2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

කඩවුණු පෙන්ෂන් පොරොන්දුව

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 163

රාජ්‍ය සේවා විශ්‍රාමිකයන් පිළිබඳ පැන නැගී ඇති ගැටලුව මේ වනවිට ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇත. එයට හේතුව විශ්‍රාමිකයන්ගේ සංඛ්‍යාව මසින් මස ඉහළ යාමය. 2020 වසරේදී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව විශ්‍රාම වැටුප් ලබන සංඛ්‍යාව හත් ලක්ෂයට ආසන්නව ඇත. මසකට රාජ්‍ය සේවකයන් 3000කට අධික ප්‍රමාණයක් විශ්‍රාමිකයන් බවට පත්වේ. මාසික විශ්‍රාම වැටුප් බිල රුපියල් කෝටි 1600 ඉක්මවයි. මිය යන ප්‍රමාණයට වඩා විශ්‍රාම ගන්නා සංඛ්‍යාව ඉහළ යාම නිසා මාසිකව විශ්‍රාමිකයන් සංඛ්‍යාව ඉහළ නගිමින් පවතී. මෑතකදී විශ්‍රාමිකයන්ගේ දීර්ඝ කාලයක සිට පැවැති විශ්‍රාම වැටුප් විෂමතාව දුරු කිරීමට කටයුතු කිරීම නිසා විශ්‍රාමිකයන් සඳහා ගෙවන වැටුප් බිල තවත් වැඩිවී තිබේ.

රටේ වර්තමාන තත්ත්වය අනුව විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා විශාල මුදලක් ගෙවිමට සිදුවීම රටේ ආර්ථික තත්ත්වයට ඔරොත්තු නොදෙන බවට පත්ව ඇත. දැනට සේවයේ සිටින රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් ගෙවීමද රජයට ගැටලුවක් බවට පත්ව සිටියදි විශ්‍රාමිකයන් සඳහා වැටුප් ගෙවීමට සිදුවීමෙන් තත්ත්වය තවත් උග්‍රව ඇත.

මේ වනවිට සමස්ත රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 17ට ආසන්නව සිටී. ඉදිරියේදී තවත් විශාල සංඛ්‍යාවක් බඳවා ගැනීමටද රජය මේ වනවිට කටයුතු කරමින් පවතී. ඔවුහුද කවදා හෝ විශ්‍රාමිකයන් බවට පත්වෙති. රටේ සමස්ත ජනගහණය සමග සංසන්දනය කළ විට විශ්‍රාම වැටුප් ලබන සංඛ්‍යාව ජනගහණයෙන් 1/15ක් පමණ වෙයි. වැඩිපුරම විශ්‍රාම වැටුපකට හිමිකම් කියන තැනැත්තා අග විනිසුරුය. විශ්‍රාම වැටුප් ලාභියා මිය ගියවිට ඔහු වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුපට හිමිකම් කියන්නේ නම් විශ්‍රාමිකයාට ගෙවූ වැටුප ඔහුගේ හෝ ඇයගේ අනුප්‍රාප්තිකයාට හිමිවේ.

විශ්‍රාමිකයන්ගෙන් සියයට සියයක්ම පාහේ වැන්දඹු විශ්‍රාම වැටුපට හිමිකම් ලබති. ඒ අනුව විශ්‍රාමිකයා මියගියා යැයි වැටුප් ගෙවීම නවතින්නේ නැත. අනුප්‍රාප්තිකයා හෝ අනත් දරුවා මියයන තුරු එය දිගටම සිදුවෙයි.
පෞද්ගලික අංශය හා සංසන්දනය කළ විට රාජ්‍ය සේවයේ වැටුප් තල සමාන්තර ශ්‍රේණිවලට වඩා අඩුය. එසේ වුවද බොහෝ තරුණ තරුණියන් රාජ්‍ය සේවයට බැඳීමට උනන්දුවක් දක්වන්නේ තමන්ට කවදා හෝ රුකියාවෙන් විශ්‍රාම ගියවිට විශ්‍රාම වැටුපක් ලැබේය යන විශ්වාසයෙනි. එහෙත් කවදා හෝ එම වරප්‍රසාදයද අහිමි වුවහොත් රජයේ සේවයට අනුගත වන සංඛ්‍යාව අවම වන අතර ඔවුන්ගේ කාර්යක්ෂමතාවද පහළ බසිනවා ඇත.

මේ වනවිට විශ්‍රාමිකයන් කොටසක් මුහුණ පා සිටින අර්බුදයක් වනුයේ 2016 වසරෙන් පසු විශ්‍රාම ගිය අයට තමාට හිමි විශ්‍රාම වැටුපෙන් කොටසක් පමණක් ගෙවීමය. මේ නිසා තමන්ට හිමි මුළු විශ්‍රාම වැටුපම ලබා ගැනීමට ඔවුහු අපොහොසත් වී සිටිති. මේ පිළිබඳ අදහස් දක්වන විශ්‍රාමිකයන්ගේ සංවිධානයේ ජාතික සංවිධායක සරත් ලාල් පෙරේරා පවසන්නේ 2016 වසරෙන් පසු විශ්‍රාම ගිය 108069 දෙනෙකුට තවමත් හිමිවන්නේ තමන්ට නියමිත විශ්‍රාම වැටුපෙන් කොටසක් පමණක් බවයි. දැනට වසර පහක් ගෙවී ගියද තමන්ට හිමි වැටුප නොලැබීම අසාධාරණයක් බව ඔහු පෙන්වා දෙයි.

