බැංකුවලින් ලබාගත් ණය මුදල් ගෙවාගත නොහැකි වීම මත අනුරාධපුරයේ සංචාරක හෝටල් පහක් බැංකුවලට සින්න වී ඇතැයි අනුරාධපුර සංචාරක හා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂනාත් ගුණසේකර මහතා සඳහන් කරයි. මේ වනවිට අනුරාධපුර සංචාරක හෝටල හිමියන් ගැටලු රැසකට මුහුණපා සිටින බවද, සංචාරකයන් නොමැතිකමින් හෝටල් නඩත්තු කිරීමට හා ලබාගත් බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වී ඇති බවද, සඳහන් කළ ඒ මහතා සංචාරක හෝටල් කර්මාන්තයට සම්බන්ධ පුහුණු සේවකයන් රුසක් සේවයෙන් ඉවත්වී විදේශ රටවල රුකියා සඳහා ගොස් ඇති බැවින් නැවත සංචාරක කර්මාන්තය ආරම්භ කළත් පුහුණු සේවකයන්ගේ හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවද වැඩිදුරටත් සඳහන් කළේය.
මෙරට පවතින පරාටේ නමැති නීතිය හේතුවෙන් ණය නොගෙවූ අවස්ථාවක නඩු මඟට නොපිවිස ඕනෑම අවස්ථාවක බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට කිසියම් ගොඩනැගිල්ලක් අත්පත් කරගත හැකිය. ණය ගෙවා ගැනීමට නොහැකි වූ හෝටල් එකින් එක බැංකුවලට සින්න වෙමින් යන්නේ ඒ අනුවය. එලෙස සින්න වී ඇති හෝටල් කිසිදු කාර්යයක් සඳහා ප්‍රයෝජනයට නොගෙන වසා දමා ඇති බවද, ඇතැම් ඒවා වල් බිහිවී ඇති බවද වාර්තා වේ. බැංකු විසින් කළ යුතුව තිබුණේ එවායේ මුල් හිමිකරැවන්ට එම හෝටල පවත්වාගෙන යාමට අවස්ථාව ලබා දී ඉන් ලැබෙන ආදායමෙන් ණය වාරික පියවා ගැනීමට කටයුතු කිරීම වුවද ඒවා වසා දමා තිබීම හේතුවෙන් සංචාරක කර්මාන්තය තව දුරටත් අගාධයට යන බව සංචාරක හෝටල් හිමියෝ පෙන්වා දෙති.
ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා දෙන කර්මාන්ත අතරින් තෙවැනි විශාලතම කර්මාන්තය වන්නේ සංචාරක කර්මාන්තයයි. එය බිලියන 4.5ක පමණ අගයකි. 2019 වර්ෂයට සාපේක්ෂව 2020 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම 60කින් පමණ අවම වූ අතර පසුගිය කාලයේ එය සම්පූර්ණයෙන්ම බිඳවැටිණි. සංචාරක කර්මාන්තය බිඳ වැටීමත් සමඟ සෘජුව හා වක්‍රව එම කර්මාන්තයෙන් යැපෙන මිලියන 2කට අධික පිරිසකට ආදායම් මාර්ග අහිමි විය. 2018 වසරේ මෙරටට සංචාරකයන් මිලියන 2.33ක් පැමිණි අතර ඔවුන්ගෙන් ලද විදේශ විනිමය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5ක් විය. 2019 මෙරටට සංචාරකයන් මිලියන් 3ක් ගෙන්වා ගැනීමට අපේක්ෂා කළද එම වසරේ මාස 8ක කාලය තුළ මෙරටට පැමිණියේ මිලියන 1.9ක් වැනි පිරිසකි. මේ කාලයේ කොවිඩ් වසංගතය හිස එසවීම ආරම්භ වූ අතර ලොවපුරා සංචාරක ව්‍යාපාරයට අසුබ දසාවක් උදාවිය. ශ්‍රී ලංකාවට විදේශ විනිමය හිඟවීමත් සමඟ රජය ජෛව බුබුලක් යටතේ සංචාරකයන් යළි ගෙන ඒමට කටයුතු කළද කැඳවාගත හැකි වූයේ සුළු පිරිසක් පමණි.
