සියල්ලෝම සියල්ලම කරනුයේ ජීවත්වීම වෙනුවෙනි. ජීවත්වීම කෙරෙහි තවදුරටත් අත්‍යවශ්‍ය සාධකය ආහාර පමණක් නොවෙයි. සමස්ත ලෝකයේම සැලකිය යුතු ජනතාවගේ ජීවිත රැඳී ඇත්තේ ඖෂධ භාවිතය මතය. යම් විටෙක ඖෂධ සැපයුම අඩාල වුවහොත් ලොවපුරා බොහෝදෙනකුට සිය ජීවිත අහිමිවනු ඇත. අප සංවාදයට ලක් කිරීමට සූදානම් වන්නේ ලෝක ඖෂධ භාවිතය පිළිබඳ ගැටලුවක් නොවේ. අප සාකච්ඡා කරනුයේ වර්තමානයේ දේශීය වෙළෙඳපොළ පවතින ඖෂධ හිඟය සහ අධික ඖෂධ මිල ගණන් පිළිබඳවය.
දේශීය ආර්ථිකය කෙරෙහි මේ දිනවල සෘජුව බලපෑම් සහගත වී ඇති ඩොලර් හිඟය ඖෂධ කෙරෙහිද ඒ ආකාරයෙන්ම බලපා ඇති බව අප කළ විමසුමකට අනුව පෙනී ගියේය. ඒ අනුව ඖෂධ ආනයනය කරනු ලබන සමාගම් කිහිපයක් ණයවර ලිපි (LC) විවෘත කිරීමේ ගැටලුව මැදිව ඇති බව වාර්තා වෙයි. එය හේතු කොටගෙන පෞද්ගලික අංශය ආනයන කරනු ලබන ඖෂධ, වෙළඳපොළ තුළ හිඟවී ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම ඖෂධ මිල ගණන්වලද පසුගිය කාලවකවානුව තුළ විශාල වෙනසක් සිදුව ඇතැයි වාර්තා වේ. ආරංචි මාර්ග අනුව ඊට මූලික හේතුව වී ඇත්තේ ආනයනවල පවතින ගැටලුය.
කෙසේ වෙතත් මේ සම්බන්ධව රජයේ පාර්ශ්ව පෙන්වා දෙන්නේ මේ වනතුරු ඖෂධ ආනයනය සම්බන්ධ සම්බන්ධ ණයවර ලිපි විවෘත කිරීමේදී ගැටලුවක් ඇති වී නොමැති බවයි. ඉදිරියේදී එවන් ගැටලුවක් ඇතිවීමේ අවදානමක් ඇතත් ඊට සම්බන්ධව මුදල් අමාත්‍යංශය ඇතුළු අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් සිටින බව සෞඛ්‍ය බලධාරීහු පවසති. එසේම රජය විසින් සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධවල මිල ගණන්වල කිසිදු වෙනසක් සිදුව නොමැති බවද රජය අවධාරණය කරයි.
කෙසේ වෙතත් රෝහල් තුළද බොහෝ ඖෂධ පිටතින් මිලදී ගැනීමට සඳහා රෝගීන් වෙත තුණ්ඩු ලබාදීම වෙනදාට සාපේක්ෂව වැඩි වී ඇතැයිද තොරතුරු ලැබී තිබේ. මහරගම පිළිකා රෝහලේද මෙලෙස තුණ්ඩු ලබාදීම සිදුවන බවට තොරතුරු ලැබී ඇත. එහි සත්‍යතාව තහවුරු කරගැනීම සඳහා අදාළ පාර්ශව විමසීමට අප උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය. කෙසේ වෙතත් රෝගීන් පවසන පරිදි රෝහල්වලින් ලබාදෙන බෙහෙත් තුණ්ඩුවල සඳහන් වන බෙහෙත් වර්ග පිටතදී පවා සොයා ගැනීම දුෂ්කරය.
