2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

දරුවන් පහට වඩා අනියම් සැමියා ලොකු වූ මාර අම්මා

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 56

මවක් දරුවන් පස්දෙනා කැලෑවක අතරමංකර අනියම් සැමියා සමඟ පැන ගිහින් යන සිරස්තලය යටතේ ජාතික පුවත්පතක පළවූ ප්‍රවෘත්තියකි. එය කියවූ සැණින් ඇය මවක් වූයේ කෙසේදැයි හැඟෙන තරම්ය. ඇය ලේ කිරිකර පෙවූ ආදරණීය අම්මා කෙනකු නම් වන්නට බැරි බව දැනෙනා තරම්ය. මේ සිදුවීමට පසුබිම් වූයේ වාරියපොළ අඹකඩවර ප්‍රදේශයයි.

වාර්තා වූ අයුරින් සිදුවීම මෙසේය. ඇය රත්නපුරය නගරය කිට්ටුව පදිංචිකාරියකි. හැඩකාරකමට එක්වූ දඟකාරකමකුත් තිබුණු තරුණිය දෙස නොබැලූ තරුණයකු නොමැති තරම්ය. කොතෙකුත් ඇස් ඈ දෙස බැලුවද ඇගේ හිතගිය කෙනෙක් විය. ඒ වනවිටත් නව යොවුන් වියේ පසුවූ තරුණියට වයස අවුරුදු 16ක් හෝ නොවන්නට ඇත. එහෙත් ඇය ආදරය කළ තැනැත්තා ඇයට වඩා වසර ගණනාවක්ම වැඩිමහල් වුවද ඇයට එය බාධාවක් නොවීය.

රත්නපුරය නගරය කිට්ටුව උන් මේ තරුණිය හා හාද වී තිබුණේ යටියන්තොට ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. දෙදෙනාගේ ඇයි හොඳැයිය වැඩිකලක් යන්නට පෙරාතුව විවාහයකින් කෙළවර කරගන්නට තීරණය කොට තිබුණි. නමුත් දෙදෙනාගෙන් කිසිවකුටත් ස්ථීර ආදායමක් තිබුණේ නැත.

අඩු වයසින්ම විවාහ දිවියට එළැඹුණු තරුණිය ගැබිණියක වූයේ වැඩිකලක් යන්නට මත්තෙනි. පළමු දරුවා ඉපදීමෙන් පසුව දෙවසරක් ගතවන්නට පෙරාතුව ඇය දෙවැනි දරුවා ප්‍රසූත කිරීමට සූදානම් වූවාය. ඒ වනවිටත් ස්ථීර ආදායම් මාර්ගයක් නොවුණු ඔවුහු අගහිඟකම්වලින් පෙළී සිටියෝය. මේ අතරතුර කෙනෙකු මාර්ගයෙන් දැනගැනීමට ලැබී තිබුණේ කුරුණෑගල ප්‍රදේශයේ පොල්වත්තක් බලාගැනීම සඳහා පුද්ගලයකු හෝ යුවළක් අවශ්‍ය කර ඇති බවය. අනතුරුව ඒ හා සම්බන්ධ වෙමින් පොල්වත්ත මුරකිරීම සඳහා යුවළ ගොස් තිබුණේ කුරුණෑගල, වාරියපොළ, රඹෑව ප්‍රදේශයේ අඹකඩවල පිහිටි පොල්වත්තක් වෙතය. එම විශාල පොල්වත්ත තුළ පිහිටි කුඩා නිවසක් ඔවුන්ට පදිංචිවීම සඳහා ලැබී තිබුණු අතර එදා පටන් ස්ථීර ලෙස මාසික ආදායමක්ද ලැබිණ. වැඩිමහල් දරුවාට අවුරුදු 12ක් සපිරෙද්දී ඔහුට බාල දරුවන් හතරදෙනකුද පවුලට එකතු වී තිබුණේ පවුලේ සාමාජිකයන් ගණන 7ක් දක්වා වැඩිකරමිනි. දරුවන් පස් දෙනකු හා බිරිඳක් සිටින සැමියකු වුවද ඔහු හැසිරුණේ එවැනි වගකීමක් ඇත්තකු ලෙස නොවේ. පොල්වත්තේ වැඩකර අවසානයේ සෑම සවස් යාමයකම මධුවිත තොල ගෑම ඔහුගේ පුරුද්දකි. හිටි හැටියේම ඔහුගේ මිතුරන්ද රුස්වන අවස්ථා එමටය. සැවොම නිවාඩුවක් ලද ඕනෑම දිනක වෙලාවක් අවේලාවක් නොමැතිව මත්පැනින් සප්පායම් වීමට තරම් ඔහු ඊට ලොල් වී සිටියේය. මේ සඳහා බිරියගේ අවසරයකින් තොරව හිතමිතුරන් රුස්කර ගැනීමටද ඔහු කටයුතු කර තිබිණ.

සැමියාට වඩා අවුරුදු ගණනාවක් බාල වයසක පසුවූ බිරිය සැමියාගේ බීමත්කම පිළිබඳව හැඬූ අවස්ථාද ගණනාවකි. ඒ අතරතුර වන අගහිඟකම් නිසාද සිදුවන අඬදබර රාශියකි. ඒවාට මැදිවන හය හතර නොදන්නා දරු පැටවුන් අසරණ වූ අවස්ථා එමටය. මේ හේතුකාරණා නිසා දරු පැටවුන්ගේ මව පසුවූයේ දැඩි සිත් වේදනාවකිනි.

සැමියාගේ බීමත්කම හේතුවෙන්ම ඊට ඇබ්බැහි වූ පිරිමි කිහිපදෙනෙක්ම නිවෙසට ආ ගියහ. බොහෝ දෙනෙකුට අවශ්‍යතාව තිබුණේ මත්පැන් තොලගෑමය. මේ අතර ආ පුරුෂයකු සිය හිතවතාද ඔහුගේ බිරිය පිළිබඳවද දැඩි අවධානයකින් සිටියේය. සැමියාගේ බීමත්කම නිසා දෙන්නා අතර වන නොහොඳ නෝක්කාඩුව ගැනද අවබෝධයෙන් පසුවූ ඔහු ක්‍රමයෙන් හිතවතාගේ තරුණ බිරියට කිට්ටු වී ඇත. සැමියා සමඟ මත්පැන් පානය සඳහා පැමිණෙන ආකාරයට දින ගණනාවක් එම නිවෙසට ආ ඔහු දරු පැටවුන් පස් දෙනෙකු සිටින තරුණ මව හා සබඳතාවක් ගොඩනගාගෙන තිබුණේ හිතවතාට රහසෙනි. හිතවතාගේ තරුණ බිරිය ඊට අකමැත්තක් නොමැතිව ඉදිරිපත්ව ඇත්තේ සැමියාගේ හැසිරීම එපාවූ නිසාමය.

වයස අවුරුදු 2 සිට 12 දක්වා අවුරුදු 4, 6, 9 වශයෙන් වයසේ පසුවන දරුවන් පස්දෙනකුගේ මවක වුවත් ඇය තවම තිස් හැවිරිදි වියේ පසුවූවාය. ඇගෙන් පෙනෙන්නට වූයේ රූමත් බවකි. සිය සැමියාගේ බීමත්කම හමුවේ කලකිරී උන් ඇය සැමියාගේ මිතුරකුට කැමැත්තෙන් අනියම් සබඳතාවක් පැවැත්වූයේ දරුවන් ගැන තිබූ ස්නේහයද පසෙක දමාය. මේ අතර අනියම් සැමියා හා තීරණයකට එළැඹි ඇය සිය ස්වාමියාට රහසේ පැන යන්නට සිතුවාය. මේ අතර වැඩිමහල් දරුවා නිවසේ තබා සෙසු දරුවන් හතර දෙනකුද රුගෙන අනියම් පුරුෂයා සමග ඇය පැන ගියාය. එසේ ගිය ඇය අනියම් පුරුෂයා සමග දිනක් ගතකළද ඔහුගේ අදහසකට අනුව නැවත අඹකඩවල පොල්වත්ත ආසන්නයට පැමිණ තිබුණේ දරුවන් හතරදෙනා අතහැර යාමටය. පොල්වත්ත ආසන්නයේ අතුරුපාරකට දරුවන් ඇරලවා අනියම් පුරුෂයා සමග පැනගිය මේ මවට දරු දුකක් තිබුණේ නැතිද? සැමියාගේ බීමත්කමත් ඔහුගේ තාඩන පීඩන හමුවේ ඇගේ දරු දුකත් පැනගියාද ගැටලුවකි. කෙසේ හෝ දරු පැටවුන් හතරදෙනා පාළු මාවතක කවුරුත් නොමැති ඉසව්වක අතහැර දමාගිය පසු ඔවුන් කුසගින්නේ හඬමින් සිටි බවත් ඒ අසලින් ගිය අයකු මේ බව දැක වැඩිහිටි රුකවරණයක් නොවූ දරුවන් පිළිබඳව වාරියපොළ පොලිසියට දන්වා ඇති බවත් වාර්තා විය.

වහාම ක්‍රියාත්මක වූ වාරියපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්.ඩී.බී. තල්වත්ත මහතාගේ උපදෙස් මත කාන්තා පොලිස් පරීක්ෂක හේරත් මහත්මිය ඇතුළු පිරිසක් ගොස් දරුවන් බාරයට ගෙන තිබුණි. අනතුරුව රෝහල් ගතකර වෛද්‍ය පරීක්ෂාවන්ට ලක්කර දරුවන්ට ඇවැසි ආහාර පාන පහසුකම් ලබාදී ඔවුන්ගේ මවගේ වැඩිමහල් සහෝදරියක වෙත බාරකර ඇත. 

මේ වනවිට දරුවන්ගේ මව අනියම් පුරුෂයා සමග පැනගියද පොලිසිය ඔවුන් සොයමින් සිටියේ දරුවන්ට නොසැලකීම හා ක_රත්වයට පත්කිරීම යන චෝදනාවට එරෙහිවය. මේ අතර පොලිසිය වෙත තොරතුරක් ලැබී තිබුණේ සැකකාර මව අනියම් සැමියා සමග කතරගම ප්‍රදේශයට පලායාමට සූදානම් වන බවකි. ඒ අනුව එම සැකකාර මව හා පුරුෂයා අත්අඩංගුවට ගැනුණේ මහව ප්‍රදේශයේදී පසුගිය 7 වැනිදාය. පසුදින අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එම නියෝග අනුව දරුවන් පරිවාස භාරයට පත්කිරීමට නියම කෙරිණි.

දරුවන්ගේ මව සමඟ පලාගිය අනියම් සැමියාද විවාහකයෙකි. ඔහු දරුවන් දෙදෙනකුගේ පියකු බවද අනාවරණය වී ඇත. අවසානයේ හෙළිව ඇත්තේ සැමියාගේ බීමත්කම නිසා බිරිය අනියම් පුරුෂයකු හා පලාගිය බවකි. වාරියපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වී.එම්.ඩී.බී. තල්වත්ත මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර