2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

මෝනිං සයිඩ් මධුසමයට පැමිණි වැහිලිහිණි ජෝඩුව

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 170

පසුගිය අප්‍රේල් මාසයේදී ශ‍්‍රී ලංකාවෙන් රුසියාව බලා ගමන් අරඹා, මාස 06කුත් දින 09කට පසු කිලෝමීටර් 20,000ක සමස්ත දුරක් ගෙවා නැවත ශ‍්‍රී ලංකාවට පැමිණි මැණිකේ නම් මුහුදු කිරිල්ලියක් ගැන වාර්තා වුණේ සති දෙකකට පෙරය. මැණිකේ නම ලබාදුන් මේ සංචාරක හෙවත් පර්යටනික පක්ෂි කිරිල්ලිය ශ‍්‍රී ලංකාවෙන් පිටත්ව උතුරු රුසියාව බලා යනවිට ශ‍්‍රී ලාංකික පක්ෂි විද්‍යාඥයන් පිරිසක් විසින් පක්ෂියාගේ කර මත සවිකළ කුඩා චන්ද්‍රිකා තාක්ෂණික උපකරණයක්ද තිබුණි. පසුගිය අප්‍රේල් මාසයේදී ලංකාවෙන් පිටත්ව පියාසැරිය ආරම්භ කළ කිරිල්ලිය උතුරු පක්ෂි පර්යටනික මඟ ඔස්සේ තම නිජබිම වන සීත කලාපයේ ආක්ටික් ප‍්‍රදේශයට පියඹා ගොස් තිබේ. ඉන්පසුව යළිත් සිසිර සෘතුව ගතකරන්නට ශ‍්‍රී ලංකා මුහුදු කලාපයට පැමිණ ඇත්තේ පසුගියදාය. 

ඒ අතර ශ්‍රී ලංකාවෙන් කිසිදින දැක නොමැති සංචාරක පක්ෂි ආගන්තුකයන් යුවළක් ගැන සොබා රසිකයන්ට සතුටුදායක පුවතක් පසුගියදා වාර්තා විය. එහි විශේෂත්වය නම් මේ පක්ෂින් වාර්තා වුණේ සංචාරක පක්ෂින් බහුලව හමුවෙන උතුරු හෝ දකුණු මුහුදුබඩ කලාපයෙන් නොව රට තුළ සබරගමු කඳුවලට අයත් නිවර්තන වැසි වනාන්තර කලාපයක් වන සිංහරාජයේ මෝනිං සයිඩ් ප්‍රදේශයෙන් වීමයි. මෝනිං සයිඩ් පිහිටා තිබෙන්නේ සිංහරාජ නිවර්තන වනාන්තරයට යාබදව රක්වාන සූරියකන්දට නුදුරුවය. එම පෙදෙසට යාමට නිසි මාර්ග පහසුකම් නැති නිසා සංචාරකයන් යන්නේද කලාතුරකිනි. මේ නිසා නිහඬ බව ප්‍රියකරන පක්ෂින්ට නම් මෝනිං සයිඩ් තෝතැන්නකි. 

මෙම පක්ෂි විශේෂය සත්ව විද්‍යාත්මකව Delichon dasypus ලෙස හඳුන්වන කුඩා වැහිලිහිණි විශේෂයකි. Asian House Martin නමින් උන් සාමාන්‍යයෙන් හැඳින්වේ. අපට ආගන්තුක නිසා තවම ඌට සිංහල නමක් නම් නැත. ඒෂියන් හවුස් මාර්ටින්ලා ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය බැවින් එය සත්ව විද්‍යාත්මකව වැදගත් අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය. සමහරවිට ඔවුන් මව්බිමට ගොස් ලංකාව ජීවත්වීමට හොඳ තැනක් කියා කටකතා පතුරුවා ලබන පක්ෂි පර්යටනික සමයට තවත් මාර්ටින්ලා කැඳවාගෙන ඒමටත් ඉඩ තිබේ. 

මෙම පක්ෂියා හමුව තිබෙන්නේ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය කළ ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙසිනි. එම සංගමය විසින් මෝනිං සයිඩ් ප්‍රදේශයේ පවත්වාගෙන යන ජෛව විවිධත්ව පර් යේෂණ සහ කාලගුණ දත්ත නිරීක්ෂණ මධ්‍යස්ථානයේ පර්  යේෂකයන්ට පසුගිය 5දා මෙම පක්ෂීන් නිරීක්ෂණය වී තිබේ. දීප්තිමත් කළු නිල් පැහැති පියාපත් සහ සිරුරේ පිට පැත්තේ සුදු පැහැයට හුරු අළු පැහැති ආකාරයක් දිස්වේ. පියාසලන විට සිරුරේ යටි පැත්ත සුදු පැහැයෙන් දැකගත හැකිය. මේ ලක්ෂණ නිසා මාර්ටින් පක්ෂියා පහසුවෙන් හඳුනාගත හැකිව තිබේ.

පක්ෂි විද්‍යාඥයන් ලංකාව හඳුන්වන්නේ බඩගිනිකාරයන්ගේ ගමනාන්තය ලෙසයි. අප රටේ භූ විෂමතාව හා විවිධත්වයෙන් යුත් ආරක්ෂිත පරිසර පද්ධතීන් මේ සංචාරක කුරුල්ලන්ට හොඳින් සතුටින් සීත කාලය ගෙවා දැමීමට අවස්ථාව උදා කර දේ. එය එක් අතකින් පක්ෂි මධුසමයක්ද වේ. මන්නාරම - වන්කාලෙයි අභය භූමිය, බූන්දල වනෝද්‍යානය, මාදු ගඟ ආශ්‍රිත අභයභුමිය, ආනවිලුන්දාව අභය භූමිය, කුමන ජාතික වනෝද්‍යානය, විල්පත්තු ජාතික වනෝද්‍යානය ආදී රම්සා තෙත්බිම් මුහුදු ලිහිණින් විශාල වශයෙන් සංක්‍රමණය වන ස්ථාන වේ. රට තුළ වැසි වනාන්තර ආශ්‍රිතව සංචාරක පක්ෂින් එතරම් සුලබ නොවේ. අවිච්චියා, සිවුරු හොරා වැනි ඉන්දියාවේ සිට පැමිණෙන පක්ෂින් තෙත් කලාපයෙන් වාර්තාවේ.

මාර්ටින් පක්ෂියා පළමුවරට පක්ෂි වාර්තා අතරට යන්නේ වර්ෂ 1850 දීය. එම වර්ෂයේ ප්‍රංශ පක්ෂි විද්‍යාඥයකු වූ චාල්ස් බොනපාට් විසින් මෙම පක්ෂියා මුල්වරට හඳුනාගෙන විද්‍යාත්මක නාමකරණය සිදුකර තිබේ. ටික කලකට පසුව බ්‍රිතාන්‍ය පක්ෂි විද්‍යඥ තෝමස් හෝර්ස්ෆීල්ඩ් උන්ට ඩෙලිකොන් ඩැසිපුස් යන සත්ව විද්‍යාත්මක නාමය ලබාදී තිබේ.  ඩෙලිකොන් යන ග්‍රීක වචනයේ අරුත ගිලිනවා යන්න වන අතර ඩෙසිපුස් යන වචනයේ අරුත රළු පාද යන්නයි. දකුණු දිග ජපානය, අග්නිදිග රුසියාව, මොංගෝලියාව, කොරියානු අර්ධද්වීපය යන රටවල්වල මේ පක්ෂියා අභිජනනය කරන බව හෙළිව තිබේ. දකුණු ආසියාවේ නැගෙනහිර ප්‍රදේශවල, නේපාලය, භූතානය, බංග්ලාදේශය සහ ඉන්දුනීසියාවේද උන් නේවාසිකව සිටින බව වාර්තා වී ඇත. අප රටට මේ පක්ෂි යුවළ පැමිණෙන්නට ඇත්තේ ඉන්දියානු අර්ධද්වීපයට ආසන්න රටකින් වීමට ඇති ඉඩකඩ වැඩිය. ඒ ගැන තවමත් පක්ෂි විද්‍යාඥයෝ අධ්‍යයනය කරමින් සිටිති.

මේ කුරුල්ලාට ඥාතිකමක් දක්වන ඩෙලිකොන් ගණයට අයත් පක්ෂි විශේෂයක් නේපාලයේ වෙසෙන අතර උන් හඳුන්වන්නේ නේපාල හවුස් මාර්ටින් ලෙසිනි. ඒෂියන් හවුස් මාර්ටින්ලා සෙ.මී. 12ක් දක්වා දිගට වර්ධනය වේ. කඳුකර දේශගුණය ප්‍රියකරන මේ පක්ෂියා මුහුදු මට්ටමේ සිට මීටර 2400- 4000 දක්වා උස් භූමිවල ජීවත් වේ. නිම්න භූමි, මුහුදුබඩ පර්වත කූට, ස්වභාවික ලෙන් ආදියට උන් කැමතිය. එහෙත් උන් පැමිණි අප රටේ මෝනිං සයිඩ් ප්‍රදේශය නම් එතරම් ඉහළ උසකින් යුත් තැනක් නොවේ. එය මුහුදු මට්ටමේ සිට මීටර 450 සිට 1000 දක්වා උස් පෙදෙසකි.

සංචාරක කුරුල්ලන්ගේ අභිජනනය සමකයෙන් ඉහළ කලාපවලවල හෝ ආක්ටික් හිමාල කලාපවල බහුලව සිදුවන බව හෙළිව තිබේ. තවත් පක්ෂි කාණ්ඩයක් මැදපෙරදිග ඉරාන කාන්තාරවල බිත්තර දමන උණුසුම ප්‍රිය කරන කුරුල්ලෝ වෙති. උන් මාස හයක් එම ප්‍රදේශවල වෙසේ. මාස හයක් මෙහි ගතකර බිත්තර දැමීමට මව් රටවල් බලා පියාසර කරති. අහිතකර ශීත කාලයෙන් බේරී සෞම්‍ය දේශගුණය සොයා සැතපුම් දහස් ගණනක් ගෙවා එන ලක්ෂ ගණනක් සංචාරක පක්ෂීන් අගොස්තු සිට මාර්තු දක්වා කාලයේ ලංකාවට රංචු පිටින් පැමිණෙති. උන් තමන් මීට පෙර පැමිණි ස්ථානයටම ඒමට තරම් ඉවකින් සහ මතකයකින් සිටින බව මැණිකේ ලිහිණියාගේ කතාවෙන් පෙනේ.

ලංකාවේ කුරුල්ලන් විශේෂ 503ක් දිවි ගෙවන බව හෙළිව ඇති අතර ඉන් විශේෂ 200කට අධික සංඛ්‍යාවක්‌ සංචාරක පක්‌ෂීහු වෙති. එම පක්ෂින් අප රටේ ගතකරන්නේ මාස හයක් වැනි කාලයකි. නමුත් උන් අපගේ ජෛව විවිධත්වය ඉහළ නැංවීමට විශාල දායකත්වයක් ලබාදේ.

සංචාරක කුරුල්ලන් ලොවපුරා සංක්‍රමණය සිදු වන්නේ උත්තර අර්ධ ගෝලයේ පිහිටි පක්‌ෂි සංක්‍රමණ මාර්ග 4ක්‌ භාවිත කරමිනි. මධ්‍යම ආසියා-ඉන්දීය පක්‌ෂි සංක්‍රමණ මාර්ගය, පෙරදිග ආසියානු-ඕස්‌ට්‍රේලියානු පක්‌ෂි සංක්‍රමණ මාර්ගය, යුරේසියා- නැගෙනහිර අප්‍රිකා සංක්‍රමණ මාර්ගය සහ බටහිර පැසිෆික්‌ පක්‌ෂි සංක්‍රමණ මාර්ගය ලෙස ඒවා හැඳින්වේ. මේ අතුරින් ශ්‍රී ලංකාවට වැඩිපුර පක්‌ෂීන් සංක්‍රමණය වන්නේ උත්තර අර්ධ ගෝලයේ සිට මධ්‍යම ආසියා-ඉන්දීය පක්‌ෂි සංක්‍රමණ මාර්ගය ඔස්‌සේ බව හෙළිව තිබේ. මෙම ගමන් මාර්ගය අවසාන වන්නේ ශ්‍රී ලංකා දූපතෙනි. ලංකාවට විදෙස් සංචාරකයන් ගෙන්වා ගැනීමට උත්සාහ කරන මේ සමයේ ලංකාවට පක්ෂි සංචාරකයන් ගෙන්වා ගැනීම ගැනත් අවධානය යොමුකිරීම හොඳය. ඒ සඳහා කළ යුත්තේ ඉවක් බවක් නැතිව පරිසර පද්ධති වැනසීමට තිත තැබීමයි.

 කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ අන්තර්ජාලයෙනි