2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

ඉන්දීය ජන ජීවිතය උඩු යටිකුරු කරන “ආධාර්”

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 60

ඉන්දියාව එරට වැසියන්ගේ ඇඟිලි සලකුණු එකතු කරමින් සිටී. නම, ගම සහ උපන් ස්ථානය පමණක් නොව ඇඟිලි සලකුණු ගැනීම ගැන එරට ජන සමාජයේ කොටසක් කිසිසේත් කැමැති නැත. ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වන ලද නමුත් පොදු කාර්යයක් අරමුණු කරගෙන රජය ගෙන යන පියවර තහනම් කළ නොහැකි අතර එය යුක්ති සහගත යැයි ඉන්දීය අධිකරණය කියා තිබේ.

පුරවැසියන්ගේ තොරතුරු එකතු කරන්නේ ඇයි? ආධාර් යනුවෙන් අලුත් කාඩ් පතක් නිකුත් කෙරේ. ආණ්ඩුව ජනී ජනයා වෙත සපයන සියලු ආකාරයේ ආධාර ලැබෙන්නේ එම අංකයටය. ඉලක්කම් දොළහකින් යුතු අලුත් හඳුනාගැනීමේ අංකයකටය.

♦ අවුරුදු දොළහක ගමන යම් කඩඉමක

ඉන්දිය ආණ්ඩුව සිය ආධාර ක‍්‍රම සමාලෝචනය කරන්නට තීරණය කළේ 1999 වසරේ අන්තිම කාලයේදීය. එයට ආධාර් යනුවෙන් නම් තැබීය. සුවිශේෂී අංකයක් නිකුත් කරන කාර්යාලයක් ආරම්භ කළ අතර එයට අදාළ නීති හා විධිවිධාන සකස් කර තිබේ. ජනතාව හඳුනා ගැනෙන එක අංකයක අවශ්‍යතාව මතු වී තිබුණි. විවිධ ක‍්‍රමවලින් ජනතාව ලියාපදිංචි කරමින් සිටි අතර ඒවායේ දුබලතා ඡන්ද ලැයිස්තුවේ සිට ප‍්‍රශ්න මත කරන ලද බව අනාවරණය වූ කරුණකි. 

ඉකුත් දශකයකට වැඩි කාලය තුළ එහි නොයෙක් පැති  පර්යේෂණයට ලක්ව තිබේ. පුරවැසියන් හඳුනාගන්නා ආකාරය ගැන අධ්‍යයන කර ඇත. දැන් එහි ප‍්‍රතිඵල උරගා බලන අවස්ථාවයි. ලෝකයේ විශාලතම ජෛව දත්ත එකතුව බවට පත්වන බවට අනාවැකි පළවෙමින් තිබේ. ලෝක බැංකුවේ ප‍්‍රධානියකු පසුගිය කාලයේ කියා සිටියේ ඉතාම සංකීර්ණ සහ ඉතාම වැදගත් දත්ත පද්ධතියක් සහිත ලෝකයේ විශාලතම පුරවැසි සංගණනය බවට ආධාර් ක‍්‍රමය පත්වන බවය.

මෙම ආධාර් අංකය නිර්මාණය කළ පිරිස් මෙම වැඩපිළිවෙළ අද්විතීය එකක් සේ දක්වති. ආධාර් යනුවෙන් දක්වන නමුත් හුදෙක් එය නොමිලේ යමක් දෙන වැඩ ආකෘතියක් පමණක් නොවේ. දත්ත පදනම් කරගෙන ඕනෑම සැලැස්මකට යා හැකිය. ඉන්දියානු ජන සමාජය තුළ වාණිජ බැංකු මුල් බැසගෙන නැත. සියලුම පුරවැසියන්ට බැංකු ගිණුමක් ඇරඹීම සිය අභිලාශය බව නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා එක අවස්ථාවක කියා සිටියේය. ඉන්දියාවේ බැංකුවක ගිණුමක් ඇරඹීම ලෙහෙසි කටයුත්තක් නොවේ. සෑහෙන ලේඛන ප‍්‍රමාණයක් ඉදිරිපත් කළ යුතුය. පදිංචිය සනාථ කළ යුතුව තිබේ. ඒවා අහිමි පිරිස් බැංකු සමඟ සම්බන්ධතාවයක නැත. අලුත් ආධාර් කාඩ්පතට ඇතුළු වන සියලුම දෙනාට අමුතුම වරප‍්‍රසාදයක් ලැබේ. වෙනත් කිසිම ලේඛනයක් රහිතව ආධාර් කාඩ්පත ඉදිරිපත් කර බැංකු ගිණුමක් ඇරඹිය හැකිය.

♦ දත්ත ආරක්ෂා කරගැනීමට පනවන සීමා

ආධාර් කාඩ්පත නිර්මාණය කරන්නට මුල් කාලයේ කැපවී ක්‍රියා කළ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන ආර්.එස්. ශර්මා පසුගියදා නවදිල්ලි නගරයේ පැවැති වැඩමුළුවකට සහභාගී විය. හෙතෙම දැනට එරට ජාතික සෞඛ්‍ය අධිකාරියේ ප‍්‍රධාන විධායකවරයාය. අද්විතීය හැඳුනුම්පත සඳහා එකතු කරන දත්තවල සමහර ඒවා අතිශය පෞද්ගලික තොරතුරු වන බව දක්වන ඇතැම් පිරිස් එයින් අනවශ්‍ය භීතියක පසුවන බව ඔහු කියා සිටියේය. එරට අධිකාරී බලය ඇති රාජ්‍ය ආයතන මෙම ක‍්‍රමය බෙලහීන කරන අරමුණ ඇතිව පනවා ඇති ඇතැම් සීමා ඔහුගේ නොසතුටට හේතු විය. ආධාර් අංකය තුළ රහස්‍ය තොරතුරු ඇතුළත් විය හැකිය. එහෙත් ඇතුළත ඇති දත්ත හෙයින් මතුපිට අංකය ගැන භීතියක් අවශ්‍ය නැත. අංකය ඉදිරිපත් කරන පුරවැසියකුගේ තොරතුරැ රජයේ හෝ පෞද්ගලික ආයතනයක් පිළිගත යුතු අතර එම පිළිගැනීම තුළ පවා කාඩ්පත ඇති පුද්ගලයාගේ දත්ත ගබඩාව පිරික්සන්නට අවසර නැති බව ඔහු ඉදිරිපත් කරන තර්කයකි.

පෞද්ගලිකත්වය ආරක්ෂා කළ යුතු ආකාරය ගැන සාධාරණ නිර්චචනයක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පනවා තිබේ. ආධාර් කාඩ් පත සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන තීන්දුවක්ද ඇතුළත් බව මෙම වැඩමුළුවේදී කරැණු අනාවරණය විය. 

ඉන්දියාව දැවැන්ත ජනගහනයක් සහිත රටකි. ඉදිරි වසර විසිපහ ඇතුළත තවත් මිලියන 277ක් අලුතින් එකතු වෙතැයි සැලකේ. නවදිල්ලි නගරයේ පමණක් ශ‍්‍රී ලංකාවේ මුළු ජනගහනයටත් වඩා පිරිසක් ජීවත්වන බව දැක්වෙයි. විශාල පුරවැසියන් ප‍්‍රමාණයක්, ඔවුන්ගේ එදිනෙදා රාජකාරි සහ විශේෂයෙන් රජයෙන් ලබාදෙන සහන ක්‍රියාවට නැංවීම ඉතාම දුෂ්කර බව පසුගිය කාලයේ ප‍්‍රකාශ වූ කරුණකි. අවශ්‍යම තොරතුරු නිසි පරිදි සැපයීම තුළින් ජන ජීවිතය නගා සිටුවිය හැකි බව ඉන්දියානු බලධාරීහු කියා සිටිති.

♦ ඉලක්කම්වලින් ජීවිතය පහසු කරන ආකාරය

ඉන්දියානුවන්ට සෑම අතින්ම ජීවිතය පහසු කරවන ක‍්‍රමයක් සේ ආධාර් කාඩ් ක‍්‍රමය හැසිරවිය හැකිවනු ඇත. ගෘහස්ථ ගෑස් සඳහා සහනාධාරයක් ගෙවන ඉන්දියාව ආධාර් කාඩ්පත් හිමියන් ගෑස් මිල ගෙවූ පසු රජයේ සහනාධාරය කෙලින්ම ඔහුගේ බැංකු ගිණුමට බැරවෙයි. ආධාර් කාඩ්පතට රජයේ හා පෞද්ගලික අංශයේ කටයුතුවලදී ඉහළම පිළිගැනීමක් තිබේ. ගුවන් ගමන් බලපත‍්‍රයක් ලබා ගතයුතු අවස්ථාවක මෙම කාඩ්පත ඉදිරිපත් කළහොත් දින දහයක් තුළ එය ලැබෙන්නට සලස්වයි. නැවත නැවතත් ඉදිරිපත් කළ යුතු ලේඛන සම්පූර්ණ වශයෙන් කාඩ්පත තුළ ගොනුවේ පවතින අතර උප්පැන්න සහතිකය, පදිංචි සහතිකය වැනි ලේඛනවල මුල් පිටපත් ගෙන යන්නට හෝ ඒවා නැවත වතාවක් නිලධාරීන් ලවා සහතික කරගන්නට කිසිසේත් උවමනා නොකෙරේ. ඉඩම් හුවමාරුව, උපත් හෝ මරණ ලියා පදිංචියද පහසු කරවන බව ආධාර් කාඩ් පත නිර්මාණය කළ පිරිස් ප‍්‍රකාශ කරති. දුර බැහැර පළාත්වල අසරණ ජනතාව නිලධාරීන් ඉදිරියේ බැගෑපත් වෙමින් සිටින අතර අලුත් කාඩ්පත අස්වැසිල්ලක් වනු ඇතැයි දැක්වේ. ඇත්ත වශයෙන්ම රජයේ පරිපාලනය ලිහිල් කිරීමකි. රජයේ කාර්යාලවල අනවශ්‍ය ගැවසීම නතර කරන අතර එය දූෂණය මැඩපවත්වන මගකි.

ඡන්ද හිමි ලැයිස්තුවට මෙම අංකය සම්බන්ධ වන අතර එකම පුද්ගලයාට වංචනික සේ ඡන්ද කාඩ්පත් කිහිපයක් භාවිතා කරන අවසරය ඇවිරෙයි. විශ‍්‍රාම වැටුප්, සේවක අර්ථ සාධක අරමුදලේ ප‍්‍රතිලාභ යනාදිය ද මෙම අංකය මගින් පහසුවෙන් ලබාගත හැකිවෙයි. මාස දොළහකට වඩා ඉන්දියාවේ ජීවත් වෙන්නට අපේක්ෂා කරන  ඕනෑම පුද්ගලයකුට ද තාවකාලිකව මෙම කාඩ් පතට ඇතුළු වී විශේෂිත අංකයක් ලබා ගැනීමේ පහසුව තිබේ. කෙසේ වෙතත් ඉන්දීය පුරවැසියෝ මෙම අලුත් කාඩ් පත හා අංකය ගැන තවමත් විශේෂ උනන්දුවක් නොදක්වති. ඔවුන් පරණ පුරුදු ජීවිකාවට කැමැතිය. ඇතැම් පිරිසක් එය ගැන නොදන්නා බව පෙනේ. එහෙත් මෙම විශේෂිත අංකය ඉන්දියානුවන්ගේ ජීවන ක‍්‍රමය දැවැන්ත පරිවර්තනයකට හරවනු ඇත.

♦ වෙනස් කළ නොහැකි තොරතුරු නොවේ

නවීන සංකීර්ණ සමාජය තුළ තොරතුරු එකම ආකාරයකට පවතින්නේ නැත. දිනපතා යාවත්කාලීන වෙයි. පුද්ගලයාගේ පදිංචිය වෙනස් විය හැකිය. සමහරවිට නම, ජාතිකත්වය පවා වෙනස් වෙයි. මේවා අලුත් වෙන්නේ කෙසේද? ඉන්දියානු සුවිශේෂ හඳුනාගැනීමේ අංක නිකුත්කරන අධිකාරියට අනුව ආධාර් කාඩ්පත ලබාගැනීම අනිවාර්ය වන අතර එහි තොරතුරු අලුත් කිරීමේ වගකීමද ජනතාවට ඇත. වෙනසක් සිදුවූ වහා එහි කරැණු සහිතව ළඟම ඇති ආධාර් කේන්ද්‍රය වෙත ගොස් යාවත්කාලීන කරන්නට පහසුකම් සපයා තිබේ. එය විශේෂ කාරණයකි. 

