2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

දොම්පේ කච්චේරියට පැමිණි අලගියවන්න මුකවෙටි

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 485

සුභාෂිතය ඇතුළු කාව්‍ය කෘති ලියූ සීතාවක යුගයට අයත් එකම කවියා ලෙස සැලකෙන අලගියවන්න මුකවෙටිගේ ප්‍රතිමාවක් පසුගිය 8 වැනි බදාදා දින කිරිඳිවැල වෑකේ පිහිටි දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිශ්‍රයේදී විවෘත කෙරිණි. එය අප රටේ නිර්මාණය වුණු එකම අලගියවන්න ප්‍රතිමාවයි. දොම්පේ සියනෑ පුරවරයෙන් බිහිවුණු අදටත් කතාබහ කෙරෙන මෙම කිවිවර ප්‍රතිමාව ඉදිකිරීමේ කාර්යයට මුල්වී අවශ්‍ය උපදෙස් ලබාදුන්නේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් එන්.ඒ.ඒ.එස්. නිශ්ශංකආරච්චිය. ප්‍රතිමාව නිර්මාණය කළේ සියනෑවේම පදිංචි සම්මානලාභි මූර්ති ශිල්පියෙක් වන මණ්ඩාවල වී.පී. සුනිල් ශාන්තය.දොම්පේ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩලය සහ සේකර පරපුර කළා එකමුතුව එහි බර කරටගෙන තිබුණි.

අලගියවන්න මුකවෙටි ඉපදී ජීවත් වුණේ කිරිඳිවැලට නුදුරු හිස්සැල්ල නම් ගමේය. එය වර්තමානයේ සබරගමු පළාතට මායිම්ව ගම්පහ දිස්ත්‍රික්කයේ කොණක පිහිටියේය. පුරාණ බෙදීම් අනුව හිස්සැල්ල අයත් වන්නේ සියනෑ කෝරළයේ ගඟබඩ පත්තුවටය. කිරිඳිවැල සිට අමිතිරිගල දක්වා මැද්දේගම නාවැටිය අසලින් දිවෙන මාර්ගයේ ගමන් කිරීමෙන් හිස්සැල්ලට ළඟාවීමට පුළුවන. හිස්සැල්ල ප්‍රදේශයේදී පටු බස් පාර දිවයන්නේ විශාල කඳුගැට දෙකක් මැදින් වැටුණු නිම්නයක් ඔස්සේය. දකුණු පසින් කුඩුම්බි කන්දයි, වම්පසින් ඇත්තේ අලබලන් කන්දයි. හිස්සැල්ල ගම අද වනවිට හිස්සැල්ල, කිරිමැටියවත්ත හා උඩවෙල යන ග්‍රාමසේවා වසම් තුනට අයත්ව පිහිටියේය. සීතාවක රාජධානි යුගයේදී ගම වඩාත් පුළුල් ප්‍රදේශයක විහිදී පවතින්නට ඇති බව පෙනේ.

අද හිස්සැල්ල ගමේ අලගියවන්න පරම්පරාවේ කිසිවෙක් ජීවත් නොවුණද ඒ ගම අවට පිහිටි නාරංගස්පිටිය, පිංගමුව, මිල්ලතේ යන ගම්මානවල අලගියවන්නලා සිටිති. ගම්පහ දිස්ත්‍රික්කයේ උසම කන්ද ලෙස සැලකෙන්නේ හිස්සැල්ල ගම ඉහත්තාවෙන් නැගී සිටින කුඩුම්බි කන්දයි. මේ කන්දේ මුදුන හරහා සබරගමු පළාත් සීමාව වැටී තිබේ. කුඩුම්බි කන්ද ඇතුළු ගම අවට සෑම කන්දකම මුදුන අවට රජයේ රක්ෂිත කැලෑ පැතිර තිබෙන අතර කඳු මුදුන ආසන්නයට යන තෙක්ම රබර් වගාව දැකගත හැකිය. අපට දැනගත හැකිවූයේ රක්ෂිත කැලෑ බොහොමයක් අනවසරයෙන් අල්ලාගෙන ඇති බවයි.

හිස්සැල්ලේ කඳු දෙකට මැදිවුණු එක් ස්ථානයක් හඳුන්වන්නේ කයිකාවල යනුවෙනි. කයිකාවල යනු පැරණි රාජධානිවලට ඇතුළුවීමට තිබෙන මුරපොළකි. සීතාවක රාජධානියට ඇතුළුවීමට පැවති මුරපොළක් ලෙස එම ස්ථානය සැලකේ. අදත් එම කඳුවලට නැග බැලූවිට අවට තැනිතලාව හොඳින් නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබේ. ජනප්‍රවාද අනුව අලබලන් කන්දේ මුල් නම එල්ලය බලන කන්දය. එය එල බලන් වී පසුව අලබලන් වී තිබේ.

බොහෝ ගම්මාන නාගරීකරණය වේගයෙන් වැළඳගැනීම සිදුවන කාලයේ කිරිඳිවැල නගරයට කි.මී. 6ක් දුරින් පිහිටි හිස්සැල්ලේ තවමත් පිටිසර ලක්ෂණ දැකගත හැකිය. ගම වටා පිහිටි කඳුපෙත් ද කඳු බෑවුම්වල හා පහත තැනිතලාවේ තැනූ නිවෙස්ද ගමෙන් වැඩි වපසරියක් වසා පවතින හරිත වර්ණ කෙත් යායක්ද සිත් සනහන දැකුම්ය. වෙල අද්දරින් ගලනා දිය පිරි ඇළ මාර්ගද සුන්දර වටපිටාවක් මවාපායි.

හිස්සැල්ල, මීතිරිගල සහ දංගල්ල යන සීතාවක යුගයේ පැවති ගබඩාගම් තුනේ කුඹුරුවලට ජලය සැපයූ ඇළ මාර්ගයේ වේල්ල හෙවත් ඉස්වෙල්ල පිහිටි ගම හිස්වැල්ල වූ බවට ජනප්‍රවාදයේ පවතී.

අලගියවන්න මුකවෙටිගේ පියා ලෙස සැලකෙන්නේ ධර්මධ්වජ නම් පඬිවරයාය. හිස්සැල්ලේ ජීවත් වූ ඔහුට සීතාවක රාජසිංහ රජු හිස්සැල්ල ගම නින්දගමක් ලෙස පවරා දී තිබුණි. සීතාවක යුගය රටේ අධ්‍යාපනය පරිහානියට පත් කාලයක් වුවද පියාගේ ඇසුර නිසා අලගියවන්නට සිංහල, පාලි, සංස්කෘත හා දෙමළ බස පිළිබඳ හොඳ අධ්‍යාපනයක් ලැබී තිබේ. අලගියවන්න කවියා උපත ලබා ඇත්තේ ක්‍රි.ව. 1552 දීය. ඒ වනවිට සීතාවක රාජධානියේ මායාදුන්නේ රජුගේ බලය පැවතුණු අතර හිස්සැල්ල ප්‍රදේශයත් සීතාවකට යාබද ගම්මානයක් ලෙස පැවතුණි. 1581 දී සීතාවක කිරුළට පත්වන්නේ මායාදුන්නේගේ පුත් පළමුවැනි රාජසිංහය. මෙකල කෝට්ටේ රාජධානිය පෘතුගීසි බලපෑම් වැඩිවෙමින් පැවති කාලයකි. කෝට්ටේ ධර්මපාල රජු වර්ෂ 1580 දී කෝට්ටේ රාජ්‍යය තෑගි ඔප්පුවකින් පෘතුගීසීන්ට පවරා තිබුණි. මේ ගැන කලකිරීමෙන් සිටි උගත් තරුණයෙක් වූ අලගියවන්න සීතාවකට ගොස් රාජසිංහ රජුට සේවය කිරීමට කැමැත්ත පළ කළේය. රාජසිංහ රජු අලගියවන්නට මුකවෙටි තනතුරක් ලබා දේ. එය රජු සහ රාජ සභාව අතර කෙරෙන සාකච්ඡා, තීරණ වාර්තාගත කිරීමේ තනතුරකි.

ඔහු 1582 – 1585 අතර කාලයේදී රාජසිංහ රජුත් අමාත්‍ය මණ්ඩලය සහ බුද්ධ ශාසනයත් රුකදෙන ලෙස ඉල්ලමින් සැවුල් සංදේශය රචනා කර තිබේ. රාජ වර්ණනය සඳහා පොතේ කවි 40ක් වෙන්කර තිබුණි. මේ සංදේශ රචනයෙන් පසුව රාජසිංහ රජු අලගියවන්නට මුකවෙටි තනතුර වෙනුවට සියනෑ කෝරළයේ ගඟබඩ පත්තුවේ මොහොට්ටාල තනතුර ප්‍රදානය කළේය. මේ අතර තරුණ අලගියවන්න විවාහයට එළැඹේ. ඔහු විවාහ වන්නේ කන්නිමහර සෙනරත් මුදියන්සේගේ දියණිය සමඟිනි. ඒ විවාහයෙන් ඔහුට පුතකු ද හිමිවේ. අලගියවන්න ජීවත් වුණේ හිස්සැල්ලේ බොරලපිටියේ බටංගලගේ වත්ත නම් ඉඩමේය. අද ඔහු ජීවත් වූ ස්ථානය ගැන නම් සාධක කිසිවක් නැත. නමුත් අලගියවන්න හා බැඳුණු ජනප්‍රවාද රාශියක් හිස්සැල්ලේ පැතිර පවතී. ඔහුගේ සාහිත්‍ය කෘති අතරින් මුල්ම පොත ලෙස සැලකෙන්නේ දහම්සොඩවත කාව්‍යයයි. ඉන් පසු කුස ජාතක කාව්‍යය සහ සුභාෂිතය ලියැවිණි. අවසාන කාලයේ ඔහු ලිව්වේ කුසතන්නීනු හටනයි. මේ පොත් අදත් අලෙවි වන තරම් ජනතාව අතරට ගිය සාහිත්‍ය කෘතිය. විදග්ධ භාෂාවක් වෙනුවට පොදු ජනතාව අමතන සරල බස් වහරක් යොදාගෙන ගෙතූ නිසා ඔහුගේ පද්‍ය කෘති අදටත් ජනප්‍රියව පවතී.

සීතාවක රාජසිංහ රජු 1592 දී උණ කටුවක් ඇනීමෙන් අසාධ්‍යව මියයන අතර ඉන්පසු සීතාවක රාජධානියද පෘතුගීසි බලයට යටත් වේ. ඒ වන විට අලගියවන්නගේ වයස අවුරුදු 40කි. අලගියවන්න කවියාද පෘතුගීසීන්ට පක්ෂව ඔවුන්ගේ සේවයට ගිය බව පැවසේ. ඔහු කිතු දහම වැළඳගෙන දොන් ‌ෙජාරනිමෝ යන පෘතුගීසි නාමය ද ලබාගනී. ඒ නම ලබාගත් බව පැවසෙන්නේ ජොරනිමෝ ද අසවේදු නම් පෘතුගීසි ජනරජ වෙතිනි. බිරිඳගේ නමත් දෝන ලුවිසා ලෙස වෙනස් කර ගැනේ. මෙසේ අලගියවන්න මුකවෙටි කිතු දහමට හැරෙන්නේ 1602- 1612 අතර කාලයේදී බව එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා සඳහන් කර තිබේ. කිතු දහමට හැරී පෘතුගීසින්ගෙන් තනතුරු ලබාගැනීම නිසා ඔහුට ඥාති මිත්‍රාදී බොහෝ දෙනාගෙන් දොස් ඇසීමට සිදුව තිබේ.

පෘතුගීසින් යටතේ අලගියවන්න කවියා මොහොට්ටාලවරයෙක් ලෙස පත්වේ. ඒ 1609 දීය. ඔහු 1609 සිට 1616 දක්වා පෘතුගීසි තෝම්බු ලිවීමේ රාජකාරියේ නිරත වේ. ඔහු 1614 මාර්තු 5දා පිටිගල් කෝරළේ (හලාවත/ මාදම්පේ) තෝම්බුව ලිවීම ආරම්භ කළ අතර එදිනට වයස 62ක් බව සඳහන්ය. ඉන් පසු කුන්ස්තන්තිනු ද සා සෙනෙවියා යටතේ මහ මොහොට්ටාල තනතුර ඔහුට හිමිවේ. කුන්ස්තන්තීනු ද සා සෙනෙවියා කුරුවිට රාළ සමඟ මැද්දේගම නගරයේදී කරන ලද සටන වර්ණනා කරමින් කුන්ස්තන්තීනු හටන කවි පොත රචනා කළේ මේ කාලයේදීය. එය හටන් කාව්‍යයක් ලෙස සැලකේ.

