2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

ආදරණීය මතකය ඉතිරි කර හදිසියේම සමුගත් අපේ කලාකරුවෝ

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 135

බොහෝ දෙනාගේ හිත්වලට මතකයන් පමණක් ඉතිරිකොට ඔවුහු ජීවන රඟ මඬලෙන් සදහටම සමුගෙන ගියහ. පසුගිය මාස කිහිපය තුළ මෙරට සිටි ආදරණීය කලාකරුවන් කලාකාරියන් කිහිප දෙනෙක් එසේ සදහටම මෙලොව අතහැර ගියහ. කලා ක්ෂේත්‍රයේ නොමැකෙන මතකයන් ඉතිරිකොට හැරගිය මෙම කලාකරුවන් කලාකාරියන් ගැන ඔවුන්ගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ හිත්වල තවමත් ඇත්තේ වේදනාවකි.

පසුගියදා ජීවන රඟ මඬලෙන් සමුගත් ප්‍රවීණ රංගවේදී සම්පත් තෙන්නකෝන් මියයන විට වසය අවුරුදු හැට දෙකකි. පෙනහළු පිළිකා රෝග තත්ත්වයක් හේතුවෙන් අසනීප වී රෝහල්ගතව සිටි සම්පත් තෙන්නකෝන් වෙනුවෙන් ඔහුගේ පවුලේ ඥාතීන්, කලා ක්ෂේත්‍රයට සම්බන්ධ ඔහුගේ හිතමිතුරන් මෙන්ම රසික පිරිසද එක්ව ඉක්මන් සුවය පතමින් බෝධිපූජා ඇතුළු පින්කම් පැවැත්වුවද අවසානයේදී සම්පත් තම මතකයන් පමණක් ඉතිරිකොට මෙලොව හැර ගියේය. 1959 ජූනි මස විසි වැනිදා උපත ලද සම්පත් කොළඹ ඉසිපතන විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. රත්නා ලාලිනී ජයකොඩි නම් ප්‍රවීණ ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය නිළිය සම්පත් තෙන්නකෝන්ගේ ආදරණීය බිරිඳය. වේදිකාව මෙන්ම පුංචි තිරය, සිනමාව ද ජයගත් සම්පත් සිනමාකරණයට අවතීර්ණ වූයේ ධර්ම ශ්‍රී විසින් අධ්‍යක්ෂණය කරන ලද (හිමගිර) චිත්‍රපටය තුළිනි. (හිමගිර) චිත්‍රපටයෙන් සිනමාවට පිවිසුණු සම්පත් මියයන විට චිත්‍රපට දොළහකට රංගනයෙන් දායක වී සිටියේය.

සම්පත් තෙන්නකෝන් රංගනයෙන් දායක වූ නිර්මාණ අතරින් රෝමය ගිනිගනී, ගුරු තරුව, සුදුරෙදි හොරා, තලමල පිපිලා, සුබ සැන්දෑවක්, මාල වළළු, මායාදේවි, පුත්‍ර සමාගම වැනි නිර්මාණ ප්‍රමුඛ කොට හැඳින්විය හැකිය. මියයන විට සම්පත් හිරු නාළිකාවේ විකාශය වන දිවිතුරු ටෙලිනාට්‍යයට සම්බන්ධව සිටියේය.

ප්‍රවීණ වේදිකා, සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් වූ සරත් චන්ද්‍රසිරි වයස අවුරුදු පනස් හතක් තරම් අඩු වයසකදී තම ජීවන රඟ මඬලෙන් සමුගත්තේය. සරත් චන්ද්‍රසිරි, ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ (පබා) ටෙලිනාට්‍යයේ පබාගේ සොහොයුරා ලෙස රඟපෑ අතර අදටත් එම චරිතය රසික රසිකාවියන්ට හොඳට මතකය. මීට අමතරව අඩෝ, දම්සාරි, දූ දරුවෝ, ජෝඩු ගෙදර, සිඳූ ඇතුළු බොහෝ ටෙලිනාට්‍යවලට ඔහු දායක විය. ඔහු රඟපෑ වේදිකා නාට්‍ය අතර අබුද්දස්ස කෝලම, රාජ කපුරු, තලමල පිපිලා, ගුරු තරුව, අන්දරේලා ද විය. වේදිකාව, පුංචි තිරය ඔස්සේ තම රංගන කුසලතාවන් පෙන්නුම් කළ සරත් සිනමා නිර්මාණකරුවෙකි. සමනල තටු, සිකුරු හතේ, රන් කෙවිට, මධුර චාරිකා, වස්සානේ සඳ, ඩොක්ටර් නවරියන්, රාජ්‍ය සේවය පිණිසයි, බහුබූතයෝ වැනි සිනමාපට හරහා ඔහු තම රංගන හැකියාවන් විවිධ චරිත ඔස්සේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ හදවත්වල සනිටුහන් කළේය.

1964 ජූලි මස දහතුන් වැනි දින පානදුරේදී උපත ලද සරත් චන්ද්‍රසිරි වෑකඩ බෞද්ධාලෝක විදුහලේ ආදි සිසුවෙකි. සති කිහිපයක්ම කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සරත් චන්ද්‍රසිරි මොළයේ අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් සිය ජීවන රඟ මඬලෙන් සමුගත්තේය. ඔහු දරුවන් දෙදෙනකුගේ ආදරණීය පියෙකි.

“දැල්වූ පහන් දැල්වී තිබේවා
සුන් වූ පැතුම් දලු ලා වැඩේවා
ළං වූ ලවන් හමුවී තිබේවා
වෙන්වූ නුවන් කඳුළින් මිදේවා”

ඒ ළයාන්විත හඬ අද සදහටම මැකී ගොස් අවසන්ය. ලක්ෂ්මන් විජේසේකර.. දශක හතරකට අධික කාලයක් තිස්සේ මෙරට සංගීත ක්ෂේත්‍රයට සුවිශේෂී නිර්මාණ දායාද කළ ලක්ෂ්මන් විජේසේකරයන් මියයන විට වයස අවුරුදු හැත්තෑ තුනකි. වෙළෙඳ දැන්වීම් අධ්‍යක්ෂකවරයකුද වූ ලක්ෂ්මන් විජේසේකර මහතා ටෙලිනාට්‍ය කිහිපයක සංගීත අධ්‍යක්ෂණය ද සිදු කළේය. ඔහු වෙළෙඳ දැන්වීම් කිහිපයකටම රංගනයෙන් දායක විය. ඔහු ගැයූ මේ ප්‍රේම සීමා මාලකේ, සඳ කිනිති නැමී, සුපෙම් හැඟුම්, ඇති දේ ඇති සැටියෙන්, ඔබ මට තරුවකි, මෙන්ම සිනා පිපෙනා වැනි ගීත අදටද රසික රසිකාවියන් අතර ජනප්‍රියය. ලක්ෂ්මන් විජේසේකරගේ ආදරණීය බිරිඳ චන්ද්‍රා කළුආරච්චි මීට වසරකට පමණ පෙර මියගිය අතර ඇයද ප්‍රවීණ රංගන ශිල්පිනියකි. ලක්ෂ්මන් විජේසේකර මහතාද නිර්මාණ කිහිපයකටම දායක වී රංගන හැකියාවන් පෙන්නුම් කළ කලාකරුවෙකි. ඒ අතරින් අසූව දශකයේ විකාශනය වුණු (රේඛා) ටෙලිනාට්‍යයත්, ගංගා සහ නිශ්ශංක ටෙලිනාට්‍යයත් සුවිශේෂී වේ. කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ මෙන්ම තවත් පාසල් කිහිපයකම කලාභූමි සෞන්දර්ය ආයතන කිහිපයක් ආරම්භ කිරීමටද ඔහු මැදිහත් විය.

රියැලිටි වැඩසටහනක් ඔස්සේ ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ගාමිණී සුසිරිවර්ධන කලාකරුවා ද පසුගිය දිනෙක සදහටම දෙනෙත් පියාගත්තේය. මියයන විට වයස අවුරුදු පනස් අටක් වූ ගාමිණී දෙදරු පියෙකි. සහභාගි වූ රියැලිටි තරගයෙන් අවසන් පස්දෙනා අතරට තේරීපත්වූ ගාමිණී සිය ගායන හඬ මෙන්ම ගායනය ඉදිරිපත් කළ විලාසයද හේතුවෙන් බොහෝ ප්‍රේක්ෂක පිරිසක් තමන් වටා එක්රුස් කර ගැනීමට වාසනාව ලද කලාකරුවෙකි. එකල ශ්‍රී ලංකාවේ මෙන්ම විදෙස් රටවල පවා පැවැති සංගීත ප්‍රසංවලට ගාමිණීට ආරාධනා ලැබුණේ ඒ ගීත ගායනා කරන විලාසය හේතුවෙනි. (දන්නවාද මම දුකින්), (ආව ගිය තැන් මා හා), (සල්ලි සල්ලි) වැනි ගීත ඔස්සේ ඔහු සිය අනන්‍යතාවය සංගීත ක්ෂේත්‍රය තුළ සනිටුහන් කළේය. නිතර මුවගේ රැඳි සිනහවත් සමඟ ඔහු වඩාත් ජනප්‍රිය වූයේ ප්‍රහසන ගීත ගායනා කිරීමෙනි. ගීත ගායනයට පමණක් නොව ටෙලිනාට්‍ය කිහිපයකටම රංගනයෙන් දස්කම් පෑ ගාමිණී සුසිරිවර්ධන කලක පටන් තිබූ පිළිකා රෝග තත්ත්වයක් උත්සන්න වීම හේතුවෙන් සිය ජීවන රඟ මඬලෙන් සමුගත්තේය.

