මේ දෙසැම්බර් අවසානයේ යළිත් සුනාමියක් බලාපොරොත්තු විය හැකි බවට ඉදිරිපත්ව ඇති මතයක් දැන් කතාබහට ලක්ව තිබේ. මේ කියන්නේ කොවිඩ් සුනාමියක් ගැනය. එන්නත්කරණ වැඩපිළිවෙළේ තෙවැනි මාත‍්‍රාව ලෙස බූස්ටර් එන්නතක් ලබා නොගතහොත් මේ අන්දමේ සුනාමියක් ඇතිවන බවට අනතුරු අඟවන්නේ මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයාය.
ලෝකයේ බොහෝ රටවල් මේ වනවිට බූස්ටර් එන්නත් ලබාදීමේ වැඩ කටයුතු අරඹා හමාරය. ඒ මෑතකදී වාර්තා වූ ඔමික්‍රෝන් මාදිලියේ සීඝ්‍රතම පැතිර යාමේ හැකියාව ඇතුළු විකෘතිතා 32ක් ගැන අනතුරු ඇඟවීම හේතුවෙනි. අමෙරිකාව ඇතුළු බටහිර රටවල් තමන්ගේ රටේ හමුවූ නව මාදිලිය විකෘති 32ක් සහිත අනතුරුදායක එකක් බව කලින්ම, කෙලින්ම ලෝකයට කියන්නට අවංක වූ දකුණු අප්‍රිකාව හුදෙකලා කිරීමට තීන්දු කළ අතර සිය බූස්ටර් එන්නත් වැඩපිළිවෙළ කඩිනම් කරන්නටද කටයුතු යෙදුවේය.
මේ බූස්ටර් එන්නත් ආන්දෝලනය අපේ රටටද දැන් බලපා ඇති අතර ඒ ගැන අදහස් දැක්වූ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අර්ජුන් ද සිල්වා පෙන්වා දෙන්නේ ඒ සඳහා සුදුසු කායික නිරෝගීතාව ඇතිනම් බූස්ටරය ගැනීම මේ මොහොතේ ඉතාමත්ම ඥානාන්විත ක්‍රියාව කියාය. ඔමික්‍රෝන් පමණක් නොව වෛරසයේ ඇතිවිය හැකි වෙනත් විවිධ විකෘති ප්‍රභේද සඳහාද මුහුණ දීමට බූස්ටරය මගින් ජවයක් මුල් එන්නත් මාත්‍රාවන් මගින් ඇති කළ ප්‍රතිදේහ ක්‍රියාකාරිත්වයට ලබාදෙන බව ඔහු පෙන්වා දෙයි. මේ නිසා ඔමික්‍රෝන් ගැන සිතා නොව කොවිඩ් සමඟ ඉදිරියටත් ගනුදෙනු කිරීමට සිදුවන බව සිතා බූස්ටරය ගැනීමට යොමුවිය යුතුයැයි ඔහු උපදෙස් දෙයි.
අපේ රට මේ වනවිට කොවිඩ් වෛරසයට එරෙහි එන්නත්කරණ වැඩපිළිවෙළේ අවසන් අදිරයට පැමිණ තිබේ. එසේ වුවද නව ඔමික්‍රෝන් මාදිලිය එන්නත් සඳහා විරෝධී බවක් දක්වන බවට මතුව ඇති වාර්තා නිසා තුන්වැනි එන්නත් මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නතක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය දැඩිව යොමුව තිබේ. ළඟ එන උත්සව සමයේ නොවැළැක්විය හැකි ලෙස ජනතාව ඒකරාශීවීම හේතුවෙන් අනාරක්ෂිත සහ බලය හීන වූ ප්‍රතිශක්තිය සහිත පිරිස තුළින් ඔමික්‍රෝන් දැඩි ලෙස පැතිර යමින් සුනාමියක් බඳු ව්‍යවසනයක් ඇති විය හැකි යැයි මතයක් පලව තිබේ. මේ නිසා දැන් ලෝකයේ ඔමික්‍රෝන් සඳහා ප්‍රතිරෝධී බවක් ඇතැයි කියන ෆයිසර් එන්නත බූස්ටර් මාත්‍රාවක් සේ ලබාදීමට කටයුතු යොදා ඇත.
