2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

වනස්පතියක් වී සෙවණ දුන් ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 253

ආචාර්ය ගල්බොඩ ඥානිස්සර නා හිමියන්ගේ 78 වැනි ඡන්ම දිනය නිමිත්තෙනි

අනගාරික ධර්මපාලතුමා තම දින පොතේ එක් තැනක මෙසේ සඳහන් කර ඇත. භික්ෂූන් වහන්සේ කුසීතකම අත්හැර මනුෂ්‍යයන්ට නිතර අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කරනවා නම් සිංහල බෞද්ධයන් ඉක්මනින් අභිවෘද්ධියට පැමිණෙනු නිසැකය යනු එම කියමනයි. ධර්මපාලතුමාගේ එම කියමන උදෙසා සාක්ෂාත් සත්‍යයක් ලෙස සදහන් කළ හැකි යතිවර නාමයන් අතර ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් ලෙස සම්භාවනාවට පත් ගල්බොඩ ඥානිස්සර ලොකු හාමුදුරුවන්ගේ නාමය අත්‍යන්තයෙන්ම පෙරමුණේ වෙයි.

1943 දෙසැම්බර් මස 14 වැනි දින ගල්බොඩ කංකානමගේ දොන් මද්දුමගේ සහ අමරවික්‍රම ලියනගේ සෙලෙහෙනා යන මවුපියන්ට පුතු වූ ගල්බොඩ කරුණාරත්න දරුවා ගලබොඩ ඥානිස්සර පොඩි හාමුදුරුවන් නමින් පැවිදි දිවියට වරම් ලද්දේ 1954 නොවැම්බර් මස 8 වැනි දිනයි. එවකට ගංගාරාම විහාරයේ විහාරාධිපති ධුරය දැරූ දෙවුන්දර ශ්‍රී වාචිස්සර ස්වාමීන් වහන්සේත් දෙවුන්දර ශ්‍රී රතනජෝති නායක ස්වාමීන් වහන්සේත් ගල්බොඩ ඥානිස්සර පොඩි හාමුදුරුවන්ගේ ගුරු හිමිවරු වූහ.

එදා මෙදා තුර ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ සමාජයීය වශයෙනුත් ශාසනික වශයෙනුත් කළ මෙහෙවර වදන් වියමනකට ලඝු  කිරීම තරම් අසීරු කාර්යයක් තවත් නැතැයි සිතෙන්නේ උන්වහන්සේ කළ මෙහෙවර එපමණකටම අසීමාන්තික වූ හෙයිනි. උන්වහන්සේට අවුරුදු දහඅටක් සපිරෙද්දී දෙවුන්දර ශ්‍රී වාචිස්සර  හිමියෝ හදිසි අනතුරක් හේතුවෙන් අන්ධභාවයට පත්වූහ. පුරා විසි වසරක් මුළුල්ලේ උන්වහන්සේට ඇප උපස්ථාන කරමින් එමෙන්ම විහාරස්ථානයේ සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කරමින් තරුණ හිමිනමක් ලෙස තම අධ්‍යාපන කටයුතු ද අඛණ්ඩව කරගෙන ගිය එම වගකීම් සහගත පෞරුෂත්වය අනාගත මහා භික්ෂුත්වයක සාර පදනම මැනවින් විද්‍යමාන කළහ. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරය වත්මනෙහි පවත්නා තැනට ඔසවා තබන්නට තමන්ට කළ හැකි අල්පමාත්‍රයක කාර්යයක් හෝ වේවා එය නොපිරිහෙලා ඉටුකළ ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ ආචාර්ය කිරින්දේ අස්සජි හිමි, ආචාර්ය පාලටුවාවේ ජිනරතන හිමි, ආචාර්ය පල්ලේගම රතනසාර හිමි වැනි තවත් සඟ පරපුරක් නිර්මාණය කරන්නට ගත් දහිරිය ද අනුපමේය වෙයි.

අතීතයේදී හුණුපිටිය ප්‍රසිද්ධව තිබුණේ කිසිවකුටවත් තනිව ගමන් කළ නොහැකි තරමේ බිහිසුණු ප්‍රදේශයක් ලෙසටය. පොඩි හාමුදුරුවන් පසුකාලීනව ප්‍රකාශ කර තිබූ පරිදිම පන්සලේ විදුලි බල්බයක් පවා රැකගැනීමට මහත් පරිශ්‍රමයක් දැරිය යුතු විය. නිදහසේ සිටි පරවියන් අල්ලාගෙන උන් තෙලෙන් බැද කෑමට පුරුදු වූ බේබද්දෝ එම පරිසරයේ ජීවත් වූහ. එහෙත් පොඩි හාමුදුරුවන්ගේ පෞරුෂත්වය කොතෙක් දැඩි වීද යත් මහා සිංහයකු සේ නැඟී සිට එඩිතරවත් ප්‍රායෝගිකවත් ක්‍රියාත්මක වෙමින් හුණුපිටිය සාමකාමී නිදහස් පරිසරයක් බවට පරිවර්තනය කළහ. උන්වහන්සේ කිසි දවසක කිසිවකුගේවත් දේශපාලන වුවමනාවන් අභිමුව සිරසත් කශේරුකාවත් දන් නොදුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අභිමානවත් වූ හිමි නමකි. කිවයුත්ත රාජරාජ මහේශාක්‍ය කාට වුවත් උන්වහන්සේ මුහුණටම ප්‍රකාශ කරන්නට තරම් නිර්භය වූහ. කිසිදා කිසිවක් තමන්ට කියා ගොඩගසා ගැනීමේ පුරුද්දක් උන්වහන්සේ සතු නොවීය. උන්වහන්සේට තිබුණේම ගැනීමට නොව දීමටම හුරු වූ අත් දෙකකි. කොළඹ හුණුපිටිය ගංගාරාමය යනු  හුදෙක් පන්සලක් පමණක් නොව සමාජය වෙනුවෙන්  කිසිදු ජාති ආගම් කුල භේදවලින් වියුක්තව මහා මෙහෙවරක් සිදුකරන තෝතැන්නක් බවට පත්වූයේ පොඩි හාමුදුරුවන්ගේ එකී සංකල්පනාවන්ගේ ප්‍රතිඵලයක් වශයෙනි.

උන්වහන්සේ ස්වභාවධර්මයට සහ ගහකොළට අප්‍රමාණව ආදරය කළහ. ගස් බැංකුව යන සංකල්පය හඳුන්වා දුන්නේ උන්වහන්සේය. ඒ සංකල්පය ඔස්සේ වවන්නට හුරු පරපුරක් පරපුරෙන් පරපුරට බිහිකිරීම උන්වහන්සේගේ අපේක්ෂාව විය. උන්වහන්සේගේ දර්ශනය ආගම යන සිද්ධාන්තයට පමණක් සීමා වූයේ නැත. ධනාත්මකව නිර්මාණශීලීව සියල්ල ගවේෂණය කළ යුතු බව උන්වහන්සේ ප්‍රායෝගික සංනිදර්ශන ඔස්සේ  අපට පෙන්වා දුන්හ. ගංගාරාම විහාරයේ දොරටුව ඕනෑම තරාතිරමක ඕනෑම ආගමක ඕනෑම ජාතියක පුද්ගලයන් වෙනුවෙන් නිරන්තරයෙන් විවර විය. ගංගාරාමයට එන පොඩි දරුවකුට පවා ලැබුණේ සැලකිල්ලක් සහ ආදරයකි. ගංගාරාමයේ ඉරුදින දහම් පාසල දරුවන්ගේ අනාගත දිශානතිය වඩා ශික්ෂණකාමී සංකල්ප ඔස්සේ මෙහෙයවන්නට දරන වෑයම එදා මෙදා තුර ප්‍රශංසනීය වූයේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් ප්‍රමුඛ යතිවරයාණන් වහන්සේලාගේ සබුද්ධික සැලසුම්කරණය හේතුවෙනි. තවත් අතෙකින් ගංගාරාමය යනු යම් ඉතිහාසයක් කියා දෙන කෞතුකාගාරයක් වැනිය. හුදෙක් වන්දනය පිණිස පමණක් නොව නැරඹීම පිණිස ද දෙස් විදෙස් බොහෝ පිරිසක් ගංගාරාමය වෙත පැමිණෙන්නට එක් හේතුවක් වන්නේ උක්ත කරුණයි.

