2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

සිමෙන්ති මිල පාලනය කරන්න බැරි ඇයි?

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 61

ලංකාවේ ආර්ථිකය ගැන දැන් දැන් වටෙන් පිටෙන් පමණක් නොව ආණ්ඩුවෙන් පවා එන ප්‍රතිචාර හොඳ නැත. සමහරු කියන්නෙ ලබන ජනවාරියෙන් පසුව ආර්ථිකය කඩා වැටෙන බවය. තවත් සමහරු කියන්නේ තව සති දෙකකින් රටේ ආර්ථිකය කඩා වැටෙන බවය. මේ සියල්ල වටෙන් ගොඩෙන් එහෙන් මෙහෙන් ඇහෙන කතාය. හැමවිටම ඇත්ත බොරු වන්නේවත් බොරු ඇත්ත වන්නේවත් නැත. එහෙත් ඇත්ත ඇති සැටියෙන් පෙන්වීම තුළ ඇති විය හැකි අවධානය කොපමණද යන්න කෙනෙකුගේ ඔලුවේ මවාගත හැක.

මේ කියන්නට යන්නේ මෙරට හැමෝටම බලපාන විෂය ක්ෂේත්‍රයක් ගැනය. ඒ ඉදිරි කිරීමේ ක්ෂේත්‍රය ගැනය. මේ වනවිට බරපතළ අර්බුදයකට ලක්වී සිටින ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බොහෝ දෙනා තමන්ගේ දුක්ගැනවිලි දිනපතාම පාහේ ආණ්ඩුවට ඉදිරිපත් කළත් ආණ්ඩුවටද ඒ සඳහා නිවැරදි නිශ්චිත පිළිතුරක් තවම ලබාදීමට හැකි වී නැත. ඒ සම්බන්ධයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බොහෝදෙනා ඉන්නෙ කනස්සල්ලෙනි.

ඇත්‍තටම අපි ආණ්ඩුවේ විශාල ව්‍යාපෘති බාරව කටයුතු කරනවා. ඒ ව්‍යාපෘතිවලට සාමාන්‍යයෙන් අපි ගිවිසුම් ගතවෙන්නේ අවුරුදු දෙකකට වගේ. දැන් අපි ගිය අවුරුද්දේ ගිවිසුම් ගතවුණ මුදල් ප්‍රමාණයයි, අද වර්තමානයේ බඩුවල මිල ගණන් වැඩිවීමත්, ආනයනය කිරීම් සීමාවීමත් නිසා විශාල පිරිවැයක් දරන්න වෙලා තියෙන්නේ. අපි මේ ගැන කිව්වා ආණ්ඩුවට. ඒ අනුව තමයි මේ පාර අයවැයට අමතරව මිලියන 20,000ක් වැඩිපුර අපිට වෙන් කළේ යැයි ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසීය

රජයේ දැනට ක්‍රියාත්මක වන මහා පරිමාණ ව්‍යාපෘති මොනවාද යන්න අපි මෙහිදී ඒ මහතාගෙන් විමසීමක් කළෙමු.

&ඇත්තටම 2024 දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට ප්‍රධාන ව්‍යාපෘති පහක් ජනතා අයිතියට පත්කරන්න ඕන. පෑලියගොඩ අතුරුගිරිය මාර්ගය, පානදුර දක්වා දිවෙන මුහුදුබඩ මාර්ගය, කුරුණෑගල දඹුල්ල මාර්ගය, මහනුවර මාර්ගය සහ වරාය පිවිසුම. මේ සියල්ල නියමිත කාලයේ දෙන්න පුළුවන් වෙයිද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. හේතුව අවශ්‍ය අමුද්‍රව්‍ය, අවශ්‍ය මුදල් වෙලාවට හම්බවෙනකල් හරියටම කියන්න බෑ අපිට කරන්න පුළුවන් වෙයිද කියලා.

දැන් මේ අවුරුද්දේ පාරවල් ලක්ෂයේ ව්‍යාපෘතියෙන් 18,000යි අවසන් වෙලා තියෙන්නේ. ඒ වගේම 10,000ක බෝක්කු පාලම් සංවර්ධනයෙන් 2024යි ඉවර කරලා තියෙන්නේ. ඒකට හේතුව මේ හදිසියේ ඇතිවුණු කෝවිඩ් තත්ත්වයත් එක්ක රට වැහුවා. සේවකයෝ ගමේ ගියා වගේ ප්‍රශ්න. ඒත් දැන් වෙද්දී තියෙන්නේ භාණ්ඩවල මිලගණන්.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බොහෝදෙනාට මේ වනවිට ඇතිව තිබෙන ලොකුම ප්‍රශ්නය වී ඇත්තේ සිමෙන්තිවල මිල ගණන්ය. රුපියල් 1000 තිබූ සිමෙන්ති කොට්ටය අද වනවිට විවිධ ගණන්ය. මේ සම්බන්ධයෙන්ද අපි සුසන්ත ලියනාරච්චි මහතාගෙන් විමසීමක් කළෙමු.