ඖෂධ මිල ගණන් ඉහළ යාම පිළිබඳවද අප කළ සොයා බැලීමකදී පෙනී ගියේද රාජ්‍ය ආර්ථිකයේ පවතින බිඳ වැටීම ඊටද හේතු වී ඇති බවයි. මේ වනවිට බාහිර සමාගම් තමන්ගේ ශක්‍යතාව මත ඖෂධ ආනයනය කොට සිය අභිමත මිල ගණන් යටතේ ඖෂධ විකුණමින් සිටින තොරතුරු තිබේ. මිල පාලන ප්‍රතිපත්තියේ පවතින අඩුලුහුඩුකම් සේම සමාගම් ඒකාධිකාරියද මෙම තත්ත්වයට හේතු වී ඇතැයි පෙනී යයි. කෙසේ වෙතත් පසුගිය කාල වකවානුවේදීය රාජ්‍ය ඖෂධ සංස්ථාව විශාල වශයෙන් ඖෂධ ආනයනය කරමින් වෙළඳපොළ තුළදී බාහිර සමාගම් හා තරග කිරීම හේතුකොට ගෙන මිල පාලනය යම් පමණකට සිදුවූ බව ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙයි. කෙසේ වෙතත් පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් බාහිර සමාගම් සමඟ රාජ්‍ය ඖෂධ සංස්ථාව තවදුරටත් තරග කළ නොහැකි බව ඔවුහු කියා සිටිති.
මෙරට ඖෂධ නිෂ්පාදනය සම්බන්ධව වර්තමාන රජය අවධානය යොමුකර ඇතත් තවදුරටත් එය දේශීය පරිභෝජනය සඳහා ප්‍රමාණවත් පරිදි සිදු නොවේ. මෙරට නිෂ්පාදනය වන්නේ ඖෂධ වර්ග කිහිපයක් පමණි. ඒවාද වෙළෙඳපොළ සඳහා ප්‍රමාණවත්ද යන්න ගැටලු සහගතය. කෙසේ නමුත් ඉදිරියේදී දේශීය ඖෂධ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම හරහා ඖෂධ ආනයනය සීමා කිරීමට හැකිවෙතැයි ආණ්ඩුව අපේක්ෂා කරයි. එය ක්‍රමානුකූලව සිදු කළයුතු දීර්ඝකාලීන කටයුත්තක් වන නමුත් වර්තමානයේ පවතින ගැටලුවට එය විසඳුමක් නොවේ. ඖෂධ ආනයනය ඇතුළු අත්‍යවශ්‍ය දෑ කෙසේ හෝ මුදල් ලබාදෙන බව රජය මේ වනවිටත් පවසා තිබේ. එසේ නමුත් පවතින ආර්ථික අර්බුදයට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් එම ඇපවීම නිර්තක වනු ඇත.
චමිඳු නිසල් ද සිල්වා
තුන්දාහේ බෙහෙත් බිල අටදාහක් වෙලා
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය
අද වනවිට ඖෂධ සංස්ථාව ඖෂධ ගෙන්වීම බොහෝ දුරට අඩු වී තිබෙනවා. ඊට හේතුව රටට ඩොලර් නොමැතිවීම. එම තත්ත්වය තුළ පෞද්ගලිකව ඖෂධ ආනයනය කරනු ලබන සමාගම් ඔවුන්ගේ ඖෂධ මිල ගණන් ඉහළ නංවා තිබෙනවා. උදාහරණයක් විදිහට මෙට්ෆෝමීන් වගේ පෙත්තක් පහුගිය කාලේ ශත අසූවක් වගේ වුණේ. දැන් ඒ පෙත්ත රුපියල් පහක් දහයක් වෙනවා. පසුගිය දිනෙක මගේ මිත්‍රයෙක් මෙට්ෆෝමීන් පෙති දහයක් බණ්ඩාරවෙලින් මිලදී අරගෙන තිබුණා රුපියල් 104 කට. ඒ වගේම රුපියල් දෙකට තිබුණු ඇමොක්සලීන් කරලක් මේ වෙද්දී රුපියල් දහයක් විතර විකිණෙනවා. මේ වෙද්දී බෝනොවන රෝග සඳහා රුපියල් තුන්දහක විතර ඖෂධ මාසයකට මිලදී ගත්ත අයෙක්ට, එම ඖෂධ සඳහාම රුපියල් අටදහස් පමණ වියදම් කිරීමට සිද්ධවෙලා.
මීට අමතරව එස්.පී.සී. එක ගෙනාපු සමහර ඖෂධ මේ වෙද්දී ගෙන්නන්නේ නැති හින්දා රටේ ඖෂධ හිඟයකුත් නිර්මාණය වෙලා තියෙනවා. දැනටත් රෝහලකින් රෝගියෙක්ට නියම කරන බෙහෙත්වලින් කොටසක් පෞද්ගලික අංශයෙන් මිලදී ගන්න ජනතාවට සිදුවෙලා. පහුගිය රජය නොමිලේ ලබාදුන්නු අක්ෂි කාච, ස්ටේන්ට් වගේ දේවල් දැන් නොමිලේ ලබාදීම නතර කරලා. මෙහෙම ගියොත් බරපතල ඖෂධ හිඟයකට මුහුණ දෙන්න රටට සිදුවෙයි. මොකද අපේ රටේ ඖෂධ නිෂ්පාදනය ප්‍රමාණවත් පරිදි සිදු වෙන්නේ නෑ.
බෙහෙත් මිල ඉහළ දාන්න කාටවත් බෑ
ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන
දැනට ණයවර ලිපි විවෘත කිරීම සම්බන්ධව කිසිදු ගැටලුවක් ඇතිවෙලා නෑ. ඒ කාරණය හේතු කරගෙන ඖෂධ හිඟයක් ඇති වෙලත් නෑ. ඉදිරියේදී විවෘත කරන්නට තිබෙන ණයවර ලිපි සම්බන්ධව යම් ප්‍රමාදයක් තිබෙනවා. මේ වනවිටත් ඒ සම්බන්ධව මුදල් අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යංශයේ සමඟ කතාකරලා අපි ප්‍රමුඛතාවය ලබාගෙන තිබෙනවා. හැබැයි අවදානමක් තියෙනවා. ඒක සත්‍යයක්.
ඖෂධ ආනයනය රජයෙන් ඉවත් වීම හේතුවෙන් ඖෂධ මිල ඉහළ ගොස් තිබෙන බව පැවසීම සම්පූර්ණ අසත්‍යක්. ලංකාවේ භාවිත කරන ප්‍රමුඛ පෙළේ ඖෂධ 60ක මිල නියාමනය කරලා තිබෙන්නේ. ඒක පහුගිය රජය සිදුකරපු කටයුත්තක්. එය අපි ඉදිරියට රැගෙන යනවා. උපරිම සිල්ලර මිල නියම කරල තියෙන නිසා සුලභව භාවිත වන මෙම ඖෂධවල මිල ඉහළ දැමීමට කිසිවකුට හැකියාවක් නෑ. එම නිසා ඖෂධ ගෙන්වීම නැවැත්වීම සම්බන්ධව සිදුකෙරෙන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍යක්.
මිල පාලනය නොකළ ඖෂධ පෞද්ගලික සමාගම් ගෙන්වනවා. ඒවා එහි මිල ඉහළ ඉහළ යාමක් පසුගිය සතියේදී අපි නිරීක්ෂණය කළා. ඒ අනුව අදාළ සමාගම්වලට ලිපියක් මගින් අනතුරු ඇඟවීමටත් පසුගිය සතියේ මම කටයුතු කළා. මිල ඉහළ යා යුත්තේ ඩොලර් ඒ ඉහළ යාමට සාපේක්ෂව පමණයි. එසේ නොකොට තම අභිමතය පරිදි ඔවුන් මිල ඉහළ නංවනවා නම් සමාගම් බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව අපි ඔවුන්ට දන්වා තිබෙනවා.