2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

කිනිස්ස වෙනුවට මිටිය පාවිච්චි නොකළ කාටුන් ශිල්පියා ඕබ්‍රි කොලට්

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 218

ශ්‍රී ලංකාවේ දේශපාලන කාටුන් ප්‍රදර්ශනයක් මුල්වරට පැවැත්වූ චිත්‍ර ශිල්පියා ඔහුය. ඒ 1954 ඔක්තෝබර් 30 වැනිදාය. එවකට ඔහු Times of Ceylon පත්‍රයේත්, ලංකාදීප පත්‍රයේත් දේශපාලන කාටුන් චිත්‍ර ශිල්පියා ලෙස කටයුතු කළේය.
ඔහු ඕබ්‍රි ඒ. කොලට් (Aubre A. Collete) ය

කොලට් 1920 සැප්තැම්බර් 05 වැනිදා ශ්‍රී ලාංකික බර්ගර් (Dutch Burger) ජාතිකයෙක් ලෙස උපත ලැබීය. කුඩා කල සිටම ඔහු චිත්‍ර කලාවට දක්ෂයෙක් විය. ඔහු හාස්‍ය හා උපහාසයද කෙළි කවටකම්ද දැන සිටියේය. ඔහුගේ සමකාලීන මිතුරකු වූ ලංකාදීප පුවත්පතේ විශේෂාංග කර්තෘ ධර්මසිරි ජයකොඩි 1948 දී මෙසේ ලියා තිබුණි.

අට පහ එකතු කළ නොහැකි දරදඬු ළමයකු ගුරුවරයකුගේ වේවැලට මෙල්ල වන හැටි මද්දහනයේ නිදිකිරා වැටෙන වයෝවෘද්ධ ආචාර්යවරයකු පළාතක් පාළු කරමින් ඈනුමක් අරින හැටි විකට චිත්‍රයට නංවා අනෙකුත් ශිෂ්‍යයන් හිනැස්සීමට අපේ යාළුවාට බාල කාලයේදීම පුළුවන්කමක් තිබුණේය.

කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කොලට් චිත්‍ර කලාව ඉගෙන ගත්තේ එවකට සිටි ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු වන ඩේවිඩ් පේන්ටර්ගේ (David Paynter Art school) පාසලෙනි. තෙල් සායම් චිත්‍ර ඉගෙනගත් ඔහු 1940 දී 43 කණ්ඩායම (43 group) බිහිකිරීමට පුරෝගාමී විය. ඔහුගේ සමකාලීන චිත්‍ර ශිල්පීන් වූ ජෝර්ජ් කීට්, අයිවන් පීරිස්, රිචඩ් ග්‍රේබියල්, ජොර්ජ් කාසන් වැනි ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් සමඟ එක්වී චිත්‍ර ප්‍රදර්ශන පවත්වා ඇත. ඒ (1941 – 1942) වසරවලය. කොලට්ගේ පළමුවැනි තෙල් සායම් සිතුවම් The Billiard players, The Flute players, Players sellers, Tamil girl, Pyramids, Night shift, Sand gather විචාරක ප්‍රශංසාවට ලක්විය.

කොලට් කොළඹ රාජකීය විද්‍යාලයේම චිත්‍ර ගුරුවරයා විය. ඔහු රාජකීය ප්‍රාථමික පන්තියේ ශිෂ්‍යයන්ගේ කලා කුසලතාව හැඳින ඔවුන්ගේ චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වීමට පුරෝගාමී විය. ඔහුගෙන් චිත්‍ර ඉගෙනගත් ශිෂ්‍යයන් අතර ගාමිණී සල්ගාදු (%බටහිර කෙටි කතා^ ග්‍රන්ථය රචනා කළ ප්‍රවීණ ලේඛකයෙකි.), නිමල් පෙරේරා අභයවර්ධන (%සරසවිය^ පුවත්පතේ හිටපු ඡායාරෑප ශිල්පී හා %නව ලංකාදීප^ පත්‍රයේ කලා සංස්කාරක), ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් වූ ගාමිණී වර්ණසූරිය හා රංජිත් ෆර්නෑන්ඩු ලෝරන්ස් මැක් ද වූහ.

කොලට් ලංකාදීප හා ටයිම්ස් පත්‍රවලට අඳින ලද දේශපාලන කාටුන් කොතරම් රසවත් වූයේද යත් ඒ පත්‍ර අතට ගන්නා දේශපාලනයට ලැදි කවුරුත් මුලින්ම කාටුනය පළ වූ පිටුව බලා සිනාසීමට පුරුදුව සිටියේලු. ඒවා රසවිඳි දේශපාලනඥයන් ගැන කුමන කතාද? දේශපාලන කාටුන් ගැන කොලට් විසින් 1955 නොවැම්බර් පළ වූ රෙජී කන්දප්පා සංස්කරණය කළ Ceylon Topic^ සඟරාවේ පළමු කලාපයට ලියූ Unusual Occupation ලිපියෙන් බොහෝ තොරතුරු අපට මේ ලිපිය ලිවීමේදී උපකාරී විය.

කොලට්ගේ ප්‍රියතම දේශපාලනඥ රසිකයා වී ඇත්තේ සර් ජෝන් කොතලාවලය. සර් ජෝන්ගේ කඳවල වලව්වේ බිත්ති කොලට් විසින් අඳින ලද වර්ණ කාටුන් චිත්‍ර 100කින් පමණ අලංකාර වී තිබුණි. මේවා සර් ජෝන් සමඟ ඔහුගේ සමකාලීන දේශපාලනඥයන් සිටින කාටුන්ය. එපමණක් නොව කුරුඳුවත්තේ හැව්ලොක් ගොල්ෆ් ක්‍රීඩා සමාජ ශාලාවේ බිත්ති සැරසී ඇති එහි උද්‍යෝගිමත් සාමාජිකයන්ගේ චිත්‍ර පාක්ෂිකයන්ගේ විලාසයෙන් දැකිය හැකිය. කොළඹ නිදහස් මාවතේ පිහිටි එයිටි ක්ලබ් (Eighty club bar room) ශාලාවද එකල ශෝභාමානවත් වී ඇත.

1956 ජනතා පත්‍රයට සුප්‍රකට චිත්‍ර ශිල්පී එල්.ටී.පී. මංජු ශ්‍රී විසින් කොලට් ගැන ලියූ ලිපියක මෙසේ සඳහන්ව තිබුණි.
කොලට්ගේ චිත්‍රවලට වැඩියෙන් ඉලක්කය වූ අය දුප්පත් මෙහෙකරුවෝ කම්කරුවෝ සහ ගැමියෝය. කොලට්ගේ පාටවල හා ඔහුගේ චිත්‍රවල අරමුණ ගැන සිත යොමු කළ කෙනකුට ඔහුගේ සහනුභූතිය සහ ගතිගුණ ගැන යමක් සිතාගන්නට පුළුවන. ඔහු වැඩිපුර දොඩන්නෙක් නොවන අයකු වූවා මෙන්ම කා සමඟත් වැඩි ආශ්‍රයක් කිරීමට පතන්නකු නොවීය. කා දිහා වුවත් දුර සිට බලන ඔහුගේ පින්සලට කාගේ වුවත් පෞද්ගලිකත්වය පෙන්විය හැකි හාස්‍යයට භාජනය වන වෙනස්කමක් අඩංගු වීම නිතැතින් සිදුවන්නකි.

කොලට් වසරකට දේශපාලන කාටුන් 300ක් පමණ අඳින ලද අතර එයින් චිත්‍ර හයක් පමණ ඉතා ඉහළ වර්ගයේ ඒවා බව කලා විචාරකයන් විසින් සනාථ කර ඇත.
ඕබ්‍රි කොලට් ටයිම්ස් ආයතනයේ සිට ලේක්හවුසියට සංක්‍රමණය වන්නේ 1954 වසරේ එහි කළමනාකාර අධ්‍යක්ෂ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාගේ ඇරුයුමෙනි. 1954 ජනවාරි 24 වැනි සෙනසුරාදා %ජනතා^ පත්‍රයේ මුල් පිටුව සැරසී තිබුණේ මෙසේය.
ඒ %වීරයකුගේ පැමිණීම^ නම් කොලට්ගේ කාටුනයකිනි.
පසුදා පත්‍රයේ විවරණිකාව මෙසේය.

ඊයේ ජනතා පත්‍රයෙහි පළ කර තිබූ කොලට්ගේ විකට චිත්‍රයට ඊයේ රාත්‍රියේම පණ පිහිටවුණි. ඊයේ රාත්‍රියේ ඉන්දියානු මහ කොමසාරිස්වරයාගේ නිවෙසෙහි පැවැත්වුණු උත්සවයකදී සර් ජෝන් සැබවින්ම ඒ අන්දමට සිටියේය. එහෙත් කොලට් මෙහි මුල්ලකට වී අහක බලා සිටියේ තමා විසින් අඳින ලද සර් ජෝන්ගේ චිත්‍රයෙහි අතේ වීදුරුවක් නැතිව සර් ජෝන් වීදුරුවක් අතට ගත්තේ කුමක් නිසාද යන්න ගැන සිතමින්ද?* කියාය.
මේ කාටුනයේ සඳහන් වූ වචන මෙසේය.

සර් ජෝන් ඉන්දීය සිනමා තාරකාවන් සමඟ පෙරළා එයි. ප්‍රවෘත්තියක්
දිල්ලියෙන් ලැබුණු දේවල් ගැන මා සම්පූර්ණයෙන් සතුටු වී ඇතැයි ඔබ සිතනවාද?* සර් ජෝන් අගමැතිවරයා වාර්තාකරුවකුට කියන මේ කාටුනය එදා කාගේත් හාස්‍යයට ලක්වූවාට සැක නැත.
සර් ජෝන්ගේ කඳවල වලව්වේ ආප්ප සාදවලට වැඩියෙන්ම ආරාධනා ලැබූ කාටුන් චිත්‍ර ශිල්පියා ද කොලට්ය.

අගමැති සර් ජෝන් උපහාසයට ලක් කරමින් කොලට් විසින් අඳින ලද කාටුන් රුසක් තිබේ. ඒ අතර ජෝන් විසින් 1955 දී ලියන ලද %අගමැතිවරයකුගේ ජීවිත කතාව^ කෘතියට එය ඇතුළත් කිරීමට තරම් කාරුණිකව ඇත. කොලට් විසින් අඳින මේ කාටුනයේ ඇත්තේ සර් ජෝන් ඇඳුම් කට්ටල හතකින් සැරසී පෙරහරේ යන චිත්‍රයකි. එය නම් වූයේ %ජෝන්ගේ හත් පියවර^ ලෙසය.‍

මේ කාටුනයේ මුලින්ම ගමන් කරන්නේ රාජකීය කඳු මතින් අභිමානයෙන් යන සර් ජෝන්ය. එය හඳුන්වා ඇත්තේ මහාමාන්‍ය %ශ්‍රීමත් ජෝන්, ආසියාවේ නායකයා^ ලෙසය. දෙවැනිව ගමන් ගන්නා සර් ජෝන් ෂර්වානියකින් සැරසී ගමන් ගන්නා අයුරුය. එය නම්කර තිබුණේ %ලංකාවේ අගමැති^ කියාය. තුන්වැනි සර් ජෝන් තොප්පියකින් (ටොප් හැට්) සැරසී බෑගයක් අතින් ගෙන ගමන් කරන අයුරුය. එය නම්කර තිබුණේ &ශ්‍රීමත් ජෝන් සභා නායකයා* කියාය. හතරවැනි සර් ජෝන් මයික් එකකින් කතා කරන අයුරුය. එය නම්කර තිබුණේ &ප්‍රධාන ප්‍රචාරක කොළ කමිස නායක පොඩි ජෝන්^ කියාය. පස්වැනි සර් ජෝන් ටයි කෝට් ඇඳගෙන බෑගයක් අතින් ගෙන පෝලිමේ යන සර් ජෝන්ය. එය නම්කර තිබුණේ %කර්මාන්ත, ගමනාගමන ඇමැති^ කියාය. හයවැනි සර් ජෝන් දකුණු අතින් මිටියක් අතින් ගෙන සරමක් බාගෙට උස්සාගෙන ගමන් කරන අයුරුය. එය නම්කර තිබුණේ %වැඩට හපන් ජෝන් බාස්^ ලෙසය. හත්වැනි සර් ජෝන් කටේ සූප්පුවක් තියාගෙන ගොවියකු ලෙස ගමන්ගත් අයුරුය. එය නම්කර තිබුණේ %පාර්ලිමේන්තු මන්ත්‍රී පුංචි ලයනල්^ කියාය.

ඕබ්‍රි කොලට් තමා විසින් අඳින ලද කාටුන් සහිත පොතක් ප්‍රථම වරට නිකුත් කළේය. සොල්බරි කාලයේ සිට^ (Ceylon since Soulbury) පොත ජගත් ප්‍රශංසාවට ලක් විය. කොලට් විසින් අඳින ලද කාටුන් %ලංකාදීප^යෙහි පළවී තිබුණේ එහි ඉංග්‍රීසි අරුත සිංහලයට පරිවර්තනය කිරීමෙනි. එදා ඔහු විසින් අඳින ලද කාටුන ඩී.ඇස්. සේනානායක අගමැතිතුමාගේත් සර් අයිවර් ජෙනිස්ගේද ප්‍රශංසාවට ලක් විය. 1945 සොල්බරි වාර්තාවෙන් ඇමැති මණ්ඩලය සතුටට පත්වූ අතර සුළු ජාතිකයන් අසතුටට පත්වූ බව වාර්තා වී ඇත.

කොලට් කාටුන් ඇඳීමෙන් අමාරුවේ වැටුණු අවස්ථාද නැතිවා නොවේ. ලංකාදීප පත්‍රයේ විශේෂාංග කර්තෘ ධර්මසිරි ජයකොඩි එවැනි අවස්ථාවක් 1948 ලංකාදීපයට ලියා තිබුණි.
එදත් අදත් කොයි කවදත් එදිනෙදා සිද්ධීන් විකට චිත්‍රවලට නැංවූ කොලට්ට දවසක් තමා සෙල්ලමට කළ දෙයකින් සල්ලම් වීමට සිදු විය. බෝතලෙන් (වලව්ව) අරලියගහ වලව්වට ආ සපුමල් කුමාරයා^ගේ ගොරෝසු රැවුල, හොරගොල්ලේ පුංචි බණ්ඩා දෙවුරෙන් දමාගත් උතුරු සළුව කුඩා එංගලන්තයක ජීවත් වන හුරුබුහුටි සිංහල ගණිතඥයාගේ කෙස් ගහක් නැති තට්ටය කාර්යක්ෂම සමාජවාදයකින් සැනසෙන්නට යන සර් ජෝන්ගේ සර්වාලය, විප්ලවයකට කැස කවන සහෝදර කොල්වින්ගේ අක්බඹරු කෙස් වැටියත්, සහිරාවෙන් රජ සබයට ගිය ජයා මහතාගේ තොප්පිය සය වරක් ඇඳ පුරුදු කොලට් සිංහයාගේ නිදහස් අධ්‍යාපන පන්දම කාටුනයට ප්‍රශ්නයක් ඇති විය.

මේ කාටුනය ගැන නියෝගයක් පැමිණ ඇති බැවින් පුවත්පතක කාටුන් අඳිනවා නම් රජයේ චිත්‍රකලා ගුරුකමින් අස්විය යුතු යැයි අධ්‍යාපන ඇමැති සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගෙන් විදුහල්පතිට නියෝගයක් ලැබිණි. ගුරුකමට වඩා සරදමට ගරු කළ කොලට් සොල්බරිගෙන් පසු ලංකාව^ විකට චිත්‍රයෙන් ඉතිහාසය නැංවීය.

කොලට් ටයිම්ස් පත්‍රයේ නිත්‍ය කාටුන් ශිල්පියා වූයේ ගුරු වෘත්තියට ආයුබෝවන් කියාය.
වරක් කොලට් ගැන හැඳින්වීමක් කළ ඔහුගේ සමකාලීන මාධ්‍යවේදියකු ඔහු හඳුන්වා තිබුණේ මෙසේය.
අවුල් වූ හිසකෙස් ඇති, අඩි හත අටක් උස ඇති, සිහින් සිරුරක් ඇති අවුරුදු 28කට වඩා (1948) වැඩි වයසක් නැති මේ අපේ යාළුවාට වුවමනා නම් අතේ තියෙන පින්සලෙන් දේශපාලන ජීවිතයක් විනාශ කළ හැකිය.*
එහෙත් කොලට් කියා තිබුණේ මෙහෙම පිළිතුරකි.

කෙනකුට පහරදීම කාටුන් ශිල්පියකුගේ පරමාර්ථයක් නොවේ. කියාය.
කොලට් කියා ඇත්තේ තමා කාටුන් අඳින්නේ තමාට ආවේණික ක්‍රමයකටය. නීතියකට අනුවය යනුවෙනි.
මගේ දවසේ වැඩ පටන් ගන්නේ උදේ හයහමාරට පමණ. ඒ වෙලාව කල්පනා කිරීමට හොඳම වෙලාව. කාටුනයක් අඳින්න යම් අදහසක් ගැන සිතාගැනීම සඳහා කිසියම් කරුණක් මූලික කරගත යුතුයි. ඒ සඳහා ප්‍රවෘත්ති පත්‍රවලින් මම ප්‍රයෝජනය ගන්නවා. එවැනි අදහසක් සොයාගත් පසු එය චිත්‍රයට නැගිය යුතු අන්දම ගැන පැයක් දෙකක් කල්පනා කරනවා.

ඉන්පසු මම එහෙන් මෙහෙන් ඉරි ඇඳ කටු සටහනක් ගසා මගේ අදහස රසවත් ලෙසින් කෙළින්ම පාඨකයාට වේගවත් ලෙස දීමට පුළුවන් වනතුරු වෙහෙසෙනවා. දවල් 12 හෝ 1 වනවිට මගේ චිත්‍රය ඇඳ අවසානයි. ඉන්පසු එය කර්තෘ මණ්ඩලය සන්තක වෙනවා. එය බ්ලොක් (සේයා තහඩු) සපයන අංශයෙන් පිළියෙළ කර පසු දින උදේ මගේ චිත්‍රය කර්තෘ මණ්ඩලයෙන් පාඨකයාටයි. දවල් 1න් පසු මම පසුදාට අදහසක් සොයා ගැනීමට පුවත්පත් බලනවා. කල්පනා කරනවා.
ජනතා පුවත්පතට අදහස් දක්වමින් කොලට් කියා තිබුණි.

ඔබ විසින් කාටුන් අඳින්නේ තමාගේ අදහසක් අනුවද? නැතහොත් කර්තෘ කියන අන්දමටදැයි* මාධ්‍යවේදියා අසා තිබුණි. ඔහු කියා තිබුණේ තමාගේ කාටුන්වල අදහස්වලට පාලක පක්ෂයෙනුත් කර්තෘවරුන්ගේත් ඇඟිලි නොගැසීම වාසනාවක් බවය.
තමන්ගේ නියම හැඟීම නැතිව, තමන්ගේ අදහස් නැතිව කාටුනයක් ඇඳීමට කිසිසේත් නොහැකියි. ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම විකට කාටුන් ශිල්පියා ලෙස මම සලකන්නේ ඩේවිඩ් ලෝ යි. අවුරුදු බොහෝ ගණනක් බීචර් බ_ක් සාමිට අයත් කොන්සර්වේටිඩ් පාක්ෂික පුවත්පතක සේවය කළා. එසේ සේවය කරන ගමන් කොන්සර්වේටිව් පක්ෂයට තදින්ම පහර දුන්නා. කොන්සර්වේටිව් පාක්ෂික කම්කරු (ලේබර්) පාක්ෂිකයන්ද ඒ කාටුන් දැක විනෝදයෙන් සිනාසුණා. එපමණයි. හැබැයි, ලංකාවේ බොහෝ දෙනෙක් කාටුනයකින් ලබන විනෝදය ගැන නොදන්නා බව අකැමැත්තෙන් වුණත් කිව යුතුයි.

එයට මම එක උදාහරණයක් දෙන්නම්. එක් දිනක් ලංකා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් මගෙන් මෙහෙම ඇහැව්වා.
මීළඟට ඔබ පහර දිය යුත්තේ කාටදැයි ඔබ කල්පනා කරන්නේ කෙසේද?
මම කාටුන් අඳින්නේ කිසිවකු කෝප කිරීමට නොවෙයි. කාටුනයක් කියන්නේ පුවත්පතක කර්තෘ වාක්‍ය වගේ දෙයක්. විකට (කාටුන්) චිත්‍ර ශිල්පියා කිනිස්ස වෙනුවට මිටිය පාවිච්චි නොකළ යුතුයි. කෙනෙක් තලනු වෙනුවට ඔහු කළ යුත්තේ අදහස කෙනකුට විනිවිද යැවීමයි.

තමාගේ කාටුන්වල අරමුණ වන්නේ වෙනත් අයගෙන් උපදෙස් ගෙන ද්වේශ සහගත ලෙස දේශපාලන චරිත ඝාතනය කිරීම නොවන බව කොලට් කියා ඇත.
&වෙනත් අයගේ අදහස්, උපදෙස් අරගෙන ද්වේශ සහගත ලෙස දේශපාලන චරිත ඝාතනය කිරීම මගේ අරමුණ නොවෙයි. මගේ කාටුන් දැක කිසිවකු සතුටු වුවත්, කෝප වුවත්, සිනහ වුවත්, බැන්නත්, මට වෙනසක් නැහැ. මගේ අදහස්, හැඟීම් මට නොවළහා නිර්භයව ප්‍රකාශ කළ හැකිය. කිසිවකු සතුටු කිරීම කාටුන් අඳින්නාගේ කාර්යය නොවෙයි.* කොලට් විසින් The Topic සඟරාවට ලියූ ලිපියෙන් කියා තිබුණි.

කොලට් රටේ පුරවැසියා නියෝජනය කරමින් (Citizen per-r-ra) නිර්මාණය කළේය. කොලට්ගේ සමකාලීන මිතුරකු වූ ටාසි විට්ටච්චි නම් විශිෂ්ට පත්‍ර කලාවේදියා මෙසේ සඳහන් කර තිබුණි.

දේශපාලන පක්ෂ වරෙක එයි. යයි. එහෙත් මිනිස් ස්වභාවයේ ප්‍රකෘතිය සැමදා පවතී. කොලට්ගේ කාටුන්වල රහස එයයි.
1959 ලංකාවෙන් සමුගත් ඕබ්‍රි කොලට් ඔස්ට්‍රේලියාවට ගියේය. The Australian හා Melbourne Herald^ පුවත්පත්වල කාටුන් ශිල්පියා ලෙස කටයුතු කළ ඔහු 1970 වසරේ Walkey Award සම්මානය දිනාගත්තේ The Best Cartoon of the year නම් කැන්බරා පත්‍ර කලාවේදීන් පිරිනමන ලද විශිෂ්ට සහතිකය සමඟය.

ඕබ්‍රි කොලට් මීට වසර 29කට පෙර එනම් 1992 ජනවාරි 05 වැනිදා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී මියයන විට ඔහුගේ වයස අවුරුදු 72කි.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05