මිනිසුන් අත සල්ලි නැත. ආණ්ඩුවට රුපියල් නැත. රටට අවම ඩොලර් නැත. විරැකියාව උද්ධමනය වැඩිවෙද්දී විදේශ විනිමය නොමැතිව ඉතිහාසයේ නොවූ විරූ බරපතළ ආර්ථික අර්බුදයකට රට මුහුණ පා සිටියි. තාවකාලික පිළියමක් ලෙස ආනයනය සීමා කෙරුණද කොවිඩ් වසංගතයෙන් බැට කෑ ජනතාව අතර ඇතැම් කර්මාන්ත හා ව්‍යාපාරිකයන්ට එය තර්ජනයකි.
ආනයනික සීමා තර කිරීම නිසා මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීම නිසා මේ වනවිටත් බොහෝ කර්මාන්ත ඇණහිට තිබේ. පවතින අවදානම මැද මෙරට පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තය පවතින්නේද අනතුරකය. මේ අනුව ඇපල් චීස් වැනි විදේශ නිපැයුම් මෙරටට අත්‍යවශ්‍ය නොවෙතත් එවැනි දෑ ආනයනය කෙරෙයි. ඒවා ආනයනය සඳහා වැය කරන විදේශ විනිමය මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනඒමට වැයකරන ලෙස පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී. මෙකී අමුද්‍රවය ආනයනය කොට රටේ පාවහන් නිෂ්පාදනයෙන් 95%ක් පමණ මෙරටදීම නිපදවිය හැකි බව එම සංගමය පෙන්වා දෙයි.
තත්ත්වය එසේ වුවද මීට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන ඒමට අවස්ථාව ලබා නොදී ඇතැම් නිලධාරීන් කටයුතු කරන්නේ පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තය අකර්මණ්‍ය කොට විදේශවලින් ඔවුන්ගේ ගජ මිතුරන්ට බාල නිමි භාණ්ඩ ගෙන්වීමට අවස්ථාව ලබාදීමටද? යන්න සැකයක් ඇති බව එම සංගමයේ උප සභාපති ප්‍රියංක නෙවිල් මහතා ප්‍රශ්න කරයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා, අගමැතිවරයා, මුදල් ඇමැතිවරයා මෙන්ම කර්මාන්ත විෂය බාර ඇමැතිවරයා කටයුතු කරමින් සිටියදී ඇතැම් නිලධාරීන් කිහිප දෙනෙකු මූල්‍ය ආයතන හා බැංකු එක්ව එය කඩාකප්පල් කිරීමට උත්සාහ ගනිමින් සිටින බවය.
පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය තුළ ඍජු හා වක්‍ර ලෙස ලක්ෂ 5ක පමණ පිරිසක් කටයුතු කරති. එම කර්මාන්තයේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් ප්‍රමාණය ලක්ෂ 30කට අධිකය. මොවුන්ගෙන් වැඩි පිරිසක් අමුද්‍රව්‍ය හිඟය නිසා දැඩි අසීරැතාවකට පත්ව සිටිති. පවතින අර්බුදය හමුවේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය නොලැබෙන්නේ නම් මෙම ලක්ෂ ගණනක පිරිසට ආදායම අහිමි වන බව කියැවේ. මේ අයගේ රුකියා අහිමිවීමත් සමඟ බැංකු හා මූල්‍ය ආයතනවලටත් දැඩි බලපෑමක් එල්ල වන බව පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සම්භාණ්ඩ නිෂ්පාදන හා පාවහන් සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක අමරනාත් විමලසිංහ මහතා පවසන්නේද වර්තමානයේ පාවහන් හා සම්භාණ්ඩ ආශ්‍රිත කර්මාන්තය අනතුරකට මුහුණපා ඇති බවය. රටේ උද්ගතව තිබෙන ඩොලර් හිඟය ඊට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන බව ඒ මහතාගේ අදහසය. පාවහන් හා සම්භාණ්ඩ වශයෙන් මෙම කර්මාන්තය සැලකීමේදී සේවා නියුක්තිකයන් ලක්ෂ පහකට අධිකය. පාවහන්, ගමන් මළු, මුදල් පසුම්බි, බෙල්ට් ඇතුළු නිෂ්පාදන රුසක් මෙහිදී නිර්මාණය කරයි. එම නිෂ්පාදන බහුතරයක් සඳහා අමුද්‍රවය විදේශවලින් ආනයනය කරයි. දැන් සිදුව ඇත්තේ එම අමුද්‍රව්‍ය ආනයනය කිරීමට අවස්ථාවක් නොමැති වීමය. අමුද්‍රවය සීමා වීම හේතුවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය අඩාලව පවතී. එබැවින් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගතව පවතී.
පවතින ආර්ථික අර්බුදය හමුවේ කෙසේ හෝ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට වුවමනා විදෙස් විනිමය ලබාදීමට රජය මැදිහත් විය යුතුය. අනතුරැව රට තුළ නිෂ්පාදන ක්‍රියාවලිය ඇරඹිය හැකිය. අතිරික්තයක් වේ නම් එය අපනයනය කිරීම හරහා විදේශ විනිමය ඉපයිය හැකිය. මේ හරහා කර්මාන්තය රැකගෙන රැකියා නියුක්තියන් ආරක්ෂා කොටගෙන ආර්ථිකයද ශක්තිමත් කරගැනීමට හැකි බව මෙම කර්මාන්තකරුවන්ගේ අදහසය.
ලොකුම ගැටලුව ඩොලර් හිඟයයි
අමරනාත් විමලසිංහ - අධ්‍යක්ෂ
සම්භාණ්ඩ නිෂ්පාදන හා පාවහන් සංවර්ධන මධ්‍යස්ථානය, කාර්මික සංවර්ධන මණ්ඩලය
පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය අනතුරුදායක තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව රටේ පවතින ඩොලර් හිඟය. මේ කර්මාන්තයේ දැනට ලක්ෂ 5ක පමණ පිරිසක් ඍජු හා වක්‍ර රැකියාවල නිතරව සිටිනවා. පාවහන් සම්භාණ්ඩ කීවාම කර්මාන්තය ගොඩක් පුළුල් එකක්. මේ සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය ආනයනය කරපු දේවල්. දැන් ආනයනය සීමා නිසා නිෂ්පාදනය සීමා වෙලා. ලංකාවේ දේශීය වශයෙන් අමුද්‍රව්‍ය නිෂ්පාදන කරනවා. මේවාට අවශ්‍ය ඇතැම් රසායන ද්‍රව්‍ය පිටරටින් ගෙන්වනවා. මේ ආකාරයට පාවහන් සම්භාණ්ඩ පමණක් නොව ඊට අදාළ සෙසු කර්මාන්තවලටත් මේ ගැටලුව බලපානවා. හම් පදම් කිරීමේදී දේශීය වශයෙන් සපයා ගන්නා හම්වලට අමතරව අවශ්‍ය කරන රසායන වර්ග ආනයනය කළයුතුයි.
මෙම කර්මාන්තකරුවන් කියන දෙයක් තමයි වෙළඳපොළේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ඕන තරම් තිබෙනවා. එවැනි ද්‍රව්‍ය ආනයනය කෙරෙනවා. ඇපල්, මිදි, දොඩම් ඇතුළු විදුලි උපකරණ අත්‍යවශ්‍යම නෑ කියලා දැනෙනවා. මේ සඳහා යොදවන මුදල් මෙම කර්මාන්ත පවත්වාගෙන යාම සඳහා යොදවන්න කියන එක තමයි ඔවුන් ඉල්ලන්නේ. ඒක සාධාරණ ඉල්ලීමක්. මේ ගැටලු නිසා කර්මාන්තයේ නිරත අයගේ රැකියා අහිමිවෙමින් පවතිනවා. රුපියලේ අගය අනුව ඩොලරය ඉහළ යාම නිසා අමුද්‍රව්‍යවල මිල ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව ඉදිරියේදී පාවහන් ඇතුළු ඒ ආශ්‍රිත භාණ්ඩවල මිලත් ඉහළ යයි. එහෙම නොවුණොත් මේ කර්මාන්තය පවත්වාගෙන යෑමට බැරිවෙනවා.
මේ හේතු අනුව කර්මාන්තකරුවන් කියන්නේ අමුද්‍රව්‍ය සඳහා ඔවුන්ට මුදල් තිබෙනවා. නමුත් බැංකු හරහා ගනුදෙනුව සිදුකරද්දී ඩොලර් ප්‍රශ්නය තියෙනවා. ඒ නිසා අපිත් ඉල්ලන්නේ බැංකුවල තිබෙන ඩොලර් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවලට වියදම් නොකර මේ වගේ කර්මාන්තශාලා සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලට ගැනීමට අවස්ථාව ලබාදෙන්න කියලයි.
සමන්ත ප්‍රදීප් විල්තෙර