2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

ඇත්තටම ’පොෂ්’ වෙන්න මහ පොළොවේ පය ගහලා ඇවිදින්න...

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 351

වර්තමානය වනවිට බොහෝ දෙනෙක්ට මුල අමතක වන තත්ත්වයක් උද්ගතව පවතින බවක් දකින්නට පුළුවන. තම දෙමාපියන්, තම මව් රට පවා ඇතැම් අයට අමතක වී ඇති බවක් පෙනෙන්නට ඇත. අද වනවිට බොහෝ වැඩිහිටි නිවාස තම දරුවන් නොසලකන දෙමාපියන්ගෙන් පිරී පවතින බවක් වැඩිහිටි නිවාසයකට ගිය විට දකින්නට හැකිය. නිදහස් අධ්‍යාපනයෙන් සියල්ල ඉගෙන සිය මව් රට අමතක කර විදේශගත වන ආකාරයක්ද දකින්නට පුළුවන. මෙයට අපූරු වචනයකුත් භාවිත කරනවා. ඒ කියන්නෙ බුද්ධි ගලනය කියලා. කෙසේ වුවත් කියන්නට තියෙන්නෙ ඔබ කොහේ කොතැනක පැළ වුණත් මුල්වල සුවඳට ආදරේ කරන්න කියලා. ඒක හරි වටිනවා. අපි පුරුදු විය යුතුයි නූතන තාක්ෂණය සමඟ ඉදිරියට ගියත් අපේකම, අපේ දේ අගයන්න. අපේ දේ ලෝකයට දායාද කරන්න.

මාතෘ භූමිය පිළිබඳ හැඟීම, මාතෘ භාෂාව පිළිබඳ හැඟීම වර්තමානයේ නූතන පරම්පරාවෙන් ඈත්වෙමින් පවතිනවා. මාතෘ කියන්නෙ මව් කියන අර්ථයට... අම්මා කියන අර්ථයට... සංස්කෘත භාෂාවේ පාඨයක් තියෙනවා “ජනනී ජන්ම භූමිෂ්ච සර්ගේදපි ගරීයෂී” කියලා. ඒකෙ අදහස වන්නෙ වැදූ මවයි, ජන්ම ලාභය ලද භූමියයි ස්වර්ගයේදි පවා ගෞරවයට පාත්‍ර වන බව. අප සියල්ලටම ඉහළින් මාතෘ භූමියට ආදරය කළ යුතුව පවතිනවා.

ජාතියකට උරුම මව් බස අම්මා කෙනෙක් හා සමාන වටිනාකම උහුලනවා. ඒත් අද අපේ දරුවන් තමන් ජන්ම ලාභය ලද භූමියේ ඉතිහාසය ගැන මොනවද දන්නෙ. සංස්කෘතිය ගැන මොනවද දන්නෙ. අප නූතන තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතුයි. එහෙත් අපේ සම්ප්‍රදාය, සංස්කෘතිය සම්පූර්ණයෙන්ම අමතක නොකළ යුතුයි. අප අලුත් ලොවක් දැකිය යුත්තේ සාම්ප්‍රදාය, සංස්කෘතිය සමඟ ගොස්ය. 

ලොවක් මවිත කළ තාක්ෂණයක් අපේ මුතුන් මිත්තන්ට තිබුණා. ඉතිහාස පුරාවිද්‍යා කැණීම් ඊට සාක්ෂි දරනවා. අතීතයේ සිට අපේ කර්මාන්ත අපිට තිබුණා. ලාට රටේ ඉඳන් විජය එද්දි කුවේණිය හිටියේ කපු කටිමින්. අපේ කර්මාන්ත, දේශීය ආර්ථිකයක්, කලාවක්, තාක්ෂණයක්, ස්තූප ගෘහ නිර්මාණ, ගද්‍ය, පද්‍ය කලාවක් අපිට තිබුණා. විශ්ව සාහිත්‍යයට එක් කළ හැකි ජාතක පොත වැනි සාහිත්‍යමය වස්තුන් අපිට තිබුණා. බෙදාහදා ගැනීම, සහයෝගය, ආදරය වැනි ප්‍රජා මූල සංකල්ප එක්ක හැඩගැසුණු පොළොවේ පය ගහලා ජීවත් වෙන්න උගන්වපු සංස්කෘතියක් අපිට තිබුණා. වෙදකමක්, අංගම්පොර වගේ සටන් කලාවක් අපට තිබුණා.

