පවතින ආර්ථිකයත් සමඟ මේ වනවිට ඉහළ නොගිය භාණ්ඩයක් සොයාගැනීම නොමළ නිවෙසකින් අබ ඇටයක් සොයාගන්නට අමාරුවන්නා සේය. ඒ තරමටම මේ වනවිට සියලුම භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ සේම එයට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ඇතුළත් වේ. විශේෂයෙන් සිල්ලර වෙළෙඳසලකට ගොස් ග්‍රොසරි භාණ්ඩ මිලදී ගෙන මීට මාසයකට උඩදී ගෙවූ මුදලට සාපේක්ෂ ඉහළ මුදලක් ගෙවීමට පාරිභෝගිකයන්ට සිදුව තිබේ.
ඉස්සර රුපියල් දාහකින් බඩු කීයක් නම් මිලදී ගන්න පුළුවන්ද? ඒකට දැන්.... රුපියල් දාහක් අරගෙන කඩයකට ගියොත් අත්‍යවශ්‍ය භාණ්ඩ ටිකක් අරගෙන කඩේට ණයත් වෙලා තමයි ගෙදර යන්න වෙන්නේ. අද සබන් කෑල්ලක මිල රුපියල් පහකින් ඉහළ ගිහින්. දන්නේවත් නැහැ. මුදලාලි කියද්දී තමයි ඒක දන්නේ. දත් බුරුසුවක, දන්තාලේපයක පවා මිල ඉහළ ගිහින්. මේවාට වගකියන්න කිසිම කෙනෙක් නැහැ. හැමදේකම මිල ඉහළ ගියත් අපේ පඩිය නම් ඉහළ ගිහින් නැහැ.* යැයි සුමනාවතී හීන්කෙන්ද මහත්මිය දේශයට පැවසීය.
මේ වනවිට බොහෝ ග්‍රොසරි භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇත. එළවළු, පළතුරු මිල ඉහළ යාම සම්බන්ධයෙන් මහජනතාව දැන සිටියද මේ ග්‍රොසරි භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති බව දැනගන්නට ලැබෙන්නේ ඒවා මිලදී ගැනීමෙන් පසුවයි. ඇතැමුන්ට එම මිල ඉහළ යාම සම්බන්ධයෙන් දැනගන්නට සිදුවන්නේ ග්‍රොසරි භාණ්ඩ මිලදීගෙන නිවෙසට රුගෙන යාමෙන්ද පසුවය. මේ අතර බොහෝ පාරිභෝගිකයන් භාණ්ඩ මිලදී ගනු ලබන්නේ සුපිරි වෙළෙඳසල්වලට ගොස්ය. ඒ අතරේ මිල නොබලා භාණ්ඩ මිලදී ගෙන ගෙවීම් සිදුකරන්නට යාමේදී සිදුවන්නේ පසුම්බියට සාපේක්ෂව මිලදී ගනු ලැබූ භාණ්ඩවල මිල ඉහළ යාමය. සමහරුන් රාත්‍රී කෑමවේලට පුරුදුව ඇත්තේ ක්ෂණික නූඩ්ල්ස් පැකට්ටුවක්ය. ක්ෂණික නූඩ්ල්ස් පැකට් වෙළෙඳපොළට හඳුන්වා දුන් මුල්ම කාලවකවානුවේ එය සුපිරි කෑමක් යැයි එකල සිතා සිටියද මේ වනවිට ක්ෂණික නූඩ්ල්ස් පැකට් යනු බොහෝදෙනා ප්‍රියකරනා, ඉතා ඉක්මණින් සාදාගත හැකි කෑමකි. මේ වනවිටත් එය රුපියල් පහකින් ඉහළ ගොස් ඇත්තේ කිසිදු දැනුම්දීමකින් ෙතාරවය. එයින් පාරිභෝගිකයන් පමණක් නොව වෙළෙඳුන්ද දැඩි අපහසුතාවයන්ට පත්වී ඇත.
