2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

ගෑස් පිපිරිල්ලෙන් දිවි අහිමි වූ මාතලේ සිව් දරු මව

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 134

ගෑස් වෙළෙඳපොළ දැඩි අර්බුදයකය. ගෑස් පිපිරීම නිසා දැන් රටම තැතිගෙනය. ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් අතර රෙගියුලේටර්වලින් ගෑස් කාන්දු වීම, ගෑස් බට කාන්දු වීම හා ගෑස් ලිප් පිපිරීමේ සිදුවීම් රට පුරා වාර්තා වේ. නිවාස, ආපනශාලා ඇතුළු දේපළ හානි රුසක් අතර බරපතළ කාරණය ගෑස් පිපිරීම නිසා අහිංසක ජීවිතයක් නැතිවීමය.

ගෙයක් ගෙයක් පාසා කුස්සියේ පත්තු වන බෝම්බයක් තරමට සැක ගෑස් සිලින්ඩර් පිපිරීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ දරුවන් හතර දෙනකුගේ ආදරණීය මවක වූ අශෝකා ප්‍රියංගනී නැමැත්තියකි.

අශෝකා ප්‍රියංගනී මහත්මිය සිය සැමියා වූ සමෘද්ධි සංවර්ධන නිලධාරියකු වශයෙන් කටයුතු කරන සුදත් සිරිමාන්න මහතා හා ඔවුන්ගේ දරුවන් සිව්දෙනා සමඟ පදිංචිව සිට තිබුණේ මාතලේ ඈත කෙළවරක පිහිටි විල්ගමුව පිදුරුවැල්ල දේවගිරිය ප්‍රදේශයේය. සිය දරු පැටවුන්ට වඩාත් හොඳ පාසල් අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් සුදත් - අශෝකා යුවළ දරුවන් මහනුවර නගරයේ ප්‍රසිද්ධ පාසල් වෙත ඇතුළත් කරනු ලැබුවේ මහත් පරිශ්‍රමයකින් පසුවය. මහියංගනයට නුදුරු විල්ගමුව ප්‍රදේශයේ සිට මහනුවරට ඇත්තේ විශාල දුරකි. එබැවින් දරුවන් මහනුවර පාසලකට ඇතුළත් කිරීමත් සමඟ මහනුවර අවට තාවකාලික පදිංචි වීමට වුවමනාව ඇති විය. ඒ අනුව තාවකාලික පදිංචිය සඳහා මහනුවර කුණ්ඩසාලය නගර ආසන්නයේ නත්තරම්පොත ප්‍රදේශයේ කුලී නිවෙසක් තෝරාගෙන තිබිණි. සැමියා විල්ගමුව ප්‍රදේශයේ රාජකාරියේ නිරත නිසා දරුවන්ගේ අවශ්‍යතාව මත නත්තරම්පොත කුලී නිවෙසේ පදිංචිය සඳහා අශෝකා ප්‍රියංගනී පැමිණියාය.

වෙළෙඳපොළේ ගෑස් හිඟයක්, මිල වැඩිවීමක් හා තැන තැන ගෑස් සිලින්ඩර් පිපිරීම සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තා වුවද කුලී නිවෙසක කල් ගෙවූ ප්‍රියංගනී මහත්මියට අලුතින් ගෑස් සිලින්ඩරයක් මිලට ගැනීමට සිදුවිය. ඇය රුගෙන ආ ගෑස් සිලින්ඩරය වැඩි දිනක් භාවිත කිරීමට හැකිව තිබුණේ නැත. පසු දිනක උදෑසන සිය දරුවන්ට පාසල් පැවැත්වෙන දිනයක් විය. එබැවින් උදෑසන ආහාරවේල පිළියෙළ කිරීමට අවශ්‍ය කළමනා පෙර දින රාත්‍රියේ සූදානම් කර තබා නින්දට ගොස් ඇත. පසු දින අලුයම පිබිදී ආහාර පිළියෙළ කිරීමට සූදානම්ව ගෑස් ලිප දැල්වීමට උත්සාහ ගත් මොහොතේ ගෑස් ලිප පිපිරී ගිනිගෙන ඇය අනතුරට පත්ව ඇති බව කියයි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන මියගිය අශෝකා ප්‍රියංගනී මහත්මියගේ සැමියා වන ආර්.ඩී. සුදත් සිරිමාන්න මහතා, පසුගිය පළවැනිදා උදේ මගේ බිරිඳ දරුවන්ට ආහාර පිළියෙළ කරන්න සූදානම් වෙලා ගෑස් එක ඔන් කරලා තියෙනවා. එතකොටම ලිප පිපිරිලා ශබ්දයක් එක්ක ලොකු ගිනි ජාලාවක් ඇතිවෙලා තිබෙනවා. ඒ ශබ්දයට අපේ චූටි පුතා ඇහැරිලා තියෙනවා. පුතා දුවලා ගිහින් බලද්දි අම්මා කුස්සියේ වැටිලා ඉඳලා තියෙන්නේ. පුතා අම්මා නැගිටවලා. ඒ වෙලාවෙ අම්මා දනවා.. දනවා කියලා ඇවිදගෙනම එළියට ඇවිත් තියෙනවා. පස්සෙ මූණට වතුර ටිකක් දාගෙන අසල්වැසියන්ගේ උදව්වෙන් වෑන් රථයක් ගෙන්වාගෙන මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබුණා. මේ අනතුර දෙසැම්බර් 1 වැනිදා උදේ සිදු වුණේ. එදා ඉඳලා දැඩි සත්කාර ඒකකයේ දින දහයක් ප්‍රතිකාර ලැබුවා. එහෙම අසාධ්‍ය තත්ත්වයෙන් ඉඳලා 10 වැනිදා තමයි මගේ බිරිය නැතිවුණේ.

මෙසේ මියගිය අශෝකා ප්‍රියංගනී (50) මහත්මියගේ දේහය පසුගිය 12 වැනිදා ඇය ස්ථිරව පදිංචිව සිටි විල්ගමුව විදුරුවැල්ල දේවගිරිය පිහිටි නිවෙසට රුගෙන ගොස් 14 වැනිදා පස්වරුවේ දේවගිරිය පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කර තිබුණි. එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් ඒකරාශී වී දේවගිරිය මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතව තිබුණේ අකල් මරණයට වගකිව යුත්තේ ගෑස් සමාගම හා ආණ්ඩුව බවට චෝදනා කරමිනි.

මේ අවස්ථාවේ මියගිය ප්‍රියංගනී මහත්මියගේ සැමියා සුදත් සිරිමාන්න මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

කොවිඩ් වගේම ගෑස් කියන එකත් මේ රටට වසංගතයක් වුණා. ඒකට මේ රටේ පාලකයෝ කිසිම විදිහකට පිළිතුරක් දුන්නේ නෑ. ඒ වැරුද්දෙන් අද මගේ දරුවන්ට අම්මා කෙනෙක් නැතිවුණේ. විල්ගමුව කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ දුෂ්කරම ප්‍රදේශයක්. අපි දුක් විඳලා දරුවන්ට උගන්වන්න මහනුවර ප්‍රදේශයට ගියේ. එහෙම කැපවීම් කරපු අම්මා තාත්තාට තමයි අන්තිමට මෙහෙම වුණේ. ඉතින් රටේ දරුවන්ට යන කලදසාව මොකක්ද?* යැයි ඔහු ප්‍රශ්න කරයි.

මේ අතර ඔහු කියා සිටියේ ලිට්රෝ සමාගමට හා රජයට විරුද්ධව නීතිමය පියවර ගැනීම සඳහා නඩු මගට පිවිසෙන බවය. එසේ නඩු කියන්නේ සිය බිරිය හා දරුවන් වෙනුවෙන් නොව මෙවැනි ඛේදනීය තත්ත්වයන්ට ගොදුරු වන රටේ අහිංසක ජනතාව වෙනුවෙන් බව ඒ මහතා කියයි. මේ අතර රට පුරා සිදුවන ගෑස් පිපිරීම් හේතුවෙන් වින්දිතයන් බවට පත්වන ජනතාව වෙනුවෙන් සමගි ජන බලවේගය නොමිලේ නීති සහාය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබිණි.

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සිදු කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට අද දක්වා ගෑස් පිපිරීමේ සිදුවීම් 620කට අධිකව වාර්තා වී ඇති බවකි. ගත වූ නොවැම්බර් මාසයේදී පමණක් එවැනි ගෑස් පිපිරීමේ අනතුරු 117ක් වාර්තා වී තිබෙන බවත් ඒ මහතා පැවසීය. එසේම නොවැම්බර් සිට අද දක්වා ගෑස් පිපිරීම් 160කට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇතැයිද කීය. මේ අතර එවැනි ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට හෝ ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන්නැයි ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර ලංකාවේ පවතින ගෑස් අර්බුදය මැද තවත් ගෑස් තොගයක් ගෙන්වා තිබුණි. කොළඹ වරායේ නැංගුරම්ලා ඇති එම ගෑස් නැවේ ඇති ගෑස් තොගය ලංකාවට ගොඩබෑමෙන් වළකින ලෙස එම ගෑස් තොගය ගෙන්වූ ලිට්රෝ සමාගමට පාරිභෝගික අධිකාරිය නියෝග කර ඇත. ඊට හේතුව එම ගෑස්වල සුවඳ දක්වන &එතිල් මකැප්ටාන්^ රසායනිකය නියමිත ප්‍රමාණයට නොමැති බව පරීක්ෂණවලදී අනාවරණය වීමය.

මේ හේතුවෙන් යළිත් වරක් දිවයින පුරා ගෑස් හිඟයක් මතුව පවතී. එය වළක්වාලීම සඳහා උපායක් නොමැති අතර වෙනත් විකල්ප සඳහා හුරුවීමට මහජනතාවට සිදුව තිබේ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර