දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක් වී මොලොව උපත ලැබීම නත්තල ලෙසින් කිතුණු බැතිමතුන් විශ්වාස කරනවා. ඒක කිතුණු බැතිමතුන්ට සුභ ආරංචියක්. මෙසායා නැතහොත් තෝරාගත් තැනැත්තා යන නමින් හැඳින්වෙන ජේසුස් වහන්සේ, මරියා නැමැති කන්‍යාවගෙන් උපත ලැබූ බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ අනුව ජේසුස් වහන්සේ හෙවත් ක්‍රිස්තුන් වහන්සේ බෙත්ලෙහෙම් නුවරදී මරියතුමියට සහ සුරුකි පියා වන ජුසේතුමාට ඉපැදුණු බව සඳහන් වෙනවා.
ජේසු නිකායේ තුෂාර සම්පත් පියතුමන් දේශයට එසේ පැවසීය.
ලොවේ සෑම කිතුණු බැතිමතෙක්ම දෙසැම්බර් 25 වැනිදා මෙම අසිරිමත් උපත සමරති. ජේසුගේ උපත සිදුවෙද්දී මරියතුමියට ඉන්නට තැනක් නොතිබුණි. ඇයට බෙත්ලෙහෙම් නුවරට යන්නට සිදුවුණි. ඒ යන අතරමගදී මරියාතුමියට ජේසු බිළින්ඳාට උප්පත්තිය ලබාදීමට සුදුසු කාලය සම්පූර්ණ විය. ඒ අනුව මරිය තුමිය අසල තිබූ ගව ලෙනෙක (Stable) ජේසු බිළින්දාට උපත ලබාදීම සිදු කළාය. මරියතුමිය ජේසු ප්‍රසූත කරන ලද්දේ ගවලෙනේ තිබූ ගව ඔරුවක (Manger)ය. ඒ අනුව දෙවියන් වහන්සේ මෙලොවට බිහිවුණේ දිළිඳු කෙනකු ලෙසිනි. මනුෂ්‍යයෙක් ලෙසින් උප්පත්තිය ලද ජේසු දරුවාට ඉපදෙන්නට තැනක් නොතිබුණි. නෑදෑයෙක් සිටියේ නැත. ඔහුට මව සහ සුරුකි පියා පමණක් සිටියේය.
අතීතයේදී ජේසු උපත සමරද්දී අධ්‍යාත්මික සූදානම තිබුණි. සෑම කිතුණු නිවසකම කුඩා හෝ ගවලෙනෙක අනුරුවක් නිර්මාණය කෙරිණි. මේ සෑම කටයුත්තකදීම නිවසේ සෑම කෙනෙකුගේම සහයෝගය උපරිමයෙන් ලැබුණු අතර නත්තල් දිනට සති කිහිපයකට පෙර සිටම මේ සඳහා නිවැසියෝ සූදානම් වූහ.
ගවලෙන, නත්තල් ගස, සැරසිලි කරන ලද්දේද සහයෝගයෙනි. ඒ සඳහා අද තරම් විශාල මුදලක් වැය නොවුවද ආදරය, සෙනෙහස, එකමුතුකම අපූරුවට තිබුණි. නත්තල් දිනට කිතුණු බැතිමතුන්ගේ සියලු නෑයෝ එකතු වෙති. සෑම කිතුණු බැතිමතෙක්ම දෙසැම්බර් 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ හෝ දෙසැම්බර් 25 වැනිදා උදෑසන දේවස්ථානයේදී පැවැත්වෙන නත්තල් දේව පූජාවට අනිවාර්යයෙන්ම සහභාගි වෙති. කළ පව් නැති කරගන්නට, දෙවියන් වහන්සේගේ ආශීර්වාද ලබා ගැනීම ඔවුහු මෙලෙසින් සිදුකරති. පවුලක විසිරී සිටින සාමාජිකයන් එක තැනකට එක්රුස් වී &සුබ නත්තලක් වේවා* පැතීම මගින් තිබුණ නෝක්කාඩුකම්, තරහවීම්, අමතක කොට අලුත් මිනිසුන් වන්නට හොඳ අවස්ථාවක් ලෙස නත්තල් දිනය හැඳින්විය හැකිය.
වටිනාකම් වැඩිවුණ දිනයක් ලෙසින් නත්තල හඳුන්වන්නට පුළුවන්. සමාව දීම, පිළිගැනීම, ආදරය දීම, නත්තල හා බැඳුණු අපූරු සිදුවීම්. ඒ කාලයේදී නත්තලට මිල අධික නැතත් පුංචි හෝ තෑග්ගක් ලබාදීමෙන් කෙනකුගේ හිත සතුටු කළා. තිබෙන දේ නැති මිනිසුන් සමඟ බෙදාගත්තා. එයයි ජේසුගේ උපතේ වටිනාකම වන්නේ. නමුත් අද පවතින්නේ එදා තිබුණ නත්තලට වඩා විශාල වෙනස් නත්තල් සැමරීමක්. වර්තමානයේදී නත්තල් දා දේවස්ථානයට යන්නට ඉතා ඉහළ මිලකට ඇඳුම් තෝරාගන්නා සමාජයක් තියෙන්නේ. ආර්ථිකමය වශයෙන් දෙමව්පියන්ට, තරුණ තරුණියන්ට ඒක ලොකු පීඩනයක්. මම දන්නා පවුල් කිහිපයක්ම නත්තල් පූජාවට සහභාගි වෙන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව වන්නේ පූජාවට අඳින්නට ඇඳුම් නොමැතිකමයි. නත්තල් දිනය සමහරුන් අද විලාසිතාවක් කරගෙනයි ඉන්නේ.* යැයි තුෂාර සම්පත් පියතුමන් වැඩිදුරටත් පැවසීය.
