මෑත ඉතිහාසයේ ලෝකයක් කම්පා කළ සිදුවීම් එමටය. ඒවා එකින් එක නොකියන්නේ එසේ කීමෙන් එකක් හෝ මගහැරුණොත් “අර සිදුවීම එතකොට හරිද?” යන්න ඕනෑම කෙනෙකුගේ මතකය සමඟ මගෙන් විමසිය හැකි නිසාය. ඒ නිසා කම්පනය යනු එක් එක් අයගේ මානුෂීය මුහුණුවර අනුව ඔවුන්ට දැනෙන හැඟෙන සිතුවිලිය. ඒ සිතුවිලිවලට අනුව එක් එක් සිදුවීම් කම්පාකළ සිදුවීම්, අමානුෂික සිදුවීම්, අවිචාරවත් සිදුවීම්, අප්‍රසන්න සිදුවීම් යනුවෙන් විවිධාකාරයෙන් අර්ථ දැක්වීමේ අයිතිය ඔවුන් සතුව ඇත.
කෙසේ වෙතත් මේ කතාව මෙලෙස ආරම්භ කළේ පාකිස්ථානයේ සියොල්කොට්හිදී පිරිසක් විසින් මහ දවාලයේ මහමඟ ප්‍රියන්ත කුමාර ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් වූ කතාවට ඌණපූර්ණයක් ලබාගැනීමේ අරමුණෙනි. ඒ නිසා මේ කතාව, මේ සිදුවීම, මේ පුදුමය සම්බන්ධයෙන් ඉහත කී ආකාරයට ඔබට ඕනෑම අර්ථ දැක්වීමක් කළ හැක. ඒ නිසා ඒ අයිතිය ඔබට තබමින් මම මෙසේ කතාව ආරම්භ කරමි.
ගණේමුල්ල වැලිපිල්ලෑව ප්‍රදේශයේ පදිංචි ප්‍රියන්ත කුමාර දියවඩන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවෙක් විය. ඔහු පාකිස්ථානයේ රැකියාව කරන්නේ දැනට අවුරුදු 11ක සිට බව පවුලේ අය පවසති. ප්‍රියන්ත කුමාර 2012 වසරේදී රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ සේවයට යන අතර ඔහු පසුගිය සිකුරාදා අවසානාවන්ත ලෙස මරණයට ලක්වන තෙක්ම රැකියාව කළේ එම කර්මාන්ත ශාලාවේය. ඉතාම ඉක්මනින් එම කර්මාන්ත ශාලාවේ ඉහළටම යන ප්‍රියන්ත කුමාර එහි සාමාන්‍යාධිකාරීවරයා පමණක් නොව ඔහු මියයන විට එම කර්මාන්ත ශාලාවේ සියලුම කටයුතු හිමිකරුට පසුව බාරදී ඇත්තේ ඔහුට බවද ප්‍රියන්තගේ සොහොයුරා පසුගියදා මාධ්‍ය හමුවේ කීවේය. එහෙත් පුදුමය නම් ආයතනයේ හිමිකරුවන්ගෙන් පවා ගෞරව ආදරයට පත්වූ ප්‍රියන්ත අවාසනාවන්ත ලෙස මියයන්නේ එම ආයතනයේම පහළ පිරිසකගේ අතින් වීමය.
පාකිස්ථානයෙන් දැනගන්නට ඇති පරිදි ප්‍රියන්ත එම ආයතනය ඉතාම විනයානුකූලව සකසාගෙන ගොස් ඇත. ඔහු සේවකයන් සමඟ ඉතාම කුලුපගව කටයුතු කර ඇති අතර අලස, විනයක් නැති සේවකයන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගත් බව දැනගන්නට ඇත. ඒ නිසාම ඇතැම් පිරිස් ප්‍රියන්තට වැඩි කැමැත්තක් දක්වා නැත. එයට හේතු වී ඇත්තේ විනයක් නැති පිරිසට එරෙහිව ප්‍රියන්ත ගත් දැඩි ක්‍රියාමාර්ග නිසාය. මේ ප්‍රශ්න මැද රාජකාරි කරන ප්‍රියන්තට පාකිස්ථානය නිවෙස හා සමාන විය. ඒ වසර ගණනාවක අත්දැකීම් නිසාය. එහෙත් ප්‍රියන්තට නොසිතූ මොහොතක මුහුණ දුන්නට සිදුවූ අමිහිරිම අත්දැකීම ගැන ඔහු ජීවිතේට සිතන්නට නැතුව ඇත. ඒ තමන්ගේ සේවකයන් මෙතරම් ම්ලේච්ඡයන්ද යන්න ගැනය.
කෙසේ වෙතත් පසුගිය සිකුරාදා (3)දා ම්ලේච්ඡයන් විසින් ප්‍රියන්තව මහමඟ නිරුවතින් ඇදගෙන ගොස් අතින් පයින් පමණක් නොව අතට අහුවෙන හැමදෙයකින්ම පහර දී ඝාතනය කරන අයුරු ලෝකය පුරාම තිගැස්සමින් වීඩියෝ පට ප්‍රචාරය වන්නට විය. සිය ගණනක් තරුණයන් ප්‍රියන්තගේ සිරුරේ මුහුණ පුරා ලේ ගලා යද්දී නිසල වූ සිරුරට එම ම්ලේච්ඡයන් එකාපිට එකා පරයමින් පහර දෙන අයුරු දකින ඕනෑම අයකු තිගැස්සවනු ඇත. එපමණක් නොව ප්‍රියන්තගේ මළසිරුර මහමග ගිනිතබා එම ම්ලේච්ඡයන් තමන් කළ අශ්ශීල ක්‍රියාව සාධාරණය කරන ආකාරයත් එකා පිට එකා වැටෙමින් ඔවුන් කළ මේ ක්‍රියාව මාධ්‍යයට පහදා දෙන ආකාරයත් දුටුවිට ඇත්තටම ඕනෑම අයකුගේ හිතට දැනෙන්නේ මනුස්සකම එතරම් සිල්ලරද යන්නය. මේ සියල්ල දුටුවත් ඝාතනයට සැබෑ හේතුව ඒ වනවිට හෙළිවී තිබුණේ නැත.
ඕනෑම සිද්ධියකදී මෙන් මෙම සිදුවීමේදීද බොරුවට තටු එන්නට විය. ඒ ප්‍රියන්ත ඉස්ලාම් ආගමට අපහාස කිරීම නිසා මෙම ප්‍රහාරයට ලක්වුණු බව කියාය. ඇතැම් අය කිව්වේ ප්‍රියන්ත එම කර්මාන්තශාලාවේ ඇතැම් සේවකයන් සමඟ ඉස්ලාම් ආගම විවේචනය කළ බවය. තවත් අය කීවේ ප්‍රියන්ත එම කර්මාන්ත ශාලාවේ තිබූ පෝස්ටරයක් ඉරා දැමීම නිසා මෙම සිදුවීම හටගත් බවය. මේ සියල්ල නිල නොලත් ලෙස වාර්තා වූ අතර එහෙත් ඕනෑම අයකුට ඇතිවන ප්‍රශ්නය වන්නේ අවුරුදු 11ක කාලයක් පාකිස්ථානයේ ජීවත් වූ ප්‍රියන්තට පාකිස්ථානු ආගමික සංස්කෘතිය මෙතරම් අමතක විය හැකිද යන්නය. ඒ නිසා මේ මරණය ගැන බොහෝ අයට සැක මතුකළේය.
මෙම ම්ලේච්ඡ ඝාතනය ලෝකය පුරාම එකහෙළා හෙළා දකින විට අලුත් දේශපාලන සංස්කෘතියක් සමඟ රට ගොඩනගන්නට ආ අගමැති ඉම්රාන් ඛාන්ට එල්ල කළ මරු පහරක් හා සමාන විය. විශේෂයෙන් ඔහුගේ ධුරකාලයේ තම පුරවැසියන්ගේ මෙවැනි හැසිරීමක් කිසිවිටෙක අපේක්ෂා නොකරන්නට ඇත. මේ නිසා ලෝකය හමුවේ එල්ලවෙන අපවාදායත් සමඟ ඉම්රාන් ඛාන් වහාම තම නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ වහාම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර මීට සම්බන්ධ සියලුදෙනාම අත්අඩංගුවට ගන්නා බවය. එය ප්‍රකාශයකට පමණක් සීමා නොවී ඉම්රාන් ඛාන් පන්ජාබ් ප්‍රාන්තයේ පොලීසියට නියෝග කර සිටියේ පැය 48ක් තුළ සියලුදෙනාම අත්අඩංගුවට ගතයුතුය යන්නය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වුණු පොලීසිය මෙම ඝාතනයේ මෙහෙයුම්කරු ෆර්හාන් ඇතුළු 118ක් පැය 12ක් තුළ අත්අඩංගුවට ගත්තේය. මෙලෙස අත්ඩංගුවට ගැනීම එරට මාධ්‍ය විශ්ලේෂකයන්ට පවා පුදුමය ගෙන දෙන්නක් විය. ඔවුන් ඒ බව කියා සිටියේ “මෙය පුදුමයක්. එහෙත් සිදුවිය යුතු දේ සිදුවෙමින් පවතී” යන්නය.
ඉම්රාන් ඛාන්ගේ නීතිය සැමට එක සමාන බව ස්ථිර ලෙස සහතික කළ සිදුවීමක් බව ඒ රටේ බොහෝදෙනා පිළිගත් අවස්ථාවක් බවට මෙය පත්විය. එයට හේතුව වූයේ මෙම ම්ලේච්ඡ ඝාතනය පිටුපස ඉන්නා අන්තවාදී කල්ලියත් ඉම්රාන් ඛානුත් අතර තිබූ දේශපාලන ගනුදෙනුව නිසාය. ටෙහ්රීක්-ඊ-ලබ්බීක් (Tehreek-e-Labbaik) නැමැති මෙම අන්තවාදී පක්ෂය ඉතාම බරපතළ අන්තවාදී කල්ලියක් බවට තීරණය කොට පාකිස්ථානයේ තහනම් කරනු ලබන්නේ මීට මාස පහකට හයකට පෙරය. එහෙත් එම අන්තවාදී කල්ලිය විසින් දිගින් දිගටම කරන ලද බලපෑම් හමුවේ ඉම්රාන් ඛාන් විසින් ඔවුන්ට එරෙහි වූ වාරණය ඉවත්කොට නිදහසේ සැරිසරන්නට ඉඩ ලබාදෙනු ලබයි. මේ නිසාම දැඩි අන්තවාදී කල්ලියක් වන මේ කල්ලිය පන්ජාබ් ප්‍රාන්තයේ විශාල ලෙස ඝාතන රැසක් සිදුකරන්නට විය. ඒ ඔවුන් විශ්වාස කළ අන්තවාදී ආගමික මතවාදය නිසාය. ඒ අතර පොලිස් නිලධාරීහු පවා සිටියහ. ප්‍රංශයේ කාටූන් ශිල්පියකු විසින් නබිනායකතුමන්ගේ රූපයක් චිත්‍රයට නැගූ බව කීම නිසා මෙම සංවිධානය ප්‍රංශ තානාපති කාර්යාලය පාකිස්ථානයෙන් ඉවත් කරන ලෙස පවා ආණ්ඩුවට බලකළේය. කෙසේ වෙතත් මේ සංවිධානය පසුපස එරට යුද හමුදාව සිටින බව ප්‍රසිද්ධ රහසකි. ප්‍රියන්ත කුමාර ඝාතනය පිටුපසත් මේ කල්ලිය සිටින බව ප්‍රසිද්ධ රහසක් විය.
කෙසේ වෙතත් රටේ නැති කතා මැද ප්‍රියන්ත කුමර ඝාතනය සම්බන්ධයෙන් වූ නිල පරීක්ෂණ වාර්තාව පන්ජාබ් පොලීසිය විසින් අගමැති ඉම්රාන් ඛාන් වෙත ලබාදී තිබේ. එම වාර්තාවට අනුව කියැවුණේ දැඩි විනයක් ක්‍රියාත්මක කළ ප්‍රියන්ත පසුගිය 3 වැනිදා පිරිසුදු කිරීමෙන් අනතුරව කර්මාන්ත පරිශ්‍රය පරීක්ෂා කරන අවස්ථාවේ එහි අලවා තිබූ පෝස්ටරයක් ගලවා ඉවත් කිරීමට උත්සාහ දරා ඇති බවය. ඒ ඉහත කී කල්ලිය විසින් ආගමික උත්සවයක් සඳහා සිදුකළ ආරාධනාවක් බව සඳහන් වේ. මේ නිසා එම අන්තවාදී පිරිස් ප්‍රියන්ත සමඟ බහින්බස් වීමක් සිදුවී ඇති අතර අවසානයේ ප්‍රශ්නය විසඳීම සඳහා හිමිකරු පවා පැමිණ ඇත. එහිදී වරද වටහාගත් ප්‍රියන්ත පිරිසගෙන් සමාව අයැද සිට ඇත. එහෙත් ඊට එකඟ නොවූ එම කල්ලිය උද්ඝෝෂණය කර ඇති අතර අවසානයේ එම උද්ඝෝෂණයට බාහිර කණ්ඩායම් පවා සම්බන්ධ වී තිබේ. ඒ අනුව උදෑසන 11.30ට පමණ ප්‍රියන්තව එළියට ගෙනැවිත් පහර දෙන්නට පටන් ගන්නේ මේ අන්තවාදී කල්ලියේ අවසාන අරමුණ එය වූ නිසාය. එහිදී ප්‍රියන්තට පහර දෙමින් පාර දිගේ ඇදගෙනවිත් 11.45ට පමණ ප්‍රියන්තගේ සිරුර පාර අසල පුළුස්සා දමා ඇත. මෙම සිදුවීම ආරම්භයේ අදාළ කර්මාන්ත ශාලාවේ ආරක්ෂ අංශ සිටියත් ඊට මැදිහත් වී නැත. පසුව පොලීසිය සිටියත් පිරිස පාලනය කර ගැනීමට නොහැකි නිසා ඊට මැදිහත් වී නැත. අවසානයේ ප්‍රියන්තගේ මළ සිරුර 12.30 පමණ රෝහලට රුගෙන එනවිට කොටස් පමණක් තිබූ බව එම වාර්තාව හරහා හෙළිකර තිබුණි. ප්‍රියන්තගේ ඝාතනයේ සැබෑ කතාව එය විය.
