2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

බද්දට දෙන සුද්දා හැදූ වැලිකඩ හිරගෙදර

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 142

වැලිකඩ බන්ධනාගාරය පිහිටි අක්කර 42ක ඉඩම දිගුකාලීන බදු පදනම යටතේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ලබා දීමට රජය තීරණය කර තිබේ. එමගින් රුපියල් කෝටි 2630ක පමණ ආදායමක් උපයා ගැනීම රජයේ අරමුණය. මේ වනවිට ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද ලැබී තිබේ. බන්ධනාගාර භූමියේ ඇති චැපල් වාට්ටුවත්, බන්ධනාගාර මූලස්ථාන ගොඩනැගිල්ලත් හෝටල් ව්‍යාපෘතියක් සඳහා වෙන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ. වෙනත් ආයෝජන සඳහා එම භූමියෙන් අක්කර 35ක් වෙන්කර ඇති අතර ආයෝජකයන් කිහිප දෙනකු මේ වන විටත් එම ව්‍යාපෘති ඇරඹීම සඳහා එකඟතාව පළකර ඇති බවද වාර්තා වේ.

වැලිකඩ බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කර හොරණ මිල්ලෑව ප්‍රදේශයේ අක්කර 280ක පමණ ඉඩමක ඉදිකිරීමට රජය සැලසුම් කර ඇති අතර, බන්ධනාගාර මූලස්ථානය බත්තරමුල්ලේත්, නිල නිවාස සංකීර්ණය මාලබේ ප්‍රදේශයේත් ඉදිකිරීමට යෝජනා වී තිබේ. මෙම ව්‍යාපෘති තුන සඳහා රුපියල් කෝටි 3147ක් පමණ වැය වන අතර ඉන් කොටසක් වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩම බදු දීමෙන් ලැබෙන මුදලින් පියවා ගැනීමට ද යෝජනා වී තිබේ. එම ව්‍යාපෘතිය 2024 වසරේ අවසන් කිරීමට අපේක්ෂිත වන අතර රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මහා භාණ්ඩාගාරයෙන් ව්‍යාපෘති සඳහා මුදල් වෙන්කිරීමක් මේ මොහො‌තේ සිදු නොවන බැවින් රජයට බරක් නොවී විකල්ප ක්‍රමවේදයන් තුළින් එම ව්‍යාපෘතිය අවසන් කිරීමට රජයේ අපේක්ෂාවය. 

බොරැල්ලේ පිහිටි වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට ගෙන ගොස් එය අධිආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස පවත්වාගෙන යාමට සූදානමක් ඇතැයි හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පසුගිය වසරේ ප්‍රකාශ කර තිබිණි. වැලිකඩ බන්ධනාගාරයේ පවතින දැඩි තදබදය අවම කිරීම සඳහා රජය මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර ඇතැයි ඔහු එවක සඳහන් කළේය. දැනට එහි රැඳවියන්ගේ ධාරිතාව රැඳවිය හැකි ප්‍රමාණය මෙන් තුන් ගුණයකටත් වඩා අධික බව පැවසේ. හොරණ මිල්ලෑව ප්‍රදේශයේ අක්කර 280ක පමණ භූමිභාගයක නව බන්ධනාගාරය කඩිනමින් ඉදිකිරීමෙන් පසු ලංකාවේ විවිධ සිරගෙවල රඳවා සිටින භයානක අපරාධකරුවන්ද එහි රඳවා තැබීමට අරමුණු කර ඇතැයිද, නව බන්ධනාගාරයේ සිරකරුවන් 10,000ක් පමණ පිරිසක් රැඳවිය හැකිවන අතර අධි ආරක්ෂක කුටි 64කින් සමන්විත වන බවද වාර්තා වේ.

වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේ දී කාන්තා රැඳවියන් සමඟ සිටින දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබේ. රක්ෂිත බන්ධනාගාර ගත කරන්නන් වරදකරුවන් නොවන අය බැවින් රිමාන්ඩ් බන්ධනාගාරය හොරණට රුගෙන යන විට ඒ අය සම්බන්ධයෙන් අවශ්‍ය පහසුකම් ස්ථාපනය කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා කියා තිබේ.

