ශීය කෘෂිකර්මාන්තය මේ මොහොතේ දරුණු ආබාධයකට ලක්වූ ක්ෂේත්‍රයක් වී ඇත. මෙරට ගොවීන්ගේ ජීවිත ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙමින් තිබේ. ගොවීන් මුහුණපාන ගැටලු නිසා අවසානයේ ලක්ෂ සංඛ්‍යාත පාරිභෝගික ජනතාවම දරුණු ආහාර අර්බුදයකට තල්ලු වීමට ඉඩ ඇත. ඉකුත් සතියේ, පදවිය ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් ගොවීන් වෙත ලබාදුන් දියර පොහොර කෑන් පුපුරා යාම රටේ ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්විය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් දේශීය සමාගමකින් නිෂ්පාදිත එම නැනෝ නයිට්‍රජන් පොහොර කෑන් අධික පීඩනයට ලක්වීම නිසා පිපිරුණු බවයි අනුරාධපුර දිස්ත්‍රික්ක ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් චමින්ද ඒකනායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ.
වසංගතයේ අතුරු ආබාධයක් ලෙස රටේ ආර්ථිකය වේගයෙන් කඩා වැටීමට පටන් ගත්තේය. අධික වේගයෙන් කඩා වැටෙන ආර්ථිකය මඳකුදු ප්‍රමාද කිරීමට රජයට ගත හැකි අසීරුම තීරණයක් වූයේ භාණ්ඩ ආනයන සීමා කිරීමය. රට තුළ ඩොලර් රඳවා ගැනීමේ වුවමනාවෙන් රජය සීමා කළ ආනයනික භාණ්ඩ අතර රසායනික පොහොරද එකකි. රසායනික පොහොර වෙනුවට දේශීයව නිෂ්පාදනය කරන කාබනික පොහොර භාවිත කිරීමට රජය ගොවීන් උනන්දු කළේය. කාබනික පොහොර ව්‍යාප්ත කිරීම වත්මන් රජයේ සෞභාග්‍ය දැක්මේ එක් ප්‍රතිපත්තියක්ද වේ. රසායනික පොහොර භාවිතය නිසා විවිධ නිදන්ගත සංකූලතා කාලයක් මුළුල්ලේ මතු වී තිබීමෙන් ජනතාවද කාබනික පොහොර යොදා නිෂ්පාදනය කළ එළවළු පළතුරු වෙත යොමුවීමේ ප්‍රවනතාවක් තිබුණි. එබැවින් වසංගතයත් සමඟ රසායනික පොහොර ආනයනයට පැනවූ සීමා කිරීම පිළිබඳව මහජනතාවගෙන්ද තිබුණේ හොඳ ප්‍රතිචාරයකි. ගොවි මහතුන් කාබනික පොහොර වෙත අලුත් අපේක්ෂාවක් සහිතව යොමුවෙමින් සිටියහ. එවැනි පසුබිමක කාබනික පොහොර සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු නිසා ගොවීන්ගේ බලාපොරොත්තු බිඳ වැටී ඇත.
මහ කන්නයේ වගා කටයුතු ගොවීන් ආරම්භ කළ මුත් ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර වෙළඳපළේ හිඟ විය. ඇතැම් පොහොර වෙළෙඳසල්වල අධික මිලට විකුණනු ලැබුණි. ඊට විසඳුමක් ලෙස චීනයෙන් කාබනික පොහොර ගෙන්වීමට රජය ප්‍රතිපත්තිමය තීරණ ගත්තද එම උත්සහයන්ද නවතා දැමීමට සිදුවූයේ පොහොරවල ප්‍රමිතිය සම්බ්ධයෙන් ඇතිවූ ගැටලු නිසාය. ඉකුත් මාස කිහිපයක් තිස්සේම රජයද කාබනික පොහොර නිෂ්පාදන කටයුතුවලට අවතීර්ණ විය. එහෙත් වෙළෙඳපොළ පොහොර අවශ්‍යතාව රජයට පමණක් සපිරිය නොහැකි බැවින් පෞද්ගලික සමාගම්ද කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට දිරිමත් කළේය. එසේ නිෂ්පාදනය කරන ලද එක් සමාගමකින් ගොවීන්ට බෙදාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය මිල දී ගත් පොහොර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා නිකුත් කරන අතරතුරය පෙර කී පිපිරුම සිදුවූයේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙක් දේශය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ මෙවන් අදහසකි.
“මේ පොහොර නිෂ්පාදනය කළේ ලංකාවේ සමාගමකින්. දැනට රසායනික පොහොර නැති නිසා තමයි මේ පොහොර රජයෙන් බෙදාහරින්නේ. මේ බෙදාහැරීම සිදු කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කරන ව්‍යාපෘතියක් යටතේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා. ඒ අනුව තමයි පොලොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පිපිරීමක් සිදුවුණා කියන පොහොර තොගය නිකුත් කළෙත්. හැබැයි පොහොර නිකුත් කරන්න ඕන හොඳින් පරීක්ෂා කරලා. ඒත් ඒවා පරීක්ෂා කර බලන්න ලංකාවේ හොඳ රසායනාගාර නෑ. මේ පොහොර නිෂ්පාදනය කරල තියෙන්නෙ නරක් වෙච්ච මාළු, මාළු කටු, සීනි වගේ දේවල් දාලා. ඉතින් මේකේ නයිට්‍රජන් සංයුතිය වැඩිවෙලා තමයි පිපිරුම සිදුවෙලා තියෙන්නේ. මේ සිද්ධියත් එක්කම එම දියර පොහොර බෙදාහැරීම නැවත්තුවා. මේ වෙනකොටත් මෙම පොහොර වර්ගයම රට පුරා නිකුත් කළත් පිපුරුම් සිද්ධියක් වාර්තා වුණේ එහෙ විතරයි. කොහොම නමුත් මේ සිද්ධියට වග කියන්න ඕන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. එයාල තමයි මේ ව්‍යාපෘතිය භාරව ඉන්නේ.”
කඩිනමින් පොහොර නිකුත් කිරීමේ අවශ්‍යතාව නිසා ප්‍රමාණවත් රසායානාගාර තත්ත්ව පරීක්ෂණයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සිදුකර නැති බව පැහැදිලිය. අලුත් අත්හදා බැලීමක් කිරීමේදී විශේෂඥයන් ලවා පරීක්ෂා කිරීම බලධාරීන්ගේ සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි. නිසි පරීක්ෂණයකින් තොරව පොහොර, ගෑස් වැනි පුපුරා යා හැකි ද්‍රව්‍ය වෙළඳපළට නිකුත් කිරීමෙන් මහත් විනාශයන් සිදුවිය හැකිය. 2013 වසරේ ඇමරිකාවේ ටෙක්සාස් නුවර පොහොර කම්හලක සිදුවූ පිපිරීමකින් පස් දෙනෙකු මියගිය අතර 160 දෙනෙකුට තුවාල සිදුවිය. එමෙන්ම 2001 වසරේ ප්‍රංශයේ ටූලූස් නගර අසල පිහිටි පොහොර කම්හලක සිදු වූ පිපිරීමක් නිසා 29 දෙනෙක් මියගොස් අවම වශයෙන් 2500ක් පමණ තුවාල ලැබූහ. පොහොරවලින් පවා මෙවැනි දරුණු විනාශයක් මෙරට තුළත් සිදු වීමේ අවදානමක් තිබෙන නිසා බලධාරීන් වගකීම් සහගතව හැසිරිය යුතු වේ.
බෝග සහ ශාක බොහෝමයක නිසි වර්ධනය සඳහා විවිධ පෝෂ්‍ය පදාර්ථ 16ක් අවශ්‍ය වේ. ඉන් සමහරක් වාතයෙන් සහ ජලයෙන් ශාකයට ලැබේ, සෙසු පෝෂ්‍ය පදාර්ථ රුසක් ශාක ලබාගන්නේ පස මගිනි. එහෙත් පසෙහි ශාක වර්ධනයට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ අඩංගු නොවේ. එනිසා පසෙහි සශ්‍රීකත්වය වැඩිකිරීම සඳහා පෝෂක වර්ග පසට එකතු කිරීමට ගොවීන්ට සිදුවෙයි. ඒ වෙනුවෙන් ගොවීන් සත්ව පොහොර හෝ රසායනික පොහොර යොදා ගනිති. ගොවීන් පොහොර බහුලව භාවිත කරන්නේ තමන්ගේ කෘෂි භෝග වඩා හොඳින් වැඩීමට ය. පොහොර නිෂ්පාදනයට බොහෝ විට භාවිත කරන්නේ ලාභදායි අමුද්‍රව්‍යයක් වන ඇමෝනියම් නයිට්‍රේට්ය. එය පිපුරුම් සිදුවිය හැකි අමුද්‍රව්‍යයකි. පොහොර සමාගම කෘෂි කර්මාන්තයේ භාවිතය සඳහා වාණිජමය වශයෙන් පොහොර නිෂ්පාදනය කිරීම ලාභදායි මෙම අමුද්‍රව්‍ය භාවිත කරති.
ඇමෝනියම් නයිෙට්‍ර්ට්, බොහෝ විට සුදු කැටිති ආකාරයෙන් දක්නට ලැබෙන රසායනික සංයෝගයකි. ඇමෝනියම් නයිෙට්‍ර්ට් පොහොරවල භාවිත වන්නේ එහි ඉහළ නයිට්‍රජන් ප්‍රමාණය නිසාය. ඇමෝනියම් නයිෙට්‍ර්ට් ඉන්ධන තෙල් වැනි ඇතැම් හයිඩ්‍රොකාබන් ද්‍රව්‍ය සමඟ මිශ්‍ර වූ විට එය ප්‍රබල පුපුරණ ද්‍රව්‍යයක් බවට පත්විය හැකිය. එවැනි ඇමෝනියම් නයිෙට්‍ර්ට් සහ ඉන්ධන මිශ්‍රණයක් සාමාන්‍යයෙන් ANFO ලෙස හඳුන්වනු ලබන අතර, ඒවා පතල් කැණීම වැනි කාර්මික කටයුතුවලදී පුපුරණ ද්‍රව්‍යයක් ලෙස භාවිත කරයි. ඇෆ්නිස්තානයේ ත්‍රස්ත සංවිධාන බෝම්බ නිෂ්පාදනය සඳහා 95%ක්ම භාවිත කරන්නේ ඇමෝනියම් නයිෙට්‍ර්ට්ය. මෙවන් රසායනික සංයෝගයක් පොහොර නිෂ්පාදනයට භාවිත කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් මනා අධ්‍යනයක් කළ යුතුය. රසායානාගාර පරීක්ෂණවලින් තොරව වෙළඳපළට නිකුත් කිරීමෙන් සිදුවන්නේ ගොවීන්ගේ පමණක් නොව බෙදාහරින්නන්ගේද ජීවිත අවධානමකට හෙළීමක් නොවේද!
පදවිය ප්‍රදේශයේ සිදුවූ පිපුරුම් සිදුවීම පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා, කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන තිබෙන වැරදි තීරණ නිසා ගොවි ජනතාව පමණක් නොව පාරිභෝගිකයන්ද පීඩාවට පත්ව තිබෙන බව කියා සිටියේය.
“ආණ්ඩුව පොහොර සම්බන්ධයෙන් ගත්ත වැරදි තීරණ නිසා ගොවීන් අපහසුතාවයට පත්වෙලා. රජය නිකුත් කරන පොහොර ප්‍රමිතියෙන් තොරයි. මෙතන ගොඩක් අකටයුතුකම් සිදුවෙලා තියෙනවා. මේ පිපුරුම ක්ෂුද්‍ර ජීවී ක්‍රියාවලියක් නිසා සිදු වූ සිදුවීමක් කියලත්, ඇමෝනියා සාන්ද්‍රණය වැඩිවෙලා සිදුවූ පිපිරීමක් කියල මත දෙකක් තියෙනවා. ගොවීන් චෝදනා කරනවා ඒ පොහොරවල දරාගන්න බැරි අසූචි ගඳක්, කුණු මාළු ගඳක් හමනවා කියලා. එතකොට ඒවා බල්ලො කන්න පුළුවන්. මේ දේවල් හරි ප්‍රමිතියෙන් රජය කළා නම් මෙහෙම පිපුරුමක් වෙන්නේ නෑනේ. ගෑස් පිපිරුවෙත් ප්‍රමිතිය බාල නිසා. ඒ වගේමයි මේකත්. මේ පොහොර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුමත කරලා. එයාලට අනුමැතිය දෙන්න තිබුණේ අවශ්‍ය තාක්ෂණික පරීක්ෂණ, සාන්ද්‍රණ, මූලද්‍රව්‍ය ආදිය පරීක්ෂා කරලා. කලින් චීන පොහොර නැවක් ආවා. ඒ පොහොර ගන්න වුණෙත් නෑ. බැංකුත් බ්ලැක් ලිස්ට් කරගෙන සල්ලිත් ගෙවන්න වුණා. ඉන්දියාවෙන් නෑනෝ ආවා. ඒකත් එහෙම්මයි. මේ රජය රටත් ගොවියත් සවුත්තු කරල අන්තිමට පාරිභෝගිකයාට ගිනි ගණන්වලට බඩුගන්න වෙලා.”
රසායනික නිෂ්පාදන ප්‍රමිති පරීක්ෂා කිරීමේ හා තත්ත්ව සහතික නිකුත් කිරීමේ ලංකාවේ පිහිටි ජාත්‍යන්තර සමාගමක් වන බීරෝ වෙරිටාස් සමාගමේ රසායනාගාර පරීක්ෂක මහතකුගෙන් අප කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ මෙය සාමාන්‍ය තත්වයක් බවයි. “ඇසුරුම් කළ පොහොර ඇතුළෙත් ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා. එයාලගෙන් සමහර අය කාබොහයිඩ්රේට් කනවා. ඊට පස්සේ තමයි ඇසුරුම ඇතුළෙ පීඩනය වැඩිවෙලා පුපුරන්න ගන්නේ. සමහර වෙලාවට වීදුරු බෝතල් පවා පුපුරනවා. අපේ රසායනාගාරයට ඊයෙ ගෙනත් තිබුණ සාම්පලයකුත් පුපුරලා තිබුණා. පොහොර පිපිරීම කියන එක කලබල වෙන්න ඕන දෙයක් නෙවෙයි. ඒවා සාමාන්‍ය දේවල්. ඒකෙන් ලොකු හානියක් වෙන විදිහේ පිපිරීම් වෙන්න තියෙන ඉඩකඩ නෑ.”
පදවිය ප්‍රදේශයේ සිද්ධය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය වහාම වාර්තා කැඳවා තිබේ. එම දියර පොහොර නිෂ්පාදනය කළ සමාගම ද එම ප්‍රදේශයට කණ්ඩායමක් යොමු කරමින් සිද්ධිය අධ්‍යනය කර වාර්තාවක් සකස් කිරීමට කටයුතු කළේය. එම සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කළද කිසිවෙකු සම්බන්ධ කරගත නොහැකි විය.
කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් රජය ගෙන තිබෙන තීරණය අසීරු වුවත් යහපත් තීරණයකි. එවැනි තත්ත්වයක් තුළ පොහොර කෑන් පිපිරීම වැනි සිදුවීම්වලින් ගොවීන්ගේ උද්‍යෝගය හීනවීමට වීමේ අවදානමක් තිබේ. එනිසා කෘෂිකර්මාන්තය සහ පොහොර සම්බන්ධයෙන් ගන්න තීරණ, පොහොර, ගෑස් වැනි පිපිරීම් සිදුවිය හැකි නිෂ්පාදනවල සංයුතිය වෙනස් කිරීම ආදිය ඉතා කල්පනාකාරීව විශේෂඥ උපදෙස් ඇතිව කළ යුතු කාර්යයන් බව පදවියේ සිදු වූ සිදුවීම නැවත මතක් කර දෙයි.
සටහන: සකීෆ් සාම්