ගංගාරාමයේ නවම් පෙරහර, ගංගාරාමයේ නැණ බිම ලෙස සම්භාවනාවට පත් ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය, බැතිමතුන්ට මහා සහනයක් වූ කතරගම විශ්‍රාම ශාලාව, කතරගම ළමා හා වැඩිහිටි නිවාසය, මේ ආදී කී නොකී කර්තව්‍යයන් රැසක නියමුවා වන්නේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝය. එමෙන්ම දුප්පත් ඈත ගම්මානවල පන්සල් සංවර්ධනය කරන්නට, එම පන්සල්වල වැඩවෙසෙන යතිවරයාණන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු නංවාලීමට උන්වහන්සේ මහත් පරිශ්‍රමයකින් කටයුතු කළහ. ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ද මහත් මඟපෙන්වීමක් සහ දායකත්වයක් සැපයූ සූරියවැව මහා ව්‍යාපෘතිය පිටුපසද ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ ආශිර්වාදය විය.

“මේ මෑත කාලේ මේ රටේ ගස් වගාව ගැන උනන්දු වුණේ ගංගාරාම විහාරස්ථානය. මීට අවුරුදු විස්සකට විතර කලින් මම දැක්කා ඉන්දියාවේදී ගස් බැංකුව කියලා පුවරු ගහලා තියෙනවා. එදා මම ඒකෙන් අදහසක් අරන් ඇවිත් ගස් බැංකුව කියලා අලුත් වැඩසටහනක් ආරම්භ කළා. පත්තරවලත් ගියා. ඒ ඔක්කොම කළේ වගාව දියුණු කරන්න. වගාවෙන් මේ රට දියුණු කරන්න. කතරගම පැත්තේ සමහරු මහෝගනී ගහක් දැකලාවත් තිබුණේ නෑ. මිනිස්සුන්ට වවන්න අපි දීපු පැළ ඇට ගැන කියන්න බැරි තරම්. ඒ අතර අපට තියෙන පුණ්‍ය වතුවල දැන් අපි මහෝගනී ගස් ලක්ෂ පහකටත් වැඩිය හිටෙව්වා. කොස් ගස් ලක්ෂ ගාණක් හිටෙව්වා. කුරුල්ලෙකුට හරි සතෙකුට හරි පදිංචි වෙන්න පුළුවන්. වෘක්ෂ දේවතාවෙක් වගේ කෙනෙකුට අධිගෘහිත වෙන්න පුළුවන්. රටට වැස්ස අව්ව ලැබී සෞභාග්‍යය ලැබෙනවා. මගේ ජීවිතයේ මම සතුටු වන ලොකුම දෙයක් තිබෙනවා නම් කතාබහ නොකරන ගහක් වගා  කිරීම තමයි. වරක් පොඩි  හාමුදුරුවෝ එසේ පැවසූහ.

උන්වහන්සේගේ දර්ශනය කෙතරම් දූරදර්ශී සංකල්පවලින් අනූන වීදැයි පවසන්නට ඒ එක් නිදසුනක් පමණි. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් ඇරඹූ ජනසවිය ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වන්නේ ද උන්වහන්සේගේ යැයි මා කියන්නේ එම සංකල්පය ජනාධිපති ප්‍රේමදාස වෙත ඉදිරිපත් කළේ උන්වහන්සේ වන බැවිනි. “අනේ හාමුදුරුවනේ එදා මා කොහොමටවත් හිතුවේ නෑ ජනතා අරමුදලක් ගැන. නමුත් ඔබවහන්සේ මුල් වී දායකකාරකාදීන් පවා මුදල් දී මේ අරමුදල ආරම්භ කළා. ඒ මුදල් මට දුන්නේ ජනතාවට ආධාර උපකාර කරන්නටයි. මේ ජනතා අරමුදල මහාමේරු පර්වතය වගේ.” හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා වරක් කළ ප්‍රකාශයකි ඒ.