“දෙසැම්බර් අවසන් සති දෙකේදී රටේ බොහෝ දෙනකු විවිධ ආගමික සිද්ධස්ථානවලට, විනෝද චාරිකාවල, නෑ හිතවතුන්ගේ ගෙවල්වලට යනවා. අපට එය සීමා කිරීමේ අවශ්‍යතාවක් නැහැ. එහෙම සීමා කරන්න හැදුවත් පසුගිය වසර එකහමාරක කාලය තුළ අපි දැක්කා, උත්සව කාලවලදී ජනතාව හැසිරෙන ආකාරය. ඒ අයගේ ගමන් බිමන්වල කිසිම අඩුවක් නැහැ. ඒ ගමන් බිමන් යන්න කලින් බූස්ටර් එන්නත ලබාදෙන්න අපි තීරණය කළා.
ඇඟලුම් කර්මාන්ත ශාලාවල, රජයේ ආයතනවල, ආර්ථික මධ්‍යස්ථාන වැනි ජනතාව බොහෝ පිරිසක් ගැවසෙන ස්ථානවල අයට අපි දැනුම් දෙනවා හැකි ඉක්මනින් බූස්ටර් එන්නත ලබාගන්න කියලා. එය ලබාගන්නේ නැතුව තමන්ගේ ගම්බිම්වලට යන්න එපා. ආගමික කටයුතු, විනෝද කටයුතු, නෑ ගමන් අපිට නීති රීති දාලා වළක්වන්න කිසිම වුවමනාවක් නැහැ. රජයක් විදිහට අපිට කරන්න තිබෙන්නේ බූස්ටර් එන්නතක් ලබා දීමයි. එසේ නොමැති වුවහොත් දෙසැම්බර් අවසාන සතියේ යළිත් සුනාමියක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි. සුනාමිය වළක්වාගන්න තමයි බූස්ටර් එන්නත ලබා දෙන්නේ.
මේ වනවිට ලංකාව තුළ තමන් ජීවත්වන ස්ථානයට සමීපව තිබෙන තමන්ට පහසු ඕනෑම එන්නත්කරණ මධ්‍යස්ථානයකට ගිහිල්ලා බූස්ටර් එන්නත ලබාගැනීමේ හැකියාව තිබෙනවා. ෆයිසර් එන්නත තමයි අපි බූස්ටර් එන්නත විදිහට ලබාදෙන්නේ, පසුගිය දවස්වල බොහෝ අය කිව්වා හොඳම එන්නත ෆයිසර් කියලා. තුන්වැනි මාත‍්‍රාව ලබාගන්න මුල් දවස්වල ජනතාවගේ තිබුණෙ අඩු උනන්දුවක්. නැවත ඒ සඳහා උනන්දුවක් ඇති වී තිබෙනවා. මේ වනවිට සමස්තයක් ලෙස බූස්ටර් එන්නත් මාත‍්‍රා 12,66,000ක් ලබාදී තිබෙනවා” යැයි මහාචාර්ය ජයසුමන රාජ්‍ය ඇමැතිවරයා පවසයි.
පසුගිය සතියේ දේශය ඔබට මුලින්ම වාර්තා කළ පරිදි ලොව පුරා ඩේල්ටාකොවිඩ් මාදිලිය මෙන් දෙගුණයක වේගයෙන් පැතිර යන ඔමික්‍රෝන් මාදිලියට එරෙහිව සිය බූස්ටර් මාත්‍රාව කැපී පෙනෙන සඵලතාවක් පෙන්වන බව ෆයිසර් වාර්තාවක් කියා තිබුණි. බූස්ටර් එන්නත ලබාදී මාසයකට පසු සිදුකළ රුධිර පර්යේෂණවලින් ඔමික්‍රෝන්වලට එරෙහිව ක්‍රියාකළ හැකි තරම් ප්‍රතිදේහ යහමින් නිපදවෙන බව තහවුරුව ඇති බව මේ පර්යේෂණ වාර්තාව කියයි. මේ නිසාම ලොව බොහෝ රටවල් ෆයිසර් බූස්ටරයක් ලබා දීමට පෙළඹී සිටිති. අපේ රටේ ජනතාවටද දැන් මේ අවස්ථාව හිමිව තිබේ.