අනුරාධපුරයේ සංචාරක ව්‍යාපාරයට කණකොකා හැඬුවේ කොරෝනාවටත් පෙර සිටය. අනුරාධපුරයට කන්න දෙකක් පුරා දැඩි නියඟයක් පැවැති බැවින් සංචාරකයන්ගේ පැමිණීම අඩාල විය. ඒ සමඟ පාස්කු ප්‍රහාරයත්, ඉන්පසු පැමිණි කොවිඩ් වසංගතයත් සමඟ තත්ත්වය දරැණු විය. සංචාරකයන් නොමැති හෙයින් හෝටල වසා දැමීමට සිදු වුවද සංචාරක හෝටලවල නඩත්තු කටයුතු නොකඩවා සිදුකළ යුතු වූ අතර ඒ සඳහා විශාල පිරිවැයක් දැරීමට සංචාරක හෝටල් හිමියන්ට සිදු විය. එම හෝටලවල සේවය කළ සේවකයන්ට කිසියම් දීමනාවක් ගෙවීමට සිදුවූයේ ඔවුන් රුකගත යුතු වූ බැවිනි. දළ වශයෙන් සේවකයන් දහසකට අධික සංඛ්‍යාවක් මෙම හෝටල්වල සේවය කළහ. මේ වනවිට ඇත්තේ 250කටත් අඩු සංඛ්‍යාවකි. හෝටල් සේවකයකුට වැටුපට වඩා හිමිවන්නේ සර්විස් චාජ් හෙවත් සේවා ගාස්තුවකි. ඇතැම් හෝටල් හිමියෝ තමන් සතු වත්කම් පවා උගස් කොට තම සේවකයන් රුක ගැනීමට කටයුතු කළහ. මේ වනවිට අනුරාධපුරයේ සංචාරක හෝටලවලට කිසිදු ආදායමක් නොමැතිව වසර 4කට වැඩි කාලයක් ගතවී තිබේ. එහෙයින් අනුරාධපුර සංචාරක කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ පා සිටී.
මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා රජය ණය සහන ලබා දීමට කටයුතු කළේය. එහෙත් හෝටල් හිමියන් ප්‍රකාශ කරන පරිදි එය සහනයක් නොවීය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අනුරාධපුර සංචාරක හා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂනාත් ගුණසේකර මහතා, &මෙම ණය ක්‍රමය හෝටල් කර්මාන්තයේ හඳුන්වන්නේ සැන්ව්ච් ලෝන් එකක් කියලා. මුලින් තිබුණු ණය ප්‍රමාණයට පොලියක් එක් කරලා ඒ පොලියට තවත් පොලියක් එකතු කළා. දෙවැනි අවස්ථාවේ සම්පූර්ණ මුදලයි පොලියයි දෙකම එකතු කරලා ඒ දෙකට තවත් පොලියක් එකතු කළා. මේක ඉතාමත් අසාධාරණ ක්‍රමවේදයක්. ඒ අවස්ථාවේ තාවකාලික සහනයක් ලෙස අපි එය බාර ගත්තා. අපි රජයෙන් ඉල්ලන්නේ 2019 අප්‍රේල් සිට 2023 අප්‍රේල් වන තෙක් වන වසර හතර සඳහා ඇති පොලිය රජය මගින් බැංකුවලට පියවන ලෙසටයි. මේ කාර්ය සඳහා රජයට මුදල් ටිකක් අච්චු ගහන්න පුළුවන්. මුදල් අච්චු ගහල බැංකුවට දැම්ම කියලා රටේ උද්ධමනයක් ඇති වන්නේ නැහැ. ලබන වසරේ අප්‍රේල් සිට අපි නැවත ණය ගෙවීම සිදුකළ යුතුයි. එතනදී පොලිය පමණක් ගෙවීමට වසර දෙකක සහන කාලයක් ලබා දී 6%ක් වැනි පොලී ප්‍රතිශතයක් යටතේ සම්පූර්ණ ණය මුදල වසර 10ක් ඇතුළත ගෙවන්න අවස්ථාව සලසා දෙන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිනවා. මෙය අසාධාරණ ඉල්ලීමක් නොවයි. විදේශ රටවල සංචාරක ව්‍යාපාරය ගොඩගන්න විශාල වශයෙන් සහන දීලා තිබෙනවා. විදේශයන්හි සංචාරක ව්‍යාපාර යළි ආරම්භ වෙලා. අපේ පුහුණු සේවකයන් දැන් විදේශවලට යනවා. සංචාරක කර්මාන්තය පවත්වාගෙන යෑමට පුහුණු සේවකයන් අවශ්‍යයි. එසේ නොවුණහොත් ගුණාත්මක සේවාවක් ලබා දෙන්න බැහැ. මේ ප්‍රදේශයේ සේවකයන් පුහුණු කිරීමේ ආයතන පහක් පමණ තිබෙනවා. එහෙත් ඒවාට තරැණයෝ එන්නේ නැහැ. ඔවුන් සිතන්නේ සංචාරක ව්‍යාපාරය කඩාවැටුණු ව්‍යාපාරයක් ලෙසයි. සංචාරක ව්‍යාපාරය යළි යථා තත්ත්වයට පත්වීමේදී අපට විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිදුවේවි.
