2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

ආණ්ඩුවත් ඇඹරුණු ගෑස් ටැංකි පිපිරීම

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 86

වර්තමානයේ ගෑස් පිපිරීම් එමටය. ගෙයක් ගෙයක් ගානේ ගෑස් පිපිරෙන්නේ අලුත් අවුරුද්දට ගම පුරා කොල්ලෝ කුරැට්ටෝ රතිඤ්ඤා දමන්නාක් මෙනි. අලුත් අවුරුද්දට ගෙයක් ගෙයක් ගානේ කිරි ඉතිරෙන්නාක් මෙන් මේ දිනවල ගෙයක් ගෙයක් ගානේ උතුරන්නේ ගෑස් ටැංකියේ කට ළඟින් සබන් පෙණ ය. සැබවින්ම මෙය විහිළුවකි. ඊටත් වඩා භයානක විහිළුවකි. ඒ වෙන කිසිවක් නිසා නොව දැන් ගෙදර කුස්සියේ තිබෙන්නේ තමන්ගේ ජීවිතය අහිමි කරන බෝම්බයක් බව බොහෝදෙනා සිතනා නිසාය. ඒ නිසා මේ භයානක විහිළුවේ තත්ත්වය දැන් ඇත්තේ ඉතාම නරක තැනකය.

මීට මාසයකට පමණ පෙර සිට ස්ථාන කීපයක හුදෙකලාව ගෑස් පිපිරීම් වාර්තා වුණු අතර සමාජ මාධ්‍ය පුරාම මෙකී ළඟ ළඟ පිපිරීම් ගැන බොහෝ ජනයා සැක සංකා මතුකරමින් අදහස් පළකරන්නට වූහ. එහෙත් ආණ්ඩුවේ ඇතැම් අය පමණක් නොව මේ සිද්ධියට වගකිවයුතු ගෑස් සමාගම් පවා එකී වගකීමෙන් මිදී ප්‍රකාශ කළේ එවැනි කිසිදු අවදානමක් නැති බවය.

එහෙත් දිනෙන් දින පිපිරීම් වැඩි වනවිට අඩුම තරමින් අවදානම නොව ජනතාවට ඒ ගැන තියෙන සැකය හෝ මකා දැමීමට රජයේ යුතුකමක් වුවත් රජය මේ සිදුවීම තඹයකට හෝ මුලදී ගණන් ගත්තේ නැත. නියපොත්තෙන් කඩා දැමිය යුතු දේ පොරවෙන් කපන න්‍යායට ඇලී සිටින වර්තමාන ආණ්ඩුව අවසානයේ මෙම සිදුවීමද ආණ්ඩුවට එරෙහිව බලවේගයක් ලෙස ඉහළට එසැවෙන තෙක්ම බලාගෙන සිටියේය. රජයේ රස පරීක්ෂක ආයතනය, ප්‍රමිති ආයතනය හෝ වෙනත් පෞද්ගලික ආයතනයක් යොදවා හෝ මෙම ගෑස් සිලින්ඩරයේ තත්ත්වය පරීක්ෂා කළ යුතු වුවත් ආණ්ඩුව ඒ වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත.

දිනෙන් දින කුස්සියේ ලිප් ගිනි ගනිමින් රටපුරා ගෑස් පුපුරණ විට ආණ්ඩුවේ වගකිවයුත්තන් වෙනුවට කයිවාරු මන්ත්‍රීවරු එළියට පැමිණ ගෑස්වල ගැටලුවක් නැති බවත්, ඇත්තේ ලිප්වල සහ ඊට අවශ්‍ය උපාංගවල බවත් පැවසූහ. එසේම ගෑස් ගැන ගෑස් කොම්පැනියෙන්ම පරීක්ෂණයක් සිදුකර ගෑස්වල ප්‍රශ්නයක් නැති බව ඔවුන් විසින්ම රටේ ජනතාවට කියන තැනට මේ විහිළුව තව තවත් දුරදිග ගියේය.
අවසානයේ දවසට ගෑස් පිපිරීම් 25කට එහා සිදුවීම් වාර්තා වනවිට ජනාධිපතිවරයා විසින් කමිටුවක් ඒ සඳහා පත්කෙරිණි. ඒ කමිටුව ගෙයින් ගෙට ගොස් ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් ජනතා අදහස් පැමිණිලි ලබාගත් අතර එසේ යනවිටත් ඇතැම් ප්‍රදේශවල පිපිරීම් වෙමින් තිබිණි.

කෙසේ වෙතත් මෙම පිපිරීම්වලට නිශ්චිත පිළිතුරක් කිසිවකු විසින් ලබාදුන්නේ නැත. ඒ නිසා ජනතාවට සිදුවූයේ ජීවිතයත් මරණයත් අතින් ගෙන ගෑස් ලිපේ වැඩකරන්නටය. ගෑස් මිල ගණනුත් ජනතාවට ගෑස් පෙන්නන මොහොතක ඒ ගෑස් සිලින්ඩරයම ජීවිත අවදානමකට හේතුවීම තව තවත් කෙතරම් ජනතාවට පීඩාවට පත් කරන්නේද යන්න අමුතුවෙන් කිවයුතු නැත.

මේ අතර ගෑස් සමාගම් විසින් වෙළෙඳ පොළට ගෑස් නිකුත් කිරීම පසුගිය සිකුරාදා නවතා දමනු ලැබීය. ඒ නව මුහුණවරකින් ආරක්ෂා සහිතව වෙළඳපොළට ගෑස් සිලින්ඩර නිකුත් කරන බවට පොරොන්දු ඇතිවය. එසේම ගෑස් ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුව විසින් පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 2021 ජනවාරි 1දා සිට 2021 දෙසැම්බර් 5 වැනිදා දක්වා වාර්තා වී ඇති ගෑස් පිපිරීම් සංඛ්‍යාව 244ක් බවය. එසේම එම කමිටුව විසින් හෙළිකරගත් කරුණු අනුව ගෑස් කාන්දු වන බව ගන්ධය ජනතාවට නොදැනෙන බවත් එයට හේතුව වී ඇත්තේ ගන්ධය ගෙන දෙන ඊතයිල් මර්කැප්ටන් නැමැති රසායනයේ සාන්ද්‍රණය අඩුවීම නිසා බවත් එම නිවේදනයේ දන්වා තිබුණේය. ඒ නිසා එම රසායනය වැඩිකරන ලෙසට කමිටුව අදාළ සමාගම් වෙත දැනුම් දුන් බවද ඔවුන් දන්වා තිබිණි. එසේම මෙම පිපිරීම්වලින් බහුතරයක් ගෑස් ලිප්, බට වැනි උපාංග ආශ්‍රිතව සිදුව ඇති නිසා වහාම අදාළ උපාංගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සැලකිලිමත් වියයුතු බවද ජනතාවට දන්වා තිබුණි. 

කෙසේ වෙතත් අවසානයේ මේ ප්‍රශ්නයට ප්‍රධාන වශයෙන් හේතුවූයේ ගන්ධය සම්බන්ධයෙන් ප්‍රමිති ගැටලුවකි. ඒ බව විෂය බාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවා පිළිගෙන තිබුණි. එසේ නම් දැන් ගැටලුව ඇත්තේ ගෑස් සමාගම් කිසිවකුට නොදන්වා ගෑස් ප්‍රමිතිය වෙනස් කළේ ඇයිද යන්නය. එලෙස ප්‍රමිතිය වෙනස් කර තමන්ගේ පාරිභෝගිකයා අවදානමට හෙළීම සම්බන්ධයෙන් අදාළ සමාගමේ ප්‍රධානීන් වගඋත්තරකරුවන් කළ යුතු නොවේද? රටක් මෙලෙස අමාරුවේ දැමීමට ඔවුන් නියත වශයෙන්ම වගකිව යුතුව ඇත.

කෙසේ වෙතත් ගෑස් සමාගම් ගෑස් නිකුතුව නවතා දමා නැවත දින දෙකකට පසුව වෙළෙඳ පොළට ගෑස් නිකුත් කිරීමට පටන් ගත්තේය. ඒ ගෑස් සිලින්ඩරයේ වෑල්වය වැසෙන ඉටි කොළයේ පාට වෙනස් කරමිනි. ඒ අනුව ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයේ සුදු සහ නිල් පැහැය වෙනුවට සුදු සහ රතු පැහැයෙන්ද, ලාෆ් ගෑස් සිලින්ඩරයේ රතු පාට වෙනුවට කොළ පැහැයෙන්ද නව සිලින්ඩර වෙළෙඳ පොළට නිකුත් කරනු ලැබීය. මේ අතර පාරිභෝගික කටයුතු අධිකාරිය සමාගම් දෙකට දන්වා සිටියේ දැනටමත් නිවෙස්වල ඇති භාවිත නොකරන ලද ගෑස් සිලින්ඩර නැවත ගෙන්වාගෙන ඒ සඳහා අලුත් ගෑස් සිලින්ඩර ලබාදෙන ලෙසය. ඒ දෙසැම්බර් 3දාට පෙර ලබාගත් සියලුම ගෑස්වලට අදාළව බවද අධිකාරිය දන්වා තිබේ.

ඒ අනුව ගෑස් ප්‍රශ්නය ඒ අකාරයෙන් නිම කළ අතර ගෑස් පිපිරීම්ද තරමක් අඩුවෙමින් පවතී. එහෙත් මේ ආකාරයෙන් රටේ ජනතාවගේ ජීවිත අවදානමේ හෙළමින් කටයුතු කළ සමාගම්වල නිලධාරීන්ට දඬුවම් නැද්ද යන්න ගැන ජනතාවට ප්‍රශ්නයක් ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව රටම භීතියට පත්කරමින් ඇතැම් පුද්ගලයන්ට මරණීය තුවාල පවා සිදුකරමින් කරන ලද මේ භයානක විහිළුව ඒ තරමට ජනතාවට පීඩනයක් ගෙනදුන් නිසාය. ඒ නිසා ඒ විහිළුවට ජනතාව අල්ලා ගැනීමට දඬුවමක් හිමිවිය යුතු නැතිද?

 ගයාන් ගාල්ලගේ