බූස්ටර් මාත්‍රාව පිළිබඳ තවමත් සමහර අය තුළ ඇත්තේ සැකයක් සහ දෙගිඩියාවකි. නමුත් ලෝකයේ පිළිගත් විද්වතුන් සැවොම පාහේ කියන්නේ කොවිඩ් මැනැවින් පාලනය සඳහා බූස්ටර් මාත්‍රාව ඉතා වැදගත්ය කියාය. තවමත් ඔමික්‍රෝන් මාදිලියේ සැබෑ ක්‍රියාකාරීත්වය ගැන පර්යේෂණාත්මක දත්ත හිඟය. ඒ ගැන විවිධ පර්යේෂණ පැවැත්වෙන අතරම ඉදිරියේදී එම මාදිලිය සඳහාම වූ එන්නතක් නිපදවීමටද මූලික වැඩ ඇරැඹී හමාරය.
ඒ අනුව ලෝකයේ එන්නත් නිෂ්පාදකයන් මේ වනවිට Omicron ප්‍රභේදයට එරෙහිව එන්නතක් නිපදවමින් සිටියි. තවත් සති හයකින් පමණ ඔවුන්ගේ මූලික නිෂ්පාදන පරීක්ෂා කිරීමට සූදානම් වනු ඇතැයි අනාවැකි පළව තිබේ. කෙසේ වුවද අලුතෙන් නිපදවන Omicron එන්නත් ඒවායේ ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සඳහා වැඩිදුර පරීක්ෂා කළ යුතු අතර ඒ සඳහා තවත් මාස කිහිපයක් ගතවනු ඇති බව නිෂ්පාදන සමාගම් පෙන්වා දෙයි. ඒ හේතුවෙන් පළමු සාර්ථක Omicron එන්නතක් වෙළඳපළට පැමිණීම ලබන වසරේ මාර්තු මාසයේදී පමණ සිදුවනු ඇතැයි සමාගම් ආරංචි මාර්ග කියයි.
මේ වනවිට ලැබී ඇති මුල් රසායනාගාර දත්තවලට අනුව දැනට පවතින ෆයිසර් වැනි mRNA එන්නත්වල මාත්‍රා තුනක් ලබාගැනීම මගින් omicron වලට එරෙහිව ආරක්ෂාව සැපයෙන බව සනාථ වී තිබේ. එන්නත් මගින් සෑදෙන කොවිඩ් ප්‍රතිදේහ කාලයත් සමඟ ක්‍රම ක්‍රමයෙන් අඩු වී යන බැවින් එම ආරක්‍ෂාව කොපමණ කාලයක් පවතින්නේද යන්න තවමත් පැහැදිලි නැත. මේ වසර අවසානයට පෙර දැනට පවතින එන්නත මෙම නව වෛරස ප්‍රභේදයට එරෙහිව ක්‍රියා කරන ආකාරය පිළිබඳ ප්‍රථම සජීවී තාත්ත්වික සඵලතා දත්ත ලබාගැනීමට Pfizer ප්‍රමුඛ එන්නත් නිෂ්පාදන ආයතන බලාපොරොත්තු වේ.
නව ප්‍රභේදය වාර්තා වීමට පෙර, බූස්ටරයක් ලබා ගැනීමට බොහෝ දෙනෙකුට එතරම් හදිසි අවශ්‍යතාවයක් දැනුණේ නැත. ඔවුන් මුලින්ම එන්නත් කිරීමට උපදෙස් ලද අවස්ථාවේදී කළාක් මෙන් මේ අවස්ථාවද සැකසහිතව මඟහැරීමට කටයුතු කරමින් සිටිති. දැනට සිදුවී ඇති අධ්‍යයනවලින් පෙනී යන්නේ අනුමත කර ඇති හෝ අවසර දී ඇති එන්නත්වල මුල් මාත්‍රාවන් මගින් මිනිසුන් දරුණු රෝග ලක්ෂණවලින් ආරක්ෂා කරන අතර රෝහල්ගත වීමද වළක්වන බවය.
සාමාන්‍යයෙන් ඔබ පළමු COVID එන්නත ලබාගන්නා විට, ඔබේ ශරීරය ස්පයික් ප්‍රෝටීන් නම් වෛරසයේ විශේෂිත කොටසකට එරෙහිව ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් හෙවත් ප්‍රතිදේහ නිපදවයි. ඔබ නැවත SARS-CoV-2 වෛරසයට නිරාවරණය වන්නේ නම්, ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉක්මනින් වෛරසය හඳුනාගෙන සටන් කළ හැක. නමුත් COVID එන්නත තනි මාත්‍රාවක් සඳහා ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය සාමාන්‍යයෙන් කෙටි කාලීනය. එබැවින් ශක්තිමත් සහ දිගුකාලීන ප්‍රතිචාරයක් ලබාගැනීම සඳහා දෙවැනි මාත්‍රාව අවශ්‍යය.
කාලයත් සමඟ ඔබේ ශරීරයේ ප්‍රතිදේහ ප්‍රමාණය අඩු වේ. මෙය ප්‍රතිශක්තිය ක්ෂය වීම ලෙස හැඳින්වේ. ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය COVID වලින් ආරක්ෂා වීමට අවශ්‍ය ප්‍රතිදේහ සංචිතය ඒ සඳහා වූ ආරක්ෂිත සීමාවේ මට්ටමට වඩා අඩු වුවහොත්, ඒ නම් නිසි තරමට ප්‍රතිදේහ නිපවන්නේ නැතිනම්, ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට නව වෛරසයට නිරාවරණය වනවිට ආසාදනය වැළැක්වීමට නොහැකි වනු ඇත. මේ නිසා ආරම්භක එන්නත ලබාදීමෙන් ටික කලකට පසු ලබාදෙන එන්නත් මාත්‍රාව ආරක්ෂිත සීමාවට වඩා ප්‍රතිදේහ මට්ටම ඉහළ නැංවීමට උපකාරී වේ. අධ්‍යයනවලින් පෙනී යන්නේ COVID එන්නත දෙවැනි මාත්‍රාවෙන් පසු මාස හයක් හෝ ඊට වැඩි කාලයක් තුළ ප්‍රතිදේහ ප්‍රමාණය සිරුර තුළ අඩු වී ඇති බවයි.
සැකෙවින්ම කිවහොත් කොවිඩ් ආසාදනයට එරෙහි එන්නත්වල සඵලතාවය එම එන්නත ලබාදීමෙන් මාස හයකට පසු සාමාන්‍යයෙන් සියයට 18.5 කින් අඩු වේ. වයෝවෘද්ධ සහ ප්‍රතිශක්තිකරණ දුර්වල පුද්ගලයන් අතර එලෙස අඩුවන ප්‍රමාණය වැඩිය. එය වඩාත් සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ ඔවුන් තරුණ, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් හා සසඳන විට එන්නත් සඳහා දුර්වල ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර දැක්වීමට නැඹුරු වීමයි. මේ නිසා ඉක්මන් බෝ වීමක් දක්වන මාදිලි සඳහා ඔවුන් කෙටි කලකින්ම අනාරක්ෂිතව නිරාවරණය වේ.
නමුත් මෙවන් අය බූස්ටර් එන්නතක් ගත් කල ඔවුන් තුළ ප්‍රතිශක්තිය මූලික එන්නතක් ගත් අයට වඩා ඉහළ යයි. ඊශ්‍රායලයේ, සිදුකළ පරීක්ෂණයකදී හෙළිව ඇත්තේ ආරම්භක මාත්‍රාව පමණක් ලබාගත් පුද්ගලයන් අතර සහ බූස්ටර් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයන් අතර ආසාදන අනුපාතය දස ගුණයකින් අඩුවන බවය. එනම් බූස්ටරය දසගුණයකින් ප්‍රබලතාව නංවා ඇති බවය. බූස්ටර මාත්‍රාව ආරක්ෂිත ප්‍රතිදේහ සංචිතයේ සීමාව වඩා පහළ මට්ටමකට පැමිණීමට පෙර සිරුරේ ප්‍රතිදේහ මට්ටම ඉහළ නැංවීමට කටයුතු කරන බව ලෝ පුරා මෙබඳු පර් යේෂණ මගින් තහවුරුව ඇත.
එසේම ෆයිසර් වැනි mRNA එන්නත් සමඟ බූස්ටර මාත්‍රාව ඉහළම ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර දක්වන බව දක්නට ලැබී ඇත. මේ හේතුවෙන් බූස්ටර් එන්නත් ලබාදීම කොවිඩ් විකෘති මාදිලිවලට හැම අතින්ම සුබදායි එළැඹුමක් හැටියට විශේෂඥයන් තහවුරු කර ඇත. නව ප්‍රභේදය යම් හෙයකින් දැනට සැකකෙරෙන ආකාරයට ඉතා දැඩි ලෙස පැතිරීමක් දක්වන්නේ නම් බූස්ටර් එන්නතක් කලින් ලබා සිටීම මගින් එහි පැතිරීම පාලනයට ලක්කර ගැනීමට හැකිවනු ඇත. එසේ නොවුණහොත් කොවිඩ් සුනාමියකට ගොදුරු වීමේ අණතුර අත ළඟය.
සුගත් පී. කුලතුංගආරච්චි