අනුරාධපුර සංචාරක හා හෝටල් හිමියන්ගේ සංගමයේ සාමාජිකයන් 108 දෙනකු සිටි අතර මේ වන විට කර්මාන්තයේ නිරතව සිටින්නේ ඇත්තේ 35ක් වැනි සංඛ්‍යාවකි. සෙසු පිරිස් සංචාරක ව්‍යාපාරයෙන් ඉවත්ව ගොසිනි. එම ආයතන වසා දමා ඇති අතර 2020 මැයි මාසය වනවිට සංචාරක හෝටල් 26ක් බැංකුවලට සින්න වීමේ අවදානමකට මුහුණ පා තිබිණි. මේ වනවිට ඉන් පහක් සින්න වී අවසන්ය. පසුගිය වසරේ අනුරාධපුරයේ සංචාරක හෝටල් හිමියන් සංචාරක අමාත්‍යවරයා හමුවී තම ගැටලුවට විසඳුමක් ඉල්ලා සිටියද ඒ සඳහා ණය ගෙවීමට සහන කාලයක් ලබාදීම හැර වෙනත් විකල්පයක් ඉදිරිපත් නොවීය.
අනුරාධපුරයේ සංචාරක කර්මාන්තයට කිසිදු සහනයක් නොමැති බවත්. හෝටලයේ නාම පුවරැව ප්‍රදර්ශණය සඳහා පමණක් නගර සභාවට රැපියල් පනස් දහසක් හා මාර්ග සංවර්ධන අධිකාරියට රැපියල් පනස් දහසක් ගෙවීමට සිදු වී ඇති බවත් එය නොගෙවන්නේ නම් හෝටල් හිමියන්ට නඩු පැවරීමට කටයුතු කරන බවත් සංචාරක හා හෝටල්හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.
අනුරාධපුර නගරය සංචාරක සිතියමෙන් ඉවත් කෙරැණේ එල්ටීටීඊය පැවැති සමයේ ශ්‍රී මහා බෝධියට හා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට කොටි ත්‍රස්තවාදින් ප්‍රහාර එල්ල කිරීමත් සමඟය. පසුව එය යළි සිතියමට ඇතුළත් කළද සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්වලදී අනුරාධපුරය නොසලකා හැර ඇතැයි සංචාරක හෝටල හිමියන්ගේ සංගමය සංචාරක ඇමැතිවරයා සමග පැවැති සාකච්ඡාවකදී පෙන්වා දී තිබේ. අනුරාධපුරයේ එතරම් පහසුකම් නොමැති හා ලියාපදිංචි කර නොමැති සංචාරක හෝටල හා ලැගුම්හල් 500ක් පමණ තිබේ. මෙවැනි අනවසර නවාතැන්පල නිසාද සංචාරක හෝටලවලට බලපෑමක් එල්ල වී තිබේ. එමෙන්ම පන්සල්වල විශ්‍රාම ශාලාද අඩුමුදලකට ලබාගත හැකිය. මෙවැනි ආයතන සඳහා විදුලි බිල් හා ජල බිල් අවමය. නඩත්තු වියදම්ද අවමය. එහෙත් ලියාපදිංචි සංචාරක හෝටලවලට ගාස්තු අයකරන්නේ ව්‍යාපාරික මට්ටමිනි. එහෙයින් ඒවායේ පිරිවැය වැඩි වන අතර හෝටල් කාමරවල මිල ගණන්ද ඒ අනුව යම් ඉහළ මට්ටමක පවතී.