1000ට තිබ්බ සිමෙන්ති කොට්ටය දැන් 1600-1800යි. පිටරටින් ගෙනැල්ලා ගහන සිමෙන්ති කොට්ටය 1400ට දෙන්න පුළුවන්. ඒත් දෙන්නේ 1800 වගේ ඉතාම වැඩි මිලට. මේවා දරන්න බෑ. මේවා බලධාරීන් බලන්න ඕන. පාරිභෝගික අධිකාරිය තියෙනවා. ඇමතිවරු ඉන්නවා. අඩුම ගානේ මේවට මැදිහත් වෙන්න ඕන. ඇයි මේවා පාලනය කරන්න බැරි කාටවත්. නිලධාරීන්ට කිසිම වුවමනාවක් නෑ. කොහොම වුණත් ලබන අවුරුද්දේ ලංකාවේ ජනතාවගේ පරිභෝජනයට ඕන සිමෙන්ති මෙට්‍රික් ටොන් මිලියන 9යි. ඒක පිටරටින් ගේන්න ඕන නෑ. මේ රටේ ආයතන තුනකින් ඒක පිරිමහගන්න පුළුවන්. තවත් පිටරටින් සිමෙන්ති ගේන්න ගියොත් වෙන්නේ වැඩිමිලට සිමෙන්ති ගන්න වෙන එක. ඒ නිසා සිමෙන්තිවල මිල හරි මොකේ හරි රටේ දේශපාලන අධිකාරියෙන් හරි බලධාරීන් හරි මැදිහත්වෙලා විසඳන්න ඕන. එහෙම නැතුව සමාගම්වලට මේක විසඳන්න දුන්නොත් විනාසයි.

මෙවැනි ගැටලු සඳහා පිළියමක් නැද්ද? පිළියමක් තිබුණත් ඉටුකරන්න බැරිද? කොතැනක හෝ බාධාවක් තිබේද? යන්න ඕනෑම අයකුට ඇතිවන ගැටලුවකි.

ඇත්තටම මේ හැමදේටම බලය තියෙන නිලධාරීන් වගකියන්න ඕන. ඒ අය සමහර තීන්දු තීරණ ගන්නේ කිසිම දැනුමකින් නෙමෙයි. නුසුදුසු අය ඒ තැන්වලට ආපුවම රජයක් වුණත් අපහසුතාවයට ලක්වෙන්න වැඩිකල් යන්නේ නෑ. මම මේ ගැන රජයේ ඉහළ පෙළටම කිව්වා. මොකද ඇතැම් නිලධාරීන් වැඩකරන්නේ ඉතාම මන්දගාමීව. සමහර තීන්දු ගන්නේ වෙනස් කරන්න. මෙහෙම කරපුවම සමස්ත රටම අමාරුවේ වැටෙනවා. ඒ නිසා ඉක්මනින් අපේ ක්ෂේත්‍රයේ ප්‍රශ්න අපි විසඳගන්න ඕන. මේ වෙනකොට ආණ්ඩුව රජයේ අලුතින් ගොඩනැගිලි ඉදිකිරීම් නවත්තල තියෙනවා. ඒත් මේ තියෙන ටිකවත් කරගන්න බෑ. අපිට ඕන දේවල් ගෙන්න ගන්න ඩොලර් නෑ. මේ සියල්ල අපි දරාගෙන වැඩ කරන්නේ. ඒ නිසා අපි රජයෙන් ඉල්ලන්නේ ඉක්මනින් මේ ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න කියලා. එහෙම නැතිවුණොත් විශාල අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා යැයිද ඒ මහතා කීය.

කෙසේ වෙතත් ඉදිකිරීම් ක්ෂේත්‍රය පමණක් නොව වර්තමාන ආර්ථිකය හමුවේ සියලු කර්මාන්ත අඩපණ වී ගොස් ඇත. සියලුම ක්ෂේත්‍රවල අනාගතය ඇත්තේ අවදානමකය. රටේ ආර්ථිකයට සහාය දෙන සියලුම අංශ අඩපණ වීම තුළ ආර්ථික යන්ත්‍රය ඉක්මනින් කඩා බිඳවැටීම පුදුමයක් විය යුතු නැත.

 ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05