2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

ලබන වසරෙදිවත් හයිබ්‍රිඩ වෙමුද?

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 60

ආර්ථික හා සමාජ වටපිටාව පවතින ස්වභාවය ජනතාව තෘප්තිමත් කරන එකක් නොවේ. ජීවන වියදම ගැන ගැටලු ඇත. කොවිඩ් වසංගත තත්ත්වයේ අවසානයක් නොපෙනේ. පසුගිය කාලය තුළ නිතර පැවැති වැඩවර්ජන හා අකුරට වැඩකිරීමේ තර්ජන ජනතාවගේ දෛනික පැවැත්මට බාධා කළේය. වර්ජන පාලනය කර ජනතාව අත්විඳින ගැහැට තුනී කරනු සඳහා ඉක්මන් තීරණ ගැනීමට ආණ්ඩුව පියවර ගත්තේ නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග ශක්තිමත් කරන ලද නමුත් එයින් ජනතාවගේ අපේක්ෂා තෘප්තිමත් නොකිරීම කැපී පෙනුණි.  

 

වසර 2022 උදා වෙන්නට තවත් සති දෙකක් තිබේ. ශ‍්‍රී ලංකාවේ පළමු කොවිඩ් රෝගියා වාර්තා වෙන්නේ 2021 ජනවාරි විසි හත් වැනිදාය. එතැන් සිට අන්ධකාරය කරා ගමන් කර ඇත. අවුරුදු දෙකක කාලයක් සඳහා තවත් වැඩි කාලයක් නැත. රටට අහිමි වූ දින ගණන තුළ කරගත නොහැකි වූ කාර්යය ප‍්‍රමාණය සැලකිය යුතු කොටසකි. ආර්ථිකයට සිදුවූ හානිය ගණන් බැලිය නොහැකිය. සමාජය මුහුණ දී ඇති විපත ඉතාම බරපතලය.

• ලබන වසර සඳහා අපේක්ෂා ගොනු කිරීම

වැඩකරන සහ ජනජීවිතය නැගෙන රටක් හදන්නට අවශ්‍යය. සෞඛ්‍ය අංශයෙන් පැනන නැගී ඇති තර්ජනය ගැන අවධානය යොමු කළ යුතුය. පවතින දුෂ්කර තත්ත්වයෙන් අත්මිදී සංවර්ධිත යුගයක් බිහිවනු ඇතැයි ජනතාව සෑහෙන කාලයක් තිස්සේ බලා සිටියේය. යුද්ධය අවසානයේ ජන ජීවිකය යහපත් වනු ඇතැයි ඇඟිලි ගණන් කළහ. පසුගිය වසර දෙක තවත් අවිනිශ්චිත කාලයක් විය. ජනජීවිතය සුරක්ෂිත කරන අතරවාරයේ අලුත් ආරම්භයකට මාවත සොයා ගන්නේ කෙසේද? 

ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටි දරුණු ත‍්‍රස්තවාදය පරාජය කරන සටන වෙනුවෙන් ජනතාව කැපවූහ. සටනක නිරත විය. සාමය උදා වූ අතර ඉකුත් ආණ්ඩුව එක දිගටම කියා සිටියේ ණය කන්දක් ගෙවන්නට ඇති හෙයින් දුෂ්කර බවය. ත‍්‍රස්තවාදය පරාජය කර වසර දහයක් අවසන්ය. එයින් පසු පැන නැගුණ කොවිඩ් වසංගතය තවත් බාධක ඇති කළේය. ශ‍්‍රී ලංකාවට පමණක් නොවේ. මුළු ලෝකයම වෙලාගෙන ඇත. වෛරසයද, භයානක සතුරෙකි. ත‍්‍රස්තවාදියා හඳුනාගත හැකි විය. සතුරා හඳුනා ගත නොහැකි තරමට කොවිඩ් වෛරසයේ ස්වභාවය සංකීර්ණය. පසුගිය වසර දෙකකට ආසන්න කාලය තුළ විශාල අභියෝග එල්ල කර තිබේ. ලබන වසරටද එය එසේ පවතින්නට ඉඩ දිය හැකිද?

සාමාන්‍ය ජනතාවගේ උවමනා එපාකම් ගැටලු සහගත තැනකය. පවතින ගැටලු ගැන ආණ්ඩුවට හා ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට අවබෝධයක් තිබිය යුතුය. ජනතාව නොමිලේ යමක් ඉල්ලන්නේ නැත. අඩුම තරමින් පොහොර හෝ නොමිලේ ඉල්ලන්නේ නැති තැනට පත්ව ඇති බව පසුගිය දිනවල වාර්තා විය. ඉකුත් කාලයේ රටවැසියන් ඉල්ලා සිටියේ පිළිවෙළක් ඇති, විනයගරුක රටකි. හොඳ පාලනයකි. අල්ලස, දූෂණය රහිත කාර්යක්ෂම ක‍්‍රමයකි. ඉදිරියේදී එවැනි ව්‍යුහයකට ගමන් කරන බව ඇඟවීමට ආණ්ඩුව සමත් විය යුතුය. 

• හයිබී‍්‍රඩ් ක‍්‍රම ගැන පවතින ජාත්‍යන්තර මතය

ජගත් ප‍්‍රජාව අලුත් සැලැස්මකට ගමන් කරමින් සිටී. හයිබී‍්‍රඩ් ව්‍යුහයක් සේ හඳුන්වති. එයට අනුව තොරතුරු තාක්ෂණයේ සහාය ලබාගැනේ. සම්පූර්ණයෙන් තොරතුරු තාක්ෂණය මත යැපෙන්නේ නැති අතර එසේ නොවන්නේද නොවන ක‍්‍රමයකට ලෝකය ගමන් කරමින් සිටින බව ලැබෙන වාර්තා පෙන්වයි. එය අතරමැදි ක‍්‍රමයකි. වානිජ හා බැංකු ක‍්‍රම සම්පූර්ණයෙන්ම ජාල ගතවනු ඇත. එහෙත් ගනුදෙනුකරුවෙකුට බැංකුවට පැමිණ සිය කාර්ය කරගත හැකිය. බහුතරයකට අවශ්‍ය නම් ලෝකයේ  ඕනෑම තැනක සිට සිට ගිණුමේ කටයුතු කරගැනීමට හැකිවෙයි. දැනට ශ‍්‍රී ලංකාවේද එවැනි පිළිවෙළක් බලගැන්වී ඇත. නමුත් සම්පූර්ණයෙන්ම නොවේ. මෙරට බැංකු ව්‍යුහය අනුව අන්තර් ජාලයෙන් තබා බැංකු ශාඛාවකට පැමිණ පැය ගණන් කාලය ගතකිරීමෙන් පසු පවා යමක් කරගත නොහැකි තරමට අසංවිධානාත්මකය. 

සෞඛ්‍ය හා අධ්‍යාපන කටයුතු මෙවැනි හයිබි‍්‍රඩ් යුගයකට අවතීර්ණ වෙමින් තිබේ. දරුවෝ පාසලට පැමිණිය යුතුම නැත. ඉගැන්වීම පන්ති කාමරයේ සිදුවන අතර අන්තර් ජාලයේද විකාශය වෙයි. පහසුකම් අඩු ප‍්‍රදේශවල දරුවන්ට එයින් ලබාගත හැකි සහාය විස්මිතය. ශ‍්‍රී ලංකාව මෙවැනි ක‍්‍රම කරා යා යුතුව තිබේ. ජනප‍්‍රිය හා දක්ෂ ගුරුවරුන්ගේ දේශන සියළුම සිසු දරු දැරියන්ට විවෘත කළ හැකිය. විශාල වියදමක් දරන්නට අවශ්‍ය නොවේ. වසර 2022 තුළ පාසල් අධ්‍යාපනය නවීකරණය කරන අතර අන්තර්ජාල පහසුකම් නංවන බව අය වැය යෝජනාවල ඇතුළත්ය. එය සුදුසු පියවරකි. මෙරට ආයෝජනය කර ඇති දුරකථන සමාගම්වලට සහාය දී, බදු සහන ප‍්‍රකාශ කර එය ව්‍යාප්ත කළ හැකිය. සෞඛ්‍ය අංශයට ද එයින් පිටිවහලක් ලැබේ. 