මෙවර අයවැයෙන් සංචාරක කර්මාන්තයට හා ඔවුන්ගේ ණය සඳහා යම් සහනයක් ලැබෙනු ඇතැයි හෝටල් හිමියෝ අපේක්ෂා කළහ. එහෙත් එම අපේක්ෂා සුන්වී තිබේ. මුදල් අමාත්‍යවරයා කියා සිටියේ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ඇති සංචාරක සංවර්ධන අරමුදලින් සහන ලබාදෙන බවය. එහෙත් 2011 පසු පැවැති සෑම රජයක්ම මෙම අරමුදලේ තිබූ මුදල් වෙනත් ව්‍යාපෘති සඳහා ලබා ගෙන ඇති බැවින් සංචාරක කර්මාන්තයේ නියැලන්නන්ට එම අරමුදලින් ලබා ගත හැකි දෙයක් නොමැත. එමෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ලෝක උරැම නැරඹීම සඳහා නිකුත් කර ඇති ප්‍රවේශ පත්‍රය නිසාද අනුරාධපුර සංචාරක කර්මාන්තයට පහරක් වැදී තිබේ. කලින් පැවතියේ අනුරාධපුර, පොළොන්නරැව සහ සීගිරිය සඳහා එක් ප්‍රවේශ පත්‍රයකි. එය දින තුනකට වලංගු විය. එහෙත් එම ක්‍රමය වෙනස් කොට අනුරාධපුරයට හා පොළොන්නරැවට ඩොලර් 25 බැගින් හා සීගිරියට ඩොලර් 30ක් ලෙස වෙන් වෙන් වශයෙන් ප්‍රවේශ පත්‍ර ක්‍රමයක් හඳුන්වා දුන්නේය. මෙම ප්‍රවේශපත්‍රය වලංගුවන්නේ එක් දිනයකට පමණි. ඉන් සිදුවූයේ අනුරාධපුරයේ බොහෝ පෞරාණික ස්ථාන නැරඹීමට තිබුණද සංචාරකයන් එක් දිනක් තුළ නැරඹිය හැකි ස්ථාන කීපයක් පමණක් නරඹා වෙනත් ප්‍රදේශයකට යාමය. එහෙයින් අනුරාධපුරයේ රාත්‍රිය ගත කරන සංචාරකයන් සංඛ්‍යාව ඉතා සීමිත යැයිද ඇතැම් සංචාරක ඒජන්තවරැන්ගේ ක්‍රියා කලාපයද මෙයට බලපා ඇතැයිද සංචාරක හෝටල් හිමියෝ පෙන්වා දෙති. කලින් පැවැති තනි ප්‍රවේශපත්‍ර ක්‍රමය යළි ඇති කරන ලෙසත් එවිට අනුරාධපුරයේ සංචාරකයන් රුඳෙනු ඇති බවත් ඔවුහු කියා සිටිති.
තම ගැටලුවලට විසඳුම් ඉල්ලා මහමග උද්ඝෝෂණ කරන්නට සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ පිරිස්වලට සිදුවී තිබේ. අනුරාධපුර සංචාරක හා හෝටල් හිමියන්ගේ සංගමය පසුගියදා කොළඹදී උද්ඝෝෂණයකද නිරත වූයේ ඉල්ලීම් ලබාදෙන ලෙස ඉල්ලමිනි. මේ වනවිට රජය සිටින්නේ දැඩි විදේශ විනිමය හිඟයකිනි. රටට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් ලබාදෙන සංචාරක කර්මාන්තය රුක ගැනීමට නම් එහි නිරතවූවන් රුකගත යුතුය. ණය නොගෙවීම නිසා හෝටල බැංකුවලට සින්නවීමට ඉඩ නොතබා ඔවුන් ආරක්ෂා කරගෙන සංචාරක කර්මාන්තය නඟා සිටුවීම සඳහා තිරසර ක්‍රියාමාර්ගයක් ගැනීමට රජය කටයුතු කළ යුතුය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා