ඉන්දියාවේ කුප්‍රකට වංචාකරුවකු වන සුකේෂ් චන්ද්‍රශේකර් සමඟ ඇති සබඳතා හේතුවෙන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් හට රටින් පිටවීමට අවසර ලබා නොදීමට ඉන්දීය ආගමන විගමන නිලධාරීන් පියවර ගෙන තිබේ.
ෆෙඩරල් විමර්ශන ඒජන්සිය විසින් නිකුත්කළ ලුක් අවුට් නියෝගයක් මත සංදර්ශනයකට සහභාගී වීම සඳහා පසුගිය ඉරිදා ඩුබායි බලා යාමට පැමිණි 36 හැවිරිදි ජැකලින් යළි හරවා යැවීමට බලධාරීහු කටයුතු කළහ. මුම්බායි ගුවන් තොටුපළේදී නතර කිරීමෙන් දිනකට පසු ඇයට විදේශගත වීම වළක්වන නියෝගයක් නිකුත් කර ඇති අතර සුකේෂ් චන්ද්‍රශේකර්ට එරෙහිව ඇති මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රශ්න කිරීමට ඇති බැවින් මෙම තීරණය ගෙන ඇතැයි ඉන්දීය බලධාරීන් පවසා තිබේ.
සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව රුපියල් කෝටි 200කට අධික වංචා හා මුදල් විශුද්ධිකරණ කටයුතු සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක් හමුවේ චෝදනා පත්‍රයක් මේ වන විට ගොනු කර ඇති අතර චන්ද්‍රශේඛර්, ඔහුගේ බිරිඳ ලීනා මරියා පෝල් සහ තවත් හය දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ. දිල්ලි පොලිසිය චෝදනා කර තිබුණේ චන්ද්‍රශේකර්, ලීනා මාරියා තවත් පිරිසක් සමඟ එක්ව අපරාධවලින් උපයන මුදල් සුදු කිරීම සඳහා අක්වෙරළ හා ෂෙල් සමාගම් නිර්මාණය කර ඇති බවයි.
ජැකලින් ෆර්නැන්ඩස්, චන්ද්‍රශේකර් සමඟ මූල්‍ය ගනුදෙනු කළ බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර චන්ද්‍රශේකර් විසින් කප්පම් ලෙස ලබාගත් බව කියන මුදල්වලින් කොටසක් ජැකලින් තම ඩුබායිහි බැංකු ගිණුම්වල විශුද්ධිකරණය කර ඇතැයි පැවසේ. ඒ සම්බන්ධයෙන් ජැකලින්ගෙන් අවස්ථා කිහිපයකදීම ප්‍රශ්න කර ඇති අතර පසුගිය දෙසැම්බර් 8දා දිල්ලියේදී දී විමර්ශකයන් හමුවේ පෙනී සිටින ලෙස බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිතාසි නිකුත් කර තිබිණි. සුකේෂ් සමඟ සම්බන්ධයක් ඇතැයි ජැකලින් පුරසාරම් පවසා තිබීම හා ඔහු සමඟ සිටින ඡායාරූප අන්තර්ජාලයේ පළ වීම හේතුවෙන් ඇය කෙරෙහි බලධාරීන්ගේ ඇස යොමුවූ බවද පැවසේ. සිරගෙදර සිටින චන්ද්‍රෙශේකර් විසින් 2021 ජනවාරියේ සිට ජැකලින් සමඟ දුරකථන සංවාදයන්හි නිරතව ඇති බව මේ වන විට අනාවරණ වී ඇති අතර කලකට ඉහත රෝහිණී බන්ධනාගාරයේ සිට ඇප මත නිදහස්ව පැමිණි චන්ද්‍රෙශ්කර් ගුවන් යානයක් වෙන් කරවාගෙන චෙන්නායි බලා පැමිණ ඇති අතර ජැකලින්ද එහි ගෙන්වා ගෙන තරු පහේ හෝටලයක දින කිහිපයක් ගතකර තිබේ. මෙම පෞද්ගලික ගුවන් ගමන් සඳහා ඔහු වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 8කි. ජැකලින්ගේ පවුලේ අය වෙතද ඔහු මුදල් යවා ඇතැයි අනාවරණ වී තිබේ.
චන්ද්‍රශේකර් විසින් මිලියන 10කට අධික දියමන්ති මාල, පර්සියානු බළලුන් සතර දෙනෙක් (එක බළලකුගේ වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 9ක් පමණ වේ.) මිල අධික පිඟන් භාණ්ඩ, සහ ලක්ෂ 52ක් වටිනා අශ්වයකු ඇතුළු වටිනා ත්‍යාග රුසක් ජැකලින්ට පිරිනමා ඇතැයි විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබේ.. නොබෝ දිනකින්ම ජැකලින් අත්අඩංගුවට පත්විය හැකියැයි පවසන ඇයගේ සමීපතම මිතුරන් බොහෝ දෙනෙක් මේ වන විට ඇයගෙන් ඈත්ව සිටින්නට පියවර ගෙන ඇති අතර මෙහිදී ඇගේ සමීපතම මිතුරකු වන සල්මන් ඛාන්ට පවා ඇයට උපකාර කිරීමට නොහැකි වනු ඇති බවද වාර්තා වේ. ජැකලින් හා තවත් ඉන්දීය නිළියක වන නෝරා ෆතේහිද විමර්ශන සඳහා කැඳවා තිබිණි. .
රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් මේ වන විට තිහාර් බන්ධනාගාරයේ රඳවා සිටින චන්ද්‍රශේකර් දුරකතනය ඔස්සේ කප්පම් ගැනීමේ ජාවාරමක නිරතවී ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය කර ගැනීමට බලධාරීහු සමත් වූහ. දුරකතන තාක්ෂණ ක්‍රමවේද භාවිත කරමින් නීති විරෝධී ලෙස ළඟ තබාගත් ජංගම දුරකතනයක ආධාරයෙන් රජයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අමතන ආකාරයට පුද්ගලයන් රැවටීමට ඔහු ඇමතුම් ලබාදී තිබේ. විවිධ අර්බුදවලට මුහුණ පා සිටින ධනවතුන් සමඟ සිරගෙදර සිට කතා කරන ඔහු කිසියම් මුදලක් ලබා දෙන්නේ නම් ඔවුනට උපකාර කළ හැකි රජයේ නිලධාරියකු ලෙස පෙනී සිට තිබේ. ප්‍රකට ව්‍යාපාරිකයකු වන ෆෝර්ටිස් හෙල්ත්කෙයාර් සමාගමේ ෂිවෙන්දර් මෝහන් සිංගේ බිරිඳ වන අදිති සිංගෙන් විශාල මුදලක් කප්පම් ලෙස ලබාගෙන ඇත. එ් හෙළිදරව්වේ වු එක් සිදුවීමක් පමණි. චන්ද්‍රශේකර් වයස අවුරුදු 17 සිට අපරාධ ලෝකයේ ප්‍රකට චරිතයක් යැයිද ඔහුට එරෙහිව චෝදනා රුසක් පවතින බවද ඉන්දීය බලධාරීහු සඳහන් කරති.
පසුගිය අගෝස්තු මාසයේදී, ඉන්දීය බලධාරීහූ චන්ද්‍රශේඛර්ගේ නිවාස හා වෙනත් පරිශ්‍රයන් වැටලූහ. එහිදී මුහුදට මුහුණලා ඇති බංගලාවක්, රුපියල් ලක්ෂ 82.5ක මුදල් සහ සුඛෝපභෝගී මෝටර් රථ 12ක් අත්අඩංගුවට ගන්නා ලදී.
චන්ද්‍රශේකර්ගේ වංචා සම්බන්ධයෙන් දිල්ලි පොලිසිය තවදුරටත් විමර්ශනය කරමින් සිටී. චන්ද්‍රශේකර් සහ ඔහුගේ බිරිය ලීනා මාරියා පෝල්ද තවත් විත්තිකරුවන් දෙදෙනකු වන ප්‍රදීප් රම්නානි සහ දීපක් රම්නානිද මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් මහාරාෂ්ට්‍ර සංවිධානාත්මක අපරාධ පාලන පනත නමින් නව පනතක්ද ගෙන ඒමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබේ.
ජැකලින් ෆර්නැන්ඩස් යනු බහරේනයේ උපන් නිළියක හා නිරෑපිකාවක වන අතර රංගනයට එක්වීමට පෙර රූපවාහිනී නිවේදිකාවක ලෙස සේවය කළාය. ඇගේ පියා ශ්‍රී ලාංකිකයකු වන අතර මව මැලේසියානු-කැනේඩියානු සම්භවයක් සහිත කාන්තාවකි. ජැකලින් 2006 වසරේ විශ්ව රූ රැජින ශ්‍රී ලංකා තරගය ජයග්‍රහණය කළ අතර, එම වසරේ පැවැති විශ්ව රූ රැජින තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළාය. 2009 ඇලඩින් චිත්‍රපටයෙන් හින්දි සිනමාවට පිවිස ජුඩ්වා 2, හවුස්ෆුල්, භාගි 2, සහ මිසිස් සීරියල් කිලර් වැනි චිත්‍රපට රැසක චරිත නිරෑපණය කළාය. බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් වන ඩෙෆිනිෂන් ඔෆ් ෆියර්, සහ චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය මැතිව් චිත්‍රපටයේද ඇය රඟපෑවාය.
ප්‍රියන්ජන් සුරේෂ් සිල්වා