අලගියවන්න මුකවෙටි සාහිත්‍යධරයෙක් මෙන්ම ප්‍රභූවරයෙක් ලෙස ද සියනෑ කෝරළයේ ප්‍රකටව සිටි චරිතයකි. ඔහු ගමේ ස්නානය කරන ලද ස්ථානය හඳුන්වන්නේ ගොයිකුඹුරේ පීල්ල යනුවෙනි. මේ පීල්ල පිහිටි දොළ පාරට ආසන්නව පුරාණයේ අම්බලමක්ද පැවති බව පැවසේ. එම දොළ පාර ආරම්භ වී තිබෙන්නේ කුඩුම්බි කන්දෙනි. ඔහු ගමේ සංචාරය කරන්නේ ඇතුපිට නැගී බවද ඇතු පිටින්ම මීතිරිගල ඔයේ කිසියම් තැනකට නෑම සඳහා ගිය බවටද ජනප්‍රවාද පවතී. ඇළ හරහා ගල් කුට්ටි අතුරා ගල්වැටියක් සකස් කර එහි තටාකයක් සේ සකස් කර පැවති බවද සැලකේ. එම ස්ථානයට බටහිරින් ගල්වලහේන කන්ද ඉස්මත්තේ ජල ස්නානයට පැමිණි අලගියවන්න සළුපිළි උනා තැබූ බව කියන ගල් ලෙනක්ද පවතී. එම ගල් ලෙනේ බිම නිදන් හොරු හාරා වනසා දමා තිබේ. ගමට ජලය සපයන මීතිරිගල ඔය ආරම්භ වන්නේ ඉත්තෑගල කන්ද පාමුලිනි. ඉත්තෑගල හා අලබලන් කන්ද පාමුල පැරණි පස් වේල්ලක් පැවති බවට සාධක අදටත් තැනින් තැන ඉතිරිව පවතී. වේල්ලේ බොහෝ ස්ථාන පස් කැපීම නිසා අද වනවිට විනාශ වී ගොසිනි. එම වේල්ල වැවක් සඳහා ඉදිකළ එකක් බව ජනප්‍රවාදවල පැවසේ.

අලගියවන්න සතුව තිබූ කුඹුරු යාය මහවෙල වෙල්යායයි. අදටත් එය මහවෙල ලෙස හැඳින්වේ. කුඹුරේ වැඩ කරන ගොවීන්ට මුත්තෙට්ටුව සැපයූ (ඇඹුල) ස්ථානය හැඳින්වෙන්නේ මුත්තෙට්ටුවත්ත නමිනි. අලගියවන්නගේ ඇතා නැවූ බව පැවසෙන කැකුණගහවිල අද හඳුන්වන්නේ කැකුණගහවෙල නමිනි. එහි වර්තමානයේ විලක් දැකගැනීමට නැත. එහි ඉස්මත්තේ ඇතා දම්වැල්වලින් බැඳ තිබූ ගල් ටැඹක් අතීතයේ පැවති බව පැවසුණත් මේ වනවිට එය දැකගත නොහැක.

අලගියවන්නගේ කවි මෙන්ම ඔහුගේ මතක සටහන්ද රසවත්ය. නමුත් ඔහු වියපත් වනවිට ඔහුට උන්හිටිතැන් පවා අහිමිව අසරණ වූ බව පැවසේ. පෘතුගීසින්ට පක්ෂපාතීව කිතු දහමට හැරීම නිසා හිස්සැල්ලේ ජනතාව ඔහු ප්‍රතික්ෂේප කළ බවද කියැවේ. මේ නිසා අසරණව මහලුව සිටින අලගියවන්න කවියා තම නෑනාට කියූ බව සඳහන් ජන කවියකි, මේ;

බෝ කඳු හෙලේ දුර සිට ආවා  එකෙක

තී ළම කලේ උකුලට වැඩුවා   එකෙක

සා කුළුඳුලේ අක්කා ගත්තා     එකෙක

තී ඉරුගලේ මා නොතකූවා     එකෙක

(හිස්සැල්ල හිටපු ග්‍රාම නිලධාරී කුමුදු රණවකට සහ ග්‍රාම නිලධාරී නිමල් කරුණාරත්නට සේකර පරපුර අපගේ ස්තූතිය හිමිවේ.)

 කුසුම්සිරි විජයවර්ධන

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05