&නූඩ්ල්ස් පැකට් එක ඉස්සර තිබුණේ රුපියල් හැටපහකට. දැන් ඒක හැත්තෑවක් කරලා. බඩු ගෙනත් දාපු ලොරිය බඩු ටික දාල මිල දැම්මට පස්සෙයි මිලේ වැඩිවීම ගැන කියල තියෙන්නේ. කඩේ මම නැති වෙලාවල්වල මගේ බිරිඳ මේ නූඩ්ල්ස් පැකට් විකුණලා තියෙන්නේ රුපියල් හැටපහකට. ඒකෙන් පාඩු වුණේ අපිටමයි. නූඩ්ල්ස් පැකට් විතරක් නෙවේ යෝගට් එක පවා ගණන් ගිහින්. දැන් අපිට මේ ග්‍රොසරි බඩු විකුණන එකත් මහ කරදරයක්. සමහර බඩුවල අලුත් මිල සඳහන් කරලා තියෙනවා. සමහර අලුත් මිල පේන්නේවත් නැති පොඩියට තමයි සඳහන් වෙන්නේ. ඒක බලන්න ගිහින් මෙතැනට එන පාරිභෝගිකයින්ට රස්තියාදු වෙන්නත් සිදුවෙනවා.* යැයි &සිරිලක* වෙළෙඳසලේ හිමිකරු එච්. ජයසේන මහතා දේශයට පැවසීය.
කුඩා දරුවන් ටොෆි කෑමට දක්වන්නේ වැඩි කැමැත්තකි. මීට මාස ගණනකට පෙර රුපියට තිබූ ටොෆියක මිල අද වෙද්දී රුපියල් පහකි. මේ වනවිටත් රුපියලට හෝ රුපියල් දෙකකට මිලදී ගත හැකි ටොෆියක් නැත. ඒ සියල්ලම ඉහළ ගොස් ඇත්තේ කිසිදු දැනුම්දීමකින් තොරවය. බිස්කට්, චොකලට්, පමණක් නොව කුළුබඩු වර්ග බොහෝමයක මිල ඉහළ ගොස් ඇත.
&මේ ඉහළ යන හැටියට තව මාස දෙකකින් තුනකින් අපිට ගෙවල් කඩන්න තමයි සිද්ධ වෙන්නේ. රස්සාවල්වල පඩිය වැඩි කරන්නෙත් නැහැ. බඩු මිල පහළ යන්නෙත් නැහැ. කිරිපිටිවල මිල බලන්න. අපිට නම් කහට බීලා වුණත් ඉන්න පුළුවන්. හැබැයි මේ පොඩි දරුවන්ට මේ රටේ තිබෙන ප්‍රශ්න ගැන කියල බොන කිරි එක නතර කරන්න පුළුවන්ද? සීනිවලට පාලන මිලක් නැහැ. පිටි එක ඉහළ ගියා. ඔය අතරේ තේ කොළ, කෝපි පැකට් මිල පවා නොකියාම ඉහළ ගියා. ටී.වි. එකක් දැම්මොත් නම් ඔය ග්‍රොසරි බඩුවල වෙළඳ දැන්වීම් කෝටියයි. හැබැයි ඒ එකකවත් ඔය මිල ඉහළට ගියා කියල කියන්නේ නම් නැහැ. ඔය වෙළෙඳ දැන්වීම්වලට කෝටි ගණනක් වියදම් කරන්නේ නැතිව ඒ සල්ලි ඔය බඩු මිල පහළ දැම්මා නම් ඉවරයිනේ.... මේක පුදුම රටක්.* යැයි සුමනාවතී හීන්කෙන්ද මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