සිංගප්පූරුවේ තාක්ෂණ වෛද්‍යහල් තිබේ. සමහර රසායනාගාර වාර්තා ක්ෂණයකින්  ලබාගත හැක. ඒවා අන්තර් ජාලය මගින් පවුලේ වෛද්‍යවරයා වෙත යොමු කළ හැකිය. දුරස්ථව ප‍්‍රතිකාර කෙරේ. අවශ්‍යම නම් පමණක් රෝගියා කැඳවන අතර ඉදිරි ක‍්‍රියාමාර්ග ගත හැකි බව වාර්තා වෙයි. බැංකු, අධ්‍යාපන හා සෞඛ්‍ය අංශවල සිදුවී ඇති මෙම වෙනස්කම්වලට පසුබිම කොවිඩ් වසංගතතත්ත්වය බව සඳහන් කළ යුතුය. ජන ජීවිතය සමාජ දුරස්ථකරණයකට භාජනයවන විට තාක්ෂණය සමග විකල්ප ක‍්‍රම යෝජනා වෙයි. අපට ද අනුගත විය හැකිය. රෝගීහු අවශ්‍යම නැති අවස්ථාවල පවා රෝහල් ගත වන බව මෙරට සෞඛ්‍ය අංශ පවා දක්වන කරුණකි. ඒවා වළක්වා ගැනීමට සෞඛ්‍ය කියොස්කි ඇති කරන්නට අවස්ථාව තිබේ. තැපැල් කාර්යාලයේ හො වෙනත් පොදු තැනක සාමාන්‍ය රෝග ගණනාවක් පරීක්ෂා කරන උපකරණ ස්ථාපිත කර ඒවාට යොමු කරන පිළිවෙළක් සකස් කළහොත් පැවැත්ම වෙනස් කළ හැකිය.

• පොදු පහසුකම් වෙනුවෙන් ගත හැකි පියවර

වැඩකරන ජනතාවට පොදු ප‍්‍රවාහන පහසුව ප‍්‍රමාණවත්ව අවශ්‍යය. ප‍්‍රවාහන පහසුව කෙසේ වෙතත් වැඩ කරන තැනට කාර්ය මණ්ඩලයය සම්පූර්ණයෙන් කැඳවීම අවශ්‍ය නැත. පවතින තාක්ෂණික යුගයේ  ඕනෑම තැනක සිට සේවය කරන හැකියාව තිබේ. පසුගිය වසර දෙක තුළ අවස්ථා කිහිපයක් රට ලොක්ඩවුන් කරන ලද නමුත් මූලික කටයුතු අඩාල වූයේ නැත. සමහර ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීහු පවා නිවස වැඩකරන තැන බවට හරවා ගත්හ. පුද්ගලික අංශය වඩාත් ක‍්‍රියාශීලී වුහ. සාකච්ඡා සහ සම්මන්ත‍්‍රණ පවා අන්තර්ජාලයේ කරගත හැකි තැනට හරවා ගත්හ. ඒ වෙනුවෙන් විශේෂ ඇප් භාවිතා කරන ලද අතර එය වියදම අවම කරන පියවරක් විය. 

පොදු ප‍්‍රවාහන සේවා ජනතාවට තිත්ත වී තිබේ. කාර්ය බහුල වේලාවල සැතපුම් විස්සක සීමාව තුළ සිට නගරයකට එන්නට පැයක් හෝ දෙකක් වැය  කරන්නට සිදුවී ඇත. බස් රථවල පවතින අවිධිමත් ක‍්‍රම ජනතාවට හිරිහැරයකි. පොදු ප‍්‍රවාහනයේ දුබලතා සලකා බලන ජනතාව තමන්ගේ වාහනයකින් ප‍්‍රවාහන අවශ්‍යතා සපුරාගන්නට වෑයම් කරති. වාහන තදබදය තවත් තර කර ඇත. ප‍්‍රධාන නගරවලට පෙරවරුවේ එන වාහන ප‍්‍රමාණය සවස ආපසු නික්ම යන අතර එම කාලය තුළ ගාල් කරතැබීම නිෂ්ප‍්‍රයෝජන ක‍්‍රියාවකි. වැඩට එන ක‍්‍රම වෙනස් කළහොත් මෙවැනි හිරිහැර අවම කරගත හැකිය. නමුත් ආණ්ඩුව එසේ කල්පනා කරන්නේ නැත. රජයෙ සේවකයන්ගේ විශ‍්‍රාම වයස හැට පහ දක්වා නංවා ඇත. වැඩි වයස් ගත පිරිස සේවයට එනු පිණිස පොදු ප‍්‍රවාහනය භාවිතා කරන පසු තවත් සංකීර්ණ තත්ත්ව මතුවෙනන්ට ඉඩ ඇත. අපට අවශ්‍ය ක‍්‍රමය සරල කරන පියවර බව අවධාරණය කළ යුතුය.

