2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

මෙන්න අපේ කුළුබඩු මන්දිරේ

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 958

දේශීය ගොවීන්ට ඉහළ වටිනාකමක් ලබාදෙමින්, දේශීය කුළුබඩු නිෂ්පාදනයට නව වෙළඳ පොළක් හඳුන්වා දෙමින් සංස්ථා කුළුබඩු මන්දිරය නමින් මේ වනවිට දිවයින පුරා වෙළඳසල් කිහිපයක්ම ආරම්භ කොට ඇත.

කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය 1972 පනත යටතේ ස්ථාපිත වුණා. නමුත් එය ආයතනයක් විදිහට ස්ථාපිත වෙලා තිබුණේ නැහැ. අපේ රට කුළුබඩුවලට ප්‍රසිද්ධ වුණු රටක්. ඇතැම් විදේශිකයන් කුළුබඩු දිවයින කියලයි අපේ රට හැඳින්වූවේ. කුළුබඩු නිසා විදේශ ආක්‍රමණ සියල්ලම සිදුවුණා. ලෝකයේ හොඳම කුළුබඩු වැවෙන එකම රට ශ්‍රී ලංකාවයි. මේ පරිසරය, දේශගුණය, කුළුබඩුවලට සුදුසු ලක්ෂණයි. කාලයක් තිස්සේ මේ කුළුබඩුවලට රාජ්‍ය ආයතනයක් නොමැතිවීම විශාල අඩුපාඩුවක් ලෙස පැවතුණා. ඇතැම් කාලවලදී ගම්මිරිස් ගොවීන් පාරට බැස්සා. ඒ ඔවුන් වෙනුවෙන් මැදිහත් වන ආයතනයක් එදා තිබුණේ නැහැ. ඒ අනුව ජානක වක්කුඹුර ඇමැතිතුමන් මේ ආයතනය පිහිටුවන්නට විශාල මහන්සියක් ගත්තා. මෙවැනි ආයතනයක් පිහිටුවන්න දැඩි අවශ්‍යතාවයක් තිබුණා. මේ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ටත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ටත් කැබිනට් ඇමැති රමේෂ් පතිරණ මැතිතුමන්ටත් ස්තූති කරන්නට ඕනේ. ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ මේ දැවැන්ත ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකියාව ලැබුණා.

කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපති කුමුදුනී ගුණසේකර මහත්මිය දේශයට අදහස් දක්වමින් එසේ පැවසීය.

මේ අනුව 2020 වසරේ නොවැම්බර්  මාසයේදී මේ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත් අතර මේ සම්බන්ධයෙන් අවශ්‍ය අවබෝධය, කාර්ය මණ්ඩලීය බඳවා ගැනීම් ඇතුළු අනෙකුත් සියලු කටයුතු සිදුකර ගැනීමෙන් පසුව අප්‍රේල් මස මෙම කටයුතු ආරම්භ කෙරිණි. සංස්ථා කුළුබඩු මන්දිරය පාරිභෝගිකයන් සඳහා විවෘත කරන ලද්දේ ඔක්තෝබර් මාසයේදීය.

මෙවැනි ආයතනයක් ආරම්භ කිරීමට ජනාධිපතිවරයාගේ ගම සමඟ පිළිසඳර වැඩසටහන වෙනුවෙන් මීමුරයට ගිය ගමනද හේතුවක් වී තිබුණි. එහිදී වසර තුන හතරක සිට ලැබගත් ගම්මිරිස් අස්වැන්නට නිසි වටිනාකමක් නොලැබූ හේතුවෙන් ඔවුන් තම නිවෙස්වල එම පලදාව ගොඩගසා තිබුණි. ඒ අනුව ඔවුන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය ඒ වනවිටත් ඇහිරී තිබුණි. නිසි වටිනාකමකට ගම්මිරිස් අලෙවි කරගැනිමට ඉඩක් ලබාදෙන්න යැයි ඔවුහු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජානක වක්කුඹුර රාජ්‍ය ඇමැතිවරයා මේ සඳහා පිළියමක් ලබා දුන්නේය. වහාම ක්‍රියාත්මක වුණු කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය ඔවුන්ගෙන් සාධාරණ මිලකට ගම්මිරිස් මිලදී ගැනීම ඇරඹීය.

අපි ගම්මිරිස් ගොවීන්ගෙන් මිලදී ගෙන හොඳින් සෝදා වියලා පිරිසිදු කරගත් ගම්මිරිස් වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කරනවා. වියලි මිරිස් අපේ රටේ අඩුවෙන් හැදුවේ. ඒ අනුව අපනයන සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය මඟින් හමුදා නිලධාරීන් ලවා වියළි මිරිස් වගා කළා. එය අක්කර හාරසීයක ව්‍යාපෘතියක්. අද වෙද්දී මේ සංස්ථා කුළුබඩු මන්දිරයේ ඇත්තේ ඒ හොඳම මිරිස්. තවම අපිට මේ සඳහා කර්මාන්ත ශාලාවක් නැහැ. නමුත් බැසිල් රාජපක්ෂ ඇමැතිතුමන් ඉතා විශාල කර්මාන්ත ශාලාවක් ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් මේ සඳහා වෙන් කළා. එහි කුළුබඩු වේලීමටද හොඳ කමතක් තියෙනවා. ඒ අනුව ගම්මිරිස්, කහ ඇතුළු දෑ අපිට ගොවීන්ගෙන් මිලදී ගෙන මේ කමතේ වියලා කුළුබඩු ලෙස නිෂ්පාදනය කරන්නට නුදුරේදීම අපිට පුළුවන් වේවි. ඉදිරි කාලය තුළදී සෑම කුළුබඩු නිෂ්පාදනයන්ට ඉතා අඩු සාධාරණ මිලකට මේ හරහා නිෂ්පාදන කිරීමට අපිට පුළුවන් වේවි. යැයිද කුමුදුනී ගුණසේකර මහත්මිය දේශයට පැවසීය.

මේ වනවිට සංස්ථා කුළුබඩු මන්දිරය වෙළඳසල් පහක් විවෘත කර ඇත. ඒ අනුව මාදිවෙල, නුගේගොඩ, බත්තරමුල්ල, කලවාන, ඇලපාත යන ප්‍රදේශවල පිහිටා ඇති අලෙවිසල් මඟින් මෙම කුළුබඩු නිෂ්පාදන මිලදී ගත හැකිය.

ස්වයං රුකියා කරන හොඳ, පිරිසිදු පිළිවෙළට කරන නිෂ්පාදන සඳහාද මෙම ආයතනයෙන් අතදීමක් සිදුකරයි. සංස්ථා කුළුබඩු මන්දිරය කෘත්‍රිම රසකාරක සඳහා ඉඩක් වෙන්කර නැත. එමෙන්ම විදෙස් අලෙවි සඳහාද ඉඩක් වෙන්කර නැත. දේශීය වෙළඳුන් වෙනුවෙන්ම වෙන්වුණු සංස්ථා කුළුබඩු මන්දිරය වෙත මේ වනවිටත් ඉතා විශාල පාරිභෝගිකයන් පැමිණෙමින් සිටිති. ඉතා අඩු, සාධාරණ මිලකට ඉහළ සේවයක් ලබාදීම ඔවුන්ගේ වෑයමයි. මේ වනවිට සංස්ථා කුළුබඩු මන්දිරයට පැමිණෙන පාරිභෝගිකයන්ගෙන් විශාල ඉල්ලුමක් පවතින්නේ කහ වෙනුවෙනි. පිරිසිදු, නැවුම් කහ වෙළඳ පොළේ පවතින මිලට වඩා අඩු මුදලකට සංස්ථා කුළුබඩු මන්දිරය මඟින් ලබාගත හැකි බව ඔවුහු පවසති. ඉදිරියේදී කහ අතිරික්තයක් පැවතිය හැකි බවද ඔවුහු ඉඟිකරති. මේ වනවිට මෙම කුළුබඩු ඇසුරුම් කරනු ලබන්නේ කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය යටතේ පෞද්ගලික ආයතන කිහිපයක් මගිනි. නමුත් නුදුරේදී ඒ සියල්ලට ඇඹිලිපිටිය කර්මාන්ත ශාලාව තුළදීම සැකසීමේ හැකියාව පවතී.

මේ වනවිටත් අපේ කුළුබඩු විදෙස් රටවල් සඳහා විශාල ඉල්ලුමක් පවතිනවා. මේ වනවිටත් දකුණු අප්‍රිකාව, රුසියාව, ප්‍රංශය වැනි රටවල්වලට මේ නියැදි යවලා තියෙනවා. ඉදිරියේදී මෙම කුළුබඩු ඒ රටවල්වලට යැවීමටත් හැකියාව ලැබේවි. අපි බොහෝවිට ගොවීන්ගෙන්ම මේ දෑ මිලදී ගන්නවා. තවම මේ ව්‍යාපෘතිය ආරම්භ කොට මාස තුනක් පමණයි. මේ කාලය ඇතුළත ඉතා විශාල ඉල්ලුමක් පවතිනවා. ඉදිරියේදී මීට වඩා අලෙවිසැල් රටපුරා විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. පෝය හැර ඉතිරි දින සියල්ලෙන්ම උදෑසන අටේ සිට රාත්‍රී අට දක්වා මෙම සංස්ථා කුළුබඩු මන්දිරය විවෘතව පවතිනවා. ගුණසේකර මහත්මිය කියයි.

සංස්ථා කුළුබඩු මන්දිරය ආරම්භ කරද්දීවත් මිනිසුන් මේ තරම් ඉක්මනට මේක වැළඳ ගනීවි යැයි අපි විශ්වාස කළේ නැහැ. නමුත් මේ ගතවුණු මාස කිහිපය ඇතුළතදී ඉතා විශාල පාරිභෝගිකයන් පිරිසක් මෙම කුළුබඩු මන්දිරය සමඟ අත්වැල් බැඳගත්තා. බත්තරමුල්ල නගරයේම කොයිතරම් නම් වෙළඳසල් සංකීර්ණ තිබෙනවාද...? නමුත් සංස්ථා කුළුබඩු මන්දිරය මේ කෙටි කාල සීමාව තුළදී ඉතා සාර්ථක ගමනක් පැමිණ තිබෙනවා. එයට ප්‍රධාන හේතුව වන්නේ අපේ නිෂ්පාදනවල පවතින ගුණාත්මකභාවයයි. ඒ මිනිසුන් අපි කෙරෙහි තැබූ විශ්වාස අපි හැමදාමත් රුක ගනිමින් දේශීය දේ වෙනුවෙන් වැඩි ඉඩකඩක් ලබාදෙමින් නුදුරේදීම සංස්ථා කුළුබඩු මන්දිරය නාරාහේන්පිට, ගාල්ල, රත්නපුර, ගොඩකවෙල ආදී ප්‍රදේශවල විවෘත කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් ගුණරත්න මහතා දේශයට පැවසීය.

දිශානි ජයමාලි කරුණාරත්න

සේයාරූ - සුමුදු හේවාපතිරණ