මෙරට ඇති විශාලතම බන්ධනාගාරය වැලිකඩ බන්ධනාගාරයයි. වර්තමානයේ එහි රුඳවියන් 3000කට අධික පිරිසක් සිටින බැව් වාර්තා වේ. ඒ අතර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ පුද්ගලයන් මෙන්ම මරණ දඬුවම නියම වූ පුද්ගලයන්ද වේ. මරණ දඬුවමට යටත්ව සිටින පිරිස 260ක් පමණ වේ. ලංකාවේ ප්‍රධාන බන්ධනාගාර තුනක් තිබිණි. ඒ වැලිකඩ, මහර සහ බෝගම්බර යන බන්ධනාගාරයයි. බෝගම්බර බන්ධනාගාරය 2014 දී වසා දැමුණු අතර එහි සිටි රැඳවියන් පල්ලෙකැලේ නව දුම්බර බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට රජය පියවර ගත්තේ එම ස්ථානයේ &කැන්ඩියන් එරීනා* නමින් බහුකාර්ය මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ අරමුණිනි.

මෙරට විධිමත් බන්ධනාගාර පද්ධතියක් ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයේදීය. එවක ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍යයන් ලංකාවේ සමාජ ආර්ථික තත්ත්වය පිළිබඳ වාර්තාවක් සකස් කිරීම සඳහා 1829 දී විලියම් කෝල්බෲක්ගේ ප්‍රධානත්වයෙන් යුතු කොමිෂන් සභාවක් පත් කළේය. අධිකරණ කටයුතු පිළිබඳ සොයා බැලීමේ වගකීම පැවරුණේ එම කොමිසමේ සාමාජිකයකු වූ චාල්ස්. එච්. කැමරන් හටය. 1832 දී මෙම කොමිසමේ නිර්දේශ බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කළ අතර 1933 දී කෝල්බෲක්-කැමරන් ප්‍රතිසංස්කරණ ලංකාවට හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගත්තේය.

චාල්ස් කැමරන්ගේ ප්‍රතිසංස්කරණ නිර්දේශ මගින් මෙරට අධිකරණ පද්ධතිය බොහෝ වෙනස්කම්වලට භාජනය විය. එමගින් ශ්‍රේෂ්ඨාධිකරණය සහ දිස්ත්‍රික් අධිකරණ ස්ථාපනය කෙරුණු අතර පසුකාලීනව පළමුවරට ඉල්ලුම් (රික්වෙස්ට්) උසාවි නමින් හැඳින්වූ උසාවි සහ පොලිස් උසාවි ද ස්ථාපනය කිරීමට පියවර ගැනිණි.

එතෙක් උසාවි මගින් වරදකරුවන් කොට දඬුවම් නියම වූ සිරකරුවන් රඳවන ලද්දේ කොළඹ අලුත්කඩේ බන්ධනාගාරයේ, මෝදර බ්‍රේක්වෝටර් බන්ධනාගාරයේ සහ කොම්පඤ්ඤවීදිය බන්ධනාගාරයේය. සිරකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා බොරුල්ලේ වරදකරුවන්ගේ රෝහල නමින් රෝහලක් ද තිබිණි. අලුත්කඩේ බන්ධනාගාරයේ උපරිම වශයෙන් රුඳවිය හැකිවූයේ වරදකරුවන් 166 දෙනකු පමණි. අනෙක් බන්ධනාගාර ද සුළු පිරිසකට පමණක් ප්‍රමාණවත් විය. 1841 දී වැලිකඩ බන්ධනාගාරය ඉදිකිරීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කළේ මෙම ගැටලුවට පිළියමක් ලෙසිනි. නව බන්ධනාගාරයේ සිරකරුවන් 1166 දෙනකු රුඳවිය හැකි වූ අතර බන්ධනාගාර භූමිය අක්කර 48ක (වර්ග මීටර 190,000 පමණ වන) ප්‍රදේශයක පැතිර තිබිණි.  

බ්‍රිතාන්‍යයෝ ඔවුන් විසින් අත්හදාබැලූ නව බන්ධනාගාර ක්‍රමය 1844 දී තම යටත්විජිතවලට හඳුන්වා දීමට පියවර ගත්හ. පළමුවරට ලංකාවේ බන්ධනාගාර ආඥා පනතක් ක්‍රියාත්මක වූයේ 1844 දීය. ඒ අංක 18 දරන ((An Ordinance for the Better Regulation of Prisons Act No. 18) බන්ධනාගාර අඥා පනතය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුවට අනුබද්ධ කොට එවක පොලිස්පතිවරයා වූ ශ්‍රීමත් ජෝර්ජ් විලියම් රොබට් කැම්බල් යටතට එය පැවරිණි. 1905 දී බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපනය කරන තෙක් එම ආයතන දෙකම පැවතියේ එකම ආයතනයක් ලෙසිනි. 1905 බන්ධනාගාර දෙපාර්තමේන්තුව ස්ථාපනය කිරීමෙන් පසු මේජර් ඇල්බට් ඩි විල්ටන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ද, වැලිකඩ, මෝදර, සහ අලුත්කඩේ යන බන්ධනාගාරයන්හි අධිකාරීවරයා ලෙසද පත් කෙරිණි. වර්තමානයේ වැලිකඩ බන්ධනාගාරයේ පරිපාලනය බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පවතී. 

බ්‍රිතාන්‍යයන් යටතේ පැවැති අන්දමන් දූපත්හි මරණීය දණ්ඩනය හිමිවූවන් රඳවා තැබූ කොළනිය වසා දැමීමට පියවර ගත් හෙයින් එහි මරණ දණ්ඩනයට නියමව සිටි රුඳවියන් 62 දෙනකුද වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙන ඒමට කටයුතු කෙරිණි.
එවක වැලිකඩ බන්ධනාගරයේ සිටි සිරකරුවන් රඳවා තැබුණේ හුදෙකලා කොට තනි තනි පුද්ගලයන් ලෙසිනි. බ්‍රිතාන්‍ය බන්ධනාගාරයන්හි පැවැති ආකාරයටම ඔවුන්ද බරපතල දඬුවම්වලට යටත් කෙරිණි. මෙම දඬුවම් අමානුෂික යැයි පවසමින් බ්‍රිතාන්‍ය රජය බන්ධනාගාරවලින් එම දඬුවම් ඉවත් කිරීමට පියවර ගැනීම නිසා පසුව වැලිකඩ සිරකරුවන්ට ලබාදුන් දඬුවම්ද ලිහිල් විය. කාලයත් සමඟ පැරණි දඬුවම් ක්‍රම අහෝසි වී සිරකරුවන්ට කිසියම් කර්මාන්තයක් පුහුණුවීමට හා ඒවායේ නිරත වීමට අවස්ථාව හිමිවිය. 

වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම්ගසද 1844 සිට පවතින්නකි. අවසන් වරට එහි පුද්ගලයකු එල්ලා මරන ලද්දේ 1976 ජූනි 23දාය. ඒ චන්ද්‍රදාස නොහොත් හොඳ පපුවා නමැති පුද්ගලයෙකි. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා මරණ දඬුවමට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ හෙයින් චන්ද්‍රදාස එල්ලා මැරීමෙන් පසු මෙතෙක් මරණ දඬුවම ක්‍රියාත්මක වී නොමැත. පසුගිය සමයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එල්ලුම්ගස යළි ක්‍රියාත්මක කළ යුතු බවට යෝජනා කළද විවිධ විරෝධතා හමුවේ එය ක්‍රියාත්මක වීම වැළකී ගියේය. එල්ලුම්ගස ක්‍රියාත්මක නොවන හෙයින් යහපත් කල්ක්‍රියාවෙන් සිටි දහසක පමණ පිරිසකගේ මරණ දඬුවම ජීවිතාන්ත සිරදඬුවමක් ලෙසට වෙනස් විය. 
මරණ දඬුවම ක්‍රියාත්මක නොවුණද දැනට වැලිකඩ බන්ධනාගාරයේ ඇති එල්ලුම්ගසද මිල්ලෑවේ ඉදිවන නව බන්ධනාගාරයට රුගෙන යනු ඇත.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05