අතිශය දියුණු කෘෂිකාර්මික දැනුමක් අපට  තිබුණා. අතීතයේදී පෙරදිග ධාන්‍යාගාරය ලෙසින් සම්භාවනවට පාත්‍ර වූයේ මේ මාතෘ භූමියයි. එහෙත් වර්තමානයේ විදේශ රටවලට අතපාලා හිඟාකන්න වෙන තත්ත්වයක් උද්ගත වී තියෙනවා. අපේ පැරුණියෝ කෘෂිකර්මාන්තයට යොමු වුණේ සොබාදහම සමඟමයි. අපේ මුතුන් මිත්තන් බොහෝ ශාකවල වටිනාකම දැනගෙන සිටියා. එනිසා පැරණි මිනිසුන් ඇතැම් ශාක ප්‍රභේද පණ සේ ආරක්ෂා කළා. එසේ ආරක්ෂා කළ ගසක් වශයෙන් මී ගස පෙන්වා දෙන්න පුළුවන්.  කෘෂිකර්මාන්තයට මී ගසෙන් ලැබෙන ප්‍රයෝජන පිළිබඳව සලකා බලා ඔවුන් දිවිහිමියෙන් මී ගස ආරක්ෂා කළා. වර්තමානයේ ළමයෙක්ගෙන් මී ගස ගැන ඇසුවොත් ඒ පිළිබඳ පවසන්නට දැනුමක් නැහැ. මී ගසින් මිනිසාට ප්‍රයෝජන රැසක් ලැබුණා. අද වනවිට ලංකාව තුළ මී ගස් සුලභව දක්නට ලැබෙන්නේ නැහැ. පරිසරය විනාශ කරමින් පවතිනවා නූතන කර්මාන්තවලට මුල්තැන දෙමින්. 

මී ගසෙන් ලැබෙන ප්‍රයෝජන කිහිපයක් පහත සඳහන් පරිදි දක්වන්නට පුළුවන්. මී ගස දවස පුරාම ඔක්සිජන් සපයන ශාකයක් බවට විශ්වාස කෙරෙනවා. එසේම මී ගස වගාවන්ට ස්වභාවිකම පොහොර ලබා දෙනවා. මී ගස කියන්නෙ ස්වභාවිකව පළිබෝධකයන් පාලනය කිරීමට සහාය වන ශාකයක්. එසේම විවිධ ආහාර වර්ග සැකසීමට මී ගසේ ඇතැම් කොටස් භාවිත කරනවා. ආයුර්වේද වෙදකම සහ හෙළ වෙදකමට ඇති ප්‍රයෝජන රාශියක් මී ගස තුළ තියෙනවා. හෙළ වෙදකමේ දී සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී කරන ඇතැම් ප්‍රතිකාර සඳහා මී ශාකයේ විවිධ කොටස් යොදාගනු ලබනවා. මී ගසේ මල්, කොළ, පොතු, මුල්, ඇට ආදී සියලු කොටස් බෙහෙත් සෑදීම සඳහා භාවිත කරනවා.

අද අපේ පොළොවේ උපන් ඇතැම් ශාක අපිට අයිති නැහැ. වර්තමානය වනවිට අපේ ආයුර්වේද වට්ටෝරු අපිට අහිමිව ගොසින් තියෙනවා. ඇතැම් රටවල් අපේ සාරය හූරාගෙන ගිහින් ඒවා ඒ අයගේ දේවල් ලෙස ප්‍රතිනිර්මාණය කර අපිටම එවනවා. ඒ වගේම ඇතැම් බහුජාතික සමාගම් අපේ පොළොවේ හැදුණු අපේ දේවල් නැත්තටම නැති කරලා දැම්මා. මේ සඳහා හොඳම උදාහරණයක් වශයෙන් පෙන්වා දෙන්න පුළුවන් බිබිලෙ දොඩම්. වර්තමානයේ ලංකාවේ ජනප්‍රිය වී ඇත්තේ බිබිලෙ දොඩම් නොව විදේශයන්ගෙන් ආනයනය කරන ලද දොඩම්ය. අතිශය රස ගස්ලබු අපට තිබුණා. දැන් අප අතර ජනප්‍රිය වෙලා තියෙන්නෙ කිසිදු රසයක් නැති මැලේසියන් ගස්ලබුය. ඇයි එහෙම වුණේ? අපි අපේ මුල්වල සුවඳ, වටිනාකම, හදගැස්ම තේරුම් ගත්තෙ නැති නිසයි එහෙම වුණේ. 

පොශ් කියන්නෙ ධනවාදයේ පරමාදර්ශ එක්ක ජීවත්වෙන එකට නෙවෙයි. ස්වභාවධර්මයේ රිද්මය එක්ක, යථාර්ථය එක්ක ජීවත්වෙන එකට. මුල් මරා නොගෙන පැළවෙන එකට. උරුමයට ආදරය කරන එකට. ඔබ ජීවත්වෙන ෆැන්ටසියෙන් එළියට එන්න. අද අපි ඉන්නෙ කොතැනද? අපි අහිමි කරගෙන තියෙන්නේ මොනවද? ඇයි එහෙම වුණේ. අපි වෙනස් වෙන්න ඕනෑ කොහොමද? අපි අපිට ආදරය කරන හෙටක් නිර්මාණය කරගන්නෙ කොහොමද? නිවට නියාලු බොළඳ ගැහැනුන් හෝ පිරිමින් නොවී ඍජු කශේරුකාවක් ඇති නිදහස් චින්තනයක් අවබෝධයක් ඇති මිනිස්සු වෙන්නෙ කොහොමද? ඒ ප්‍රශ්නවලට අපි උත්තර හොයමු.