• අලුතින් හිතන්නට අවස්ථාවක් ගැනීම

ශ‍්‍රී ලංකාවේ ව්‍යුහය දෙස අලූතින් හිතන්නට අවශ්‍යය. ආධාර වෙනුවට ක‍්‍රමය හදන්නට පුළුවන්කමක් තිබේ. ඉන්දියාව ආධාර් කාඩ් ක‍්‍රමයක් හඳුන්වා දී ඇත. එක අනන්‍ය අංකයකින් සියලු කාර්යයන් කරගත හැකි වී තිබේ. එහි පුරවැසියන්ගේ සියලු තොරතුරු ක්ෂණයකින් සොයාගත හැකිය. ජනතාවට දෙන ආධාර පවා කෙලින්ම බැංකු ගිණුමට යැවේ. ශ‍්‍රී ලංකව ද එවැනි පියවර ගැන අවධානය යොමු කළ යුතුය. සමෘද්ධි ආධාර දෙන්නට නිලධාරීහු සෑහෙන පරිශ‍්‍රමයක් දරති. ආධාර නිසි සේ ලැබිය යුතු පිරිස හඳුනාගත නොහැකි බව අවුරුදු ගණනක් තිස්සේ කියන කතාවකි. පාසලට දරුවන් ඇතුළත් කරගැනීමේ සිට වංචා සිදුවෙයි. මේවායේ හැබෑව සොයාගන්නට තාක්ෂණය භාවිත කළ හැක. එකම ලේඛනය සෑහෙන වතාවක් පරීක්ෂා කරන අවිධිමත් ක‍්‍රම අත්හැරිය හැකිය.

දැනට දශක ගණනක් තිස්සේ ඉඩම් ලේඛන සඳහා පරිශ‍්‍රමයක් තිබේ. ඒවා ඉක්මන් කිරීම අවස්ථාවෝචිතය. සියලු ඉඩම්වල මානකක සැලැස්ම සකස්කර ඇති අතර ඒවා යේ ගැටලු නිරාකරණය කර ඇත. බිමම් සවිය නමින් නම් කර තිබේ. ඉඩම නිරවුල් අවස්ථාවක ඉඩම් වෙළඳපොළ යුහුසුළු වෙයි. ඉඩම් ප‍්‍රමාණය සීමා සහිත බැවින් විශාල මිලක් දක්වා වැඩි වී ඇත. වටිනා ඉඩම් නිත්‍යානුකූල භාවයක් රහිත තත්ත්වය මැද අවිනිශ්චිත තැනකය. ඉඩමක නිරවද්‍යතාව තහවුරු කරගැනීම සඳහා නීතිඥවරුන්ටත් අතමැදියන්ටත් විශාල මුදල් ගෙවමින් සිටින කාලයකි.

ශ‍්‍රී ලංකාව සිය ප‍්‍රතිපත්ති වෙනස් කළහොත් අලුත් යුගයකට ඇතුළු විය හැකිය. ක‍්‍රමය වේගවත් කරන්නට අවශ්‍යය. සරල කළ යුතුය. රජයේ නීති රීති වෙනස් කළ යුතුව තිබේ. තව තවත් බාධා පැමිණවීමෙන් රටක් දියුණු වෙන්නේ නැත. කොවිඩ් වසංගත තත්ත්වය සමග අලුත් මුහුණුවරකට ගමන් කරන පදනම සකස් වී ඇත. එය ප‍්‍රයෝජනයට ගැනීම සඳහා විකල්ප ව්‍යුහයකින් ප‍්‍රශ්න දෙස බැලිය යුතුව තිබේ.

 සාරා කන්දෙගොඩ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05