2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

අහිමි වූ අවස්ථා දැන්වත් රැකගනිමු

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 122

වසර 2022 කරා ගමන් කරන්නට ඇඟිලි ගනිමින් සිටින කාලවකවානුවකි. කාලය වේගයෙන් ගතවෙමින් තිබේ. අපට ලැබුණ අවස්ථා එමටය. අහිමිකරගත් අවස්ථාද මතකයේ තබාගත යුතුය. ලැබුණ දේ අහිමි කරගැනීම කම්පාවට පත්විය යුතු කාරණයක් නොවේ. පාඩමක් ඉගෙන ගතයුතු අතර අනාගතය හැදෙන්නේ උගත් පාඩම්වලින්ය. දේශපාලනඥයන්ට පමණක් දොස් නැගීම සුදුසු නැත. සමාජයක් වශයෙන් අප සියලුම දෙනාට වගකීමක් ඇත. දරැවන්ගේ අනාගතය ලෝකයේ වෙනත් රටකින් අත්පත් කර දෙන්නට කලින් අපට අප ගැන හිතන රාමුවක් අවශ්‍යය.

ශ‍්‍රී ලංකාව අභියෝග ගණනාවකට මුහුණ දුන් රටකි. ඉතිහාසයේ සිට අභ්‍යන්තර හා බාහිර බලපෑම්වලට ගොදුරු වී සිටි බව අමතක කළ යුතු නැත. නිදහස් නිවහල් රටක් වශයෙන් අපට අවශ්‍ය ක‍්‍රමය හදාගන්නට අසමත්ව ඇත්තේ ඇයි? සමාජ එකඟතාවයක් හා රට ගැන එක දර්ශනයක් ගොඩනගාගත යුතුය. දේශපාලන නායකයන් තාවකාලිකව ජන සමාජයේ අලවා තබන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවලට එහා ගිය පුළුල් වැඩපිළිවෙළකට ගමන් කිරීම වැදගත්ය.

• අනෙක් රටවල්වලින් ඉගෙනගත හැකි පාඩම්

ලෝකයේ සෑම රටකම ඉතිහාසයක් තිබේ. ඉතිහාසය තුළ ඉදිරි ගමනක් පමණක් නොව පසුබෑමක්ද ඇත. ආර්ථිකයක නැඟීම් හා පසුබැසීම් ඇත. පෞද්ගලික ජීවිතයේද සියලුම දේ සර්වප‍්‍රකාරයෙන් සාර්ථක නොවේ. අධිෂ්ඨානයකින් හා කැපවීමකින් ගමන් කරන්නට අවශ්‍යය. පෞද්ගලික ජීවිතයේ ලබාගෙන ඇති යම් සාර්ථකත්වයක් ගැන සතුටුවන පිරිස බහුලය. අධ්‍යාපනය, රැකී රක්ෂා, වාසස්ථාන යනාදිය අත්පත් කරගෙන තිබේ. ඒවා දිනා ගත්තේ පහසුවෙන් නොවේ. රටක ස්වභාවයද එයට නොවෙනස්ය. ලෝකයේ රටවල් ජයග‍්‍රහණ ලබා ඇත. වේගයෙන් දියුණු වී තිබේ. එම දියුණුව තුළ සමාජ එකඟතාවය පැහැදිලිව දැකගත හැකිය. පරස්පරතා සහ මත ගැටුම් අඩුය. නායකයෝ පෙන්වන මාර්ගය දෙස විශ්වාසයෙන් බලා ඒවා අනුගමනය කරති. 

ආසියානු කලාපයේ රටවල නායකයන් වශයෙන් ජවහර්ලාල් නේරු, ගාන්ධි, මහතීර් මොහමඩ්, ලී ක්වාන් යූ, මුජිබර් රහමන් යනාදී පිරිස අමතක නොකරන්නේ ඇයි? තවත් දීර්ඝ ලැයිස්තුවක් දැක්විය හැකිය. ඔවුන් සමාජයට ඉදිරි දැක්මක් සහිත තීරණ ගෙන තිබේ. එම තීරණ ගැන එදා විවාද තිබෙන්නට ඇත. නමුත් ඒවායේ ප‍්‍රතිඵල අද පරම්පරාව අභිමානයෙන් භුක්ති විඳිති.

ලී ක්වාන් යූ සිංගප්පූරුවේ වැසියන්ට චුයින්ගම් හැපීම තහනම් කළේය. නිවාස රහිත පවුල් තෝරා තට්ටු නිවාස හදා බලහත්කාරයෙන් ඒවාට ගාල් කළේය. ලංකාවට වඩා දුප්පත් රටක්ව තිබුණ සිංගප්පූරැව අද ලෝකයේ ඉහළින් ඇති රටකි. මැලේසියාවේ අධිවේගී මාර්ග තනන කාලයේ වැසියන් විරෝධතා පළකරන විට නිවාස ගිනි තබා ඒවා මතින් මාර්ග තනන ලදහ. අද එම තීන්දු ගැන ජනතාව කම්පා නොවෙති. අවශ්‍ය කරන්නේ තීරණ හා ඒ තීරණ ක‍්‍රියාත්මක කරන සමාජයකි.

• නායකයන්ට ගරහන රටක පැවැත්ම

ශ‍්‍රී ලංකාවේ අපට අසහාය නායකයකු නම් කළ හැකිද? ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් ඇති රටක් වශයෙන් මහජන ඡන්දයෙන්, අතිවිශාල ජනවරමකින් නායකයො තෝරා ගැනෙති. ඉතාම ඉක්මනින් එම නායකයන් විනාශ කර දමා තිබේ. ඉවසිල්ලක් නැති රටකි. හදිස්සියක් ඇති සමාජයකි. බණ්ඩාරනායක, සිරිමාවෝ, ජේ.ආර්., ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා, මහින්ද සහ මෛත‍්‍රී යනාදී වශයෙන් දේශපාලන නායකයෝ රට භාරගෙන සිටියෝය. ඔවුන් බලය ඉල්ලා සිටියේ රට විකුණන්නට හෝ රට බෙදන්නට නොවේ. දියුණු කරන්නටය. එම නායකයන්ට අනන්‍ය අධ්‍යාශයක් තිබුණ බව නිසැකය. නමුත් ජනතාව වහ වහා නායකයන් පැත්තකට කළහ. බණ්ඩාරනායක හා සිරිමාවෝ ගැන කියන ලද කතා මතක නැතුවා විය නොහැකිය. ජේ.ආර්.ට දොස් තබන තරම ගැන නොදන්නෝ නොවෙති. ප්‍රේමදාස මහතා ගැන සරදම් කතා කොපමණද? අද දක්වා බලයේ සිටි සියලුම නායකයන්ට පෞද්ගලිකව චරිත ඝාතන හා පොදුවේ වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යන්නට කිසිම ආකාරයකින් ඉඩ නොදෙන පිළිවෙළක් අප අනුගමනය කර ඇත. 

දොස් තබන, දොස් අහන කර්කෂ විවේචනවලට මුහුණ දෙන කිසිම පුද්ගලයකුට මෙම සමාජය වෙනස් කරන්නට අප‍්‍රමාණ අධිෂ්ඨානයක් ඇති කරගන්නේ කෙසේද? වැඩකරන තැනක එක අවවාදයක්, එක වැටුප් විලම්බනයක් කරන ලද වහා අපට ඇති වන හැඟීම ගැන හිතන්න. වැඩ කරන්නේ පුරුදු ධෛර්යයයෙන් නොවේ. නායකයන්ට එහෙම නොවෙන්නේ කෙසේද? දේශපාලන නායකයන් ගන්නා සියයට සියයක් තීරණ සම්පූර්ණයෙන් සාර්ථක වන බවක් විශ්වාස කළ යුතු නැත. දහයක් තීරණවලින් එකක් හරිහැටි සාර්ථක වුවහොත් ප‍්‍රමාණවත්ය. අපේ ජීවිතද එහෙමමය. යොවුන් අවධියේ සිට අද දක්වා ගත් හැම තීරණයක්ම හරියටම හරිගියා යැයි කියන්නට අප කිසිවකුට පුළුවන්කමක් නැත. අපට කළ නොහැකි දෑ දේශපාලන නායකයකුගෙන් අපේක්ෂා කිරීම අභාග්‍යයකි. සාමාන්‍ය පුද්ගලයකු බලයට පත්කර මාසයකින් දෙකකින් නැත්නම් අවුරැද්දකින් රටේ තිබුණ සියලුම ප‍්‍රශ්න නිරාකරණය කරගැනීමට අපේක්ෂා කෙරේ. නොකළහොත්, කරගත නොහැකි වුවහොත් අප‍්‍රමාණ දෝෂාරෝපණයකි. යුද්ධය දිනා ගත්තේ ඉලක්කයකට ගිය එක උණ්ඩයකින්ය. නමුත් මල්ටි බැරල් උණ්ඩ ලක්ෂ ගණනක් නිරපරාදේ භාවිතා කරන ලද බව මතක තබා ගත යුතු කරැණකි. එක උණ්ඩයක් අපතේ ගිය වහා සෙබළා මාරැ කළහොත් බංකරය ආරක්ෂා වෙන්නේ නැත. 

• අලුතින් හිතන්නට අවස්ථාවක් එළැඹෙයි

ලබන වසරට පසු ඉතාම අභියෝග පරිසරයක් ඇති වන බව සඳහන් කළ යුතුව තිබේ. කොවිඩ් වසංගතය යම් ප‍්‍රමාණයකට පාලනය වනු ඇත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් වසංගතය තිබියදී නිෂ්පාදනය හා වෙළඳාම නැවත වතාවක් නැගෙන්නට ඉඩ තිබේ. ආයෝජන අවස්ථා උදාවෙනු ඇති බව නිසැකය. සංචාරක ව්‍යාපාරය ඉක්මනින්ම දියුණු වන අංශයකි. මෙකී ක්ෂේත‍්‍ර නැගෙන්නේ විශාල පරිවර්තනයක් සමඟය. එක පැත්තකින් බලශක්ති අංශයෙහි වෙනස්කම් සිදුවෙයි. අනෙක් පැත්තෙන් තාක්ෂණය බලගැන්වෙයි. පස්වැනි පරම්පරාවේ සන්නිවේදනය හා කෘත්‍රිම බුද්ධිය අප අතරට පැමිණීම වැළැක්විය නොහැකිය. එවැනි පරිවර්තනයක් සඳහා අපට ඇති සූදානම කුමක්ද? 

දේශපාලන නායකයන්ට තරවටු කිරීම නතර කළයුතු අතර අභියෝග ජයගන්නේ කෙසේදැයි ජනතාව සමඟ සංවාද කරන සේ යෝජනා කළ යුතුය. මෙරට ජනමාධ්‍යවලට විශාල වගකීමක් ඇත. සංවාද කළයුතු වෙනස්කම් ඇතිකරන ක‍්‍රම ගැනය. පරිවර්තන සඳහා කරන අරගලය විවේචනය කිරීම පලක් ඇති දෙයක් නොවේ. විවේචනය සමඟ විකල්පයක්ද අවශ්‍යය. විකල්ප ක‍්‍රමයක් නොපෙන්වා කරන කර්කෂ විවේචනයට ඉඩදීම බරපතළ හානි සිදුකරයි. මෙරට සංවර්ධන යෝජනා ක‍්‍රම කර්කෂ, කම්කටොළු මැදින් බොහෝ ප‍්‍රමාද වී අපට ලැබුණ බව මතක් කරන්නට අවශ්‍යය. කණ්ඩලම හෝටලය ගැන කියන ලද කතා මතකද? ඈතට ගමන් කළහොත් ඉරණවිල වචනය මතක තිබිය යුතුය. ඇමෙරිකාව ලබාගෙන තිබුණ එම ඉඩම් කොටස අද කොවිඩ් කඳවුරකි. අධිවේගී මාර්ගවලට තිබුණ විරෝධය අද මතක නැත. නොරොච්චෝල බලාගාරය ආරම්භ කරන්නේ දකුණෙන්ය. එතැන් සිට ස්ථාන තුනකට ගෙන ගිය ව්‍යාපෘතිය බොහෝ ප‍්‍රමාදව ක‍්‍රියාවට නොනැගුණි නම් අද රටට විදුලිය නැත. මහවැලිය, ඉහළ කොත්මලේ, වරාය, ගුවන් තොටුපොළ, ඉඩම් ආයෝජකයන්ට පැවැරීම යනාදී වශයෙන් දිග ලැයිස්තුවක් ඉදිරිපත් කළ හැකිය. අතට ලැබෙන දේ ගැන පවා සැකකරන සමාජයක් වෙනස් කරන පිළිවෙළ කිසිසේත් පහසු නැත.

• ආයෝජනවලින් ඉහළට එන්නට හදන ගමන

රටට ආදායමක් නැත. රට තුළින් හෝ රටට එපිටින් ව්‍යවසායකයෝ හදන්නට අවශ්‍යය. රට තුළින් දක්ෂ පුද්ගලයන්ට ඉඩදීම ගැන විරෝධයක් තිබේ. ආධාරකරුවන්ට සලකන බවට කියයි. විදේශ ආයෝජනවලටද රට තුළ කැමැත්තක් නැත. රටේ සම්පත් පිටරටවලට පැවරීමක් සේ දකී. ආයෝජනය සමඟ රටට ලැබෙන අවස්ථා සුළුකොට තැකිය යුතු නැත. නොබෝදා ලංකාවට පැමිණි එච්.සී.එල්. ඉන්දීය සමාගම මෙරට විශ්වවිද්‍යාල තරැණන් පන්දහසක් බඳවාගෙන තොරතුරු තාක්ෂණ අවස්ථා යෝජනා කරයි. ආණ්ඩුවකට කරගන්නට නොහැකි දේ ඉටු කිරීමක් සේ අවධානයට ගත යුතුය. එතැනින් රටට ලැබෙන බදු ආදායම, අලුත් තාක්ෂණ හුරුව විශාල ප‍්‍රයෝජනයකි. රට තුළින් හෝ විදේශයෙන් යන මෙම දෙපැත්තෙන්ම රටට එන අලුත් ව්‍යවසාය ගැන අවධානය යොමු කිරීම වගකීමකි. ව්‍යවසාය ඇති කරනු සඳහා අලුත් නීති හා පහසුකම් සැපයීම සුදුසුය. ලෝකයේ අනෙක් රටවලද අවස්ථා තිබේ. එම අවස්ථාවලට වඩා යමක් ශ‍්‍රී ලංකාවෙන් පිරිනැමීම ආයෝජන ආකර්ශනය කරගත හැකි පිළිවෙළකි. එක විදේශ ව්‍යවසායකයකු රටට ගෙන එන විනිමය බලවත් උදව්වකි. සිංගප්පූරුවට බොරතෙල් නැත. එහෙත් බොරතෙල් නිෂ්පාදන අපනයනයෙන් වැඩිම විනිමයක් උපයන රටවල් ලේඛනයේ තුන්වැනියාය. සමාගම් ගණනාවක් එරටට පැමිණ බොරතෙල් පිරිපහදු කර අපනයනය කරමින් සිටී. 

ආයෝජන හා කර්මාන්ත ගැන ප‍්‍රතිපත්ති සම්පාදකයන් හා ජනතාව අතර සංවාදයක් අවශ්‍යය. අලුත් යමක් ගැන තීරණ ගැනීමේදී ජනතාව අතරට ගොස් කරැණු පහදා දෙන පියවරක් අනුගමනය කරන්නට බැරිකමක් නැත. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පවා ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්නේ නැති කාලයකි. ඡන්දය ආසන්නයේ ෆේස්බුක්, ට්විටර් ගිණුම් දෙක තුන පවත්වාගෙන යන දේශපාලනඥයෝ ඇමැති පදවියට පත් වූ පසු ඒවා පැත්තකට කරති. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඔහුගේ ඇමැති මණ්ඩලයට සමාජ මාධ්‍ය භාවිතය අනිවාර්ය කර ඇත. ඔවුහු එයින් ජනතාව සමග සංවාදයක් කරගෙන යති. අමාත්‍යංශයේ වැඩකටයුතු රටට රහසක් නොවේ. විරැද්ධ බලවේගවල කුමන්ත‍්‍රණ හෝ රට උකස් කරන කතා පැතිරවීම පහසු නැත. අවස්ථා අහිමිකරගත් රටක් වශයෙන් අනාගතයට මුහුණදීම වෙනුවට අලුත් අවස්ථා නිර්මාණය කරගන්නා සමාජයක්  වශයෙන් ඉදිරියට යා යුතුව තිබේ. පැවැත්ම තීරණය කිරීම අප සතු වගකීමකි. තීරණ ගත යුතු අප සියලුදෙනා හැර අනෙක් පාර්ශ්වයක් නොවේ. අලුත් පැති ගැන අවධානය යොමු කළහොත් රටට අනාගතය සාක්ෂාත් කරගත හැකි බව අවධාරණය කළ යුතුය.

 සාරා කන්දෙගොඩ