2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

වවුනියාවේ යටින් දුවන අලුත් මොඩ්ල් ගණිකා රස්සාව

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 140

ලෝක ඒඩ්ස් දිනය ලෙස නම්කර තිබෙන්නේ දෙසැම්බර් පළමුවැනි දිනයි. මෙවර ඒඩ්ස් දිනයේ තේමාව වූයේ අසමානකම් දුරුකර ඒඩ්ස් අවසන් කරමු යන්නයි. ඒඩ්ස් රෝගය සහ අසමානකම් අතර සම්බන්ධයක් තිබේදැයි ඔබ තුළ සාධාරණ පැනයක් නැගෙන්නට පුළුවනි. අනිවාර්යයෙන්ම එය සත්‍යයකි. ආර්ථික අසමානතාව අත්‍යන්තයෙන්ම ඒඩ්ස් රෝගීන් බිහිවීමට හේතු සාධකයක් යන්නෙහි තර්කයක් නැත. ඒ බව තහවුරු කරන එක් නිදසුනක් ලෙස වවුනියාව පෙන්වා දිය හැකිය. 

වවුනියාව යනු ලංකාවේ දරිද්‍රතාව ඉහළ අගයක් ගන්නා එමෙන්ම දුප්පතුන් බහුලව ජීවත් වන දුෂ්කර දිස්ත්‍රික්ක කිහිපයෙන් එකකි. එනම් ආර්ථික අසමානතාව බහුලව බලපෑ දිස්ත්‍රික්කයකි. ඉකුත් දා වවුනියා දිස්ත්‍රික්කයේ ඒඩ්ස් මර්දන වැඩසටහන් බාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය කේ. චන්ද්‍රකුමාර් අනාවරණය කළේ වවුනියා දිස්ත්‍රික්කයේ මෑත කාලය තුළ ලිංගාශ්‍රිත රෝගීන් දස දෙනකු හමුවී ඇති බවයි. නමුත් 2003 සිට වවුනියාවේ හමු වූ ඒඩ්ස් රෝගීන් ගණන 29කි. ඉන් මියගිය ආසාදිතයන් ගණන 16ක් පමණක් බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය. වවුනියා දිස්ත්‍රික්කය තුළ අනපේක්ෂිත ලෙස ලිංගාශ්‍රිත රෝගීන් වාර්තා වීම හිටිහැටියේ ඉහළ යාමට හේතු කවරේදැයි අපි විමසීමක් කළෙමු. එහිදී පෙනී ගියේ ආර්ථික අසමානතාව ඒඩ්ස් ආදී ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්තියට බලපා ඇති බවයි.

වවුනියා ප්‍රදේශයෙන් ලිංගාශ්‍රිත රෝගීන් අන් කවරදාටත් වඩා බහුලව වාර්තා වීමෙන් බොහෝ දෙනකු පුරෝකථනය කරන්නේ ප්‍රදේශයේ ගණිකා වෘත්තිය ඉහළ යාම මෙම නව තත්ත්වයට හේතුවන්නට ඇති බවයි. මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී සිය අනන්‍යතාව හෙළි කිරීමට අකැමැති ප්‍රදේශයේ යුවතියක් අප වෙත මෙවන් අදහසක් දැක්වුවාය. 

දැන් ගොඩක් කෝල්වලින් තමයි කතා කරගෙන මේවාට යන්නේ. ආර්ථික ප්‍රශ්න ලොකුම හේතුවක් වෙන්න ඇති කියලා මට හිතෙනවා. මෙහෙ ඉතින් දහදාහේ පහළොස් දාහෙ ජොබ් විතරනෙ තියෙන්නේ. ඒ ගාණ ජීවත් වෙන්න කොහෙත්ම මදි. ගාමන්ට්වත් වෙන ෆැක්ට්‍රිවත් මෙහෙ නෑ. යන්න එන්න බසුත් නෑ. ඉතින් ලේසියෙන් සල්ලි හොයන්න නම් ඔය වගේ දෙයක් කරන්න වෙනවා. සමහර තරුණ අම්මලා දරුවන්ට කන්න දෙන්න විදිහක් නැතිව තමයි ඕවට යන්නේ. කැමැත්තෙන් කවුරුත් ඔය වගේ පහත් වැඩකට යන්නෙ නෑනේ. ගොඩක් කට්ටිය එන්නේ පිටින් කියලත් කියනවා. ලංකාවේ සහ පිටරට සංචාරකයෝ විතරක් නෙවෙයි කෑම්ප්වල ඉන්න අය ත්‍රිකුණාමලේ, යාපනේ, මන්නාරම වගේ හැම පැත්තක ඉඳන්ම කොළඹට යන්න වවුනියාවට ඇවිත් තමයි ඊළඟ බස් එකට මාරු වෙන්නේ. එයාලා මෙහෙ නැවතිලත් යනවා. ඒකයි මේ අවට ගණිකාවෝ ටිකෙන් ටික වැඩි වෙන්න හේතුව.

කෙනකුගේ ජීවන තත්ත්වය සහ ආර්ථිකය ගණිකා වෘත්තියට තල්ලු වීමට බොහෝ සෙයින් බලපාන්නේය යන්න ප්‍රතික්ෂේප කළ නොහැකි සාධකය බවට පත්ව තිබේ. තමන්ට සුදුසු රුකියා අවස්ථා නොමැති වීම නිසා සදාචාරාත්මක විරෝධී ක්‍රියාවක් වුවත් පහසුවෙන් මුදල් සෙවිය හැකි බැවින් ඇඟ විකුණා ජීවත්වීම වැනි නිර්ලජ්ජිත වෘත්තීන්ට යුවතියෝ බිලිවීම මෙම තත්ත්වය වේගවත් කර ඇත. සම්බාහන මධ්‍යස්ථාන නාමයෙන් පවත්වාගෙන යන බොහෝ ස්ථාන සූක්ෂම ලෙස ගණිකා වෘත්තිය කරගෙන යයි. ලැඟුම්හල් ද අධික ලාභ ලැබීමේ පහසු ක්‍රමයක් ලෙස ලිංගික ශ්‍රමය ප්‍රවර්ධනය කරයි. නවීන තාක්ෂණයත් සමඟ ඇතැම් වෙබ් අඩවි සහ ඇප් මගින් ද ගණිකාවන් වෙත ප්‍රවේශ වීම පහසු වී තිබේ. මේ හේතූන් නිසා ලිංගික අධ්‍යාපනය අඩු තරුණ පරපුර අනාරක්ෂිත ලිංගික ඇසුරට යොමුවීම ඔවුන්ගේ ජීවිත අනතුරේ වැටීමට මඟ පෑදී තිබේ. 

ඉතා අපහසු සහ විවිධ බාධක අභිබවමින් යොමුවන ගණිකා ඇසුරට මෙලෙස පහසුවෙන් සහ ලාභකාරී ලෙස ප්‍රවේශ වීම සමාජ ජාලාවන්හි සම්ප්‍රාප්තිය පහසු කිරීම පමණක් නොව විශ්වාසදායක නොවන ලිංගික ශ්‍රමිකයන් සමඟ අනාරක්ෂිත ඇසුර ද වැඩිකර ඇති බව පෙනී යයි. මේ හේතූන් සියල්ල වවුනියාව පමණක් නොව සමස්ත රටේම ඒඩ්ස් සහ ලිංගාශ්‍රිත රෝගීන් වාර්තා වීම වැඩි කර ඇත. මේ වසරේ දෙසැම්බර් පළමුවැනි දින දක්වා මෙරට වාර්තා වූ එච්.අයි.වී වෛරස ආසාදිතයන් ගණන 4142කි. ඉන් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලිනි. මොවුන්ගෙන් 90කට වෛරසය ආසාදනය වී ඇත්තේ අනාරක්ෂිත ලිංගික ඇසුරෙන් බව තහවුරු වී ඇත. මෙම සංඛ්‍යාලේඛන නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන ඛේදජනක තත්ත්වය නම් ඉන් වැඩි බහුතරය වයස අවුරුදු 15ත් 24ත් අතර නව යොවුන් වියේ පසුවන යෞවනයන් සහ තරුණයන් වීමය.
කාලයක් මුළුල්ලේ වර්ධනය වෙමින් පවතින ලිංගික ශ්‍රමිකයන් පිළිබඳ මෙම ගැටලුව පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන, මනෝ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිලක්ෂි ද සිල්වා මහත්මිය පළ කළේ මෙවන් අදහසකි. 

“මේක ආචාරධර්ම ගැටලුවක්. ඉතිහාසය පුරාමත් මේ ගැටලුව තිබිල තියෙනවා. මේකට සමාජමය ගැටලු සහ වයස් කියන සාධක බලපානවා. අද වෙනකොට ළමා ගණිකාවෝ බිහිවීම ප්‍රවණතාවක් වෙලා. ඒක තමයි දැවැන්තම ඛේදවාචකය. ගොඩක් වෙලාවට ලිංගික ශ්‍රමිකයන් බිහිවෙන්න දරිද්‍රතාව, ආර්ථික හේතු වගේ දේවල් තමයි මූලික වශයෙන් බලපාන්නේ. වවුනියාව දිස්ත්‍රික්කයත් දරිද්‍රතාවයෙන් ඉහළ ප්‍රදේශයක්. ඒ නිසා එහි ගණිකා වෘත්තිය ඉහළ යාම කාලානුරෑපීව දකින්න පුළුවන් දෙයක්. දැන් ගණිකා වෘත්තිය විවිධ ස්වරෑපවලින් අලුත් මොඩ්ල්වලින් ඇවිත් තියෙනවා. ජංගම දුරකතනය ඉන් ප්‍රධානයි. ඊට අමතරව මිතුරු හවුල වගේ දේවලුත් ඒ වගේ දේවල් තමයි. ඒවා ඍජු ගණිකා වෘත්තීන් නොවෙන්න පුළුවන්. ඒත් ඒකේ යටින් යන්නේ වෙන දෙයක්. සමහර වෙලාවට වාණිජ පරමාර්ථයෙන් කරන ව්‍යාපාරික කටයුතු බවටත් ඒවා පත්වෙනවා. ඇත්තටම මේකට තියෙන ප්‍රධානම විසඳුම තමයි ආර්ථික ගැටලු විසඳීම. ඒත් එක්කම අධ්‍යාපනයෙන් ගැහැනු ළමයාගේ ආකල්පමය වෙනසක් ඇතිකළ යුතු වෙනවා.”

වවුනියා මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.ආර්. මානවඩු මහතාගෙන් කළ විමසීමේදී වවුනියා දිස්ත්‍රික්කය තුළ ගණිකාවන්ගේ වැඩිවීමක් සිදු වී නොමැති බවද එවැනි වාර්තාවක් පළ වී තිබේ නම් එය සත්‍ය කරුණු මත පදනම් නොවූ අමූලික බොරුවක් බව කියා සිටියේය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මූලස්ථාන පොලිස් පරීක්ෂවරයා කියා සිටියේ මෙවැන්නකි.

වවුනියාවේ ඉන්නේ අහිංසක දෙමළ මිනිස්සු. එයාලා ඇඟ විකුණලා ජීවත් වෙන්න තරම් පහත් මිනිස්සු නෙවෙයි. නම්බුකාර විදිහට අල බතල හිටවගෙන හේනක් කුඹුරක් කරගෙන දුක් මහන්සිවෙලා වැඩ කරන අය. මෙහෙම බොරු වාර්තාවලින් මේ දුප්පත් මිනිස්සුන්ට අපහාස කරන්න එපා. මේ පැත්තේ අපිට රාජකාරි කරන්නත් ගොඩක් ලේසියි. මිනිස්සුන්ගේ විනය ගොඩක් හොඳයි. මං මෙහෙ අවුරුදු දෙකක් වැඩ කරනවා. අපි කරන වැටලීම්වලින් මාසෙකට එක්කෙනෙක් වගේ ඉඳලා හිටල කොටුවෙනවා. එහෙම නැතුව මෙහෙ ගණිකාවෝ වැඩියි කියන එක නම් පිළිගන්න බෑ. මෙහෙ එහෙම තත්ත්වයක් කොහෙත්ම නෑ. අනුරාධපුර, හබරණ, මීගමුව, කොළඹ වගේ පැතිවල කොච්චර ඉන්නවද?

අනාරක්ෂිත ලිංගික ඇසුර සහ ළමා ලිංගික ශ්‍රමය යනු රට හමුවේ තිබෙන බරපතළ අභියෝග දෙකකි. එම අභියෝග ජයගැනීමට නම් සමාජමය වශයෙන් වෙනස් කළ යුතු තැන් බොහෝ තිබෙන බව පැහැදිලිය. අධ්‍යාපනික ආයතන මගින් නිවැරදි ලිංගික අධ්‍යාපනය ලබා දීම, ආගමික සංස්ථාව සිය ලබ්ධිකයන් තුළ ශික්ෂාව ඇතිකිරීම, ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් ආර්ථික සමානතාව ඇතිකිරීම සහ ආරක්ෂ අංශ විසින් නීති විරෝධි ලිංගික ශ්‍රම මර්දනය කිරීම එක සමානව සිදු කිරීම තත්ත්වය පාලනය කිරීමට තිබෙන ක්‍රියාකාරී විසඳුම් බව පෙන්වා දිය හැකිය.

 සකීෆ් සාම්

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05