දෙසැම්බර් 25 වැනිදාට බොහෝ කිතුණු බැතිමත්හු පූජාව සඳහා නවීන විලාසිතාවන්වලින් යුත් ඇඳුමෙන්, ආභරණවලින්, සැරසී දේවස්ථානවලට යති. තමන් අයත් මීසමේ ඇති පල්ලියේ පූජාවට සහභාගිවීම සාමාන්‍ය දෙයකි. නමුත් ඇතැමුන් වෙනත් මීසම්වල ඇති දේවස්ථානවල පැවැත්වෙන පූජාවන්වලට සහභාගි වන්නේ අනෙකා හඳුනාගනීවි යැයි ඇති ලැජ්ජාව නිසාවෙනි. මේ නිසාම ආර්ථිකයත් සමඟ නත්තල් දිනයට පූජාවට සහභාගිවීම ඇතැමුන්ට විශාල පීඩනයක් යැයි සිතති. එයට හේතුව වන්නේ දේවස්ථානවලට සහභාගි වන අනෙකාගේ ඇඳුම් විලාසිතා සමඟ තමන්ගේ ඇඳුම නොගැලපේවි යැයි සිතන සිතුවිලිය. නමුත් නත්තල යනු එකිනෙකා අතර ඇති බැඳීමකි. අනෙකාට උදව් කරලීමයි. සැබෑ නත්තල පවතින්නේ අඳින ඇඳුමේවත්, පළඳින ආභරණවලදීවත්, ආහාරයට ගන්නා කෑමබීමවලවත් නොවේ. සැබෑ නත්තල ඇත්තේ තමන්ගේ සිත තුළය.
අද රටේ පවතින ප්‍රශ්නත් එක්ක සමහරුන්ට නත්තල සමරන්නට දේවස්ථානයට යන්න විවේකයක් නැති තරම්. ඇතැම් කිතුණුවන් විසිහතර වෙනිදාත්, විසිපස් වෙනිදාත් තම රාජකාරිවල නිරත වෙනවා. මේ නිසා &නත්තල් දිනය* ඇතැමුන්ට සාමාන්‍ය දිනයක් වෙනවා. ඒ නිසාම නත්තල් දිනයට දරුවන් එක්ව දේවස්ථානවලට නොයන අය රාත්‍රී කාලයේදී යාළුවන් එක්ක &පාටියක්* දමන්නට නම් අමතක කරන්නේ නැහැ. ඇතැමුන්ගේ මතය වන්නේ ක්‍රිස්මස් පාටියේදී බෝතල් තියෙන්නම ඕනේ* කියලයි. අවසානයේදී මේ බෝතල් නිසා බොහෝ දේවල් නැතිවෙන්න පුළුවන් සිහිය, හොඳකම, යාළුකම, නැතිවී ගිහින් තියෙනවා. සුනාමි ව්‍යසනයත් සිදුවූයේ දෙසැම්බර් 24 වැනිදායි. එදා බොහෝ කිතුණුවන් මියගියා. ඒ බොහෝදෙනා දෙමව්පියන් බලන්නට යමින් හිටියා. නත්තල බොහෝදෙනා දෙමව්පියන්, දරුවන් එක්ක ගතකරන දිනයක්. ඒ නිසා මේ සුනාමි ව්‍යසනයේදීත් පවුල් පිටින් ජීවිත නැතිවුණා. මීට වසර කිහිපයකට උඩදී තිබුණු බැඳීම අද බොහෝදෙනා අතරේ නැහැ. අද දෙමව්පියන්ට බලන්නට යන්නට දරුවන්ට වේලාවක් නැහැ. ඒ තරමට ඔවුන් කාර්යබහුලයි. අද බොහෝදෙනා නත්තලට තම දෙමව්පියන්ට සුභ පතන්නේ නවීන තාක්ෂණයට අනුව ජංගම දුරකථනය ඔස්සේ හෝ වීඩියෝ ඇමතුමක් ඔස්සේයි.
වීඩියෝ ඇමතුමකින් තම දෙමව්පියන්ට අමතා සුභ පතන්නට තරම් අද ඇතැම් දරුවෝ පිරිහිලා. දෙමව්පියන්ගේ කාලයේ වීඩියෝ කෝල් එකක් ගෙන සුභපැතුම් පැතුවේ නැහැ. ඒ දෙමව්පියන්ට ළඟ ඉන්නා විට දැනෙන දරුවන්ගේ උණුසුම වීඩියෝ කෝල් එකකින් දැනෙන්නේ නැහැ. මම හඳුනන අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් මේ නත්තලටවත් එයාලගේ දරුවන් ලංකාවට එනතුරු බලාගෙන ඉන්නවා. ඔහුට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ඕස්ට්‍රේලියාවේ. එක්කෙනෙක් කැනඩාවේ. ඒ අම්මා තාත්තා විතරක් ලංකාවේ. මේ නත්තලටවත් දරුවෝ එයාලව බලන්නට ඒවි යැයි ඔවුන් බලාගෙන ඉන්නවා. ෆාදර්... ඒ දරුවෝ ටික අපි දෙන්නා බලන්න ආවා නම් ඒක තමයි ජේසු අපේ හදවතේ උපදින තැන... අපේ නත්තල තියෙන්නේ එතැනයි කියල ඒ දෙමව්පියෝ මට කීවේ.
නත්තල් කාලයේදී නත්තල් සීයාටද සුවිශේෂිතාවක් හිමිවේ. ශාන්ත නිකලස් නම් ශුද්ධවන්තයා මෙලෙස නත්තල් සීයා ලෙසින් හැඳින්වේ. නත්තල පුංචි දරුවන් වෙනුවෙන් වැඩි වශයෙන් වෙන් වූ දිනයකි. දුප්පත් අයට මෙන්ම විවාහ වන්නට සිටින තරුණියන්ට තම විවාහය වෙනුවෙන් දෑවැද්ද දීමට නොහැකි බව දැනගත් විටදී ශාන්ත නිකලස් මුදල් හෝ භාණ්ඩ අදාළ නිවස දොර අසල තබා පැමිණීමට පුරුදුව සිටියේය. ඒ සංකල්පය පසුකාලයේදී නත්තල් සීයා ලෙස ගොඩනැගුණි. නත්තල් දින රාත්‍රියේදී නත්තල් සීයා සේ සැරසුණු කෙනකු ගවලෙන අසල හෝ කුඩා දරුවන් නිදන කාමරයේ දරුවා කැමැති තෑග්ගක් තැබීම සුවිශේෂීකමකි. නමුත් මේ වනවිට මේ සියල්ලම වෙළඳ භාණඩ වී අවසන්ය. නැතිබැරි අය ප්‍රීතියෙන් තැබීමට &නත්තල් සීයා නම් සංකල්පය බිහිවුවද අද බොහෝවිට එයින් ප්‍රීතිවන්නේ ඇති හැකි ධනවතුන්ගේ දරුවන්ය.
වර්තමානයේදී නත්තල් සුභපැතුම්පතට සුවිශේෂීකමක් හිමි නොවුවද එකල නත්තල් කාඩ්පතට සුවිශේෂීකමක් හිමිවිය. නත්තලට මාස කිහිපයකට උඩදී වෙළඳපොළෙන් මිලදී ගත් නත්තල් සුභපැතුම්පත් කිතුණුවන් පමණක් නොව අන් ආගමිකයන්ද මිලදී ගත්හ. ඒවා තම කිතුණු හිතමිතුරන්ට තැපැල් කිරීමෙන් සුභපැතුම් එකතු කිරීම එකල අපූරු මතකයන්ය. නමුත් අද වනවිට නත්තල් සුභපැතුම් පත අමතකව, ඒ වෙනුවට ජංගම දුරකතනය ඔස්සේ කෙටි පණිවිඩයකින් නත්තල් සුභපැතුම් එක්කරන්නට තරම් තාක්ෂණයට මුල්තැන හිමි වී තිබේ. නමුත් එයින් සිදුවන්නේ එකල සුභපැතුම්පතක් මඟින් ලංවුණ සෙනෙහස, බැඳීම, ටිකින් ටික ඈත් කිරීම පමණි.
දෙසැම්බර් 25 වැනිදාට අපි ලබන මේ නත්තල අපි හැම කෙනෙක්ටම අධ්‍යාත්මිකව, මේ රටේ සැවොම එක පවුලක් ලෙසින් මේ පවතින ආර්ථික සහ වසංගත තත්ත්වයන් මධ්‍යයේ සාර්ථකව මුහුණ දෙන්නට හැකි කාලයක් උදාවේවා. ජේසුට අපි හැමදෙනාගේම හදවත්වල ඉපදෙන්න යැයි අපි ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ තුළ තිබූ වටිනාකම අපි තුළ ඉපදෙනවා නම් ඒක තමයි අපි ලබන ලොකුම නත්තල වන්නේ. හැම ජීවිතයකම වටිනාකමක් තිබෙනවා. ඒ නිසා හැම කෙනෙක්ටම ගරු කරන්න. අපි හැමෝම එක්වුණොත් මනුෂ්‍ය වටිනාකම් ඇති ලස්සන සමාජයක්, රටක් ඇතිවේවි...! යැයි ජේසු නිකායේ තුෂාර සම්පත් පියතුමන් දේශයට පැවසීය.
දිශානි ජයමාලි කරුණාරත්න