2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

පාසල් පෙම්වතිය ගඟට පනින තුරු බලා සිටි පාසල් පෙම්වතා

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 302

සමහර ආදර කතා සැබැවින්ම ආදරණීයය. බොහෝ සුන්දරය. එවැනි රසබර අවංක ආදර කතා අතර ඇතැම් ඒවා දුක්බර හා අනුවේදනීය ඒවාය. තවත් ආදර කතා හිත් රිදීම් අමනාපකම් නිසා කෙළවර වන්නේ පෙම් හබයක් ලෙසය. ඒ කෙළවර දිවි නසා ගන්නා පෙම්වතා පෙම්වතිය ගැනද අසන්නට ලැබේ. එවැනි අනුවේදනීය සිදුවීම් පිළිබඳව අදහස් දැක්වීමත් පසුවදන් ලිවීමත් අපහසුය.

දෙසිතක් බැඳුණු ආදර කතාවක් අතරමැද පෙම්වතියගේ ඇස් වසා කළ වංචාව අවසානයේ කෙළවර වී තිබුණේ පෙම්වතාට පොලිසිය හමුවේ කරුණු පොපොච්චාරණය කරන්නටය. ඒ වනවිටත් ඔහුගේ ආදරණීය පෙම්වතිය මෙලොවින් තුරන් වී දින ගණනාවකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසල මහවැලි ගං ඉවුරු යා කරන රේල් පාර පිහිටි පාලම කවුරුත් හඳුන්වන්නේ කළු පාලම ලෙසය. පොලිසිය හමුවේ කරුණු කී අත්අඩංගුවට පත් පෙම්වතා කියා ඇත්තේ පෙම්වතිය පාලමෙන් ගඟට පැන බොර වතුරේ සැඟව ගිය වග දුටු බවය.

දෙහදක ප්‍රේමයේ රුව ගුණ හඳුනන්නට හෝ අවංක ආදරයක මිහිර මේ යැයි කියන්නට තරම් මුහුකුරා ගිය අවබෝධයක් ඇයට නොතිබෙන්නට ඇත. එහෙත් ඇය දැන හැඳිනගත් දන්නා කියන තරුණ පෙම්වතාට ආදරය කළාය. යොවුන් වියේ හුදු ආශා අතර නිසි අරමුණක් නොවූ අදහස් මැද මේ ප්‍රේම කතාවට යම් බාධාවක් සමඟ විරාමයක් වැටී තිබුණේ යුවළ අතර විරසකයකටත් මග පාදමනි.

මේ කියන තරුණ පෙම්වතිය හදිසියේ අතුරුදන්ව ඇත්තේ පසුගිය 9 වැනිදා සිටය. ඇගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මව්පියන් පොලිසියට පැමිණිලි කොට විමර්ශනය කරමින් සිටියදී සතියකට පමණ පසුව සැකකාර පෙම්වතා බව කියන තරුණයකු අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 15 වැනිදාය. ඒ වනතෙක් සිය පෙම්වතිය පිළිබඳ කෙළ බිඳක් හෝ හෙලා නොතිබූ ඔහු පොලිසිය හමුවේ කියා තිබුණේ පේරාදෙණිය කළුපාලම මතින් පෙම්වතිය ගඟට පැන්න බවය. නමුත් ඒ බව සනාථ කිරීම සඳහා ඇසින් දුටු සාක්ෂියක් හෝ වෙනත් සාධකයක් නැත. මේ නිසා සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කරන පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපතිවරයා පවසන්නේ සැකකාර තරුණ පෙම්වතා කියන කතාව කෙසේ වෙතත් එම සිදුවීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බවය.