මෙහි පුදුමය වන්නේ රාජ්‍ය සේවකයන් විශ්‍රාම යන වයස අවුරුදු 65 දක්වා දිගු කිරීමට මෙම අයවැයෙන් යෝජනා කර තිබීමයි. රජයට මේ අයගේ විශ්‍රාම වැටුප හෝ සම්පූර්ණයෙන් ගෙවීමට නොහැකිව තිබෙන්නේ රජය මුහුණ දී ඇති දැඩි මූල්‍ය අර්බුදය නිසා බව පවසනවා. එසේම මුදල් ඇමැතිතුමා රාජ්‍ය සේවය බරක් බව කියනවා. රාජ්‍ය සේවය රජයට බරක් නම් රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා තවත් දීර්ඝ කළේ ඇයිද යන්න ප්‍රශ්නයක්. 2020 ජනවාරි 01 දිනෙන් පසු විශ්‍රාම ගිය අයට හිමිවිය යුතු මාස 24ක පාරිතෝෂික මුදල පවා තවම ගෙවා නැහැ. විශ්‍රාම ගිය අයට විශ්‍රාම වැටුප් ලබාදෙන්නේ අවුරුදු ගණන් ප්‍රමාද වෙලයි.
මේ පිළිබඳ අදහස් දක්වන හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ.ඒ. තිලකරත්න:

මෙම ඌණතාවය ඇතිවෙලා තියෙන්නේ 2016 සිට 2020 අතර විශ්‍රාම ගිය විශ්‍රාමිකයන්ටයි. අපේ රටේ වසර 120ක් වන විශ්‍රාම වැටුප් ඉතිහාසයේ මෙවැනි ගැටලුවක් ඇතිවූ මුල්ම අවස්ථාව ලෙස මෙය වාර්තාගත වෙනවා. මෙය අදාළ විශ්‍රාමිකයන්ට හිමිවිය යුතු වරදානයක්. ඔප්පුවකින් දුන් ප්‍රතිලාභයක්. ඔවුන්ට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් අත්සන් කර දී ඇති ප්‍රදාන පත්‍රයේ මේ බව ලිඛිතව සඳහන් වෙලා තියෙනවා. 2020දී දෙන බවට. මෙය නෛතිකව ලැබිය යුතු දෙයක්. ඒ නිසා පැහැර හරින්න බැහැ. මෙය විශ්‍රාම වැටුප් විෂමතාවක් නොවෙයි. ලිඛිතව ලබාදුන් පොරොන්දුවක් ඉටු කිරීමක්. අනිවාර්ය ගෙවීමක්.

2019 නව ජනාධිපති පත්වන විට 2021 ජනවාරි මස සිට ගෙවීමට චක්‍රලේඛයක් පවා නිකුත් කර තිබුණා. එය නිකුත් කළේ 2020 දෙසැම්බර් මාසයේදීයි. එහෙත් මේ සඳහා වැයකළ යුතු රුපියල් බිලියන 10ක මුදල සොයාගන්නට අපහසු වීම නිසා මෙම ගෙවීම තාවකාලිකව නැවැත්වීමයි සිදුවූයේ. එහෙත් එයට පසු ඉදිරිපත් කළ 2020 අයවැය ලේඛනයෙන් මේ සඳහා ප්‍රතිපාදන සපයා තිබුණේ නැහැ. 2021 අයවැය තුළින්ද මෙයට අවශ්‍ය මුදල් වෙන්කර නැහැ. එහෙත් මේ වසරේ අයවැය ලේඛනයට විශ්‍රාම වැටුප් විෂමතාව දුරු කිරීමට යයි රුපියල් මිලියන 500ක් වෙන්කර තිබෙනවා. දැන් මේ අය ඉල්ලන්නේ එම මුදලෙන් හෝ මෙය ගෙවන ලෙසටයි.

මෙම කණ්ඩායමට මෙලෙස වරප්‍රසාදය දුන්නහොත් මෙම දිනයට පෙර විශ්‍රාම ගිය අයද මෙය ඉල්ලුම් කරාවි නොවේදැයි විමසූ විට අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ඒ අයටද මෙය දීම ගැන තම විරුද්ධත්වයක් නැති බවයි. එලෙස ඒ අයගේ විශ්‍රාම වැටුප සකස් නොකළහොත් එය අනාගතයේදී විෂමතාවක් විය හැකි බව ඔහු කියයි. එහෙත් මෙය මෙම කණ්ඩායමෙන් පටන් ගත යුතු බව ඔහුගේ අදහසය.

