අද රටේ පවතින සියලු ප්‍රශ්න අභිබවා මේ වන විට ණය ගැටලුව කරළියට පැමිණ ඇත. රටේ දේශපාලනඥයන්ද ඔවුන්ගේ අන්තේවාසිකයන් වන ඇතැම් නිලධාරීන්ද අභීත ලෙස පවසන්නේ ඉදිරියේ ණය ගෙවීමට අපට අවශ්‍ය තරම් සල්ලි ඇති බවකි. රටේ මේ වන විට ගෙවන්නට ඇති ණය ප්‍රමාණය සහ ඉදිරි කාලයේ ගෙවන්නට ඇති ණය ගැන සලකා බැලීමේදී මේවා ගෙවීමට කොහෙන්, කෙසේ මුදල් උත්පාදනය කළ හැකිද යන්න විශාල ගැටලුවකි.
මෙතෙක් කල් අප කළේ ණය වාරික සහ පොලිය ගෙවීම සඳහා තවත් ණය ලබාගැනීමය. මෙහි කෙළවරක් දැකිය නොහැකිය. ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ ශ්‍රී ලංකාව ණය උගුලකට හසුව ඇති බවකි. මෙය බෞද්ධ ජාතක කතාවක එන අග්ගලා මල්ල රුගෙන ආ බමුණාට ඇතිවූ සිද්ධියට සමාන කළ හැකිය. මඟ සිටියොත් තා නසී ගෙදර ගියොත් අඹු නසී* යන අනාවැකිය සත්‍ය වනවා ඇත. ණය නොගෙවා බැරිය. එහෙත් එම ණය ගෙවීමට මුදල් නැත. එනිසා ණය ලබාගෙන ණය ගෙවිය යුතුය. තව තවත් ණය ලබාගැනීම අර්බුදය උග්‍ර කිරීමකි. එහෙත් දැන දැනම එය කළ යුතුව ඇත. අද ලංකාව පත්ව තිබෙන්නේ මෙම අවාසනාවන්ත තත්ත්වයටය. මුදල් අච්චු ගසා ණය ගෙවිය හැකි නම් අපේ බලවතුන් එයද කරනු ඇත. එහෙත් ණය ගෙවිය යුතුව ඇත්තේ ඩොලර්වලිනි. ඩොලර් අච්චු ගැසීමට නුපුළුවන.
එහෙත් රට මේ වන විට ඩොලර් අර්බුදයක ගිලී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිත අන්තිමටම හිඳී ඇති අතර එම මුදල ප්‍රමාණවත් වන්නේ සති පහක කාලයක් සඳහා බව පැවසේ. ඩොලර් පිළිබඳ මෙවැනි අහේනියක් නිදහස ලබාගත් දා සිට උද්ගතව නැත.
කොරෝනා අර්බුදය නිසා මෙරටට ඩොලර් ලැබෙන සියලුම මාර්ග ඇහිරී ඇත. සංචාරකයන් මගින් ලැබෙන විදේශ විනිමය පහත බැස තිබේ. පිටරටවල නියුතු ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ ප්‍රේෂණ අවම වී ඇත. අපේ අපනයන ආදායම සුළු වශයෙන් වැඩිව ගොස් ඇති නමුත් එය මෙම ඌණතාවයට විසඳුමක් නොවේ. රුපියලේ විදේශ අගය පහළ බැසීම නිසා ඩොලර් වෙනුවෙන් සෑහෙන රුපියල් ප්‍රමාණයක් යට කළ යුතුය. මහ බැංකුවේ මිලට වඩා කළුකඩ මිල ඩොලරය රුපියල් 220 – 230 මට්ටම දක්වා ඉහළ නැග ඇති අතර මහ බැකුවෙන් හෝ වාණිජ බැංකුවලින් ඩොලර් ලබාගත නොහැකි බැවින් ගනුදෙනුකරුවෝ පිටත තැරුව්කරුවන්ගෙන් කළුකඩ මිලට ඩොලර් ලබාගැනීමට ප්‍රවණතාවක් දක්වති. ඒ නිසා රටට ලැබිය යුතු ඩොලර් ප්‍රමාණය අහිමි වී යයි. මෙය වැළැක්වීම සඳහා රාජ්‍ය බැංකුවලින් ඩොලර් ගනුදෙනුකරුවන්ට රුපියල් 10ක අතිරේක මුදලක් ගෙවීමට මහ බැංකුව තීරණය කර ඇත.
මේ වන විට රටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන ආ කන්ටේනර් දහසක් පමණ ඩොලර් නොලැබීම නිසා ගොඩබාගත නොහැකිව වරායේ සිරවී ඇත. ඩොලර් හිඟකම නිසා වාණිජ බැංකු ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් කල් ඇතිව ගෙවීමට සිදුවීම හේතුවෙන් ඩොලර් හිඟය උග්‍ර වී ඇත. මෙම තත්ත්වය තුළ ණය ගෙවීම සඳහා අවශ්‍ය ඩොලර් උත්පාදනය කිරීමට නොහැකිවීමෙන් රට අර්බුදයකට මුහුණපා ඇති බව නොකිවමනාය. ඩොලර් සොයාගත් විට එයින් ඇත්තේ ණය ගෙවීම පමණක් නොවේ. මුලින් පැවසූ පරිදි අත්‍යවශ්‍ය ආනයනවලටද වැය කළ යුතුව තිබේ. ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ආදියට ඩොලර් නොමැති වුවහොත් ජනතාවගේ ආයුෂ කෙටි වනවා ඇත.
රටේ සමස්ත ජාතික ආදායම ගෙවීමට ඇති ණය සඳහාවත් ප්‍රමාණවත් නොවේ. ජාතික ආදායමෙන් ණය ගෙවීම පමණක් නොව රට තුළ කළ යුතු කාර්යය රුසකි. එවැනි පරිසරයක් තුළ ආදායම එකතු කිරීම ඉතාම දුර්වල මට්ටමක පවතී. අපේ වක්‍ර බදු ආදායම 80%ක් වන අතර ඍජු බදු ආදායම් ප්‍රතිශතය 20%කි. දශක කිහිපයක් තුළ මෙම අනුපාතයේ වෙනසක් සිදුව නැත. ආදායම තුළ බදු ආදායම් ප්‍රතිශතය 90%කි. 2021 දී මෙම ආදායමෙන් 25%ක් අයකරගත නොහැකි බදු විය. 2022 දී මුළු බදු ආදායම 2021ට වඩා 46%කින් ඉහළ දමා ඇති නමුත් බොහෝ ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ රටේ පවතින තත්ත්වය අනුව අයකර ගැනීම දුෂ්කර වනු ඇත යන්නය.
රටේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා ද ඉදිරියේදී විශාල ලෙස ණය ගැනීම් අවශ්‍ය වී ඇත. මේ වන විටත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ණය ලබාගැනීම සඳහා ඉන්දියාවට ගොස් සිටියි. ණය ලබාගන්නේ මූලික හේතු දෙකක් උදෙසාය. ඒ යටිතල පහසුකම් සංවර්ධනයට සහ ගෙවුම් ශේෂ අර්බුදය වෙනුවෙනි. මෙතෙක් මෙරට විශාල ලෙස ණය ගෙන ඇත්තේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහාය.
2014 දී අපේ ණය ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 30%කි. පසුගිය වසර 5 තුළ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 44.2% දක්වා ඉහළ ගිය බව මහ බැංකුව කියයි. රටේ ජනතාව තවමත් ගෙවනුයේ 2015 වසර ආශ්‍රිතව ගත් සංවර්ධන ණය හා වාරිකයි. එහෙත් ඒ හා සමාන සංවර්ධනයක් සිදුවූවාද යන්න ගැටලුවකි. අප විශාල වශයෙන් ණය ලබාගෙන ඇත්තේ මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය, සූරියවැව ක්‍රීඩාංගණය, දක්ෂිණ අධිවේගී මාර්ගය ආදී ප්‍රධාන ව්‍යාපෘතිවලටය. සිදුවිය යුත්තේ මෙම සංවර්ධන ණය ගත් ව්‍යාපෘතිවලින් ආදායම උපයාගෙන ණය ගෙවීමය. එහෙත් සිදු නොවී ඇත්තේද එයමය. සුදු අලි වැනි මෙම ව්‍යාපෘතිවලට ගත් ණය සහ පොලී පියවීමට තවත් ණය ලබාගැනීමට ආණ්ඩුවට සිදුව ඇත. මෙතෙක් එම ණය ගෙවාගෙන ඇවිත් ඇත්තේද තව තවත් ණය ලබාගෙනය. මාර්ග සංවර්ධනය සඳහා විශාල ලෙස ණය ලබාගෙන ඇත්තේ එම කර්මාන්තවලින් විශාල ලෙස වංචා දූෂණ කිරීමට අවස්ථාව ලැබෙන නිසා යැයි චෝදනාවක් පවතී.
මේ වන විට ශ්‍රී ලංකාව ලබාගෙන ඇති නැවත ගෙවිය යුතු සමස්ත විදේශ ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 35.1ක් හෙවත් රුපියල් කෝටි 712,530ක් බව හෙළි වී තිබේ. මෙය අනාවරණය කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මගිනි. මෙම ණයවලින් වැඩි කොටසක් ලබාගෙන ඇත්තේ වෙළෙඳපොළ පොලිය අනුව අධික පොලී ප්‍රතිශත අනුවය. භාණ්ඩාගාර බිල්පත් හා සුරුකුම්පත් උපයෝගී කරගෙන මෙලෙස ලබාගෙන ඇති ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 16,383.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත අනුව දැක්වේ. මෙලෙස අධික පොලියට ලබාගෙන ඇති ණය ප්‍රමාණය සමස්ත විදේශ ණය ප්‍රමාණයෙන් 47%කට මදක් වැඩිය.
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය දෙවැනි තැනට පත්වී ඇති අතර එම ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 4415.7කි. මෙය සමස්ත ණයවලින් 13%ක් වේ. චීනයෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 3388.2ක් හෙවත් 10%ක් වෙයි. ශ්‍රී ලංකාව ණය ගෙන ඇති විදේශ රටවල් අතර චීනය තෙවැනි ස්ථානයට පත්ව ඇත.
ජපානයෙන් ඩොලර් මිලියන 3360ක් (සියයට 10ක්) ලෝක බැංකුවෙන් 9%ක් හෙවත් මිලියන 3230.9ක්, ඉන්දියාවෙන් ඩොලර් මිලියන 859.3ක් හෙවත් 2%ක් ණය ලබාගෙන ඇත. මේ හැරුණුවිට වෙනත් සියලු රටවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 3362ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් විට 10%කට ආසන්න බව මහ බැංකුව කියයි.
එසේම මෙරට ලබාගෙන ඇති සමස්ත ණයවලින් 64.6%ක් ලබාගෙන ඇත්තේ එක්සත් ජනපද ඩොලර්වලින් වන අතර, 14.4%ක් විශේෂ ගැණුම් හිමිකම් ලෙසද ඉතිරි ණය ජපාන යුරෝ හා චීන රෙන්මිමි බී යන මුදල් ඒකකවලින් ද ලබාගෙන ඇත. මේ සියලුම මුදල් ඒකකවල වටිනාකම මනිනුයේ අමෙරිකානු ඩොලරය පදනම් කරගෙනය.
ඉදිරි මාස තුනක් සඳහා ණය ගෙවීමට අමෙරිකානු ඩොලර් බිලියන 6ක් අවශ්‍ය වී ඇති බව මහ බැංකුව අවධාරණය කරයි. නොවැම්බර්, දෙසැම්බර් මාස දෙක තුළ ඩොලර් මිලියන 351ක ණය වාරිකයක් ගෙවීමට තිබේ. ජනවාරි 18දා ජාත්‍යන්තර සවෛරි බැඳුම්කරයක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500ක් ගෙවීමට තිබේ. ජනවාරි මස ණය වාරිකය බිලියන 1.1කි. ආණ්ඩුව ණයවර ලිපි වෙනුවෙන් දින 90 දින 180 ආදී වශයෙන් කෙටි කල් ලබා දී තිබිණි. බැංකු ණයවර ලිපි නිකුත් කර ඇත්තේ මේ අනුව කල් දීමෙනි. එම දිනයට මුදල් නොගෙවුවහොත් විශාල අමාරුවක වැටේ. අපේ රාජ්‍ය බැංකුවල ණයවර ලිපි පිළිබඳ ජාත්‍යන්තර බැංකුවල විශ්වාසය පළුදු වෙයි. එය අනාගත ගනුදෙනුවට අහිතකරය.
දැනට ආනයනය කර ඇති භාණ්ඩවලට ලංකා බැංකුව හා මහජන බැංකුව නිකුත් කර ඇති ණයවර ලිපිවල වටිනාකම ඩොලර් බිලියන 2.5ක් ඉක්මවා ඇත. වෙනත් වාණිජ බැංකු හරහාද ණයවර ලිපි නිකුත් කර තිබේ. නොවැම්බර්, දෙසැම්බර් දෙමසට පමණක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ආනයනයට අමෙරිකානු ඩොලර් බිලියන 3.3ක් අවශ්‍ය බව පැවසේ. සියල්ල එකතු වූ විට භාණ්ඩ ආනයනයට හා ණයවර ලිපිවලට පමණක් වැය වන මුදල බිලියන 6.5කට වැඩිය.
නුදුරු අනාගතයේ අපට මුහුණපාන්නට ඇති තත්ත්වය පිළිබඳ සිතෙන විට රෝමෝද්ගමනය වෙයි. ඉදිරියේදී ආණ්ඩුව මෙම ගැටලුවට කෙසේ මුහුණ දේවිද යන්න පිළිබඳ බලා සිටිනවා හැර කරන්නට දෙයක් ඉතිරිව නැත.
ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් අධික පොලියට කෙටිකාලීන ණය ලබාගැනීම දැනට පුරුද්දක් ලෙස සිදුවේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කරා ගොස් ණය ගෙවීම පිළිබඳ යම් සහනයක් ලබාගැනීමට විද්වතුන් රජයට යෝජනා කළද රජය කල්පනා කරනුයේ එය මදිකමක් ලෙසටය. වාමාංශික යැයි කියන ඇතැම් දේශපාලනඥයන් පාර්ලිමේන්තුවේදී පවසන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු යක්ෂයකු ලෙසටය. එවැනි පරිසරයක ඉදිරියේදී අපට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කරා යා හැකිවේද යන්න ගැටලුවකි. ශ්‍රී ලංකා මහ බැංකුව 2019 දී විදේශ වෙළෙඳපොළෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය 47%ක් වන අතර පොලියද සමඟ දැන් එය තුන් ගුණයක් පමණ වී ඇත. යම් ලෙසකින් ණය නියමිත දිනයට ගෙවිය නොහැකි වුවහොත් එය බංකොලොත් රටක් බවට අර්ථ නිරෑපණ්‍ය කරන අතර එවැනි රටවලට වැඩි පොලියට හෝ වාණිජ ණය පවා ලබාගත නොහැකි වනවා ඇත. සිම්බාවේ හා උගණ්ඩාව වැනි රටවලට අද අත්වී ඇති ඉරණම මතුවට අපට අත්වේද යන්න පිළිබඳව අනාගතය විසින් තීරණය කරනු ලබනවා ඇත.
යසවර්ධන රිද්රිගූ