ඇය නව යොවුන් වියේ පසුවූ දමිළ ජාතික දැරියකි. මහනුවර නගරයට කිලෝමීටර් හයක් පමණ එපිටින් පිහිටි තැන්නකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලැබුවාය. පසුගිය 9 වැනිදා අතුරුදන් වූවා යැයි කියන දැරිය ඒ වනවිට සිටියේ පාසලේ 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමිනි. පසුගිය 9 වැනිදා දිනය බ්‍රහස්පතින්දාවකි. පාසලේ විවිධ බාහිර ක්‍රියාකාරකම්වලට සම්බන්ධව සිටි ඇය බැඩ්මින්ටන් ක්‍රීඩාවට යොමුව සිටියාය. එදින පස්වරු 2.30ට පමණ සිය නිවෙසේ සිට ඇයගේ පියාට අයත් මෝටර් රථයෙන් ඇය පාසල වෙත පැමිණ තිබුණේ බැඩ්මින්ටන් පුහුණුව සඳහා බව කියමිනි. වෙනදා මෙන් බැඩ්මින්ටන් පුහුණු කාලසීමාව අවසානයේ එදා දියණිය පියාට හෝ මවට දුරකථන ඇමතුමක් ලබාදී නැත. කෙසේ වෙතත් ඇයගේ පියා පුරුදු ලෙසින් දැරිය කැටුව යාම සඳහා නගරයේ ප්‍රධාන මාර්ගයක් අභියස පිහිටි පාසල් ගේට්ටුව අසලට පැමිණ ඇත. නමුත් දැරිය මෝටර් රථය වෙත නොපැමිණීම හා දුරකථනයට ප්‍රතිචාර නොදීම නිසා දැරියගේ පියා පාසලේ ආරක්ෂක අංශය වෙතින්ද විමසීම් කර ඇත.

කිසිදු හෝඩුවාවක් නොවුණු තැන පාසල පිහිටි පොලිස් බල ප්‍රදේශය අනුව පේරාදෙණිය පොලිසිය වෙත පියා පැමිණිල්ලක් සිදුකර තිබුණේ සිය දියණිය පාසලට ගිය නමුත් එතැන සිට අතුරුදන් තත්ත්වයේ පසුවන බව කියමිනි. ඒ අනුව සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබුණේ පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතාගේ මෙහෙයවීම මතය.

පොලිස් විමර්ශන කණ්ඩායම ප්‍රථමයෙන් පාසලේ සී.සී.ටී.වී. කැමරා දර්ශන විමර්ශනයට ලක්කර තිබිණ. එහිදී පසුගිය 9 වැනිදා පස්වරු 2.30ට පමණ දැරිය පියාගේ මෝටර් රථයෙන් බැස පාසල තුළට යන බවත් පියා එතැනින් පිටව ගිය සැණින් දැරිය නැවත පාසල් ගේට්ටුවෙන් පිටවී යන බවද දකින්නට ලැබී ඇත. මෙසේ පාසලෙන් පිටත් වූ දැරිය කොහේ ගියාදැයි හෝඩුවාවක් නොවූයෙන් ඇය සතුව තිබූ ජංගම දුරකථන අංකය යටතේ තාක්ෂණික ලෙස විමර්ශනයකට ලක්කර තිබිණි.

එහිදී හැඳීනගෙන තිබුණේ යම් අයකුට දුරකථන ඇමතුම් කිහිපයක් ලබාගෙන ඇති බවය. ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයේදී නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි දමිළ ජාතික තරුණයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ අත්අඩංගුවට ගත් තරුණයා අතුරුදන් තරුණ දැරියගේ පෙම්වතා බව තහවුරු කෙරිණ. ඔහු ගන්නෝරුව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ පංතියේ අධ්‍යාපනය ලබන්නෙකි.

මෙම දෙදෙනා අතර ආදර සබඳතාවක් පැවැති ඇත්තේ මීට කාලයකට පෙර සිටය. කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් නොපැවැත්වීමත් අමතර පංති නොපැවැත්වීමත් නිසා දෙදෙනාට හමුවීමට තිබූ අවස්ථාව වැළකී තිබිණ. යම් සබඳකමක් වූයේ නම් එය ජංගම දුරකතනය හරහා පමණි. මේ අතර කාලයේ තරුණ පෙම්වතා වෙනත් තරුණියන් ඇසුරු කරන බවට පෙම්වතියට ආරංචි වී තිබිණ. එවැනි හේතු කිහිපයක් නිසා දෙදෙනා අතර වූ ආදර සබඳතාවට විරාමයක් ලැබී තිබිණ. ඒ කෙටිකාලය තුළ පෙම්වතා වෙනත් තරුණියක හා පැටලී සිටි බවද කියති.

තත්ත්වය එසේ තිබියදී තරුණ දැරිය පාසලට ගොස් ඇත්තේ බැඩ්මින්ටන් ක්‍රීඩා පුහුණුවට බව කියමිනි. නමුත් ඇය සිය පියා රවටා පාසලෙන් පිටව ගොස් තිබුණේ ඇගේ පෙම්වතා හමුවීමටය. ඒ සඳහා යොදාගන තිබුණේ පේරාදෙණිය කළු පාලම ළඟය. අදාළ දැරියගේ පාසල අසල සිට එම කළුපාලම දක්වා තරමක දුරක් යා යුතුය. පෙම්වතාට ඇවැසි නම් පෙම්වතිය සිටි ඉසව්වක් බලා යාමට තිබිණ. එහෙත් තරුණියගේ සිතේ වූ ආදරය නිසාම ඇය කිලෝමීටර් කිහිපයක් දුර ගෙවා කළුපාලම අසලට යන්න ඇතැයි පොලිසිය විශ්වාස කරයි. එමෙන්ම නාවලපිටිය ප්‍රදේශයේ සිට දුම්රියෙන් පැමිණීමට හැකි නිසාත් පේරාදෙණිය දුම්රිය ස්ථානය කළුපාලම ආසන්නයේ තිබෙන නිසාත් එම ස්ථානය යොදාගත්තා යැයි සිතිය හැකිය.

කෙසේ හෝ තරුණ යුවළ හමුව තිබුණේ කළු පාලම මතදීය. එහිදී තරුණයා සතු ජංගම දුරකථනය පෙම්වතිය අතට ගෙන පරීක්ෂා කළ බව කියැවේ. එවිට වෙනත් තරුණියකට තරුණයා යැවූ කෙටි පණිවුඩ කිහිපයක් පෙම්වතිය දැක ඇත. ඉන් කනස්සල්ලට පත් පෙම්වතිය මොහොතක් කළු පාලමේ කණුවක් මත හිස තබා දැඩි හැඟීම්බරව උන් බවත් පසුව “ඔයාට හොඳනම් කමක් නෑ. ඔයා එයත් එක්කම ඉන්න” යැයි කියමින් ක්ෂණිකව කළු පාලම මතින් මහවැලි ගඟට පැන්න බවත් එසැණින් ඇය ගඟේ ගිලී නොපෙනී ගිය බවත් සැකකාර තරුණ පෙම්වතා පොලිසියට කියා ඇත. වැඩිදුරටත් ඔහු පවසා ඇත්තේ සිදුවීම කිසිවකුත් නොදුටු බවය. ඒ නිසා තමා කිසිවක් නොදත් ලෙස නිවසට පැමිණ කිසි තැනක නොයා බියෙන් නිවෙසට වී සිටි බවය.

මේ තොරතුරු පදනම් වන්නේ සැකකාර තරුණයාගේ පාපොච්චාරණය අනුවය. දවසක් හෝ ආදරයෙන් කල් ගෙවූයේ නම් ඒ අවංක ආදරය තුළ හොර හිතක් හෝ රැවටීමක් නොවුවා නම් මේ කියන දැරියගේ අතුරුදන්වීම නොවන්නට ඉඩ තිබුණි. එසේම සැකකාර පෙම්වතා ඔහුගේ ආදරවන්තිය වෙනුවෙන් යම් ඵලදායී පියවරක් ගන්නා බව සහතිකය. මේ හේතු කාරණා මත පෙම්වතාගේ පාපොච්චාරණය සම්බන්ධයෙන් පොලීසිය පසුවන්නේ බරපතළ සැකයකය.

සැකකරුගේ ප්‍රකාශ අනුව පියවර ගත් පොලිසිය පොලිස් කිමිදුම් අංශය යොදවා මහවැලි ගඟ පරීක්ෂා කිරීමට කටයුතු කර තිබිණ. පසුව නාවික හමුදාවේ විශේෂ කිමිදුම් කණ්ඩායමක් යොදවා පේරාදෙණිය කළුපාලම සිට පොල්ගොල්ල ජලාශ වේල්ල දක්වා විශේෂ විමර්ශනයකට ලක්කිරීමට පියවර ගෙන ඇත. එහෙත් තරුණිය ගඟට පැන්න බවට සාධකයක් තවමත් හමුවී නැත.

සැකකාර තරුණයා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙන අතර පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විජිත් විජේකෝන් මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05