ගෑස් නිසා තැතිගත් රටකි. සෑම මුළුතැන්ගෙයකම මෙම බිය පැතිර යමින් තිබේ. සැබවින්ම ගෑස් සිලින්ඩර පිපිරීම පිළිබඳ රට තුළ නිර්මාණය වී ඇත්තේ දැඩි ආන්දෝලනයකි. ගෑස් පිපිරීම් සම්බන්ධ සිදුවීම් කිහිපයක් වාර්තා වීමත් සමඟ මෙම තත්ත්වය නිර්මාණය විය.
ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරා යාම් පිළිබඳ විමර්ශනයට හා විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් ද පත් කරනු ලැබීය. ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ සභාපතිවරයා වන්නේ, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොල මහතායි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සාමාජිකයන් හත් දෙනෙක් මීට ඇතුළත් වූහ. කමිටු වාර්තාව සති දෙකක් තුළ ජනාධිපතිවරයාට බාරදීමට නියමිත බව කියැවේ. පසුගිය බදාදා ජනාධිපතිවරයා පත් කළ කමිටුව මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී රැස්වී ඇති බව ද වාර්තා වෙයි.
ඒ අතර ඉකුත් බ්‍රහස්පතින්දා ගෑස් කාන්දු හා පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ සිදු කළ වෙනසක් බවට ඇතැම් පාර්ශ්වවලින් මත පළ වුණත් තම සමාගම ගෑස් සංයුතියේ වෙනසක් සිදුකර නොමැති බව ලිට්රෝ සමාගම අවධාරණය කළේය. එහිදී සිදු කළේ මෙවන් පැහැදිලි කිරීමකි.
“පසුගිය අප්‍රේල් මාසයේදී ලීටර් 18 සිලින්ඩරයක් හඳුන්වා දුන්නා. ඒ අවස්ථාවේදී සංයුතියේ වෙනසක් කරමින් පාරිභෝගිකයන්ට ඒක නිකුත් කළා. නව සභාපතිතුමා රාජකාරි බාරගැනීමෙන් අනතුරුව ජූලි 28 වැනිදායින් පස්සේ එම ලීටර් 18 සිලින්ඩර් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දැමුවා. අප්‍රේල් මාසයේ ඒක වෙළෙඳපොළට නිකුත් කරනකොට 50ට 50 තමයි සංයුතිය තිබුණේ."
සමාගමේ පැහැදිලි කිරීමට අනුව අප භාවිත කරන ගෑස් සිලින්ඩරයක ද්‍රව ගෑස් සංයුතිය සැකසෙන්නේ ප්‍රොපේන් සහ බියුටේන් සම්මිශ්‍රණයෙනි. මෙයින් ප්‍රොපේන් ප්‍රතිශතය වැදගත් වන්නේ බියුටේන් සහිත ද්‍රවගෑස් වායු බවට පත් කර පීඩනයකින් උඳුන දක්වා රැගෙන යාම සඳහාය. සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රොපේන් සියයට 30ක් හෝ 40ක් හා බියුටේන් සියයට 60ක් හෝ 70ක් යන සංයුතියකින් සිලින්ඩරය තුළ පවතී. එවන් තත්ත්වයකදී ගෑස් සිලින්ඩරය තුළ පීඩනය දැක්වෙන්නේ බාර් 5ක් හෝ 6ක් ලෙසය.
එසේ නමුත් සිලින්ඩරයක ප්‍රොපේන් ප්‍රතිශතය සියයට 45, 50 මට්ටමට රුගෙන ඒම සිදුවුවහොත් එහි පීඩනය බාර් 6ක් නැතිනම් 8ක් දක්වා වැඩි වෙයි. තවද ප්‍රොපේන් සියයට 100ක් සිලින්ඩරය තුළ තිබුණහොත් එහි ඇතුළත පීඩනය බාර් 12ක් නැතිනම් 14ක් දක්වා ඉහළ නගින බව කියැවෙයි. ද්‍රැවාසන්න රටවල ශීත ඍතුවලදී මෙම ප්‍රොපේන් ප්‍රතිශතය ඉහළ නැංවීම සිදුවේ. ඊට හේතුව පාරිසරික උෂ්ණත්වයයි. කෙසේ වෙතත් ගෑස් සිලින්ඩර නිපදවා ඇත්තේ බාර් 30ක වුවද පීඩනයක් දරාගැනීමට හැකිවන අයුරිනි.
සමාගම් පෙන්වා දෙන මෙම කරුණු සත්‍යයක් නම් කුමන සංයුතියක් යටතේ වුවද මෙරට ගෑස් සිලින්ඩර පුපුරා යෑම යනු සිදුවිය නොහැකි දෙයකි. එය සැබෑවක් විය හැකිය. මන්දයත් රට පුරා ගෑස් සිලින්ඩර පිපිරී යාම් ලෙස වාර්තා වූ සිදුවීම් බහුතරයක සිදුව ඇත්තේ රෙගියුලේටර්, ගෑස් බට සහ උඳුන් පිපිරීමට ලක්වීමයි. එහෙත් උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් වගකීමෙන් අදාළ සමාගම්වලට ගැලවී යා නොහැක.
මෑතකාලීනව අනතුරු සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගම ද නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ මෑතකදී ඇතිවූ සිද්ධි සහ ගැටලු සිදුවී ඇත්තේ LP ගෑස් සඳහා භාවිත නොවන ප්‍රමිතියෙන් තොර බාල මට්ටමේ රේගියුලේටර්, නළ සහ උඳුන් භාවිතයේදී සිදුවන නොසැලකිල්ල හේතුවෙන් බවයි.
මේ සම්බන්ධව ඉදිරිපත් වී ඇති විද්වත් මත සැලකීම ඉතා වැදගත්ය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, රසායන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එස්.ඩී.එම්. චින්තක මහතා බී.බී.සී. සිංහල සේවය වෙත පැහැදිලි කිරීමක් සිදු කර තිබුණි. ගෑස් සිලින්ඩර සඳහා ඇතිවූ අධික ඉල්ලුම නිසා ප්‍රමිතියෙන් තොර, පළුදු වූ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කර ඇති බවට අනුමාන කළ හැකි බව ඔහු පැවසීය. එසේම ගෑස් සංයුතියේ වෙනසක් සිදු කිරීම පීඩනය වෙනස්වීමට හේතු වුවද එය ප්‍රමිතියෙන් යුත් ගෑස් සිලින්ඩරවලින් ගෑස් කාන්දු වීමට තරම් හේතුවක් නොවන බව ඔහු පවසයි. එසේම මහාචාර්ය එස්.ඩී.එම්. චින්තක මහතා පෙන්වා දෙන්නේ සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවක් සිදුවන්නේදැයි විමසිලිමත් වීම, ප්‍රමිතියෙන් යුතු නළයක් සහ රෙගියුලේටරයක් භාවිත කිරීම වඩාත් යෝග්‍ය බවයි.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද ගෑස් පිපිරීම් සම්බන්ධව පැහැදිලි කිරීමක් සිදු කොට තිබුණි.
“මකැප්ටන් අඩංගුද නැද්ද? නිසි ප්‍රමිතියට තිබේදැයි බලන්න අමෙරිකානු ක්‍රමවේදයක් තියෙනවා. අත්බෙහෙත්වලින් මෙය තිබේදැයි බලන්න හැකියාව තිබුණත් එම අමෙරිකානු ක්‍රමවේදය අනුගමනය කිරීම සඳහා පහසුකම් අපි ගාව නැහැ, එවැනි අවශ්‍යතාවයක් කවදාවත් ඇතිවෙලා නොතිබුණු නිසා. ඒ නිසාම මෙම ගෑස් ක්ෂේත්‍රය නියාමනය කිරීම අනෙකුත් ඉන්ධනවලටත් වඩා මේ මොහොතේ වඩාත් වැදගත් වෙලා තියෙනවා.
අපේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කතා කරමින් කියනවා මෙම ගෑස්වල ප්‍රොපේන් 30%ක් සහ බියුටේන් 70% තියෙන්න ඕනෑ. නමුත් දෙකම 50% බැගින් තමයි ගෑස් සිලින්ඩරයේ තියෙන්නෙ. ඒ නිසයි මේක පුපුරන්නේ කියල. එවැනි නීතියක් හෝ නියාමනයක් තියෙනවාදැයි කියා මා සොයා බැලුවා. නමුත් එහෙම නීතියක් නැහැ. දැනට නියාමනයකට තියෙන්නේ පීඩනය සම්බන්ධයෙන් පමණි. මකැප්ටන් දාන්න ඕනේ කියලා කොහෙවත් සඳහන් කරල නෑ. ප්‍රොපේන් සහ බියුටේන් ප්‍රතිශත ගැන කොහෙවත් සඳහන් කරලා නෑ. ආරක්ෂාකාරී උපකරණ සම්බන්ධයෙන් ගෑස් සිලින්ඩරයේ සඳහන් කළ යුතු තොරතුරු සම්බන්ධයෙන් කොතනකවත් නියාමනයක් නැහැ. ඒ නිසා අද අපේ රටේ පාරිභෝගිකයෝ බියෙන් පෙළෙනවා. මෙතෙක් කලක් අප බයෙන් සිටියේ අපට හොරෙන් අනුන් ගෙනැත් තියෙන බෝම්බවලට. නමුත් දැන් ගෙදර තියෙන ගෑස් සිලින්ඩරය සියදිවි හානිකර ගැනීම සඳහා සල්ලි දීල ගෙදරට අරන් ගිය බෝම්බයක් බවට පත් වී තියෙනවා."
සමස්ත සිදුවීම් පෙළ හා ප්‍රකාශ ගත් කල පෙනී යන්නේ සියලු පාර්ශ්ව සිය වගකීමෙන් මිදීමට උත්සහ දරන බවයි. ජනපති පත් කළ කමිටුවෙන් මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් ලැබෙතැයි අවසාන වශයෙන් අප හට බලාපොරොත්තු තබාගත හැකිය. මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසන්නේ ගෑස් සමාගම් වහාම පවතින සිලින්ඩර වෙළෙඳපොළෙන් ඉවත් කරගත යුතු බවය. එය කොතරම් ප්‍රායෝගිකද යන්න යන්න ගැටලුසහගතය.
කෙසේ නමුත් දිනෙන් දින වාර්තා වන අනතුරු සැලකීමේදී මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් අවැසි බව ඉතා පැහැදිලිය. ගෑස් නිසා අහිමි වී යන්නේ අපේම මාතෘ භූමියේ මිනිසුන්ගේ ජීවිතය. ගෑස් මිල කළ හැකිය. ජීවිත අමිලය.
චමිඳු නිසල් ද සිල්වා