තම නිෂ්පාදනය අලෙවි කර ගැනීම සඳහා නිෂ්පාදන ආයතනය මාධ්‍යයක් ඔස්සේ තම වෙළඳ දැන්වීම් පලකර ගැනීම සාමාන්‍ය දෙයකි. පවතින තරගකාරී පරිසරයක් සමඟ තම නිෂ්පාදනයන් පාරිභෝගිකයන් අතරට ගෙනයාමට හොඳ පාලමක් ලෙස වෙළෙඳ දැන්වීම පලකිරීම හැඳින්විය හැකිය. නමුත් ඉතා විශාල මුදලකට වැඩි කාල සීමාවන් තුළ මෙවැනි ප්‍රචාරයන් සිදු නොකොට එම අනවශ්‍ය මුදල් ආයතනයේ සේවක සේවිකාවන් උදෙසා හෝ භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන් උදෙසා වැඩි කරනවා නම් මීට වඩා සුදුසු යැයි බොහෝ දෙනෙකුගේ මතය වේ. නමුත් ආයතනයක ප්‍රධානීන් බොහෝ විට තීරණ ගනු ලබන්නේ පාරිභෝගිකයන් හෝ තම සේවක සේවිකාවන් ගැන සිතා නොව තම ආයතනයේ ඉදිරි පැවැත්ම සහ තරගකාරී නිෂ්පාදන රාමුවෙන් ඉහළින්ම වැජඹීම සඳහාය. අවසානයේදී මෙයින්ද පීඩා විඳිනු ලබන්නේ පාරිභෝගිකයන් පමණි.
පරිසරයට හිතකාමී නොවන ලෙස පවසමින් ග්‍රොසරි භාණ්ඩවල ෂැෂේ පැකට්ටුවලින් නිෂ්පාදන කරන ලද භාණ්ඩ තහනම් කළද තවමත් එවැනි ෂැෂේ පැකට් වෙළෙඳපොළට නිකුත් වේ. එම ෂැෂේ පැකට්ටුවල මිලද පෙර මාසවලට වඩා වැඩිය. කිරිපිටි කුඩා ෂැෂේ පැකට්ටුව රුපියල් හැත්තෑවකට අලෙවිව තිබුණද මේ වනවිට එහි මිල රුපියල් විස්සකින් වැඩිවී රුපියල් අනූවකට අලෙවි වේ. සබන් කැටේ සිට ගිනි පෙට්ටිය දක්වා මිලෙහි ඉතා ශීඝ්‍රයෙන් වැඩිවීමත් සිදුව ඇති අතර එම බොහෝ නිෂ්පාදනයන් ප්‍රමාණයෙන් සහ ගුණාත්මකභාවයෙන් අඩුවීමක් සිදුව ඇත.
මේ අනුව බැලූ කළ සියලු ග්‍රොසරි භාණ්ඩවල මිලෙහි යම් ප්‍රමාණයකට හෝ වැඩිවීමක් සිදුව ඇත. ජනතාව එදිනෙදා පරිහරණය කරන ලද ග්‍රොසරි භාණ්ඩ පමණක් නොව සතුන් සඳහා ලබාදෙනු ලබන ආහාර හා අනෙකුත් සියලු දෑවල මිලෙහිද වැඩිවී ඇති බව වෙළෙඳපොළ නිරීක්ෂණය කරන විට දැකගත හැකිය. මීට මාසයකට පමණ පෙර සුනඛයන් සහ බළලුන් සඳහා ලබාදුන් ආහාර පැකට්ටුවක මිල මේ වනවිටත් රුපියල් සීයකින් එකවර ඉහළ ගොස් ඇත. මේ වනවිට කුඩා පැකට්ටුවේ මිල රුපියල් හයසිය පනහකි. මේ සියලු වියදම් දැරිය යුත්තේ ජනතාවමය. කිසිදු පාලන මිලක් නොමැති විට නිෂ්පාදන ආයතන මිල ඉහළ දමයි. අවසානයේදී මෙයින් පීඩාවට පත්වනු ලබන්නේ මේ රටේ තම තමන්ගේ මහන්සියෙන් මුදල් හම්බකර බදු ගෙවන ජනතාවටය.
දිශානි ජයමාලි කරුණාරත්න