මහා වැස්සකට, මහා හුළඟකට, චණ්ඩ මාරුතයකට නොසෙල්විය හැකි වනස්පතියක්, මහ ගහක් සතු ශක්තිය මොකක් කියලද හිතෙන්නෙ. ඒකට හේතුව තමයි ඒ මුල්වල හයිය. මහත්මා ගාන්ධිතුමා ඉන්දීය නිදහස් අරගලයෙදී කීවේ ඕනෑම සුළඟකට හමා එනු පිණිස දොර කවුළු හැර තබන්න. එහෙත් ඒ සුළඟින් ඇද නොවැටෙන්න තරම් ඔබ ශක්තිමත් වෙන්න කියලා. 

ඇයි මෙහෙම වුණේ? අද අපි ජීවත් වෙන්නෙ ගෝලීය සමාජයක් ඇතුළේ. සංක්‍රාන්තික යුගයක අපි ඉන්නෙ. ධනේශ්වර යුගයෙන් ජාලතන්ත්‍රවාදී යුගයකට ඇවිත් නැත්නම් තොරතුරු හා තාක්ෂණය මගින් බලගැන්වුණු ලෝකයක අද අපි ජීවත් වෙන්නෙ. 

අන්සතුකරණය, තමන්ට තමන් අහිමි වී යාම, මහා කටුක විදිහට දුක් විඳින තෙතක් නැති සමාජයක අපි අපේ ජීවිත හොයන්නෙ. මේ සමාජයේ හුඟාක් දෙනෙක් මේ ඇත්ත අත්විඳිනවා. වර්තමානයේ ලංකාවේ මිනිසුන් පරාරෝපණය වෙලා ඉන්නෙ. වර්තමානෙ මිනිසුන්ට තියෙනවා තමාව අතහැර දමා ඇති බවට හැඟීමක්. තමා ජීවත් වන පරිසරයට සාපේක්ෂව තමා පිළිබඳ අවබෝධයක් මිනිසුන්ට නැහැ. මෙය දර්ශනය, මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව යන විෂයන් තුළ අවධානයට ලක් වූ සංකල්පයක්. 

දර්ශනයෙදි පරාරෝපණය යන්නෙන් අදහස් කරන්නේ තමාට තමාවත් නැත කියන හැඟීම. තමා වටා සිටින මිනිසුන් සමඟ සම්බන්ධයක් නැති බවට සහ තමා කිසිම කණ්ඩායමක කොටසක් නොවන බවට ඇති හැඟීම පරාරෝපණය යන්නෙන් අදහස් කරනවා. මනෝවිද්‍යාවෙදි පරාරෝපණය කියලා කියන්නෙ තමාගේ සමාජ කණ්ඩායම්වලදි, තමාට කෙතරම් හොඳට දැනෙනවද? නොදැනෙනවද? කියන එක. පාසලේදි, විශ්වවිද්‍යාලයෙදි, සේවා ස්ථානයෙදි ඔබට දැනුණු හැඟීම් මේ දවස්වල ඇතිවෙන්නෙ නැහැ නේද? හේතුව තමයි ඔබ පරාරෝපණය වීම. නූතන සමාජය තුළ හුදෙකලා වීම. 

සමාජ විද්‍යාවෙදි සමාජ පරාරෝපණය කියලා කියන්නෙ වඩාත් සංකීර්ණ සංකල්පයක්. මින් අදහස් කරන්නෙ පුද්ගලයන් අතර හෝ පුද්ගල කණ්ඩායම් අතර දුරස්ථභාවය සහ හුදෙකලාභාවය. එහිදී පරාරෝපණය කියලා අදහස් කරන්නෙ මිනිසුන් තමන්ගේ සමාජයට සාපේක්ෂව තමන්ව අවබෝධ කරගන්නා ආකාරය. මිනිසුන් වැඩ කරන විට, රැකියාවක් කරන විට තමා තමා පිළිබඳව සිතන ආකාරය. කාල් මාක්ස් මේ පිළිබඳව රචනා කොට තියෙනවා. සමාජ විද්‍යාවට අනුව මෙම පරාරෝපණ තත්ත්වය ඇතිවන්නේ පුද්ගලයන් අකමැති රැකියාවන්හි නිරත වන විට. මිනිසුන් සල්ලි පස්සෙ දුවමින් යාන්ත්‍රික වෙලා හිටියෙ. එහෙම ඉඳලා සමාජයෙන් වෙන් වුණාම පරාරෝපණයට පත් වෙනවා. 

වෙදකමෙහි දක්ෂ වෙදැදුරාණන් රෝග නිධානය හොයා යනවා වගේ ඇයි මෙහෙම වුණේ කියලා ගැඹුරින් සිතිය යුතුයි. අපේ සංස්කෘතිය තුළ තිබුණු පරමාදර්ශ, ඇගයුම්, වටිනාකම් හොරකම් කළේ කවුද කියලා සිතිය යුතුයි. ‍අපට හිමිව තිබූ ඇතැම් වටිනාකම්, වටිනා සම්පත් නැත්තටම නැති කළේ කවුද කියලා සිතිය යුතුයි. අපිට අහිමි වූ දෙය නැවත ඇති කිරීමට වගබලා ගත යුතුයි.