2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

රට නටවමින්, රට කරවන අයත් නැටවූ තේජා ගුණවර්ධන

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 163

1956 මහා මැතිවරණයට පෙර රට කරවූ සර් ජෝන් කොතලාවලගේ ආණ්ඩුවට මහා හිසරදයක් වූ තේජවන්ත කාන්තාවකගේ භූමිකාව කාලයාගේ වැලිතලාවෙන් වැසී ගොස් ඇත. ඇය වාමාංශික ව්‍යාපාරයේ සටන්කාමී එඩිතර කාන්තාවක් වූවාය. පොදු ජනයාගේ මිතුරියක්ද වූවාය. පසුකලෙක ඕ ලංකාව නියෝජනය කළ විදේශීය තානාපතිනියක්ද වූවාය.

සර් ජෝන් කොතලාවල වැනි ප්‍රතාපවත් රාජතාන්ත්‍රිකුට අභියෝග කිරීම ඉදිරිපත් වූ මේ කවුද?

ඇය තේජාවතී ගුණවර්ධනය. වාමාංශික ව්‍යාපාරයේ ක්‍රියාකාරයන්ට නම් ඕ “තේජා සොහොයුරියයි.”

1956 මහා මැතිවරණය පැවැත්වීමට ආසන්න සමයේ තේජා ගුණවර්ධනගේ “ට්රයින්” (Trine) (ග්‍රහ තාරකා දෙකක් අතර) ඉංග්‍රීසි පුවත්පතින් හෙළි කළ මුල් පවතින් රට කැළඹී ඇත.

''ඡන්ද මංකොල්ලයක්'' ඒ පුවතය.

මේ පුවතින් මුළු රටම කැළඹී ගිය අයුරු ධර්ම ශ්‍රී කුරුප්පු හා නීතිඥ කල්‍යාණන්ද තිරාණගම ද පුවත්පත්වලට කියා තිබුණි.

එවකට සිටි ලාංකාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මුදල් ඇමතිව සිටි සමයේ ණය ගිවිසුමක දී කරන ලද කොමිස් ලබා ගැනීමේ දූෂණයක් ගැනයි ''ඡන්ද මංකොල්ලය'' පිළිබඳ (ට්‍රයින්) පුවත්පතින් අනාවරණව තිබුණේ. මේ ප්‍රවෘත්තියෙන් කිපුණ රජය තේජා ගුණවර්ධනට විරුද්ධව නඩුවක් පැවරුවේය. ''ජූරියක් නැති නඩුවක්'' ඇතිවන තැනට මේ නඩුව පත් කිරීමද තේජා ගුණවර්ධනගේ තවත් වැඩකි.

ලංකා අධිකරණ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් තිදෙනකුගෙන් සමන්විත මණ්ඩලයක් ඉදිරියේ අපරාධ නඩුවක් විභාගයට පත් ප්‍රථම අවස්ථාව එය බව නීතිඥ තිරාණගම පවසයි.

කිසි දිනෙක පසුබට නොවූ තේජා රහස් පොලීසියේ සෙවිල්ල මැද මුදල් ඇමැති අපකීර්තියට පත් කිරීම පිළිබඳ නඩුවිභාගය 1954 අගෝස්තු මාසයේ පවත්වන ලද ජූරියක් නැති නඩු විභාගයේ එනම් ඓතිහාසික ට්‍රයින් නඩුව ජය ගැනීමට පළමුවන වග උත්තරකාරිය වූ තේජාවතී ගුණවර්ධනට එදා රැපියල් එක් ලක්ෂයක් පමණ වැය වූ බව 1956 ජනවාරි 29 වැනිදා ''ඉරිදා ලංකාදීප''පත්‍රයේ පළ වී තිබුණි. ඒ නඩුවේදී තේජා වෙනුවෙන් පෙනී සිටියේ බ්‍රිතාන්‍ය ජාතික රාජනීතිඥ ඩී.එන්. ෆ්‍රිට්ය. ලෝකයේ ජනප්‍රිය හා දක්ෂ නීති විශාරදයකු වූ ෆ්‍රීට් නම් රාජ නීතිඥයා බ්‍රිතාන්‍ය රජය විසින් කෙන්යාවේ ජෝමෝ කිනියාටත්, සිංගප්පූරුවේ අගමැති ලී ක්වාන් යූ ට විරුද්ධව පවරා තිබූ නඩුවලින් දක්ෂ ලෙස ඔවුන් නිදහස් කර ගැනීමෙන් ලොව පුරා කීර්තියක් ලැබීය. තේජා ඉහත කී නඩුවෙන් නිදහස් වූවාය. මේ නඩුව පසු කලෙක ෆ්‍රීට් විසින් ලියූ පොතක සඳහන් වූයේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් තේජා තනිවම, අභීතව මෙහෙය වූ සැබෑ සටනක් කියාය. මේ නිසා තේජා ලෝකය පුරා නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ කතාබහට ලක්වූවාය.

ලංකා දේශපාලන ඉතිහාසයේ මුල්ම මහා මොළකරු වූ සර් ඔලිවර් ගුණතිලක නම් මුදල් අමාත්‍යවරයාත්, සර් ජෝන් කොතලාවල නම් අතිශූර අගමැතිවරයාත් දුර්මුඛ කළ තේජා ගැන එවකට ලංකා පාර්ලිමේන්තු ප්‍රථම මුදල් ඇමැතිවරයා මෙන්ම අතිශූර මොළකරුවකු වූ අධිනීතිඥ ජේ.ආර්. ජයවර්ධන මහතා ''පිරිමින්'' විසි පන්දහසකට වැඩියෙන් එක තේජා ගුණවර්ධන කෙනෙක් වටිනා බව පැවසුවේලු.

''ලංකාදීප'' මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කුරුප්පු විසින් තේජා ගුණවර්ධන දුටු හැටිය මේ.

''අත, කර, කන ස්වර්ණාභරණයෙන් සරසා ගෙන ඉස්තරම්ම සාරියකින් හා හැට්ටයකින් සැරසී ගෙන දොතොල් නියපොතු අපරදිග තාලයට පාට කරගෙන අඟර දඟර පාමින් මංගල මහේශාක්‍ය ලීලාවෙන් කලදවස ගෙවීමට තරම් බලපුළුවන්කාරකමක් ඇයට ඇතත්, ඇය ඉතා චාම්ය. ලංකාවේ කිසිම ගැහැනියකට නොදෙවැනි වන තරමේ ඉංග්‍රීසි දැනුමක් ඇයට ඇතත්, ඒ ඉංග්‍රීසියට වඩා අපේ දුප්පත් සිංහලයට ඈ කැමතිය. කුරුඳුවතු පන්තියට මුළු දවසේ පැය විසිහතරම පුංචි එංගලන්තයක ජිවත්විය හැකි තරමට පරම්පරාගත වස්තුවක් ඇයට ඇතත්, ඒ කිසිම කෝලමක් ඇයට වුවමනා නැත. රටත්, පුරවැසි ජනයාත් වෙනුවෙන් සටන් කර රටවැසි වැඩිදෙනා විසින් අගය කරනු ලබන දේශීය සංස්කෘතිය යථා ස්ථානයට පත්කළ හැකි නම්, තේජා ගුණවර්ධනට උවමනා කර තිබෙන්නේ එය මිස ඉහළ පෙළේ ඇතැම් මහිලාවන් අගය කරන බාහිර ආටෝපය නොවේ.''

මේ විවරණයෙන් කවුද? ''තේජා'' යයි අපට ඡායාමාත්‍රයක් ඇති කරගත හැකිය.

තේජාවතී ගුණවර්ධන 1917 ජූලි 28 වැනිදා, මහනුවර මානගේ පියදාස මහතාට හා එළිසබෙත් පොන්වීර මහත්මියට දාව උපත ලැබුවාය. ඇගේ පියා රජයේ කොන්ත්‍රාත්කරැවෙකි. වතුපිටි රුසක අයිතිකරැ වූ ඔහු විවාහයෙන් පසු පදිංචිව සිටියේ කොළඹ කුප්පියාවත්තේය. තේජා කොතරම් ධනයට හිමිකම් තිබූ ඇය තුළ තිබුණේ නිහතමානී චාම් ගතිගුණය.

කොළඹ මාලිගාකන්දේ ක්ලිප්ටන් බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ තේජාවතී ද්විතීක අධ්‍යාපනය ලැබුවේ කොළඹ කාන්තා විද්‍යාලයෙනි. එහිදී ලන්ඩන් මැට්රික්‍යුලේෂන් විභාගයෙන් සමත්ව ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේ 1935 වසරේදීය. ඉංග්‍රීසි ගෞරව උපාධිය දිනාගත් ඇය මෙරට මහිලා සමිති ව්‍යාපාරය ඇති කිරීමට මූලිකත්වය ගත් කාන්තාවන් කිහිපදෙනාට අයත් වූවාය. ඒ අතර ඇය 1940 වසරේ මාලිගාකන්දේ ක්ලිප්ටන් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වී ඇත්තේ එහි කීර්තිමත් ආදි ශිෂ්‍යාවක් වීම නිසාය.

තේජාගේ දයාබර සැමියා වී ඇත්තේ එකල ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙළෙඳ අධිකාරිවරයා ලෙස සේවය කළ එච්.ආර්. ගුණවර්ධන මහතාය. ලංකා විශ්වවිද්‍යාලයේ බී.ඒ. උපාධියත් බී.එස්.සී, එම්.ඒ., අයි.ටී. උපාධි ලැබූ ගුණවර්ධන මහතා අධි නීතිඥවරයෙකි. පරමා විඥානාර්ථවාදියෙකි. ගුණවර්ධන යුවළට දරුවන් තිදෙනෙක් වූහ.

කලා රසිකාවියක් වූ තේජා මිය යන තෙක්ම කලාවට දැක්වූයේ ඉමහත් ආදරයකි. කොළඹ ක්ලිප්ටන් විද්‍යාලයේ විදුහල්පතිනියව සිටියදීම කොළඹ කාර්මික විද්‍යාලයට බැඳී චිත්‍ර කලාවත්, ලී කැටයම් කලාවත් හැදෑරුවාය. විසිතුරු කලාවට ඇලුම් කළ ඕ ගෙත්තම් කලාවට, අත්කම් වැඩ, බීරළු වැඩ දක්ෂතා දැක්වූවාය. ඩී.එස්. සේනානායක මහතා අග්‍රාමාත්‍යව සිටි 1950 වසරේදී ඇයට ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වය ලබා ඇමෙරිකාවට ගියේ ග්‍රාමීය සුබසාධනය, අධ්‍යාපනය. සංස්කෘතිය අධ්‍යාපනය හා සමාජ විද්‍යාව අංශ වෙනුවෙන් තිබූ හැකියාව නිසාය. මේ අමෙරිකානු චාරිකාව නිසා එරට ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඕ කලකිරුණාය. ''සුදු කළු භේදය'' නිසා කළු හම සහිත මිනිසුන්ට මදි පුංචිකම් ඇතිවීම එයට හේතුව විය.

ඇමෙරිකාවේ සිටියදී තේජා වොෂින්ටන් නුවර සිට දුම්රියක නැඟ ටෙනිසි වැලි යෝජනා ක්‍රමය බැලීමට යන ගමනේදී අප්‍රසන්න අත්දැකීමකට මුහුණ දුන්නාය. ඒ අවස්ථාව ඇය විස්තර කර තිබුණේ මෙසේය.

''මම දුම්රිය පොළ වෙතට ළඟා වූ විට, ඔබට මේ පැත්තෙන් යන්න බෑ. අනිත් පැත්තෙන් යන්න'' යැයි නිලධාරියෙක් කිව්වා.
''ඒ ඇයි?'' මම කෝපයෙන් ඇසුවා.
''ඔබ කොහේ සිටද එන්නේ.''
''මම ලංකාවෙන්.''
''හා! එහෙනම් මේ පැත්තෙන් යන්න. ලංකාව සුදු රටක්.''
''සුදු පැත්ත! මට කළු පැත්ත හොඳයි. මම අනිත් පැත්තෙන් යන්නම්. මගේ කළු හම නිසා ඒ හමට මම සලකනවා. ඒ හමට ගරැ කරනවා. කළු හමක් තිබීම ගැන මම ආඩම්බර වෙනවා.
මම එහෙම කියලා නිග්‍රෝ ජාතිකයන් වෙනුවෙන් තිබුණු පැත්තෙන්ම දුම්රියට ගොඩවුණා. මගේ නිර්භීත උත්තරයට නීග්‍රෝ ජාතිකයන් තදින් පැහැදුණා. ඔවුන් මට දුම්රිය ගමන නිමා වෙනකම් සැලකුවා. සංග්‍රහ කළා.*
තේජා ගුණවර්ධන ''ලංකාදීප'' කර්තෘ මාණ්ඩලික ධර්ම ශ්‍රී කුරුප්පුට 1956 ජනවාරි 29 පත්‍රයට එසේ කියා තිබුණාය.

තේජා ගුණවර්ධන ලේඛන කලාවට සංස්කෘතියට හා කලාවට කොතරම් ඇලුම් කළාද කිවහොත් 1975 වසරේ ''කොහොඹ කංකාරිය'' ග්‍රන්ථය රචනා කොට ප්‍රසිද්ධ කළේ වසර හතළිස් පහක කාලයක් පර් යේෂණය කරමින් බව කීවොත් එය ඔබ විශ්වාස කරනවාද? ඔව්! එය සත්‍යයකි. 1948 වසරේ ඇය ''මහිලා'' නමින් සිංහල සඟරාවක් සංස්කරණය කළාය. ඇය විසින් ලියා පළකරන ලද ඉංග්‍රීසි පොත් අතර ''කොංගෝ දේශය - නොනැසී ගැලවෙයි'', ''කියුබාව ඔව් - යැංකි නැහැ'', ''හරිත පලසක් සඳහා තදියම් පරිශ්‍රමය'', ''ඉන්දු චීන සම්බන්ධකම් කොයිබටද?'', ''කොෂෙව්වාදය'', ''අලි බූටෝ චීන සංස්කෘතික විප්ලවය'', ''ජපානයේ අදිටන'', ''ගූඨවාදී හා ගුප්ත ක්‍රිස්තු භක්තිය සහ විමුක්තිය (පද්‍ය), ''ඉස්ලාම් ධර්මය'', ''සනාථන ධර්ම'', ''රාවණ පරම්පරාව'' යන කෘති ගැන කීර්තිමත් පරිපාලන නිලධාරියෙක්ව සිටි අමර හේවාමද්දුමගේ ලියූ ලිපියක සඳහන්ව තිබුණි.

තේජා ගුණවර්ධනගේ අන්තර්ජාතිකත්වය, කැපවීම කෙතරම්දැයි කිවහොත් ලෝකයේ හා සමාජවාදී කඳවුරේ පැතුම්, ගැටුම් සමඟ ඉතා සමීප සබඳතාවක් පැවැත්වූ බවත්, චීනය, කියුබාව, වියට්නාමය ආදී රටවලදී ඇය ඔවුන් සමඟ එක්ව පෙළපාලි ගිය බවත් අමර හේවාමද්දුම කියා තිබිණි. තේජාගේ කළණ මිතුරු මිතුරියන් අතර චීනයේ චෞ එන්ලායි, යූ චිං ලිං, වියට්නාමයේ හෝ චි මිං, කියුබාවේ ෆිඩෙල් කැස්ත්‍රෝ. පාකිස්තානයේ සුලිපිකාර් අලි බූතෝ, ඇල්බේනියාවේ අන්වර් හෝජා වූ බවද වාර්තා වේ.
ලංකා චීන මිත්‍ර සංගමයේ ආරම්භ සභාපතිනිය වූ තේජා ඇගේ ජීවිතයේ දැරූ එකම තනතුර (1974-1977) දක්වා පකිස්තානයේ හා ඉරානයේ ශ්‍රි ලංකා තානාපති ධුරය පමණක් බව පවසා ඇති නීතිඥ කල්‍යාණන්ද තිරාණගම තේජා යනු සමාජ සාධාරණය වෙනුවෙන් පෙනී සිටි සෙන්පතිනියක් ලෙස හඳුන්වයි.

''මට තේජා මුලින්ම මුණගැසුණේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පක්ෂ කණ්ඩායම නියෝජනය කරමින් ලංකා කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය සහභාගි වීම සඳහා 1963 දී කොළඹට පැමිණි අවස්ථාවේ. ඒ චීන රැසියානු න්‍යායික මතභේද උත්සන්නව පැවිති කාලයේ. ශ්‍රී ලංකා වාමාංශික ව්‍යාපාරය තුළ ඇතිවූ සෑම බෙදීමකදීම ඇය ප්‍රතිපත්ති මූලික ස්ථාවරයක් දැරැවා. ඇය සැමවිටම ගත්තේ දුබලයාගේ, දිළින්දාගේ සටන්කාමියාගේ නැගී එන බලවේගයන්ගේ පැත්තය. ඇය විසින් පළකර ඇති පොත් අතර න්‍යෂ්ටික යුද්ධ තර්ජනයට එරෙහිව කියුබානු විප්ලවයේ ජයග්‍රහණය පිළිබඳවත්, කොංගෝවේ ජනනායක පැට්රික් ලුමුම්බා මරා දමමින් කරන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය ගැනත් නිබන්ධන ලිව්වා. 1978 දී කෞතුකාලාර මාන විද්‍යා සංගම් රුස්වීමට ඇය ඉදිරිපත් කළ එක් නිබන්ධයක් වූයේ ''ලංකාවේ ප්‍රාග් ඉතිහාස යුගයට උත්සව තුළින් විහිදෙන ආලෝකය'' යන්නයි. රාජකීය ආසියාතික සංගමය හමුවේ ඇය කළ දේශනයට තේමාව වූයේ ''ලංකාවට බුදුදහමේ සම්ප්‍රාප්තිය පිළිබඳ කවුළු දොරක්'' යන්නයි. නීතිඥ තිරාණගම ''සිළුමිණ'' පත්‍රයෙන් මේ කරුණු අනාවරණය කර තිබුණි.

බණ්ඩාරනායක පවුලේ සමීපතම මිතුරියක් වූ තේජාව 1975 දී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය විසින් පාකිස්තානය හා ඉරානය දෙරටේ තානාපතිනිය ලෙස පත් කළාය. තේජා මේ තනතුර භාර ගත්තේ තම මිතුරිය වූ අගමැතිනියගේ බලවත් ඉල්ලීම නිසා බව පැවසේ.

1939 දී මහිලා ව්‍යාපාරය ඇති කිරීමට පුරෝගාමී වූ තේජා ගුණවර්ධන අනුරාධපුරය ඇතුළු පළාත්වල මහිලා සමිති ශාඛා දහසක් පමණ පිහිටුවා වාර්තාවක් තැබූ බව දන්නේ ටික දෙනෙකි. ''වනිතා නිදහස'' වෙනුවෙන් ඇය ජීවිත කාලය තුළම සටන් කළාය.

තේජා තම අවසාන කාලය ගතකර ඇත්තේ ගම්පහ උඩුගම්පොළය. තම සැමියාගේ අභාවයෙන් පසු ඇය වැඩි කාලයක් මේ ගම්පහ නිවෙසට වී තමාගේ දෑස මෙන් සැලකූ පුස්තකාලයේ සිට තමාට අයත් ඉඩම්, දේපළ සමාජ කටයුතු සඳහා පරිත්‍යාග කොට මියගිය සැමියාගේ විශ්‍රාම වැටුපෙන් චාම් සරල ජීවිතය ගත කළාය.

තේජාවතී නම් මේ ශ්‍රේෂ්ඨ කාන්තාව 1995 ජූලි 17 වැනිදා මිය යනවිට ඇය අසූ වියට ළඟා වෙමින් සිටියාය.

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05