2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

එකට දෙකක් නැග්ග එළවළු මිලේ හෙයියම්මාරුව

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 55

පසුගිය කාලයේ ඉතා ඉහළ මිලක් ගත් එළවළු මිලෙහි මේ වන විට යම් අඩුවක් දක්නට ඇත. තොග සහ සිල්ලර එළවළු වෙළෙඳසල්වල එළවළු මිල අහස උසට ඉහළ යද්දී  ඒවා මිලදී ගැනීම පවා ප්‍රතික්ෂේප කළ පාරිභෝගිකයෝ තමන් උපයන වැටුප ආහාර මිලදී ගැනීමට තබා කුසගින්න නිවා ගන්නටවත් ප්‍රමාණවත් නොවී සුසුම් හෙලූහ. මේ අතර පැවැති ධාරානිපාත වර්ෂාව හේතුකොටගෙන ඇතිවුණු ස්වභාවික විපත් හේතුවෙන් ද එළවළු අස්වනු විනාශ විය. නමුත් මේ වන විට එළවළු මිලෙහි යම් අඩුවක් පෙන්නුම් කරයි.

පහුගිය කාලයේදී උඩරට එළවළු අතරේ කැරට්, ලීක්ස්වල තොග රුපියල් තුන්සීයකටත් අධික මිලකට වෙළෙඳාම් වුණා. ඒකට ප්‍රධාන හේතුවක් ලෙස පොහොර ප්‍රශ්නය බලපෑවා. පහුගිය කාලවලදී පොහොර නොමැතිකම නිසාම ගොවීන් විශාල ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඒ හේතුවෙන් පොහොර ඉල්ලා උද්ඝෝෂණ කිහිපයක්ම සිදු වුණා. පොහොර ගැටලුව මෙන්ම එළවළු මිලෙහි ඉහළ යාමට පැවැති ධාරානිපාත වර්ෂාවත් බලපෑවා. විශේෂයෙන් උඩරට ප්‍රදේශවලට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ ඇතිවුණු නායයාම් ඇතුළු ස්වභාවික විපත් හේතුවෙන්ද එළවළු මිල ඉහළ ගියා. මධ්‍යම පළාතට ඇදහැලුණු මෙම ධාරානිපාත වර්ෂාව නිසා බොහෝ බෝග වගාවන්ට හානි සිදු වුණා. පොහොර ප්‍රශ්නය වගේම වර්ෂාව හේතුවෙන්ද ඇතැම් එළවළු කොටුවලට ලැබුණු අස්වැන්න එතරම් සාර්ථක වුණේ නැහැ. මේ නිසා වෙළෙඳපොළට වැඩි වශයෙන් පැමිණියේ සරුසාර අස්වැන්නක් නොවෙයි. ලැබුණු සරුසාර අස්වැන්න ඉතා ඉහළ මිලක් ගත්තා.

කොළඹ මැනිං පොදු වෙළෙඳපොළ එළවළු ව්‍යාපාරික කනිෂ්ක පල්ලගේ මහතා දේශයට එසේ පැවසීය.

නුවරඑළිය ඇතුළු මධ්‍යම පළාතේ සිට පසුගිය දිනවල වෙළෙඳපොළට ගෙන ආ එළවළුවල මිල ඉතා ඉහළ අගයක් ගෙන තිබිණි. උසස් තත්ත්වයේ කැරට් කිලෝවක් රුපියල් තුන්සීයත් වැනි මිලකට අලෙවි වෙද්දී එතරම් සරු නොවන බාල තත්ත්වයේ මධ්‍යම කැරට් කිලෝවක් රුපියල් එකසිය පනහ, දෙසීය වැනි මිලකටද පහුගිය කාලවලදී අලෙවි විය. තොග වෙළෙඳාම එවැනි මිලකට සිදුවුවද තොග වෙළෙඳුන් හරහා ඒවා එවැනි අඩු මුදලකට විකිණී නොතිබිණි. උසස් තත්ත්වයෙන්  තොර කැරට්, ලීක්ස් වැනි එළවළු පවා ජනතාවට මිලදී ගැනීමට සිදුවූයේ ඉතා ඉහළ මිලකටය. මෙම මිල බොහෝ විට තීරණය කරන ලද්දේ තොග සහ සිල්ලර වෙළෙඳුන්ය.

අපේ තොග වෙළෙඳුන් අපෙන් දිනක වෙළෙඳාමට කැරට් කිලෝ තිහක් රුගෙන ගියත් මේ පවතින මිලත් සමඟ ඔවුන්ගේ පාරිභෝගිකයන් මේ වෙද්දි එම මිලට එළවළු මිලදී ගන්නේ නැහැ. කලින් ඔවුන්ගෙන් කැරට් කිලෝවක් රුගෙන ගිය පාරිභෝගිකයන් මේ පවතින මිලත් සමඟ ඔවුන්ගෙන් රුගෙන යන්නේ ග්‍රෑම් දෙසිය පනහක් වැනි අඩු ප්‍රමාණයක්. ඒ සමඟම මේ පවතින ඉල්ලුමෙහි යම් සැලකිය යුතු අඩුවීමක් සිදුව පවතිනවා. ඒ වගේම පොහොර ගැටලුවත් සමඟ පිට පළාත්වලින් අපිට ලැබෙන එළවළුවලද සැලකිය යුතු අඩුවීමක් සිදුවෙලා තියෙනවා. ඒ අනුව ඉල්ලුමට අනුව මිල තීරණය වෙනවා. එළවළු වෙළෙඳපොළට ආවට ඒවා මිලදී ගැනීමට පාරිභෝගිකයන් නොමැතිකම නිසාම මිලෙහිද යම් අඩුවක් දක්නට ලැබෙනවා. පහුගිය කාලයේදී අපේ වෙළෙඳසලෙන් තොග මිලට දිනකට කැරට් කිලෝ සීයක් ගත් වෙළෙඳුන් මේ වන විට මිලට ගන්නේ කැරට් කිලෝ පනහක් වැනි අඩු ප්‍රමාණයක්.* යැයි ද කනිෂ්ක පල්ලගේ මහතා වැඩිදුරටත් පැවසීය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය නගරය තුළ අලෙවි වන එළවළුවල මිල ඉහළ ගොස් තිබේ. එයට හේතුව වන්නේ එහි පවතින එළවළුවල උසස් තත්ත්වයයි. මේ අතර ඩයගම, තලවකැලේ වැනි ප්‍රදේශවලින් වෙළෙඳපොළට පැමිණෙන එළවළු මිලෙහි පෙර මිලට සාපේක්ෂව අඩුවක් පවතී. නුවරඑළිය ප්‍රදේශයේ කැරට් අලෙවි වන්නේ රුපියල් දෙසීය සහ රුපියල් දෙසිය දහයක් වැනි මිලකටය. මේ අතර කොළඹ මැනිං වෙළෙඳපොළේ ලීක්ස් කිලෝවක් රුපියල් එකසිය පනහකට හෝ විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබිණි. එයට හේතුව වන්නේ එළවළු තොග වශයෙන් මැනිං වෙළෙඳපොළට පැමිණියද ඒවා මිලදී ගැනීමට තොග වෙළෙඳුන් පැමිණ නොසිටීමය. මේ වන විටත් ලීක්ස් කිලෝ දස දහසක් මැනිං වෙළෙඳපොළට පැමිණ ඇතත් ඒවා මිලදී ගැනීමට වෙළෙන්ඳෝ නොපැමිණෙති. ඒ හේතුවෙන් ක්‍රමක්‍රමයෙන් පවතින එළවළු මිල පහළ බසිමින් තිබේ.

පහුගිය කාලයේදී එළවළු මිල ඉතා ඉහළ අගයක් ගැනීම හේතුවෙන් ගොවි මහතුන් යම් ලාභයක් ලැබුවද එයට සාපේක්ෂව නිෂ්පාදන පිරිවැයත් සමඟ සංසන්දනය කළ විට එම ලාභය සම්බන්ධයෙන් නිගමනයකට පැමිණිය නොහැක. පෙර වගාවන්හිදී රුපියල් දහසකට ගත් පොහොර මේ වන විට දෙගුණයකට අධික මිලකට කළුකඩ වෙළෙන්ඳෝ විකුණති. මෙවැනි හේතු නිසා එළවළු මිල ඉහළ යාම හේතුවෙන් ගොවීන් විශාල ලාභයක් ලබන බව නිගමනය කළ නොහැක. නිෂ්පාදන පිරිවැය මේ වන විටත් එකකට එකක් වැඩි වෙමින් පවතී.

පහුගිය කාලවලට සාපේක්ෂව මේ වන විට කොළඹ මැනිං වෙළෙඳපොළෙහි එළවළු මිල අඩුවීමක් පෙන්නුම් කරයි. ඒ අනුව නුවරඑළියේ උසස් තත්ත්වයේ කැරට් කිලෝවක් රුපියල් දෙසීයත් දෙසීය විස්සත් අතර මිලකට විකිණෙයි. ඊට අමතරව ලීක්ස් දෙසිය තිහත් දෙසිය හතළිහත්, ගෝවා දෙසිය පනහත් තුන්සියයත්, අමුමිරිස් රුපියල් හාරසීයත් මාළුමිරිස් රුපියල් පන්සියයක් වැනි මිලකට අලෙවි වෙයි.

මේ කාලවලදී හැම වර්ෂයකම එළවළුවල යම් අඩුවීමක් සිදුවෙනවා. නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි මාසවලදී විශේෂයෙන් පහතරට එළවළුවල අඩුවීමක් සිදුවෙනවා. වැටකොළු, පිපිඤ්ඤා, වට්ටක්කා, දඹල වැනි පහතරට එළවළුවල නිෂ්පාදනය මේ කාලයේදී වැඩියි. ඒ නිසා එවැනි එළවළු මිල අඩුවීමක් සිදුවෙනවා. සමහර ගොවීන් තම අස්වැන්න උත්සව කාලවලදී නෙලන්නට සිතාගෙන ඉන්නවා. නමුත් ඒ කාලය අවසන් වුණාට පස්සේ එළවළු නෙලා වෙළෙඳපොළට එවන්න සිදුවෙනවා. එවිට ජනතාවගේ පාරිභෝජනය අඩුවීම නිසා එළවළු මිලෙහි අඩුවක් සිදුවෙනවා.

කොළඹ මැනිං පොදු වෙළෙඳ සංගමයේ හිටපු ලේකම් ගාමිණී හඳුන්ගේ මහතා දේශයට එසේ පැවසීය.

විශේෂයෙන් නත්තල් උත්සව සමයේදී වැඩි වශයෙන් ඉල්ලුම පවතින්නේ උඩරට එළවළුවලටය. මෙයට හේතුව වන්නේ උත්සව සමයේ වැඩි වශයෙන් උඩරට එළවළු භාවිතය වැඩි වීමය. මේ නිසාම පහතරට එළවළුවලට මේ කාලයේදී ලැබෙනුයේ අඩු ඉල්ලුමකි. ඒ හේතුව නිසා උත්සව සමයේදී පහතරට එළවළුවල අඩු මිලක් පවතී. මේ නිසාම පහතරට එළවළු ගොවීන් තම අස්වැන්න වෙළෙඳපොළට ලබාදෙනු ලබන්නේ අඩු මිලකටය. අස්වැන්න නෙලන කාලයේදී සියලු අස්වැන්න නෙලිය යුතුය. ඒවා කල් තබාගත නොහැකිය. කෙසේ වෙතත් පැවැති වර්ෂාවේ යම් අඩුවක් පවතින නිසා ඉදිරියේදී පවතින එළවළු මිලෙහි අඩුවක් වනු ඇත.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05