මේ පිළිබඳ අභියාචනාධිකරණයේ නඩුවක් පවරලා තියෙනවා. ඒ නඩුවද දිගින් දිගටම කල් යනවා. එහි පාර්ශ්වකරුවකු ලෙස මමද පෙනී සිටිනවා. මේ නඩුව 2020දී පවරා ඇතත් තවම තීන්දුව දී නැහැ. ඉදිරියේදී අපේ ඉල්ලීමට සාධාරණය ඉටු වේ යැයි සිතනවා. මේ පිළිබඳ අප බොහෝ බලධරයන්ට ලියා තිබෙනවා. උද්ඝෝෂණද පවත්වා තිබෙනවා. එහෙත් ප්‍රතිඵල ප්‍රමාදයි.

සමස්ත ලංකා රජයේ විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානයේ මධ්‍ය විධායක සභික සහ හිටපු සභාපති නීතිවේදී සිරි සිංගප්පුලි:

මෙම ගැටලුව මතුව ඇත්තේ අංක 3/2016 (11) දරණ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛය 2016දී නිකුත් කිරීමෙන් අනතුරුවයි. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අදියර 5කින් වැඩිවන වැටුප් ක්‍රමයක් මෙමගින් රාජ්‍ය සේවයට ලබාදුන්නා. ඊටපසු එම වරප්‍රසාද ලබා ගැනීමට රාජ්‍ය සේවයේ වෙනත් පාර්ශ්ව සූදානම් වීම මෙයට හේතුවුණා. මෙම චක්‍රලේඛයේ 5(11) වගන්තිය සංශෝධනය කිරීමට ගියද පැන නැගුණු තදබල විරෝධය හමුවේ එය කළ නොහැකි වුණා.

මෙම තීන්දුව ගත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපති ධුර සමයේ අවසන් භාගයේදී. 2019 වසරේදී මෙම චක්‍රලේඛය අනුව ඉදිරි පියවර නොගැනිමට තීරණයක් ගත්තා. අනතුරුව බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් එය නැවැත්වීමට ආණ්ඩුව බලයට පත්වූ මුල් දවස්වලම 2019දී තීරණය කළා. විශ්‍රාමිකයන්ගෙන් එක කණ්ඩායමකට පමණක් මෙවැනි සුවිශේෂ වරප්‍රසාද දීමෙන් ඉදිරියේදී ගැටලු ඇතිවේය යන පදනම මත අමාත්‍ය මණ්ඩල තීරණයකින් එදා මෛත්‍රීපාල ජනපතිගේ තීරණය වෙනස් කළා.

මෙයට එරෙහිව සමහරුන් අධිකරණයට පවා ගියා. විශ්‍රාමිකයන් විශ්‍රාම ගැන්වෙන දිනයේ ලැබෙන ප්‍රදාන පත්‍රයේ ඔවුන්ට ඉදිරියේදී ලැබෙන විශ්‍රාම වැටුප කීයද කියලා සඳහන් කර තිබෙනවා. එහිදී 2016 විශ්‍රාම ගිය අයගේ ප්‍රදාන පත්‍රවල 2020දී අලුත් වැටුප් ලැබෙන බවට සඳහන් කිරීම නීත්‍යානුකූල නොවන බවද අවධාරණය කළා. ඕනෑම කෙනෙක් විශ්‍රාම යනවිට ඔහු විශ්‍රාම ගන්නා දිනයේ ලැබූ වැටුප විශ්‍රාම වැටුප ලෙස ගෙවිය යුතු වෙනවා. මෙම චක්‍රලේඛය රජයේ මුදල් අවභාවිත කිරීමක් ලෙසද ඇතැමුන් හැඳින්වූවා.

කෙසේ වුවද 2016 වසරට පෙර විශ්‍රාම ගත් රාජ්‍ය සේවකයන් පවසනුයේ තමන්ටද මෙම වරප්‍රසාදය ලැබිය යුතු බවය. එයට ප්‍රතිපත්තියක් ලෙස රජය එකඟ විය යුතුය යන්න ඔවුන්ගේ ඉල්ලීම වෙයි. පැරුණි විශ්‍රාමිකයාගේ වැටුප සකස් කර ඇත්තේ 2017 වැටුප පදනම් කරගෙනයි. 2016 විශ්‍රාම ගිය අයට 2020 වැටුප් තලය හිමිකරනවා නම් තමාටද එම වැටුප දිය යුතු බව ඒ අයගේ ඉල්ලීමයි. මෙය කොටසකට පමණක් ගෙවනවා නම් එයින් විශාල වැටුප් විෂමතාවක් යළි ඇතිවන බව මෙම විශ්‍රාමිකයන් පෙන්වා දෙයි. දැනටමත් පවතින ජීවන වියදම හමුවේ සහ ඖෂධ ආදියේ මිල වැඩිවීම නිසා විශ්‍රාමිකයන් බලවත් අපහසුතාවකින් ජීවත්වන බවද පෙන්වා දෙයි. එසේම රජය මුදල් නොමැති යැයි කියමින් විශ්‍රාම ගිය අයගේ වැටුප් ගෙවීම වසර ගණන් ප්‍රමාද කිරීම නිසා විශ්‍රාමිකයන්ට ජීවත්වීමේ ගැටලුවක් ඇතිව තිබෙන බවද කියයි.

 යසවර්ධන රුද්රිගු