සිංහල සිනමාවේ උසම නිළිය ලෙස හැඳින්වූ විශාකා සිරිවර්ධනද පසුගිය කාලයේදී අප අතරින් වියෝ වූ තවත් ආදරණීය කලාකාරියකි. පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයද දිගු කලක් ප්‍රතිකාර ලැබූ අතර මියයන විට ඇයගේ වයස අවුරුදු හැට හතරකි. දරුවන් නව දෙනකුගෙන් යුත් පවුලේ හත්වැනියා ලෙස උපත ලද විශාකා ඉගෙනුම ලැබුවේ කටුපොත තිස්ස මහා විද්‍යාලයෙනි. රොබින් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ (සුරදූතියෝ) චිත්‍රපටය විශාකාගේ ජීවිතයේ හැරවුම සනිටුහන් කළේය. වසර කිහිපයක් තිස්සේ චිත්‍රපට ගණනාවකට රංගනයට දායක වූ විශාකා තවත් වසර දහ තුනක් සිනමාවට සම්බන්ධ නොවී නිහඬව තම සැමියා සමඟ කාලය ගත කළාය. නැවත සිංහල සිනමාවට මෙන්ම පුංචි තිරයට ද සම්බන්ධ වුණු විශාකාගේ ආදරණීය සැමියා මීට වසර කිහිපයකට පෙර මියයාමද ඇයව දැඩි කම්පනයට පත් කර තිබිණි. සනසන්න මා, සුරදූතියෝ, සසර චේතනා, සඳ මඬල, සත්‍යා දේවි, ඇහැළේපොළ කුමාරිහාමි වැනි නිර්මාණවලට දායක වූ විශාකා සිරිවර්ධන සම්මානනීය කලාකාරියකි.
(දිවිතුරා) ටෙලිනාට්‍යයේ රූගත කිරීමකට සහභාගි වෙමින් නැවත කොළඹ තම නිවෙසට පැමිණෙමින් සිටියදී සිදුවූ රිය අනතුරකින් ප්‍රවීණ මෙන්ම ආදරණීය කලාකාරියක වූ හයිසින්ත් විජේරත්න කලාකාරියට තම දිවිය අවසන් කිරීමට සිදුවිය. නුවරඑළිය තලවකැලේ මාර්ගයේ ලිඳුල ප්‍රදේශයේ මාර්ගයෙන් ඉවතට විසි වී ගිය ඇය පැමිණි වෑන් රථය අඩි දෙසීයක පමණ බෑවුමකට කොත්මලේ ඔය දෙසට පෙරළී ගොස් තිබුණි. එම ගමනට පැමිණ තිබුණේ රියැදුරු සමඟ හයිසින්ත් මහත්මිය පමණි. නිතරම දෑස් කුඩා කොට හිනැහෙන හයිසින්ත් කලාකාරිය රසික ආදරය දිනාගත් චරිතයකි. එක්දරු මවක වූ හයිසින්ත් විජේරත්න තරුණ කලාකරුවන්ට, කලාකාරියන්ට ආදරණීය අම්මා කෙනෙක් වී සිටියාය. සිනමාව, පුංචි තිරය ඔස්සේ තම රංගන මතකයන් ඉතිරි කළ ඇය වෙළෙඳ දැන්වීම් ඔස්සේද තම මතකයන් ඉතිරි කර තිබේ.

මේ වන විට ඔවුන් සියල්ල අප හැර ගොස් අවසානය. නමුත් ඒ මතකයන් තවමත් රසික හදවත් තුළ පවතී. කලාකරුවන් ජීවමාන යැයි පවසන්නේ මේ මතකයන් හේතුවෙනි. ඒ හුස්ම අපට නොදැනුණද ජීවමානව අද ඒ රෑපය අප ඉදිරියේ සජීවීවම දැකගන්නට නොහැකි වුවද තවමත් ඒ මතකයන් බොහෝය. ආදරණීය මිනිසුන් හිත්වලින් ඈත් කිරීමට නොහැකිය. සැබෑ කලාකරුවන්ගේ මතකය කිසිදා මැකී යන්නේ නැත.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05