පුද්ගලයන්ගේ තොරතුරු හා බැංකු ගිණුම් යනාදිය සම්බන්ධවන ක‍්‍රියාවක් බැවින් සමහර අවාසි ඇතිවිය හැකි බව ඇතැම්හු සැක පළකරති. ධනවතුන් වවිධ නම්වලින් බැංකු ගිණුම් අරඹා බදු වංචා කරමින් සිටිති. ඉන්දියාවේ කළු සල්ලි පරිහරණය විශාල පරිමාණයෙන් සිදුවෙයි. ජනප‍්‍රිය චරිත උපයෝගී කරගෙන ජාවාරම් කරන බව නොරහසකි. ජැකලයින් පර්ඩිනැන්ඩ්ස් හා ආර්යයන් ඛාන් වැනි පුද්ගලයන් පවා පරීක්ෂාවට ලක්වූ කාලවකවානුවකි. නිල නොවන තොරතුරු අනුව ඉන්දියාවේ ආර්ථිකයෙන් සියයට හතළිහක් පමණ කළු සල්ලි බව කියැවේ. නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා මුදල් නෝට්ටු අවලංගු කර සඟවන ලද මුදල් අනාවරණය කර ගැනීමේ ක‍්‍රමයක්ද අත්හදා බලා තිබේ. නව ආධාර් කාඩ් ක‍්‍රමය දුප්පතුන්ට සහනයක් වන අතර පොහොසතුන්ට යම් අවහිරයක් වනු ඇතැයි සැලකේ. ඔවුන් වටා නීත්‍යානුකූල රාමුවක් ඇටවෙනු ඇත. එයට සමහර පිරිස් කැමැති නැත. සුවිශේෂී අංකයක් යටතේ පුරවැසියන් ලේඛන ගත කිරීම වළක්වන විවිධ මත පතුරුවමින් සිටී. 

කාඩ් අස්ථානගත වුවහොත් අනතුරක් බව සහ දැනටමත් බැංකු කාඩ් ඇතුළු කාඩ් සෑහෙන ගණනක් ඇති ජනතාවට තවත් ප්ලාස්ටික් කාඩ්පතක් නිකුත් කිරීම මහා පරිසර විනාශයක් බව දක්වන පිරිස්ද සිටිති. ඉන්දියානු ආණ්ඩුව එයට උත්තර සපයා ඇත. කාඩ්පත අස්ථාන ගතවුවහොත් වහාම එය වෙනුවට අලුත් එකක් ලබාගත හැකිය. අංක දොළහ මතක තබා ගැනීම පවා අවශ්‍ය නැති බව කියා සිටින අතර එපමණකට තාක්ෂණය දියුණුකර තිබේ. එක කාඩ්පතක් නිකුත් කිරීමෙන් පසු කඩදාසි හා ලේඛන අනවශ්‍ය වනු ඇති අතර ඇතැම් බැංකු කාඩ් පවා ප‍්‍රයෝජනයක් නැතිවනු ඇති බවද මෙම සුවිශේෂී ආධාර් කාඩ් අංකය නිර්මාණය කළ ඉන්දියානු විශේෂඥයෝ කරුණු දක්වමින් කියති. ආධාර් සුවිශේෂී අංක ක‍්‍රමය ජාත්‍යන්තර එකක් බවට හරවන සැලැස්මක් ඉන්දියාවට ඇත. එහි පද්ධති විවෘතව ලබාගත හැකි පරිදි විසුරුවනු ඇතැයි කියැවේ. එවිට එහි පද්ධතිවලට ඇතුළු වන  ඕනෑම රටකට තමන්ට අනන්‍ය පරිදි ක‍්‍රමය හදාගෙන එක අංකයකින් කාර්ය පහසු කරන සැලැස්මකට යා හැකිය.

 සාරා කන්දෙගොඩ