මෙම සිදුවීමත් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත්තත් මෙහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවූණේ නැත. ඒ ඔහු පැනගොස් සිටි නිසාය. එහෙත් අවසානයේ ඔහු පසුගියදා බසයකින් වෙනත් පළාතකට පැන යන අවස්ථාවේ පොලීසිය විසින් කොටු කරගනු ලැබීය. ඔහු නමින් ඉමිතියාස් අලී නොහොත් බිලී නමින් හඳුන්වන අතර ඔහුට එල්ල වී ඇති චෝදනා වන්නේ පිරිස එක්රුස් කිරීම, ඝාතනය කිරීම සහ පුළුස්සා දැමීමය. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමත් සමඟ මේ සිදුවීමට ඍජුවම සම්බන්ධ 26ක් රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
මේ අතර ප්‍රියන්තගේ ශරීරයේ අවශේෂ කොටස් පසුගියදා ශ්‍රී ලංකාවට එවනු ලැබීය. එසේ එවන දිනයට පෙර දින පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් ඇමතුමක් ලබාදී ජනාධිපතිවරයාට සිය කනගාටුවත් දඬුවම් ලබාදීම ගැනත් පොරොන්දු විය. එපමණක් නොව එරට අගමැතිවරයා තීරණය කරනු ලැබුණේ ප්‍රියන්තට ලබාදුන් වැටුප නොනවත්වා ලබාදීමය. එසේම මේ අතර එරට ව්‍යාපාරිකයන් පිරිසක් විසින්ද ඩොලර් ලක්ෂයක මුදලක් ප්‍රියන්තගේ පවුලට ලබාදීමට තීන්දුකර තිබුණි. මේ සියල්ල මැද මෙරට රජයෙන්ද තීරණය කර තිබුණේ ප්‍රියන්තගේ මරණය වෙනුවෙන් ලක්ෂ 25ක මුදලක් ලබාදීමටය.
ප්‍රියන්ත ම්ලේච්ඡයන් පිරිසක් විසින් ඝාතනය කරන විට ඒ අතර දෙවියන් හා සමාන මිනිස්සුද සිට ඇති බව දැනගන්නට හැකිවූයේ පසුවය. ඒ එම කර්මාන්ත ශාලාවේ සිටි සේවකයකු ප්‍රියන්ත වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කිරීම නිසාය. මලික් අද්නන් නැමැති මෙම පුද්ගලයා ප්‍රියන්තව වසාගෙන පා පහරවල් පවා කෑවේය. අත් එකතු කොට වඳිමින් නොමරණා ලෙස ඉල්ලා සිටියේය. එහෙත් තනි ඔහුට කරන්නට හැකිවූණේ එපමණකි. එහෙත් දහසක් මැද හදවතක් ඇති එකෙක් හෝ සිටීම සැනසීමකි. මේ නිසාම ඔහුගේ ක්‍රියාව අගය කරමින් පාකිස්ථානු අග්‍රාමාත්‍යවරයා විසින් එරට සාමාන්‍ය වැසියකුට ලබාදෙන ඉහළම සම්මානය වන %තම්හා ඉ සුජාත්^ සම්මානය ලබාදෙන්නට විය. ඒ ඔහුගේ මනුස්සකමට ඇගයීමක් ලෙසය.
කෙසේ වෙතත් මේ සියල්ල ලියනවිට ප්‍රියන්ත මේ මහපොළොවට එකතු වී ඇත. ප්‍රියන්තලා වැනි දහසක් මේ අන්තවාදය නිසා අදත් හෙටත් මිය යනු ඇත. අන්තවාදය යනු ලෝකයටම ඇතිව ඇති පිළිලයකි. ආගම, ජාතිය, කුලය අල්ලමින් අන්තවාදී වන්නෝ හැම රටකම සිටිති. උන් ලේ උරාබොන පිසාචයන් හා සමානය. මොන මුහුණුවරකින් ආවත් අන්තවාදය අන්තවාදයම මිස ජාති ආලය, ආගමික ආලය වන්නේ නැත. ඒ නිසා අන්තවාදය හිස ඔසවන තැන කෙසේ හෝ පාගා දැමිය යුතුය. එසේ නොවී කෙතරම් කතා තර්ක කළත් වැඩක් නැත.
ගයාන් ගාල්ලගේ