සියලු අත්හැරීම් ඔස්සේ බුදුන් වහන්සේගේ දහම් මගට අවතීර්ණ වූ භික්ෂූන් වහන්සේලාත්, භික්ෂුණීන් වහන්සේලාත්, කුඩා සාමණේර ස්වාමින් වහන්සේලාත් දුටු විට බුදු දහමේ සත්‍යාවබෝධය මැනවින් පසක් වෙයි.

බුදු දහම ජාත්‍යන්තරය තුළ ප්‍රචලිත කරවීමට සිය ජීවිත කාලයම කැප කිරීමේ ප්‍රතිඥාව දී මරණදම් පිරෑ ඔවුන් සුවය විඳිමින් සිටි තරුණ පිරිසක් බුදුන් වහන්සේගේ ගැඹුරු දහම ශ්‍රවණය කිරීමෙන් පසු සියල්ල අත්හැර දමා කසාවත පොරවා ගැනීම තුළින් ඔවුන් ලබාගත් ආධ්‍යාත්මික සුවය එම භික්ෂූන් වහන්සේලාගේත් භික්ෂුණියන්ගේත් වදන් තුළින්ම අපි මැනවින් වටහා ගත්තෙමු.

ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, විදුහල්පතිනියන් මෙන්ම රාජ්‍ය සේවයේ හා පෞද්ගලික සේවයේ ඉහළ වෘත්තීන්වල යෙදෙමින් සැප සම්පත් මැද දිවි ගෙවූ පිරිසක් බුදු මගට අවතීර්ණ වී ජීවිතයේ නිස්සාර බව අවබෝධ කර ගනිමින් උදේ සවස ධර්ම දේශනා කරමින්ද ධර්මය ශ්‍රවණය කර ගනිති. මෙයින්ද සිය ජීවිතයන්හි අනිත්‍ය බව වටහා ගැනීම සිරිලක පමණක් නොව මුළු ලෝකයෙහිම බුදු දහමේ ගැඹුරු දර්ශනය මනුසතුන්ට මනා අවබෝධයක් ලබා දෙන්නකි. 

ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ප්‍රධාන සංඝනායක වත්තේගම ධම්මාවාස හිමියන්ගේ අනුශාසනා පරිදි නිල්ලඹ වාරියගල, භාවනා මධ්‍යස්ථානය මනාව පවත්වාගෙන යමින් එහි භාවනා මධ්‍යස්ථානාධිපති ලෙස කටයුතු කරන අලුත්ගංගොඩ ඥානවීර හිමිගේ උපදේශ හා අවවාද අනුශාසනා මත නිහඬ අරණ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ආගමික හා ශාසනික කටයුතු සිදු කෙරෙයි.
මෙම භාවනා මධ්‍යස්ථානයේදී එකම දින සසුන්ගත වූ කසාවත පොරවාගත් භික්ෂුණීන් වහන්සේලා වූයේ බණ්ඩාරවෙල සතීම (අවු: 61 විශ්‍රාමික විදුහල්පතිනියකි), උඩුමුල්ලේ ගෝතමී (අවු: 61), සීදුවේ නිවන්‍යා (අවුරුදු 30, කොළඹ මියුසියස් විදුහලේ ආදි සිසුවියකි, ව්‍යාපාර කළමනාකරණ හා වාණිජවේදී උපාධිධාරිනියකි, පෞද්ගලික ආයතනයක කළමනාකාරිනියක් ලෙස සේවය කර ඇත), තිස්සමහාරාමයේ උත්තරා (අවු: 32 දෙදරු මවකි) භික්ෂුණීන් වහන්සේ සමඟ ඇගේ 10 හැවිරිදි පුත්‍රයා වූ තිස්සමහාරාමයේ සුපේෂල සාමණේර හිමි, පේරාදෙණියේ සුභානි (අවු. 24), නිල්ලඹ උපේක්ෂා (අවු: 16) යන මෙහෙණින් වහන්සේලා වෙති.

උඩුමුල්ලේ ගෝතමී මෙහෙණින් වහන්සේගේ 34 හැවිරිදි තරුණ පුතුද නිල්ලඹ නිහඬ අරණේ පැවිදි වී එම භාවනා මධ්‍යස්ථානයේම විසීම ඉතා සුවිශේෂී සිදුවීමකි.
අපට එහිදී හමුවූ බොහෝ තරුණ භික්ෂූන් වහන්සේලා පැවසුවේ ජීවිතයේ හිස් බව හා නිස්සාර බව අවබෝධ කර ගැනීමෙන් සියලු සැප සම්පත් හා සියලු වස්තූන් අත්හැර දමා පැවිදි වූ බවයි.
උඩුමුල්ලේ මෛත්‍රී (අවු: 34), පරකන්දෙණියේ ආර්යදේව (අවු: 41), පේරාදෙණියේ ශාන්තිදේව (අවු: 23), ගම්පහ බෝබිධම්ම (අවු: 28), මුරුතලාවේ මේඝිය (අවු: 24), නිල්ලඹ සන්තුස්සුක (අවු: 14), මුරුතලාවේ ධම්මරතන (අවු: 25), කෝට්ටේ මාදිවෙල බෝධිඥාන (අවු: 09), හෝකන්දර සතිමන්ත (අවු: 28), තිස්සමහාරාමයේ සුපේෂල (අවු: 10), ගම්පහ බෝධිධර්ම (අනු: 28), පේරාදෙණියේ විවේක (අවු: 29) යන හිමිපාණන් වහන්සේලා නිල්ලඹ නිහඬ අරණ භාවනා මධ්‍යස්ථානයේදී එහි අධිපති අලුත්ගංගොඩ ඥානවීර හිමිපාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් පසු පැවිදි දිවියට ඇතුළත් වීමද සුවිශේෂත්වයක් වී ඇත.
සීදුවේ නිවන්‍යා මෙහෙණින් වහන්සේ සිය පැවිදි දිවියට අවතීර්ණ වීම සම්බන්ධව අප හා අදහස් දක්වමින් මෙසේ කීවාය.

වසර හයක් තිස්සේ මම ධර්ම දේශනා ශ්‍රවණය කළා. භාවනා කිරීමටත් හුරු වුණා. ජීවිතයේ හිස් බව හා නිස්සාරත්වය අවබෝධ වූ නිසා පැවිදි දිවියට ඇතුළත් වුණා. දැන් මම හරිම නිදහස්. ජීවිතයේ සියලු සැප සම්පත් විඳිමින් යාන වාහන දැසි දස්සන් මැද ජීවත් වූ මම මේ භාවනා මධ්‍යස්ථානයේ නායක හාමුදුරුවන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් පසු සියලු දේ අත්හරින්නට තීරණය කළා. දැන් මම බුදු දහමේ ගැඹුරුම සත්‍ය අවබෝධ කර ගනිමින් සිටිනවා.*
විදේශ රටවල් රුසක සංචාරය කරමින් උසස් අධ්‍යාපනයක්ද ලබා සිටින සීදුවේ නිවන්‍යා සිල් මෑණියන් වහන්සේ පැවිදි දිවිය තුළින් සැනසීමක් ලබාගත් බව කීවාය. 
සිය සැමියාගේ ව්‍යාපාරික කටයුතුවලටද මනා දායකත්වයක් ලබාදුන් බව ඇය අප හා කීවාය.

පැවිදි දිවියට ඇතුළත් වූ පසු සියලු ඥාති සබඳතා අත්හැරීමට සිදුවීම සම්බන්ධව සිතට දුකක් නැද්දැයි අප උත්තරා සිල් මෑණින් වහන්සේගෙන් විමසූ විට &සියල්ල අත්හැරියා මම. දැන් ජීවිතේ අනිත්‍ය මැනවින් වැටහී තිබෙනවා* යැයි සැහැල්ලුවෙන් පැවසුවාය.

අක්කර අටක භූමි ප්‍රමාණයක පිහිටා ඇති නිල්ලඹ වාරියගල නිහඬ අරණ භාවනා මධ්‍යස්ථානයේ භික්ෂුණීන් වහන්සේලා වෙනුවෙන් වෙනම ආරාම කුටි ස්ථාපිත කර තිබෙන අතර, භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් වෙන් වෙන්ව භාවනා කුටි ස්ථාපිත කර තිබේ.

මෙහි වැඩවසන භික්ෂූන් වහන්සේලාට සහ භික්ෂුණීන් වහන්සේලාට දිනපතා හීල් දානය, දහවල් දානය සහ ගිලන්පස සියල්ල භාවනා මධ්‍යස්ථානයේ විශේෂ මුළුතැන්ගෙහිම සකසා පිළිගැන්වීම මනාව සිදු කෙරෙයි.
මෙම භාවනා මධ්‍යස්ථානයේ කාර්ය භාරව කටයුතු කරන වාරියපොල ධම්මාලංකාර හිමි වසර 13ක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරියකු ලෙස සේවය කර ඉතා සැපවත් ජීවිතයක් ගත කරමින් ඉහළ වැටුපක්ද ලබමින් ඉඩකඩම් යාන වාහන මෙන්ම රුවැති බිරිඳක් හා පුතෙකුද සිටින ගිහි ජීවිතයේ සතුටින් ගත කළ අයකු වුවද ඒ සියල්ල අත්හැර දමා පැවිදි දිවියට ඇතුළත් වී සිටී.

ගලහ නිල්ලඹ නිහඬ අරණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා කුටිවල නේවාසිකව භාවනායෝගීව වැඩවසන භික්ෂූන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලා සහ සාමණේර වහන්සේලාට දාන මාන කටයුතු සඳහා උදව් උපකාර කිරීමට කැමැති පින්වතුන් වෙත්නම් අලුත්ගංගොඩ ඥානවීර ස්වාමින් වහන්සේගේ 0777361241 දුරකථන අංකයට හෝ වාරියපොල ධම්මාලංකාර හිමියන්ගේ 0764433489 දුරකථන අංකයට ඇමතීමෙන් විස්තර ලබාගත හැකි බව උන්වහන්සේලා සඳහන් කරති.

 

කතාව: ජේ.ඒ.එල්. ජයසිංහ
සේයාරූ: තෙල්දෙණිය චන්දන උඩුවාවල

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05