වත්මනෙහි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ සංකල්පනය සහ මඟපෙන්වීම ඔස්සේ ඇරඹූ හරිත ටීවී නාලිකාව මගින් සිදුවන ශ්‍රව්‍ය දෘශ්‍ය මහා සමාජ මෙහෙවර පිටුපසද නිතැතින්ම ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ ආශිර්වාදයේ සලකුණු ගැබ්ව පවතී. මා එසේ කියන්නේ ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් වැනි ප්‍රායෝගික සබුද්ධික යති පරපුරක්, ස්වභාවධර්මයට දේශීයත්වයට සහ ජාතියට ආගමට ශ්‍රී ලාංකිකත්වයට ආදරය කරන සඟ පරපුරක් නිර්මාණය වූයේ  ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ නොහිම් මඟපෙන්වීම නිසා වන හෙයිනි.

මා කියවූ මා දැන හඳුනාගත් ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් යනු මහා පුස්තකයකි. උන්වහන්සේට සම කළ හැකි වත්මන් ජීවමාන යතිවරයකු තවත් නැති තරම්ය. එතරම් මානවීය සෙනෙහසක්, ප්‍රායෝගික බුද්ධියක්, නිදහස් චින්තනයක්, නිර්භය පෞරුෂත්වයක්, දකුණේ ලෙයින් සන්නද්ධ වූ නොනැමෙන කශේරුකාවක් උන්වහන්සේ සතු වූහ. තවත් අතෙකින් උන්වහන්සේ නිරවුල් සංනිවේදකයෙකි. ඒ සංනිවේදනය ඔස්සේ ද උන්වහන්සේ තම අරමුණ දර්ශනය සමාජය පුරා ගෙන ගියහ. උන්වහන්සේගේ ජීවිතය අනුසාරයෙන් ඉගෙනගත හැකි න්‍යායාත්මක හා ප්‍රායෝගික පාඩම් සරසවියකින්වත් ඉගෙන ගත හැකිදැයි මට නොතේරෙයි. උන්වහන්සේ යනු කියවා අවසන් කළ නොහැකි මහා පුස්තකයක් යැයි මා සඳහන් කළේම එහෙයිනි. සිනාමුසු මුහුණින් ගංගාරාමයේ ඇතුළු දොරටුව ළඟ තබා තිබූ කුඩා පුටුවෙහි හිඳගෙන යන එන කා සමඟත් මුව පුරා සිනාසුණු පොඩි හාමුදුරුවන්ගේ ප්‍රියංකර දසුන අදටත් මගේ දෑස් අභිමුව චිත්‍රණය වන නොමැකෙන දසුනකි.

එහෙත් නියත දහමට අවනතව යා හැකි කිසිවක් ලොව නොපවතී. මේ යථාර්ථය ඔබවහන්සේට ද එනයින්ම සාධාරණ විය. එහෙත් පොඩි හාමුදුරුවනේ යැයි කතා කරන්නට හැකි දුරක අද ඔබවහන්සේ වැඩ නොසිටියත් හදවතේ අක්මුල්  සිසාරා නැගෙන මහා භක්ත්‍යාදරයෙන් අපි ප්‍රාර්ථනා කරමු. 

පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට සුභ උපන්දිනයක් වේවා !
දීර්ඝායු වේවා !
චිර ජීවනයම සැලසේවා !
නිදුක් නිරෝගී සුව සම්පත ලැබේවා !

 සංජීවිකා සමරතුංග